උපුල් වික්‍රමසිංහ

ජපානයේ නිෂ්පාදිත Qdenga ඩෙංගු එන්නත මෙරටට ගෙන්වීමෙන් පසු එය භාවිතයට ගන්නේ කෙසේද භාවිතයෙන් පසු ගැටලුවක් ඇති වුව හොත් එ සඳහා කටයුතු කරන්නේ කෙසේද යනාදී තොරතුරු ඇතුළත් පැහැදිලි කිරීම මේ දක්වා එම එන්නත ගෙන්වීම සඳහා අවසරය හිමිව ඇති සමාගමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබී නොමැති බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් මෙම එන්නත භාවිතය සඳහා අවසර දී තිබෙන්නේ ද එම පදනම මත යැයි ඔහු කීවේ ය.

අදාළ එන්නත මෙරටට ගෙන්වනු ලැබුව ද එයින් පමණක් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කළ නොහැකි බව ද වෛද්‍යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි ගෙන් කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ මෙම එන්නත රජයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ය. රජය මැදිහත් වී මේ එන්නත මෙරටට ගෙන්වන්නේ නැති බවත් මේ දිනවල ඩෙංගු රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් නොමැති හෙයින් ඒ සඳහා සමාජයෙන් විශාල ඉල්ලුමක් ද නැති බවත් ය.

එම එන්නත ලංකාවට ගෙන්වීම සඳහා මීට ඉහතදී රජය විසින් පෞද්ගලික අංශයට අනුමැතිය ලබා දෙනු ලැබුවද අදාළ සමාගම එන්නත හා එහි භාවිතය පිළිබඳ අදාළ තොරතුරු මේ දක්වා ලබා නොදීමෙන් මේ දක්වා එය ශ්‍රී ලංකාවට ගෙන්වීම ප්‍රමාද වී තිබේ.