වර්ෂා සමරසිංහ
ලොවපුරා වයස අවුරුදු 11 - 17 ත් අතර නව යොවුන්වියේ පසුවන්නන් ගෙන් හතරෙන් එකක් (මිලියන 240 කට ආසන්න ප්‍රමාණයක්) සතියේ කිසිදු දිනක අවම වශයෙන් මිනිත්තු 60ක හෝ ශාරීරික ක්‍රියාකාරකමක හෝ ව්‍යායාමයක නිරත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිකුත් කළ නවතම ගෝලීය වාර්තාවකින් හෙළි වේ.
රටවල් 140 ක් ආවරණය කරමින් තරුණ තරුණියන් ලක්ෂ 32කට අධික සංඛ්‍යාවක් ඇසුරෙන් සිදුකරන ලද මෙම පුළුල් සමීක්ෂණයේ තොරතුරු ‘The Lancet Global Health සඟරාව ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රකාශිත දත්තවලට අනුව, නව යොවුන්වියේ පසුවන්නන් සතියකට සාමාන්‍යයෙන් ශාරීරිකව සක්‍රියව සිටින්නේ දින 2 ක් වැනි කෙටි කාලයක් පමණක් වන අතර, සතියේ දින 7 පුරාම ප්‍රමාණවත් පරිදි ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වන්නේ සමස්ත පිරිසෙන් සියයට 14 ක් වැනි පහළ ප්රතිශතයකි.
පිරිමි ළමයින්ට සාපේක්ෂව ගැහැනු ළමයින් ශාරීරික ක්‍රියාකාරකම්වලින් ඈත් ව සිටීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගන්නා බව කියන එම වාර්තාව ලෝක මට්ටමින් ගැහැනු ළමයින්ගෙන් සියයට 28 ක් කිසිදු ශාරීරික ව්‍යායාමයක නිරත නොවන බවත් පිරිමි ළමයින් අතර එම අගය සියයට 22 ක් බවත් හෙළිකරයි. දිනපතා සක්‍රියව ව්‍යායාමවල යෙදෙන්නේ ගැහැනු ළමයින් සියයට 11 ක් සහ පිරිමි ළමයින් සියයට 17ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණක් බව ද එහි දැක්වේ.
මෙම තත්ත්වය සෑම කලාපයකම පාහේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව ද අදාළ වාර්තාව කියයි.
කුඩා කාලයේ සිටම ශාරීරිකව සක්‍රිය නොවීම සහ අක්‍රිය ජීවන රටාවන්ට හුරුවීම හේතුවෙන් ඉදිරියේ දී හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ විවිධ පිළිකා වැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානම දැඩි ලෙස ඉහළ යන බවද එය අනතුරු අඟවයි.
නිරෝගී අනාගත පරපුරක් උදෙසා යෞවනවියේ දී සක්‍රිය සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇතිකිරීම අතිශය තීරණාත්මක බව ද ඩිජිටල් තිර ඉදිරියේ වැඩි කාලයක් ගතකිරීම (Screen-Based Lifestyles) සුරක්ෂිත ක්‍රීඩාභූමි සහ ඇවිදීමේ මං තීරු නොමැතිකම, ප්‍රවාහන රටාවන් සහ සමාජයීය සීමාවන් මෙම අවදානම් තත්ත්වයට ප්‍රධාන ලෙස බලපා ඇති බව ද එහි සඳහන් ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් පෙන්වා දෙන්නේ, මෙයට විසඳුම ළමයින්ට දෝෂාරෝපණය කිරීම නොවන බවයි. ඒ වෙනුවට ළමයින්ට සහ යෞවනයන්ට පහසුවෙන් සහ ආරක්ෂිතව ඇවිදීමට, පාපැදි පැදීමට සහ ක්‍රීඩාවල නිරතවීමට හැකි පරිසරයක් පාසල්, මාර්ග සහ නගර ආශ්‍රිතව නිර්මාණය කළ යුතු බව ඔහු කියයි. ඒ අනුව අධ්‍යාපන, ප්‍රවාහන, නගර නිර්මාණ සහ ක්‍රීඩා යන අංශ එක්ව පාසල් මට්ටමින් සහ ප්‍රජා මට්ටමින් ශාරීරික ක්‍රියාකාරකම් දිරිගන්වන ජාතික ප්‍රතිපත්ති වහා සකස් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා සියලු රාජ්‍යයන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd