සමහර හීන, හීනම නොවී ජීවිතයේ යථාර්ථයක් බවට පත්වන්නේ ඒවා දකින්නට තරම් නිර්භීත හදවතක් ඇති මිනිසුන් නිසාය. කුඩා දරුවකුගේ සිතක උපදින සිහිනයක් ඇතැම්විට වැඩිහිටියන්ට සිනහවක් ගෙන දෙන පුංචි සිතුවිල්ලක් වන්නට පුළුවනි. එහෙත් ඒ සිහිනයම හදවතේ තදින් රැඳී, එය සැබෑ කරගැනීමේ අරමුණක් බවට පත්වූ විට, වයසින් කුඩා දරුවාගේ සිහිනය දිනෙක ලෝකයට පෙන්විය හැකි නිර්මාණයක් බවට පත්වේ.කුඩා කල සිටම බොහෝ දෙනාට සිතීමට පවා අපහසු වූ දේවල් ගැන සිහින දුටු සහන් යාපාටත් තිබුණේ එවැනිම සිහිනයකි. “මේවා කවදාවත් සැබෑ වෙන්නේ නැහැ” යැයි සිතෙන තරම් දුරස්ව තිබූ සිහිනයක් වුවද, ඔහු එය අත්හැරියේ නැත. කාලයත් සමඟ ඒ සිහිනය වෙනුවෙන් ඉගෙන ගනිමින්, අත්හදා බලමින්, වැරදිවලින් ඉගෙන ගනිමින් ඉදිරියට ගිය ඔහු, අවසානයේ තමන්ගේ සිතේ ඇඳී තිබූ සිහිනයට සැබෑ හැඩයක් ලබා දුන්නේය.
අද සහන්ගේ දෑතින් නිමවී ඇත්තේ ඔහු කුඩා වියේදී සිතූ රොබෝවරයෙකි. එය හුදෙක් යන්ත්‍රයක් පමණක් නොව, වසර ගණනාවක් තිස්සේ ඔහුගේ සිත තුළ ජීවත් වූ සිහිනයක ප්‍රතිඵලයකි.
”පුංචි කාලෙ ඉඳන්ම මම එක එක දේවල් හදන්න උත්සාහ කළා. හැබැයි මගේ ජීවිතේ හිතුවටත් වඩා වෙනස් විදිහකට හැරෙන්න බලපෑවේ මම පාසලේ පළමු වසරේ පන්තියට ගිය පළවෙනි දවසෙම අහපු කතාවක්. එදා අපේ පන්තියට ආපු ගුරුතුමා හරි ලස්සන කතාවක් කළා. ඒ කතාවෙ එක තැනකදී එතුමා කිව්වා, ‘අපි හැමෝගෙම හිත කියලා දෙයක් තියෙනවා. ඒ හිත හරිම බලවත් දෙයක්. ඔයාලා හිත දියුණු කරගත්තොත්, අතවත් නොතියා හිතේ බලයෙන් මේ ජනේලය වුණත් අරින්න පුළුවන්‘ කියලා පන්තියේ ජනේලය පෙන්නලා කිව්වා. ඒ වචන ටික පුංචි මගේ හිතේ හරි තදින් වැදුණා. එදා ඉඳන් මට එක ප්‍රශ්නයක් තිබුණා. ‘මේ හිත කියන්නේ මොකක්ද? මේ හිතට ඇත්තටම මොන තරම් බලයක් තියෙනවද?‘ කියලා මම ඒ ගැන හොයන්න පටන් ගත්තා.
පෙර පාසලේදී අකුරු කියවන්න උගන්වනවනේ. ඒ නිසා පුංචි කාලෙ ඉඳන්ම මගේ වයසේ අනිත් ළමයි කියවන්නේ නැති පොත් මම කියවන්න පටන් ගත්තා. මගේ අම්මා තාත්තා ධර්මයට හරිම ළැදි අයයි. ඒ ආභාසයත් එක්ක මම කාමරේ දොර වහගෙන භාවනා කරන්නත් පටන් ගත්තා. ඒ වෙද්දි මට වයස අවුරුදු අටක් විතර ඇති.
