
‘යක්ෂ රාජ වජිරපාණි’ යන පද තුන මූලාරම්භය ලෙස යොදාගත් පද්‍ය රචනාවක් ඉකුත් දිනවල මහත් ආන්දෝලනයකට ලක්විය. එය වස් කවියක් ද නැද්ද යන්න ගැන ද බොහෝ කතාබහට ලක්විය. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණු මෙම ගීතයෙන් කරළියට ආ යක්ෂ රාජ වජිරපාණි” ගැන විමසීමට බොහෝ දෙනා යොමු වූ අතර, ඒ ශක්‍ර දේවේන්ද්‍රයා නොහොත් සක් දෙවිඳුන් බව ද කියැවිණි.
මේ යක්ෂ රාජ වජිරපාණි සම්බන්ධයෙන් ඉතිහාසයේ කිසියම් තැනක සටහනක් ඇත්දැයි කළ විමසීමේදී අපට අනාවරණය වූයේ, සූත්‍ර පිටකයේ තැන් දෙකකම වජ්රපාණි නම් යක්ෂ රාජයකු ගැන සඳහන් වන බවයි. බුදුන් හමුවේ පෙනී සිටි මෙම යක්ෂ රාජයා, බුදුන් වහන්සේ විසින් විචාළ ප්‍රශ්නයකට පිළිතුරු නොදුන් අහංකාර පුද්ගලයන් දෙදෙනකුගේ හිස සත්කඩකට පළන බවට ගුගුරා තර්ජනය කළ, වජ්‍රය නම් අවිය අමෝරාගත් භයංකර යක්ෂයෙකි.
බුදුන් වහන්සේ අබියස වජිරපාණි යක්ෂයාගේ පෙනී සිටීම සඳහන් වන එක් සිදුවීමක් දිගහැරෙන්නේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයට අයත් අම්බට්ඨ සූත්‍රයේ ය. එහි සඳහන් සිදුවීම සරලව දැක්වුවහොත් මෙසේය.
බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ එක් සමයක කොසොල් රට ඉච්ඡානංගල ගම අසල වනයක වැඩ සිටිසේක. එකල විසූ පොක්ඛරසාති නම් ප්‍රසිද්ධ බ්‍රාහ්මණ ගුරුවරයාට බුදුරජාණන් වහන්සේගේ ගුණ කීර්තිය ගැන අසන්නට ලැබී, එහි සත්‍යතාව සොයා බැලීම සිය ශිෂ්‍ය අම්බට්ඨට පැවරුවේය. අම්බට්ඨ යනු ඔහු වෙතින් වේදය ඇතුළු බ්‍රාහ්මණ ශාස්ත්‍ර ඉගෙනගත් තරුණයෙකි.
අම්බට්ඨ තවත් තරුණ ශිෂ්‍යයන් පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියේය. කෙසේ වූවද බ්‍රාහ්මණ තරුණයකු වූ ඔහු, බුදුන් වහන්සේ හමුවේ සිය උඩඟුකම සහ කුල මාන්නය පෙන්වීය. බුදුන් වහන්සේ අසුන්ගෙන සිටියදී අම්බට්ඨ සිටගෙන සහ ඇවිදිමින් උන්වහන්සේ සමඟ කතා කළේය.
තමන්ගේ වැඩිහිටි බ්‍රාහ්මණ ගුරුවරුන් සමඟ කතා කරන්නේත් මෙලෙසදැයි බුදුන් වහන්සේ අම්බට්ඨගෙන් විමසා සිටිසේක.
අම්බට්ඨ දුන් පිළිතුරෙන් පෙනුණේ ඔහු ශ්රමණයන් පහත් කොට සලකන බවත්, තමා බ්‍රාහ්මණයකු වීම ගැන මාන්නයකින් පසුවන බවත්ය. වරක් කිඹුල්වත් නුවරට ගිය විට ශාක්‍යයන් තමන්ට බලාපොරොත්තු වූ ගෞරවය නොදුන් බව පැවසූ අම්බට්ඨ, ශාක්‍යයන්ට දොස් පැවරීය. කුඩා කරුණක් නිසා මෙතරම් කෝප වීම සුදුසු නැති බව පෙන්වා දුන් බුදුන් වහන්සේ, ඔහු උඩඟු වන ඔහුගේ ගෝත්‍රය කුමක්දැයි විමසූහ. ඔහු තමා කණ්හායන ගෝත්‍රයට අයත් බව පැවසීය.
