ඩොලර් කෝටි 100ක තවත් ඉඩම් 06ක් දෙන්න සූදානමින් වරාය කොමිසමේ නිලධාරීහු මුදල් කමිටුවට දන්වති

 

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

කොළඹ ප්‍රධාන වාණිජ කලාපයට ආසන්න ප්‍රදේශයේ ඇමෙරිකානු ඩොලර් කෝටි 112 (බිලියන 1.12ක) වටිනාකමකින් යුත් ඉඩම් කොටස් නවයක් ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බදු දී ඇති බව වරාය නගරය කොමිෂන් සභාවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්හ.

ඇමෙරිකානු ඩොලර් කෝටි 100 වටිනාකමකින් යුත් තවත් ඉඩම් කොටස් හයක් බදු දීමට සැලසුම් කෙරෙමින් පවතින බව පැවසූ ඔවුහු රජයට අයත් ඉඩම් කොටස් 4ක් (මුළු ඉඩම් වෙන් කිරීමෙන් 1/7 ක ප්‍රමාණයක්) වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළහ.

මේ දක්වා බදු දී ඇත්තේ චෙක් පෝර්ට් 'සිටි සමාගමට (CHEC Port City Colombo (Pvt) Ltd)අයත් ඉඩම් කොටස් පමණක් බව නිලධාරීහු සදහන් කළහ. මෙම ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර සාමාන්‍ය වටිනාකම වර්ග මීටරයකට ඇමෙරිකානු ඩොලර් 3,000ක් බවද ඔවුහු සඳහන් කළහ.

එසේම, මෙම ගනුදෙනුවලින් (මුළු කල්බදු මුදලින් සියයට එකකට සමාන) 'රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවද නිලධාරීහු  පැවැසූහ.

වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රතිලාභී හිමිකාරීත්වය හඳුනා ගැනීම, විදේශීය ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මූල්‍ය විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර ඇති නියාමන ක්‍රමවේද පිළිබඳවද කාරක සභාවේදී විමසා බැලිණ.

එමෙන්ම, විදේශීය ශ්‍රමිකයන් සඳහා වීසා නිර්දේශ නිකුත් කිරීම සහ ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණ. කොමිෂන් සභාවේ නිර්දේශ මත, විදේශිකයන් සඳහා වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බවට ඉදිරිපත් වූ තොරතුරු සැලකිල්ලට ගෙන' 'අධීක්ෂණය කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය.

වරාය නගරයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා අදාළ නියාමන කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණ.

මහල් නිවාස සංකීර්ණ සහ නේවාසික ව්‍යාපෘති සඳහා නිවාස මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ආයෝජකයන් විසින් සිදුකරනු ලබන පූර්ව ගෙවීම්වල (Pre-Sale Deposits) ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණ. එහිදී, විදේශීය ආයෝජකයන්ගෙන් ගන්නා එම මුදල් අදාළ ව්‍යාපෘති සඳහාම යෙදවීම සහ ඒවායේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන එස්ක්‍රෝ (Escrow) ගිණුම් ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුවිය. 

එමෙන්ම වරාය නගරයට ලැබී ඇති සැබෑ විදේශීය ආයෝජන ප්‍රමාණය, අනුමත ව්‍යාපාරවල වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඒවායෙන් අපේක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය කර තිබේද යන්න පිළිබඳවද කාරක සභාවේ සාකච්ඡා විය.