• කාන්තාවන් කාතිවරුන් වශයෙන් පත්කිරීම
  • විවාහ වන අවම වයස 18 ක් විය යුතුයි
  • මනාලියගේ කැමැත්ත ඕනැ

උපුල් වික්‍රමසිංහ

සියලු මුස්ලිම් කාන්තාවන් හා පුරුෂයන් විවාහ වන අවම වයස් සීමාව අවුරුදු 18 ක් වීම, විවාහ ලියාපදිංචියේදී මනාලියගේ කැමැත්ත සහ අස්සන අනිවාර්ය කිරීම ආදී ප්‍රතිපාදන රැසක් මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට ඇතුළත් කළ යුතු බව මුස්ලිම් කාන්තා පර්‌යේෂණ සහ ක්‍රියාකාරී සංවාදය (Muslim Women's Research and Action Forum – MWRAF) අවධාරණය කරයි.

එම සංවිධානය පිහිටුවා වසර 40 ක් පිරීම නිමිත්තෙන් පසුගිය 15 වැනි දින කොළඹදී පැවැති උත්සවයකදී එම සංවිධානයේ සභාපති සෆානා ගුල් බෙගම් මේ බව අනාවරණය කළාය.

විවාහයේදී වැඩිහිටි කාන්තාවන්ට සිය අභිමතය පරිදි තීරණ ගැනීමේ හැකියාව ලබාදීම, වලංගු විවාහයකදී නිකාහ් (Nikah) සමග ලියාපදිංචිය අනිවාර්ය කිරීම, මුස්ලිම් පුරුෂයකුට දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි විවාහ කර ගැනීමට අවශ්‍ය නම් කාති උසාවියේ අනුමැතිය හා කොන්දේසි  අනුව එය කිරීම, දික්කසාදයකදී ස්වාමියාට සහ බිරිඳට සමානව තීරණ ගැනීමේ හැකියාව තහවුරු කිරීම ආදී විධිවිධාන ද එම පනතට ඇතුළත් කළ යුතු බව ඇය කීවා ය.

විවාහයට පෙර ගිවිසුම් ක්‍රමය හඳුන්වාදීම, බිරිඳගේ වැරැද්දක් නොමැතිව සිදුවන දික්කසාදයකදී Mathah නමැති දික්කසාද දීමනාව බිරිඳට ගෙවන ක්‍රමය හඳුන්වාදීම, කාන්තාවන් විවාහ රෙජිස්ටාර්වරුන් ලෙස බඳවාගැනීම යනාදියත් මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට ඇතුළු කළ යුතු බව සභාපතිවරිය සඳහන් කළාය. 

එම පනතට සිදු කරනු ලබන සංශෝධනයකින් මුස්ලිම් කාති උසාවි පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කළ යුතු බව කී ඇය ඒ යටතේ කාන්තාවන් කාතිවරුන් වශයෙන් පත්කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බව ද ප්‍රකාශ කළා ය.