එවිට බුදුන් වහන්සේ කණ්හායන ගෝත්‍ර පරම්පරාවේ ආරම්භය ගැන දන්නේදැයි විමසා සිටියේ, එම ගෝත්‍රයේ මුල් පුරුෂයා වූ කණ්හ යනු ඔක්කාක රජුගේ දාසියක වූ දිසාගේ පුත්‍රයා බව සිහිපත් කරදී අම්බට්ඨගේ මානය බිඳීමටය.
“ඔබගේ වැඩිහිටි බ්‍රාහ්මණ ගුරුවරුන්ගෙන් කණ්හායන පරම්පරාවේ ආරම්භය ගැන අසා ඇත්තේ කුමක් ද?” යනුවෙන් බුදුන් වහන්සේ පළමු සහ දෙවැනි වර විමසූ අවස්ථාවලදී අම්බට්ඨ නිහඬ විය. එවිට බුදුන් වහන්සේ මෙය නිහඬව සිටිය යුතු අවස්ථාවක් නොවන බවත්, තථාගතයන් වහන්සේ විසින් තුන්වැනි වර විමසද්දීත් පිළිතුරු නොදෙන තැනැත්තාට අත්විය හැකි ඉරණම පිළිබඳව වදාළ සේක.
එවිටම දැවෙන ගිනිදැල් සහිත විශාල යකඩ අවියක් රැගෙන අම්බට්ඨට පෙනෙන ආකාරයට ඉහළ අහසේ වජිරපාණි යක්ෂයාගේ පෙනී සිටීම සිදුවිය. අම්බට්ඨ තවදුරටත් පිළිතුරු නොදුනහොත් ඔහුගේ හිස සත්කඩකට පළන බව වජිරපාණි ප්‍රකාශ කළේය.
මෙම පෙනී සිටීම බුදුරජාණන් වහන්සේටත් අම්බට්ඨටත් පමණක් දර්ශනය වූ බව කියැවේ. වජිරපාණි යක්ෂයාගේ පැමිණීමෙන් දැඩි ලෙස බියට පත් අම්බට්ඨ, බුදුරජාණන් වහන්සේ වෙතින් රැකවරණය පතා, “භගවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ පැවසූ ආකාරයටම මමත් අසා තිබෙනවා” යැයි කියමින් ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය. උගත්කමට විනීතකම එක්විය යුතු බවත්, අන් අය පහත් නොකළ යුතු බවත්, තම මතයට පටහැනි වූවත් සත්‍යයට මුහුණ දිය යුතු බවත් මෙම සූත්‍ර කතාවෙන් දෙන පාඩමයි.
මූල සූත්‍රය වන අම්බට්ඨ සූත්‍රයේ “වජිරපාණි යක්ෂයා” ලෙස හැඳින්වෙන ඒ භයංකර චරිතය සක් දෙවියන් බව හඳුන්වා දෙන්නේ අටුවාවයි. ත්‍රිපිටකයේ සඳහන් වන ප්‍රධාන දේශනා සම්බන්ධ පැරණි අර්ථ විවරණ ඇතුළත් වන්නේ අටුවාවලය. දීඝනිකායට අදාළ සුමංගලවිලාසිනී අටුවාවේ එන පැහැදිලි කිරීමට අනුව අම්බට්ඨ සූත්‍රයේ සඳහන් වජිරපාණි යනු සාමාන්‍ය යක්ෂයකු නොව සක් දෙවියන්ය.
“වජිරපාණි” යන නාමයේ සරල අර්ථය “අතෙහි වජ්ර අවියක් ඇති තැනැත්තා” යන්නයි. ඒ අනුව සක් දෙවියන් එම අවස්ථාවට ගැළපෙන ලෙස විශාල හිසක්, කැපී පෙනෙන දළ, බිය උපදවන ඇස් හා නාසයක් සහිත බියකරු යක්ෂ රූපයක් මවාගෙන, ගිනි පැහැයෙන් දිලිසෙන දැවැන්ත වජ්ර අවිය දරාගෙන පෙනී සිටි බව සුමංගලවිලාසිනී අටුවාවෙන් පැහැදිලි කෙරේ. පාලි භාෂාවෙන් වජිරපාණි / වජිරපාණී ලෙසත්, සංස්කෘතයෙන් වජ්රපාණි ලෙසත් මෙය හමුවන අතර, උච්චාරණය “ව-ජි-ර-පා-ණි” යන්නයි.
වජිරපාණි යක්ෂයාගේ තවත් පෙනී සිටීමක් මජ්ඣිමනිකායේ, මූලපණ්ණාසකයේ, මහායමකවග්ගයට අයත් චූලසච්චක සූත්‍රයේ දැක්වෙයි. විශාලා මහනුවර විසූ සච්චක නිගණ්ඨපුත්රයා වාද විවාද කිරීමට දක්ෂ, තම වාද ශක්තිය ගැන මහත් මානයෙන් සිටි අයෙකි. සච්චක දිනක් අස්සජි තෙරුන් හමුවී බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම විමසූ විට පංචස්කන්ධයේ අනිත්‍ය හා අනාත්ම ස්වභාවය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් ලැබිණි. එයට එකඟ නොවූ සච්චක, තවත් ලිච්ඡවීන් පන්සියයක් පමණ සමඟ බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියේය.
බුදුන් වහන්සේ සමඟ කෙරුණු වාදයේදී සච්චකගේ අදහස වූයේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය තම ආත්මය බවයි. බුදුරජාණන් වහන්සේ පළමුව රජකුට තම රාජ්‍යය තුළ බලය පැවැත්විය හැකිදැයි විමසූ විට සච්චක එය අනුමත කළේය. අනතුරුව, “ඔබ රූපය ඔබගේ ආත්මය යැයි කියනවා නම් එය ඔබගේ කැමැත්තට පාලනය කළ හැකි ද?” යි බුදුන් වහන්සේ විමසූ ප්රශ්නය හමුවේ පළමු හා දෙවැනි වර සච්චක නිහඬ විය.
එවිට බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර විමසන ප්‍රශ්නයට පිළිතුරු නොදෙන්නාගේ ඉරණම ගැන වදාළ සේක. “එකල්හි වජිරපාණි යක්ෂයා, දැවෙන, හොඳින් ගිනිගෙන බැබළෙන යකඩ වජ්රයක් රැගෙන සච්චක නිගණ්ඨපුත්රයාට ඉහළ අහසේ සිටියේය” යි චූළසච්චක සූත්‍රයේ දැක්වෙයි.
මජ්ඣිමනිකායේ කරුණු විවරණය කරන පපඤ්චසූදනී අටුවාව “අතෙහි වජ්රයක් ඇති බැවින් වජිරපාණි නම් වේ” යන්න දක්වමින්, “යක්ඛෝති න යෝ වා සෝ වා යක්ඛෝ, සක්කෝ දේවරාජාති වේදිතබ්බෝ” (මෙහි යක්ෂයා යනු සාමාන්‍ය යක්ෂයකු නොව සක් දෙව් රජු ලෙස දැනගත යුතුය) යි පැහැදිලි කරයි. සක් දෙව් රජු මෙලෙස භයානක රූපයක් මවාගෙන පැමිණියේ සච්චකගේ වැරදි දෘෂ්ටිය අත්හැරවීම සඳහා බව අටුවාව වැඩිදුරටත් පහදා දෙයි.
ඒ අනුව ත්‍රිපිටකයේ එන අම්බට්ඨ සූත්‍රය සහ චූලසච්චක සූත්‍රය යන අවස්ථා දෙකේදීම බුදුන් වහන්සේ හමුවේ සත්‍ය ප්‍රකාශ කිරීමට බල කිරීම සඳහා හිස සත්කඩකට පැළීමේ තර්ජනය සමඟින් මෙලෙස පෙනී සිට ඇත්තේ, යක්ෂ වේශයක් මවාගත් ශක්‍ර දේවේන්ද්‍රයා බව පැහැදිලි වේ.
බුදුන් වැඩ සිටි කාලය දක්වා දිවයන දීර්ඝ ඉතිහාසයක් ඇති යක්ෂ රාජ වජිරපාණි චරිතය, නූතනයේ පද්‍ය රචනාවක් ලෙස ඔබ හමුවට පැමිණ තිබේ. ඉන් රැගෙන එන පණිවිඩය වන්නේ, ධර්මය සහ ධර්මය රකින්නාවූ ඔබ සැම තනිවී නොමැති බව විය හැකිය.
නයනී තමාරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd