කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට ආණ්ඩු පක්ෂය කොන්දේසි පැනවීමත් සමග එම විශ්වාසභංගය විවාද කිරීම තවදුරටත් කල් ගියේය. විපක්ෂය එල්ල කළ චෝදනා කිහිපයක් අල්ලස් කොමිසමේ පරීක්ෂාවට ලක්ව ඇති හෙයින් අධිකරණ ක්‍රියාවලියක් වන එම තත්ත්වය නිසා පාර්ලිමේන්තුවේ දී එම චෝදනා ගැන කතා කළ නොහැකි බව ආණ්ඩුවේ මතය වේ. එනිසා එල්ල කළ චෝදනා යළිත් සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස ආණ්ඩු පක්ෂය පවසන අතර විපක්ෂය කියන්නේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස විශ්වාසභංග ගෙන ඒමට තමන් සූදානම් නොමැති බවය. 

නිදහසට පෙර සහ පසු පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ බොහෝ කථානායකවරු විපක්ෂයේද ගරු සැලකිලි මැද මැදහත්ව රාජකාරිය ඉටු කළහ. කිහිප දෙනෙක්  පමණක් විපක්ෂයේ විරෝධයට ලක්වූහ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ කථානායකවරයාගේ වගකීම ආණ්ඩු පක්ෂ හා විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැක දීමය. ඒ ඒ පක්ෂයට හිමි මන්ත්‍රී ආසන ප්‍රමාණය අනුව කාටත් සමව කතා කිරීමේ කාල වේලාව වෙන්කර දීමය. කථානායකවරයා පත්වන්නේ ආණ්ඩු පක්ෂයෙන් වුවද සියලු මන්ත්‍රීවරුන්ගේ සිත දිනාගෙන සභාව පාලනය කිරීම දක්ෂ කථානායකවරයකුගේ හැකියාවය. 

කථානායකවරයා පත්වන්නේ ආණ්ඩු පක්ෂයෙන් වුවත් විපක්ෂය ද ඔහුට ගරු කිරීම පොදු සම්මතය වෙයි. තමාගේ පක්ෂය වන ආණ්ඩු පක්ෂය අතහැර සභාව මෙහෙයවන විට ස්වාධීනවීම කථානායකවරයාගේ ද යුතුකමය. ඇතැම් මන්ත්‍රීවරු කථානායකගෙන් තමන්ගේ කතාවට ඉඩ නොලැබෙන විට ආවේගශීලී වෙති. හිටපු ජනාධිපති ජේ.ආර්. විපක්ෂයේ සිටිය දී එවැනි අවස්ථාවක් ගැන අවසන් සමයේ ජේ.ආර්. ගේ ලේකම්වරයා වූ ප්‍රේමතිලක මාපිටිගම සටහන් කර ඇත්තේ මෙපරිදිය. 

විරුද්ධ පක්ෂයේ සිටින විට වරක් ජේ.ආර්. සහ කථානායකවරයා අතර පොඩි හැප්පීමක් විය. සාමාන්‍යයෙන් නිවී සැනසිල්ලේ සිටින ජේ.ආර්. කවුරුත් පුදුම කරවමින් කථානායකවරයාට ‘පිස්සා..., පිස්සා...’ යැයි කීවේය. ජේ. ආර්. ගේ කතාව කථානායකවරයාව සිටි ස්ටැන්ලි තිලකරත්නට කෝපය ගෙන දෙන්නකට වඩා නින්දා අපහාස ගෙන දෙන්නක්  ලෙස දැනිණි. සෑම මන්ත්‍රීවරයකුම කථානායක ආසනයට ගෞරව කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය. මොහොතකින් සිය අසුනෙන් නැගී සිටි ජේ.ආර්. ‘මට සමා වෙන්න’ යැයි බැගෑපත් ලෙස සභාවෙන් ඉල්ලා සිටියේය. ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සාමාජිකයකුගේ ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාව අනිකුත් තරුණ මන්ත්‍රීවරුන් ආදර්ශයට ගත යුතු යැයි කථානායකවරයා පෙන්වා දුන්නේය. 

කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ ඉතා ස්වල්පයකි. ඔහුගේ රාජකාරිය අනුන්ගේ කතා අසා සිටීමය. එවැනි අවස්ථාවක ජේ.ආර්. කළ සඳහනක් මාපිටිගම ඉතා රසවත්ව මෙසේ ලියා ඇත.

‘වරක් පාර්ලිමේන්තුවේ කතා නායකයා වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් සහ ජේ. ආර්. රැස්වීමක් ඇමතීමට ගියහ. දක්ෂ කථිකයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් සභාව අමතමින් දිගු කතාවක් කළේය. මෙම දිගු කතාවෙන් සභාව වෙහෙසට පත්ව සිටිනු ජේ.ආර්. දුටුවේය. කතා කරන්නට ඊළඟ වාරය ආවේ ජේ.ආර්ටය. 

“තමුන්නාන්සේලා සමාවන්නට ඕනෑ. කථානායකතුමා කරපු ඒ දිග කතාවෙන් වෙහෙසට පත්වීම ගැන. එතුමා කථානායක වුණාට පාර්ලිමේන්තුවේ දී එතුමාට වෙලා තියෙන්නේ අනිකුත් උදවිය කරන කතා අහගෙන ඉන්න. එහෙදී එතුමාට කතා කරන්නට ඉඩක් ලැබෙන්නේම නෑ. ඉතින් අවස්ථාවක් ලැබුණාම එතුමා ඒ අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන අරගෙන නතර කරවා ගන්නට බැරි තරමට කතා කරනවා. ජේ.ආර්. ගේ ඒ වචන ටික ඇසූ නිදිමතේ ඈණුම් අරිමින් සිටි තැනැත්තෝ කොක් හඬලා සිනා සෙන්නට වූහ.” 

විපක්ෂය කියා සිටින්නේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා වුවත් රට පාලනය කිරීමේ තීන්දු ගන්නේ පැලවත්ත ජවිපෙ සහ මාලිමා මූලස්ථානයෙන් බවය. 

පුද්ගලයන්ට අපහාස කරන වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම සඳහා කථානායකවරයාට බලතල ලැබෙන පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය වූයේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු සමයේ 1980 මාර්තු මාසයේය. 

ඒ අනුව සංශෝධනය වූ ස්ථාවර නියෝගවල මෙසේ සඳහන් වෙයි.

“අයුතු හෝ නොසැබි වූ නොනිසි වචන විවාදයේ දී පාවිච්චි කරන ලද බව කථානායකතුමාගේ මතය වන්නේ නම් එතුමාට සිය අභිමතය පරිදි එම වචන පාර්ලිමේන්තු විවාද නිල වාර්තාවෙන් (හැන්සාඩ්) ඉවත් කළ හැකිය. එවිට එම වචන නොකියවන ලද සේ සැලකිය යුතුය. එසේ නිල වාර්තාවෙන් ඉවත් කරන ලද වචන පුවත්පත්වල පවා පළ කළ නොහැකි වන අතර එසේ පළකර තිබුණහොත් එහි වගකීම පුවත්පත්වලටම පැවරෙනු ඇත...” 

1980දී මෙසේ කථානායකවරයාට විශේෂී බලයක් ලබාදීමට හේතු වූයේ 1977දී එජාප රජය ලැබූ හයෙන් පහක බලයත් සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමත් විපක්ෂය මන්ත්‍රී ආසන 20ට සීමාවීමත් නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂයට එරෙහිව විවිධ නොසරුප් වචනවලින් හා නොමනා වචනවලින් ඇමතීමය. මේ නිසා ලලිත් ඇතුලත්මුදලි වැනි එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම මත මන්ත්‍රීවරුන් වහරණ නොමනා වචන හැන්සාඩ් වාර්තාවෙන් කපා හැරෙන බලයක් කථානායකවරයාට ලබා දීමට ජයවර්ධන ජනාධිපතිවරයාට සිදුවිය. 

එසේ වුවත් මන්ත්‍රීවරුන්ගේ නොමනා වචන භාවිතය සීමා කිරීමට මෙම නීතියට ද නොහැකි විය. 

අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විපක්ෂනායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජයවර්ධන රජය 1981 දී ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී අමිතර්ලිංගම්ට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් භාවිත කළ වචන බොහොමයක් පාර්ලිමේන්තුවට නුසුදුසු නොමනා වචන විය. එම විවාදය ඇරඹීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් භාවිත කළ ඇතැම් වචන විපක්ෂයේ විරෝධය නිසා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ ද විවාදය ආරම්භ වූ පසු සමස්ත විපක්ෂයම පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගිය නිසා නොමනා වචනවලට විරෝධය පාන්නට කිසිවකුත් නොසිටියේය. එනිසා ආණ්ඩු පක්ෂය පාළු ගෙයි වළං බිඳිමින් විපක්ෂනායකවරයාට අරූ මූ වැනි වචන ද නිදහසේ පාවිච්චි කළේය. රත්නපුරේ ජී.වී. පුංචිනිලමේ, පොල්ගහවෙල සුනිල් රංජන් ජයකොඩි, පානදුරේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු වැනි එජාපයේ කටකාර මන්ත්‍රීවරුන් අමිර්තලිංගම් ද්‍රෝහියා, මිනීමරුවා වෙඩි තියා මරන්න ඕනෑ වැනි වචන එදින පාවිච්චි කළද එම වචන හැන්සාඩ් වාර්තාවෙන් කැපුණේ නැත. එයට හේතුව වූයේ එම වචන ඉවත් කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට විපක්ෂයේ කිසිවකුත් පාර්ලිමේන්තුවේ නොසිටීමය. බොහෝ අවස්ථාවල මන්ත්‍රීවරුන් වහරණ නොමනා වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කෙරෙන්නේ අනෙක් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකර කථානායකවරයාගේ ඉල්ලා සිටියහොත් පමණකි. නොමනා වචන ඉවත් කිරීමට කථානායකට හැර අන් කිසිවකුටවත් බලයක් නැත. 

කථානායකවරයෙකු වඩාත්ම දෝෂාරෝපණයට ලක් වූයේ ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ගෙන ආ දෝෂාභියෝග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කථානායක එම්.එච්. මොහොමඩ් තීන්දු කිරීමත් සමගය. එම තීන්දුවට එරෙහිව විපක්ෂයට වෙනත් පියවරක් ගත නොහැකි වූ අතර පාර්ලිමේන්තු සම්ප්‍රදායේ දී කථානායකවරයා ව්‍යවස්ථාදායකය තුළ එකම තීරකවරයා බවට පත්වෙයි. ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය නියමිත අත්සන් ගණන සපුරා නොමැති බව පවසා කථානායක මොහොමඩ් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එජාප රජයෙන් පැමිණි ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක ඇතුළු කණ්ඩායම ද ඇතුළත් ඒකාබද්ධ විපක්ෂයම තීන්දු කළේ කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටය. එහෙත් එම යෝජනාව පරාජය කර එම්.එච්. මොහොමඩ්ගේ කථානායක පුටුව රැක දීමට එජාප රජයට හැකියාව ලැබිණි. විපක්ෂයට කථානායක පැරදවීමට අවශ්‍ය බහුතර ඡන්ද ප්‍රමාණය තිබුණේ නැත. 

ප්‍රේමදාස ජනාධිපතිවරයා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වන අවස්ථාව වනතුරුම විපක්ෂය හා කථානායකවරයා අතර පාර්ලිමේන්තුවේ දී නිරතුරුවම මත ගැටුම් ඇතිවිය. 

වර්තමාන කථානායක ජගත් වික්‍රමරත්නට විපක්ෂය චෝදනා කරන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතාවට ඔහු සීමා පනවන බවය. විපක්ෂනායක ලෙස තමාට ඇති ප්‍රශ්න ඇසීමේ අයිතියට ද කථානායකවරයා සීමා පනවා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වරක් චෝදනා කළේය. 

කථානායක ජගත් වික්‍රමරත්නට එල්ල වී ඇති චෝදනා අතරට දූෂණ චෝදනාවක්ද වෙයි. ලංකාවේ පළමු කථානායක වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේගෙන් පසු විපක්ෂය විසින් එවැනි චෝදනාවක් එල්ල කළ පළමු කථානායකවරයා වත්මන් කථානායකවරයාය. මඩුවන්වෙල වලව්වේ බූදලය පිළිබඳ වංචා සිදුවීමක් සර් මොලමුරේට එරෙහිව නැගී තිබුණි. 

විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභාංග යෝජනා කිහිපයක්ම පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නට සමත් විය. එහිදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කරන්නට රජය සමත් වූයේ එම යෝජනාව තාක්ෂණික කරුණු අතින් අසම්පූර්ණ බව කියමිනි. එහෙත් විදුලිබල ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජය කරන්නට රජය සමත් වුවත් ඔහුගේ ඉල්ලා අස්වීම ද ඒ සමගම සිදුවිය. එය විපක්ෂය සැලකුවේ තමන්ගේ ජයග්‍රහණයක් වශයෙනි. දැන් විපක්ෂයේ විරෝධය එල්ල වී ඇත්තේ කථානායකවරයාටය. 

විපක්ෂය කියා සිටින්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා වුවත් රට පාලනය කිරීමේ තීන්දු ගන්නේ පැලවත්ත ජවිපෙ සහ මාලිමා මූලස්ථානයෙන් බවය. පැලවත්තේ කණ්ඩායමෙන් ආණ්ඩුව තුළ සිටින බලවතා වන්නේ ඇමැති සහ සභානායක බිමල් රත්නායකය. විපක්ෂය පවසන්නේ අලුතෙන්ම දේශපාලන බිමට පැමිණි කථානායකවරයා මෙතරම් දරදඬු වී සිටින්නේ බිමල් රත්නායක ඇමැතිවරයාගේ රැකවරණය ඔහුට ඇති නිසා බවය. මෙයට පෙර විශ්වාසභංගයේ දී කුමාර ජයකොඩි විදුලිබල ඇමැතිධුරයෙන් ඉවත් වූ ආකාරයටම කථානායකවරයා ද ඉවත්ව යනු ඇතැයි විපක්ෂය බලාපොරොත්තු විය. දැන් පෙනෙන්නට ඇත්තේ එය එසේ සිදු නොවනු ඇති බවය. 

ප්‍රේමකීර්ති රණතුංග