වයසට ගියත් තරුණ පෙනුම රැකගන්න ඇත්නම්, මුහුණේ රැලි මකා දමා සම පැහැපත් කරගන්න ඇත්නම්, කොණ්ඩය යෑම නවතා හිසකෙස්වල සුන්දරත්වය රැකගන්න ඇත්නම්, තමන්ගේ පෙනුමට බාධාවක් වී ඇති ලප කැළැල්, කුරුලෑ හෝ වෙනත් අඩුපාඩු නිවැරදි කරගන්න ඇත්නම් කවුද අකමැති? අද රූපලාවණ්‍ය වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇති තරමට එවැනි බලාපොරොත්තු ඉටු කරගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම රාශියක් තිබුණත්, සමාජ මාධ්‍ය ඔස්සේ දකින ක්ෂණිකව ලස්සන විය හැකි බවට කෙරෙන ප්‍රචාර සහ අන් අය අනුගමනය කිරීමේ රැල්ල හමුවේ ඇතැම් දෙනා මේ ප්‍රතිකාරවලට යොමුවන්නේ ඒවායේ වෛද්‍යමය පසුබිම, අවදානම් සහ තමන්ට ඒවා සුදුසු ද යන්න පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරවයි.

විශේෂයෙන් හිසකෙස්වලට, සමට, ඇද වෙච්ච නහයට, ඉස්සරහට ආපු බඩට, කුරුලෑවලට, ලප කැළැල්වලට ස්ථිර විසඳුම් දෙන, ලංකාවේ මේ වන විට ඉතාම ජනප්‍රිය රූපලාවණ්‍ය වෛද්‍ය ප්‍රතිකර්මවලින් ලස්සන වෙන්න හිතෙන අයAesthetic Medicine  ගැන හරියට දැනගෙන යන්න.

මේ ඒ වෙනුවෙන් රූප අලංකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂිත පුහුණුව ලත්, ශ්‍රී ලංකා රූප අලංකරණ වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නුවන් කුමාර විජේතුංග සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.

Aesthetic Medicine   යනු පුද්ගලයකුගේ බාහිර පෙනුම, සමේ ස්වභාවය සහ තරුණ බව සුරැකීම හෝ වැඩිදියුණු කිරීම සඳහා සිදු කරනු ලබන ආක්‍රමණශීලී නොවන හෝ අවම ආක්‍රමණශීලී වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන් ඇතුළත් නූතන වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී ක්ෂේත්‍රයකි. රූපාලංකරණය සහ සෞන්දර්ය වෛද්‍ය විද්‍යාව අද වන විට ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අතිශයින් ජනප්‍රිය ක්ෂේත්‍රයක් බවට පත්ව තිබේ. එහෙත්, මෙම වටිනා වෛද්‍ය විද්‍යාව මුදල් ඉපයීමේ පහසු මාර්ගයක් කරගත් නුසුදුසු පුද්ගලයන් සහ රූපලාවන්‍යාගාර නිසා අද වන විට ජන ජීවිත මෙන්ම සමේ සෞඛ්‍යය ද දැඩි අවදානමකට ලක්ව ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල මෙවැනි සුදුසුකම් නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් 40,000කට අධික පිරිසක් රට පුරා සිටින අතර අද වන විට ශ්‍රී ලංකාව පුරා ”‍Aesthetic Clinics ”‍ හෝ ”‍Beauty Salons ” නමින් පෙනී සිටිමින්, කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති පුද්ගලයන් බොටොක්ස් (Botox ), ඩර්මල් ෆිලර්ස් (Fillers ), ලේසර් ප්‍රතිකාර සහ විවිධ සුදු කිරීමේ (Whitening ) එන්නත් කෙමිකල් පීලින් ශරීරයට ඇතුළු කිරීම බහුලව සිදු කරනු ලබයි.

ඒස්තටික් වෛද්‍යවරයකු විය හැක්කේ  බටහිර වෛද්‍ය උපාධියක් තිබෙන වෛද්‍යවරයකුට පමණයි.

“විශේෂයෙන් Aesthetic Medicine  ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධව කතා කිරීම. ඊට කලින් මිනිස්සු මේ දිහා බැලු‍‍වේ හරිම අසාමාන්‍ය දෙයක් විදිහට. හොලිවුඩ් සහ බොලිවුඩ්වල නළු නිළියන් රූපය වෙනස් කරනවා කිව්වාම ගොඩාක් මිනිස්සුන්ගේ ඔළුවල තිබුණේ රූපය ලස්සන කරගන්න ප්ලාස්ටික් ශල්‍යකර්ම කරන්න ඕන කියලා. මේ වෙනකොට ශල්‍යකර්ම නැතුව රූපය ලස්සන කරගන්නAesthetic Medicine  කියන දේ මිනිස්සු අතර ඉතා ශීඝ්‍ර ලෙස පැතිරිලා තියෙනවා.

රූපාලංකරණය පිළිබඳ මූලික සංකල්පය හුදෙක් නූතන විලාසිතාවක් නොවෙයි, අතිශය දිගු ඉතිහාසයක් හිමි විද්‍යාවක්. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී (බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ) ඉන්දියාවේ ‘සුශ්‍රුතා‘ වෛද්‍යවරයා විසින් නාසයේ ඇදවීම් නිවැරදි කිරීමේ රයිනොප්ලාස්ටි ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. පසුකාලීනව ඊජිප්තුවේ ක්ලියෝපැට්රා ලැක්ටික් අම්ලය අඩංගු කිරිවලින් ස්නානය කිරීම සහ විවිධ ජලාශවලින් ගන්නා ස්වභාවික ප්‍රතිඔක්සිකාරක මඩ වර්ග පලතුරු යුෂ සමඟ මිශ්‍ර කර භාවිත කිරීම අද භාවිතා කරන රසායනික පීල් සහ පැක්වල මුල් අවධිය ලෙස සලකන්න පුළුවන්.

19 වැනි සියවසේ අග භාගයේ කෙමිකල් පීල්, ෆීනෝල් පීල් සහ මේද බද්ධ කිරීමේ පර්‌යේෂණ ආරම්භ වූ බවටත්, 1970-80 දශකවල ප්‍රංශ ජාතික වෛද්‍යවරුන් මඟින් ශල්‍යකර්මවලින් තොර Minimally Invasive  එන්නත් සහ ලේසර් ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී තිබෙන බවටත් සාක්ෂි තිබෙනවා. පළමු ලෝක යුද්ධය, දෙවැනි ලෝක යුද්ධ කාලයේදී ගොඩාක් අනතුරු සිදු වීමත් එක්ක තුවාල වුණු සොල්දාදුවන්ගේ මුහුණු, අත්පා හදන්න Minimally Invasive , කෙමිකල් පීල් වැනි දේවල් භාවිත වෙලා තියෙනවා. නමුත් නූතනAesthetic Medicine ආරම්භ වන්නේ 1970-1980 ප්‍රංශ ජාතික වෛද්‍යවරුන් විසින්. එතනින් පසු 1990 දශකයේ ඇමෙරිකානු එ්ස්තටික් වෛද්‍ය විද්‍යා ඇකඩමිය පිහිටුවීමත් සමඟ මෙය ගෝලීයව වෛද්‍ය විද්‍යාවක ස්වරූපය ගන්නවා. එතැන් පටන් මේ වෙනකොට ලෝකයේ සෑම රටකමAesthetic  වෛද්‍යවරුන් දහස් ගණනින් දියුණු තාක්ෂණය සමඟ කටයුතු කරනවා.”

Aesthetic Medicine  කියන්නේ මොකක් ද?

“රූපාලංකාරක වෛද්‍ය ක්‍රමය කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රම මඟින් හිසේ සිට පාදාන්තය දක්වාම හැඩැති රුවක්, හැඩැති සිරුරක් සඳහා වන සියලු‍‍ම සත්කාර කරනු ලබන ක්‍රමවේදයක්. රූපය ලස්සන කරන ක්‍රම බොහොමයක් තිබුණත් Aesthetic Medicine  වලින් කෙරෙන්නේ කෙනෙකුගේ බාහිර රූපය ශල්‍යකර්ම නොකර බාහිරින් ලස්සන කිරීමක්. ඒ වගේම මෙය ප්‍රතිකාර රැසක එකතුවක්. එන්නත්, ඖෂධ, සම සඳහා වන සත්කාර, පෝෂණය, හිසකෙස් සිටුවීම, හිසකෙස් නැවත වැවීම, ලේසර් ප්‍රතිකාර, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත  නොයෙකුත් ප්‍රතිකාර ක්‍රමවේදයන් මීට ඇතුළත් වෙනවා. කුරුලෑ එන එක නතර කරන්න, ගැලවී යන හිසකෙස්වලට, පිග්මන්ටේෂන් තත්ත්වය නැති කරන්න, මූණේ හැඩය හදන්න, අවලස්සන නහය, ලිප්ස්, නිකට, කම්මුල් සහ බොඩි එක ක්‍රමානුකූලව හදාගන්න, පියයුරු, බැක් එක, හිප් එක මේ දේවල් විශාල කරන්න වගේම පුංචි කරගන්නත් මෙම ප්‍රතිකර්ම හරහා හැකියාව තිබෙනවා. සරලවම රූපලාවන්‍ය සහ ශල්‍යකර්ම අතරමැද තියෙන කොටසක් ලෙස මෙම ප්‍රතිකර්ම ක්‍රමවේදය හඳුන්වන්න පුළුවන්.”

ශල්‍යකර්ම සිදු නොවුණත් එන්නත් හරහා කරන ප්‍රතිකර්ම රැසක්

Botox, Face Fillers, Body Fillers, PRP  වැනි ප්‍රතිකර්ම සිදු කෙරෙන්නේ එන්නත් හරහා. ඒ වගේම Aesthetic Medicine  ක්‍රමය තුළ ලේසර් ප්‍රතිකර්ම ගණනාවකුත් තිබෙනවා. සීඕටූ ලේසර්, කාබන්ඩයොක්සයිඩ් ලේසර් මේ ලේසර් හරහා මුහුණේ තිබෙන පැල්ලම්, ස්කාර්ස් මකන්න වැනි දේවල් වගේම ටැටූ මකන්න, උපන් ලප මකන්න, කාන්තාවන්ගේ මුහුණේ අනවශ්‍ය විදිහට රෝම වැවෙනවා නම් ඒක පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම කෙමිකල් පීල්, PRP Microneedling  වැනි ප්‍රතිකර්මAesthetic Medicine   ලෙස අපි හඳුන්වනවා.”මේ වෙනකොට ලෝකයේ නවතම ප්‍රතිකාර ක්‍රම 75-100 අතර ප්‍රමාණයක් දැනට තිබෙනවා.

ඒස්තටික් වෛද්‍ය විද්‍යාව කියන්නේ හුදෙක් බාහිරින් කරන ආලේපන ගැල්වීමක් නොවෙයි. එහිදී ජීව රසායන විද්‍යාව, ඖෂධවේදය, මානව ශරීර විද්‍යාව සහ සංකීර්ණ කළමනාකරණය පිළිබඳ ගැඹුරු වෛද්‍ය දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා. Aesthetic Medicine  ක්ලිනික් එකක් පවත්වාගෙන යන්න හෝ Aesthetic Medicine  සම්බන්ධ වෛද්‍යවරයකු වීමට අනිවාර්යෙන්ම ඔහු හෝ ඇය බටහිර වෛද්‍ය උපාධිය (MBBS) ලැබිය යුතු වෙනවා. ඒ වගේම උපාධිය ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය උපාධියෙන් පසු මෙරට සීමාවාසික පුහුණුව අනිවාර්‌යෙන් ලබාගත යුතු වෙනවා. ඒ වගේම ඒ සීමාවාසික කාලය තුළ කටු ගැසීම, ශල්‍යකර්ම සහ ඉන්ජෙක්ටබල්ස් ලබා දීම පිළිබඳව පූර්ණ ප්‍රායෝගික පුහුණුව ලැබූවකු වීමෙන් පසුව තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචි වීමට ඔහුට හෝ ඇයට අවස්ථාව ලැබෙන්නේ.

MBBS වෛද්‍යවරයකු ලෙස සීමාවාසික පුහුණුවෙන් පසු, පශ්චාත් උපාධි මට්ටමින් පමණයි රූපාලංකරණ වෛද්‍ය විද්‍යා පිළිබඳ අධ්‍යපනික දැනුම ලබාගත හැක්කේ .  මෙය ඩිප්ලෝමා වශයෙන් සහ වර්තමානයේ ”‍Fellowship ”‍ පාඨමාලා වශයෙනුත් පැවැත්වෙනවා. Fellowship in Aesthetic Medicine හෝ Fellowship in Facial Aesthetics & Cosmetology වැනි උසස් පාඨමාලා තියෙනවා. හරි ක්‍රමවේදය අනුව ඒස්තටික් මෙඩිසින් ඉගෙන ගන්නවා නම් ඊට අවස්ථාව තිබෙඅන්නේත් ලංකාවෙන් පිටත පමණයි.පාඨමාලාවක් කළ පමණින් වෛද්‍යවරයකුට වුණත් මෙඩිකල් ක්ලිනික් එකක් පවත්වාගෙන යාමට නීතිමය අයිතියක් නැහැ. වෛද්‍යවරයෙක් වුණත්  ඔහු හෝ ඇය රෑපලාංකරණය පිළිබඳ හදාරා  ක්ලිනික් එකක් ලෙස පවත්වාගෙන යාහැක්කේ ඒ පිළිබඳ ප්‍රවීණ වෛද්‍යවරයකු යටතේ වසර දෙකකවත්  සීමාවාසිකව පුහුණුවකින් පසුවයි.

“ඒ වගේම වසරකට වැඩි කාලයක් ප්‍රායෝගික පුහුණුවක් ලබා  ශ්‍රී ලංකා එ්ස්තටික් වෛද්‍යවරුන්ගේ සංගමය මඟින් පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන අයකුට පමණයි පූර්ණ ලියාපදිංචිය යටතේ ක්ලිනික් එකක් පවත්වාගෙන යා හැක්කේ. දැනට නියම ආකාරයට සුදුසුකම් සපුරා ඇති ඒස්තටික් වෛද්‍යවරු ඉන්නේ ලංකාවටම 50-60 අතර පිරිසක්. ඒ අතර චර්ම රෝග විශේෂඥවෛද්‍යවරු 100 කට අධික ප්‍රමාණයක් ඉන්නවා.  ලොකුම කනගාටුව තමයි මිනිස්සු සෝෂල් මීඩියා, ටික්ටොක් වීඩියෝ දැකලා රැවටිලා යනවා මිසක් ලංකාවේ මිනිස්සුන්ට නිවැරදි සුදුසුකම් ලත් වෛද්‍යවරයා තෝරාගැනීමේ දැනුමක් තාම පෙනෙන්න නැහැ. 

ලංකාවේ ඇතැම් පෞද්ගලික ආයතන සහ සැලෝන් ජාල විසින් රජයේ කිසිදු වෛද්‍ය නියාමනයක් නොමැතිව, සති අන්තයේ හෝ මාස කිහිපයක එහෙම නැත්නම් දින තුන හතරේ  ”‍රූපලාවණ්‍ය Fellowship ” සහතික පත්‍ර පාඨමාලා පවත්වනවා. මේ වන විට සාමාන්‍ය රූපලාවණ්‍ය ශිල්පීන් හෝ ආයුර්වේද වෛද්‍යවරුන් සහ කිසිදු වෛද්‍ය පසුබිමක් නැති අය රුපියල් ලක්ෂ ගණන් ලබා දීලා මෙම පාඨමාලා හදාරලා, තමන්ට ”‍Fellowship ”‍ සහතිකයක් ඇතැයි කියා එන්නත් විදීම Botox/Fillers වැනි ප්‍රතිකර්ම සිදුකරමින් මෙඩිකල් ක්ලිනික් ලෙස සායන පවත්වාගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වන විට ඉන්දියාව, ඩුබායි, තායිලන්තය, චීනය වැනි රටවලින් ද ව්‍යාජ රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හොර ඩිප්ලෝමා සහතික නිකුත් කිරීමේ ජාවාරමක් ද සිදුකෙරෙමින් පවතිනවා. ඒ සහතික අරගෙන මෙඩිකල් සෙන්ටර් පවත්වාගෙන ගිය පුද්ගලයන් කිහිප දෙනකුටම මේ වෙනකොට නීතිමය කටයුතු ආරම්භ කරලා තියෙනවා.”

“අනිවාර්යයෙන් මේ පාඨමාලා හැදෑරිය හැක්කේ බටහිර වෛද්‍යවරයකුට පමණයි.  වගේම එම වෛද්‍යවරු ඕනෑම වෛද්‍ය අධ්‍යාපනයක් හදාරනවා නම් ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව මෙඩිකල් කවුන්සිලය දැනුවත් කළ යුතුමයි. මොනම පෞද්ගලික ආයතනයකින් හෝ ”‍Fellowship ” සහතිකයක් ලබා ගත්තත්, මූලික බටහිර වෛද්‍ය උපාධියක් නොමැති නම් මිනිස් සිරුරකට ආක්‍රමණශීලී වෛද්‍ය ප්‍රතිකාර කිරීම බරපතළ නීති විරෝධී ක්‍රියාවක්.

NVQ මට්ටමේ රූපලාවණ්‍ය පාඨමාලා මඟින් කළ හැක්කේ බාහිර ආලේපන, ෆෙෂල් ක්ලීනප් වැනි දේවල් පමණයි. සමහර සැලෝන්වල පියසින් කරනවා (නහය, කන විදින ඒවා). මේවා සෝෂල් මීඩියාවලත් දානවා. පියසින් වගේම රූපලාවණ්‍යාගාරවල Botox, PRP, Laser කරන්න, සම පීල් කරන්න වැනි දේවල්වලට නීතිමය සුදුසුකමක් සහ අයිතියක් නැහැ.”

රූපාලංකරණ ක්ලිනික් සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් නියාමනයන්  නොගත්තොත්  මහා විනාශයන් සිදු විය හැකියි

ඒ වගේම තමයි සමේ බාහිර ආරක්ෂිත ස්තරය ආශ්‍රිත සරල සත්කාර හැර, ආයුර්වේද වෛද්‍යවරුන්ට, හෝමියෝපති වෛද්‍යවරුන්ට හෝ කිසිදු වෛද්‍ය සුදුසුකමක් නැති රූපලාවණ්‍ය ශිල්පීන්ට කටු ගැසීම, මයික්‍රෝ නීඩ්ලින් (Microneedling), ඉන්ජෙක්ටබල්ස් (Injectables), ෆිලර්ස්, බොටොක්ස්  හෝ පීආර්පී වැනි ආක්‍රමණශීලී ප්‍රතිකාර සිදුකිරීමට කිසිදු අයිතියක් හෝ අවසරයක් නැහැ.”

“මේ වෙනකොට ආයුර්වේද වෛද්‍යවරියන් කිහිප දෙනෙකුත් ස්කින් ක්ලිනික් කියලා මෙඩිකල් සෙන්ටර්  සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය ලබාගෙන කරගෙන යනවා. ඒ අය මේ මාෆියාව සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරගන්න යොදාගන්නේ ලංකාවේ ප්‍රසිද්ධ චරිත. සමහර නළු නිළියෝ ඉන්නවා සුදුසුකම් නැති ක්ලිනික්වලින් ප්‍රතිකර්ම කරගෙන මූණු ඉදිමගෙන , ලේසර් කරන්න ගිහින් අතපය කළු කරගෙන ඉන්න.

ඒ නිසා මම පැහැදිලිව කියනවා ආයුර්වේද වෛද්‍යවරුන්ට මේ ඒස්තටික් වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ කිසිම අයිතියක් සහ සුදුසුකමක් නැහැ. කෙනෙකුගේ සමේ බැරියර් එක කැඩුවොත් ඒක විශාල අපරාධයක්. ආයුර්වේද වෛද්‍යවරුන්ට එන්නත් මඟින් කරන ප්‍රතිකර්ම ඔවුන්ට මූලික උපාධිය තුළදී උගන්වන්නේ නැහැ. මේ දේවල් කරනවා නම් අනිවාර්‌යෙන් ඒ අයට මූලික උපාධියේදී එන්නත්කරණය ගැන පුහුණුවක් තිබිය යුතුමයි. 

“ඔවුන්ට එය සිදු කරන්න අයිතියක් සහ දැනුමක් නැහැ කියන්නේ අපි තරහකට නෙමෙයි. එහි තියෙන බරපතලකම බොහෝ දෙනා දන්නේ නැහැ. මේ ඒස්තටික් මෙඩිසින් හරහා අපි සෙල්ලම් කරන්නේ කෙනෙකුගේ සම සහ ශරීරය එක්ක. සම කඩන ඕනෑම අවස්ථාවක විශබීජ ශරීරගත වීම්, ඇලජි තත්ත්වයන් ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඒ අවස්ථාවකදී විෂබීජ පාලනය කරන්න ආයුර්වේද වෛද්‍යවරයකුට බටහිර බෙහෙත් ලියන්න අයිතියක් තියෙනවාද, දැනුමක් තියෙනවා ද? නැහැ.

එවැනි ඇලජි එකක් වූ අවස්ථාවක තත්පර කිහිපයක් තුළ එය සමනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. හදිසි අනතුරක් හෝ දැඩි අසාත්මිකතාවක් ආවොත් එය පාලනය කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ හෝ දැනුම බොහෝ ප්‍රසිද්ධයි කියන රූපලාවණ්‍ය ක්ලිනික්වල නැහැ. ලංකාවේ මෙවැනි තැන්වලින් එන්නත් විදීම නිසා රෝගීන් මියගිය අවස්ථා පවා තිබෙනවා.”

ආයුර්වේද වෛද්‍යවරුන් හෝ වෙනත් වෛද්‍ය නොවන පාර්ශ්වයන් එස්තටික් වෛද්‍ය විද්‍යාවට අයත් ප්‍රතිකාර (කටු ගැසීම, එන්නත් කිරීම ආදී) සම්පූර්ණයෙන්ම නීති විරෝධී ලෙස රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකර්ම කරන ක්ලිනික් ලෙස පවත්වාගෙන යන ස්ථාන ගැන තොරතුරු දැන දැනත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අත යටින් මුදල් ලබාගෙන  නිශ්ශබ්දව ඉන්නවා. සමහර ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා රජයේ ඉහළ තනතුරු දරන අයට අත යටින් සල්ලි දීලා බලය පතුරුවගෙන මේ ක්ලිනික් පවත්වාගෙන යන.

ඒස්තටික් මෙඩිසින් කියන්නේ සාමාන්‍ය ෆෙෂල් එකකින් එහාට ගිය දෙයක්. කෙනෙකුගේ මුහුණට දෙයක් කරන්න තීරණය කරන්නේම වෛද්‍ය විද්‍යාත්මක දැනුමත් එක්ක ඇනලයිස් කරලා. ඊට පස්සේ අපි හඳුනාගන්න ඕන උඩ ස්තරයේ සහ යට ස්තරයේ තියෙන ගැටලු‍‍. ඉන් අනතුරුව තමයි කළ යුතු ප්‍රතිකර්මය තීරණය කරන්න ඕන.  කෙමිකල් සමේ තියෙන්න ඕන කාලය, එන්නත් ගැන නිසි දැනුමක් නැති වුණොත් අපේ සේවාදායකයාගේ ජීවිතයට අවදානමක් විය හැකියි.

රූපාලංකරණ විද්‍යාව තුළ කෙමිකල් වර්ග තිහකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මයික්‍රොඩර්මා ෆෙෂල් එකක් වුණත් සමට කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවා. ලේසර් වුණත් දැනුමක් නැති කෙනෙක් කළොත් සම ඇතුළට පිච්චිලා කොලජන් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රතිකර්ම කොතැනක හරි වැරදුණොත් මුහුණේ හකු බැහැපු ස්වභාවයක් ඇති විය හැකියි. 

වංචනික රූපාලංකරණ වෛද්‍යවරුන්ගෙන් බේරෙන්නේ කොහොමද?

“ඔබ ඒස්තටික් වෛද්‍යවරයකු ළඟට යනවා නම් ඔබ ප්‍රතිකාර ලබාගැනීමට යන වෛද්‍යවරයාගේ ලියාපදිංචි අංකය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC ) නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඔහු/ඇය ලියාපදිංචි සහ සක්‍රීය වෛද්‍යවරයෙක්දැයි බැලිය යුතුයි. ඕනෑම වෛද්‍යවරයෙක් ව්‍යාජ වෛද්‍යවරයකු ද නැද්ද යන්න එමඟින් දැනගැනීමේ හැකියාව පවතිනවා.

ඒ වගේම  ශ්‍රී ලංකා ඒස්තටික් වෛද්‍යවරුන්ගේ සංගමයේ පූර්ණ සාමාජිකයෙක් ද කියලා එහි සාමාජිකත්වය දරන අයගේ තොරතුරු වෙබ් සයිට් එකෙනුත් දිස්ත්‍රික්ක වශයෙන් ඉන්න ඒස්තටික් වෛද්‍යවරු සොයාගැනීමේ හැකියාව තිබෙනවා.

කිසිදු දැනුමක් නැතුව, පිරිසිදුකමක් නැතුව සිදුකරන මෙම ප්‍රතිකර්ම අතරතුරදී සමාජ රෝග පවා කෙනෙකුට රුධිරගත වීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් මයික්‍රෝනීඩ්ලින්, පීආර්පී වැනි ප්‍රතිකර්මවලට යොදාගන්න කටු නැවත උණු වතුරෙන් තම්බලා ගන්න ක්ලිනික් ලංකාව තුළ තියෙනවා. ඒ තුළින් සමාජ රෝග ඇති වීමේ අවදානම වැඩියි. වගේම විශාල සෞඛ්‍ය ගැටලු‍‍ රැසකටත් මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්. ඔබ රූපය තවත් ලස්සන කරගන්න යන ගමනේ හරි තැනකට නොගියහොත් තියෙන රූපයත් විනාශ විය හැකි නිසා හරි තැනක් තෝරාගැනීම සේවාදායකයා සතු වගකීමක් වෙනවා.”

වර්තමානයේ ඇතැම් නීති විරෝධී ක්ලිනික් සහ සැලෝන් විසින්  AIතාක්ෂණයෙන් ව්‍යාජ Before / After  (පෙර සහ පසු) ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල මුදාහරිමින් අහිංසක ජනතාව මුළා කිරීම සීඝ්‍රයෙන් පැතිර යමින් තියෙනවා. කිසිදු වෛද්‍ය ප්‍රමිතියකින් තොරව, මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන මෙම ජාවාරම්කරුවන් නිසා විනාශ වෙලා යන්නේ අහිංසක මිනිසුන්ගේ මුහුණු සහ සම. 

සුදුසුකම් නැති අයගෙන් ප්‍රතිකාර ගැනීමෙන් සම සහ ශරීරය විකෘති වෙන්න පුළුවන්

“වැරදි ලෙස එන්නත් විදීම සහ ප්‍රමිතියෙන් තොර කෙමිකල් භාවිතය නිසා මුහුණ සහ සම සදහටම විකෘති වූ අවස්ථා ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඇස වටා ප්‍රදේශයේ රුධිර නාල පිහිටා ඇති ආකාරය නොදැන,  ෆිලර්ස් යෙදීම් නිසා රෝගීන්ගේ ඇස් අන්ධ වීම, ඇස් නොපෙනී යාම පවා සිදු වුණු අවස්ථා අපට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ශරීරයේ සමහර ස්ථාන වැක්ස් කිරීමේදී  පිලිස්සුණු අවස්ථා, එන්නත් ඩෝස් එක වැඩි වීමෙන් සම කළු වුණු අවස්ථා අපට වාර්තා වෙලා තියෙනවා. එසේම, සම කැඩී යාමෙන් සිදුවන ආසාදන හෝ හදිසි අසාත්මිකතා නිසා ජීවිතය අහිමි වූ අවස්ථා පවා තිබෙනවා. මෙම ප්‍රතිකර්ම  කෙමිකල් භාවිතයෙන් සිදු කෙරෙන නිසා Aesthetic Medicinවල තියෙන සමහර ප්‍රතිකර්ම වැරදි ආකාරයට සිදු කළහොත් අතුරු ආබාධ ඇති වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සමහර ප්‍රතිකර්ම සිදු කළාට පසුව කෑමට සුදුසු, නුසුදුසු කෑම වර්ග තිබෙනවා. උදාහරණයක් විදිහට ඩර්මා ෆිලර්, ෆෙස් ෆිලර් එකක් සිදු කළහොත් සති දෙකක් පමණ යනකම් මුහුදු ආහාර ගැනීම සුදුසු වන්නේ නැහැ. ප්‍රතිකර්ම සිදුකරන අවස්ථාවේ සේවාදායකයාව දැනුවත් කිරීමක් නොකර මුහුදු ආහාර ආහාරයට ගත්තොත් අතුරු ආබාධ ඇතිවිය හැකියි.”

එම නිසා වෛද්‍යවරයාගෙන් එස්තටික් පුහුණුව ලැබූ ස්ථානය සහ එස්තටික් වෛද්‍යවරුන්ගේ සංගමයේ පූර්ණ සාමාජිකයෙක් ද යන්න විමසා බලා, ලංකාවේ NMRA (National Medicines Regulatory Authority)  අනුමත කළ ඉහළම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පමණක් භාවිත කරන වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පමණක් යොමු වන්න.

රූපලාවණ්‍යාගාරයක මෙම ප්‍රතිකර්ම සිදු කළ හැකිද?

“සමහර අය ඉන්නවා කිසිම පාඨමාලාවක් හදාරලා නැතුව යූටියුබ් බලලා  නිවෙස් වල මේ ප්‍රතිකර්ම  කරගෙන යන .  Aesthetic ප්‍රතිකර්ම කිසිම වෙලාවක සැලෝන් එකක හෝ නිවසක සිදු කළ නොහැකියි. එයට අදාළ ප්‍රතිකර්ම සිදු කළ හැක්කේ ඒ සම්බන්ධව අධ්‍යාපනය ලත් බටහිර වෛද්‍යවරයකු ඇතුළු ඒ පිළිබඳ විශේ‍ෂ පුහුණුවක් දැනුමක් සහිත හෙද නිධාරින් ඖෂධවේදින් ඇතුළු රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂිත පුහුණුවක් ලැබූ විශේෂිත කාර්ය මණ්ඩලයකට පමණයි. රූපලාවණ්‍ය ශිල්පියකුට ඒ සම්බන්ධව දැනුමක්, ඒ ප්‍රතිකර්මවලට අවශ්‍ය උපකරණ, ඇලජි එකක් ආවොත් ක්‍රියාත්මක විය යුතු ආකාරයවත් දැනුවත්කමක් නොමැති නිසා සැලෝන්වල මෙම ප්‍රතිකර්ම සිදු කරනවා නම් එය සේවාදායකයාව ප්‍රශ්න ගොඩකට ඇද දැමීමක්.

ඒ වගේම තමයි ගොඩාක් අය මේ ප්‍රතිකාර ක්‍රමය සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාරත් සමඟ පටලවාගෙන ඉන්නවා. උණට, කැස්සට බෙහෙත් දෙන වෛද්‍ය මධ්‍යස්ථානයේAesthetic Medicine  ප්‍රතිකර්ම සිදු කළ නොහැකියි. Aesthetic Medicine  කියන්නේ වෙනස් ප්‍රතිකර්ම ක්‍රමයක්.

රුපාලංකරණ  වෛද්‍ය විද්‍යාව කියන්නේ සමාජයට මහත් යහපතක් කළ හැකි විද්‍යාවක්. ගින්දරෙන් පිලිස්සුණු කැළැල් , කුරුලෑ, වයසට ගිය පෙනුම නිසා , මුහුණේ අසමතුලිතතා , මේ දේවල් එක්ක සමාජයට මුහුණ දෙන්න බැරැව සමහර අය තරුණ වියේදීම විශාදය තත්ත්වයත් පත් වෙන අවස්ථා තියෙනවා. ඒ අයගේ ජීවිතය රිවස් කරන්න මේ රූපාලංකාර වෛද්‍ය විද්‍යාවට පුළුවන් ලංකාවේ සෑම රෝහලකම චර්ම රෝග විශේෂඥ සායන පවත්වනවා වගේම රූපාලංකරය විශේෂිත පුහුණු වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් සායන පැවැත්විය යුතුයි. නමුත් මේ වෛද්‍ය ක්‍රමය භාගෙට ඉගෙන ගත්ත අය සහ නුසුදුසු අය නිසා මේ විද්‍යාව  පිරිහිලා තියෙනවා. ඒ නිසා රූපාලංකරණය සම්බන්ධයෙන් සමාජමාධ්‍ය වල ප්‍රදර්ශනය කරන දැන්වීම් සහ ක්ලිනික් ගැන  නියාමය කිරිමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය සහ බලධාරින් සතුයි. 

නදීෂා අතුකෝරළ