ඒ අතරෙ මගේ හිතේ තවත් ලොකු අදහසක් ඇති වුණා. ලෝකයේ හදන්න අමාරුම දේ මට හදන්න ඕනේ කියලා මට හිතුණා. ඒ ගැන හොයද්දි මට තේරුණේ මනුස්ස ශරීරය තරම් සංකීර්ණ දෙයක් හදන එක කොච්චර අමාරුද කියලායි. ඒ නිසා මට මුලින්ම මනුස්සයෙක් හදන්න ඕන වුණා. ඒක මගේ වයසට හැටියට හිතාගන්නත් බැරි තරම් ලොකු හීනයක් කියලා මම දැනගෙන හිටියා. හැබැයි හීනයක් ලොකුයි කියලා ඒක දකින්න බය වෙන්න ඕනේ කියලා මම හිතුවේ නැහැ. මම ඒ හීනය දකින්න උත්සාහ කළා. ඒ කාලෙදි තමයි හොන්ඩා ආයතනයෙන්ි්ිiපද’ කියන රොබෝවරයෙක් නිර්මාණය කරලා තියෙනවා කියලා රූපවාහිනියෙන් දැක්කේ. ඒක දැක්ක ගමන් මගේ හිතේ තිබුණු හීනය තවත් ලොකු වුණා. මට ඒ රොබෝ ගැන දැනගන්න ඕන වුණා. ‘ඒක කොහොමද හදලා තියෙන්නේ, ඒක වැඩ කරන්නේ කොහොමද‘ කියලා මම හොයන්න පටන් ගත්තා.
මගේ වයසේ ළමයි ඒ කාලෙ කතන්දර පොත් කියවද්දි, මම ලෝකය ගැන, විද්‍යාව ගැන, රොබෝවරු ගැන ලියවුණු පොත් හොය හොයා කියෙව්වා. ඇත්තටම ඒක මට ඒ වයසෙදී අමුතු දෙයක් වෙන්න ඇති. හැබැයි මගේ හිතේ තිබුණේ එකම එක දෙයක් විතරයි. ‘කවදාහරි දවසක මම හදන්න හීන දකින ඒ මනුස්ස රූපය කොහොමහරි සැබෑවක් කරගන්න ඕනේ‘ කියලයි,” යනුවෙන් සහන් යාපා ඉරිදා ලංකාදීපයට පවසීය.
සහන් පවුලේ එකම දරුවා විය. නුවරඑළියේ සීතල පරිසරයේ හැදී වැඩුණු ඔහු කුඩා කල සිටම නිහඬ, තැන්පත් දරුවෙකි. ඒ නිහඬකම නිසාම ඔහුගේ පුංචි සිත තුළ වැඩෙමින් තිබූ සිහින පිළිබඳව බාහිර ලෝකය කිසිවක් දැන සිටියේ නැත. නිවසට කවුරුන් පැමිණියද සහන් බොහෝ විට සිටියේ තම කාමරයේය. බිත්ති හතරකින් වට වූ ඒ කුඩා කාමරය ඔහුට කාමරයක් පමණක් නොව, ඔහුගේම ලෝකය විය. ඇතැම් දිනවල දින දෙක තුනක් පවා ඔහු කාමරයෙන් පිටතට නොපැමිණි අවස්ථා තිබිණි. ඒ දිනවල මව බත්පත පවා කාමරයට ගෙන ගොස් පුතුට කවා, ඔහුගේ නිහඬ ලෝකය තුළම ඔහුට ඉඩ දුන්නාය. ඒ කාමරය තුළ සහන් කළේ හුදෙකලාව කාලය ගත කිරීමක් නොවේ. ඇතැම් දිනවල ඔහු භාවනා කළේය. තවත් දිනවල පුංචි පුංචි දේවල් අත්හදා බැලුවේය. තම සිතට නැඟෙන සිතුවිලි එකින් එක අල්ලාගෙන ඒවාට හැඩයක් දෙන්නටත්, වර්ණයක් දෙන්නටත් ඔහු උත්සාහ කළේය. ඒ නිසාම ඔහුගේ කාමරයේ බිත්ති පුරා තිබුණේ සාමාන්‍ය දරුවකුගේ බලි කුරුටු නොවේ. ඒවා ඔහු දුටු සිහිනවල සටහන්ය.
”මගේ අම්මා මාව ආදරෙන් බලාගනිද්දි, මගේ තාත්තා මගේ හීන පස්සේ යන්න මට හයිය දුන්නා. මම පුංචි කාලෙ ඉඳන් එක එක දේවල් හදන්න උත්සාහ කළා. ඒ දේවල් කරන්න තාක්ෂණික දැනුම ඕන කියලා මට තේරුණා. හැබැයි ඒ දැනුම ඉගෙන ගන්න තියා, ඒ කාලෙ මට පරිගණකයක්වත් තිබුණේ නැහැ. ඒත් මම නතර වුණේ නැහැ. පොත්පත් කියවලා මට පුළුවන් විදිහට තනියම ඉගෙන ගත්තා. මගේ කාමරයේ බිත්ති පුරා මම මගේ අදහස් ඇන්දා. පස්සේ මට හිතුණා, කවුරුහරි මගේ කාමරයට ආවොත් ඒ බිත්ති දිහා බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම ඇඳපු ඒ රූප, සැලසුම් හැම එකකටම මගේ හිතේ තිබුණු දැනුම එකතු කළා.
අද මේ රොබෝවරයාට විවිධ රටවලින් පවා ඉල්ලුමක් තියෙනවා. මනුෂ්‍යයෙකුට ළඟා වෙන්න අමාරු, මිනිසුන්ට කරන්න අපහසු තැන්වලට ගිහින් වැඩ කරන්නත්, මිනිසුන් කරන විවිධ කාර්යයන් ඉටු කරන්නත් මේ රොබෝවරයාට හැකියාව තියෙනවා.
රොබෝ කෙනෙක් හදන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ ගැන මුලින්ම මම ඉගෙන ගත්තේ පොත්පත්වලින්. ගුරුවරයෙක් ළඟ ඉඳගෙනවත්, විශේෂ පහසුකම් තියෙන තැනකින්වත් නෙවෙයි. මට තිබුණේ මගේ කුතුහලය, පොත්පත් සහ මගේ හීනය විතරයි. මම නුවරඑළිය අප ස්වාමිදුවගේ පාසලේ පහ වසර දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ නුවරඑළිය ගාමිණී මාතා විද්‍යාලයට ඇතුළත් වුණා. මම සාමාන්‍ය පෙළ කළා. උසස් පෙළ පටන් අරගෙන මාසයක් විතර යද්දි අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න ගොඩක් ආවා. ඒ නිසා මට උසස් පෙළ අතරමඟ නතර කරන්න සිද්ධ වුණා.
මට ඉලෙක්ට්‍රොනික අංශයෙන් රැකියාවක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ කියලා මට තේරුණා. ඒ නිසා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන්න මට ආසාවක් ඇති වුණා. ඒකෙන් රැකියාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.
අපේ ගෙදර ඒ වෙද්දි මුදල් ප්‍රශ්න ගොඩක් තිබුණා. ගෙදර තිබුණු ප්‍රශ්න බොහොමයකට මුල් වුණේ සල්ලි. විවිධ හේතු නිසා තාත්තාත් ගොඩක් ණය වෙලා හිටියා. අවසානයේ ඒ පීඩනයත් එක්ක තාත්තා සියදිවි හානි කරගත්තා. ඒ වෙද්දි මට වයස අවුරුදු දහසයයි.
තාත්තා නැති වුණාට පස්සේ මගේ ජීවිතේ ලොකු හිස්තැනක් ඇති වුණා. මගේ හීනවලට යන පාර පෙන්නපු කෙනා තමයි තාත්තා. පුංචි කාලෙ ඉඳන්ම ලොකු හීන දකින්න මාව පුරුදු කළෙත් ඔහුයි. ඒ නිසා තාත්තා නැති වුණා කියලා මගේ හීන අතහරින්න මට පුළුවන් වුණේ නැහැ. මට මතකයි, ඒ වෙද්දි මම කොළඹටවත් ගිහින් තිබුණේ නැහැ. තාත්තා රටකට ගිහින් තිබුණෙත් නැහැ. හැබැයි ඔහු කොළඹ ගිහින් දැකපු ලෝකය මට විස්තර කරලා කිව්වා. මම ඒ ලෝකය දැනගෙන හිටියේ තාත්තාගේ වචනවලින්.
දවසක් තාත්තා මාව ගෙවල් ළඟ තිබුණු පිට්ටනියකට එක්කගෙන ගියා. අපි දෙන්නා එතැන ඉන්නකොට අපේ ඔළුවට උඩින් ගුවන් යානයක් ගියා. තාත්තා අත දික් කරලා ඒ ගුවන් යානය පෙන්නලා මට කිව්වා, ‘දවසක ඔයාගේ වැඩවලට අහසේ එහා මෙහා යන්න ඕනේ‘ කියලා.

එදා මට ඒක කොච්චර ලොකු හීනයක්ද කියලා තේරුණේ නැහැ. කොළඹවත් දැකලා නොතිබුණු මම කොහොමද අහසින් රට රටවල යන්නේ කියලා හිතන්නවත් බැරි වුණා. ඒත් තාත්තා මගේ හිතට ඒ හීනය දාලා තිබුණා. අද මම ගුවන් යානයකට නගින හැම වෙලාවකම මට තාත්තව මතක් වෙනවා. අහස දිහා බලලා එදා තාත්තා අත දික් කරපු හැටි මතක් වෙනවා. එදා ඔහු මට පෙන්නුවේ ගුවන් යානයක් විතරක් නෙවෙයි. ඔහු මට පෙන්නුවේ මගේ ජීවිතයට යන්න පුළුවන් දුරයි.”
සහන්ගේ ළමා කාලය සුන්දර සිහිනවලින් පමණක් පිරුණු එකක් නොවීය. බිත්ති හතරකින් සහ වහලයකින් වට වූ ඔවුන්ගේ නිවසේ වැසි දිනවල වහලයෙන් පොළොවට වැටෙන වැහි බිංදුවල සීතල පවා අදටත් ඔහුගේ මතකයේ ඇත. ඒ අගහිඟකම් අතරේ වුවද, ඔහුගේ සිහින නම් කිසිදා කුඩා වූයේ නැත.
පාසලේදී නිහඬ චරිතයක් වූ සහන්ගේ ජීවිතය වෙනස් කළේ පියාගේ වියෝවයි. එතෙක් තමන්ගේම ලෝකයක නිහඬව ජීවත් වූ ඔහුට, එතැන් සිට තම මවගේ ජීවිතයත්, තම ජීවිතයත් ගොඩනඟා ගැනීමේ වගකීම දැනෙන්නට විය. ඒ නිසාම මෙතෙක් නිහඬව සිටි තරුණයා තුළ සැඟවී තිබූ ශක්තිමත් හිතක් සමාජය ඉදිරියට පැමිණියේය. පියාගේ ජීවිතය අහිමි වීමට මුදල් ප්‍රශ්නද විශාල හේතුවක් වූ බව සහන්ට දැනුණු නිසා, එතැන් සිට මුදල් පිළිබඳ ඔහුගේ සිතුවිල්ලද වෙනස් විය. මුදල් ඔහුට අවශ්‍ය වූයේ සුඛෝපභෝගී ජීවිතයක් වෙනුවෙන් පමණක් නොවේ. තමන්ගේත් මවගේත් ජීවිතය ආරක්ෂිත කරගැනීමටත්, තමන්ගේ හීනවලට යන මාර්ගය විවර කරගැනීමටත් මුදල් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තේය. සමාජයෙන් තරමක් ඈත්ව, තමන්ගේම ලෝකයක සිටි සහන් එතැන් සිට තමන්වම වෙනස් කරගැනීමට පටන් ගත්තේය. ජීවිතය ජයගන්නට නම් තමන්ටම අභියෝග කරමින් ඉදිරියට යා යුතු බව ඔහු තේරුම් ගත්තේය. සාර්ථක තරුණයකු වීම ඔහුගේ අලුත් අරමුණක් විය. උසස් පෙළ අධ්‍යාපනය අතරමඟ නතර කළද, ඉගෙනීම අත්හැරීමට ඔහු සූදානම් වූයේ නැත.
පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී මෘදුකාංග ඉංජිනේරුවකු වීමට ඔහු උත්සාහ කළේය. ඒ අතරම, තම ජීවිතයේ අත්විඳි ආර්ථික අසීරුතා නිසාම දිනෙක ලෝකයේ සාර්ථකම ව්‍යවසායකයකු වීමේ සිහිනයක්ද ඔහු තුළ ඇති විය. බිල් ගේට්ස් වැනි ලෝකප්‍රකට ව්‍යවසායකයකුගේ සාර්ථකත්වය ඔහුට ආදර්ශයක් විය. තමන්ටම මෘදුකාංග ආයතනයක් තිබිය යුතු බවටත්, තාක්ෂණය ඔස්සේ තමන්ගේම ලෝකයක් ගොඩනඟා ගත යුතු බවටත් ඔහු සිතාගත්තේ ඒ නිසාය.
එහෙත් ඒ ගමන ආරම්භ වූයේ විශාල කාර්යාලයකින්වත්, අතේ තිබූ විශාල මුදලකින්වත් නොවේ. සාමාන්‍ය පෙළ කරන කාලයේදී ඔහු විසින් නිර්මාණය කළ පුංචි මෘදුකාංගයක් වෛද්‍යවරයකුට අලෙවි කරමින් තමන්ගේ පළමු ආදායම උපයාගත්තේය. එතැන් සිට තමන් විසින් නිර්මාණය කළ කුඩා මෘදුකාංග අලෙවි කරමින් ලැබෙන මුදල් එකින් එක ඉතිරි කරගන්නට ඔහු පුරුදු විය.
එදා වැසි දිනවල වහලයෙන් වැටුණු සීතල වැහි බිංදු මැද ජීවත් වූ පුංචි දරුවා, තමන්ගේ අතේ තිබූ දැනුමෙන් පළමු මුදල උපයාගත් දවසේ සිට තමන්ගේම අනාගතය ගොඩනඟන්නට පටන් ගත්තේය. ඔහුගේ අතේ තිබුණේ මුදල් නොවීය. තිබුණේ හීනයක්, දැනුමක් සහ ඒ හීනය සැබෑ කරගැනීමට තිබූ නොසැලෙන අධිෂ්ඨානය පමණි.
පෞද්ගලික විශ්වවිද්‍යාලයක මාස කිහිපයක් අධ්‍යාපනය ලැබූ සහන්ට, පවුලේ ආර්ථික ගැටලු හේතුවෙන් එම අධ්‍යාපන ගමනද අතරමඟ නතර කිරීමට සිදුවිය. එහෙත් ඉගෙනීම නතර වූ පමණින් තමන්ගේ හීන නතර කිරීමට ඔහු සූදානම් වූයේ නැත. තමන් සතු දැනුම සහ අත්දැකීම් පිළිබඳ විශ්වාසය තබාගත් සහන් මෘදුකාංග ආයතන වෙත රැකියා අයැදුම්පත් යොමු කිරීමට පටන් ගත්තේය. එකක් දෙකක් නොව, ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවකට ඔහු අයැදුම්පත් යොමු කළේය. එහෙත් ඒ කිසිදු ආයතනයකින් සම්මුඛ පරීක්ෂණයකට හෝ කැඳවීමක් නොලැබීම ඔහුගේ උත්සාහය පහසු කළේ නැත. අවසානයේ එක් ආයතනයකින් සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙන ලෙස කැඳවීමක් ලැබිණි. නුවරඑළියේ සිට කොළඹට පැමිණීමට අවශ්‍ය වූ රුපියල් තුන්දහස සොයා දීමට ඔහුගේ මවට සිදුවූයේද ණයක් ලබාගෙනය.
"ආයතන ගානකට අයදුම්පත් දැම්මාත් එකකින්වත් මට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අවසානයේ එක ආයතනයකින් මට සම්මුඛ පරීක්ෂණයට කැඳවීමක් ආවා. එදා නුවරඑළියේ ඉඳන් කොළඹ සම්මුඛ පරීක්ෂණය යන්න අම්මා මට රැපියල් තුන්දාහ දුන්නේ වෙනත් තැනකින් ණයට අරන්. මගේ ජීවිතයේ වැදගත්ම පරිච්ඡේදයක් එදා ආරම්භය වුණා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් පසු මට රැකියාව ලැබිණා. එය මගේ ජීවිතයේ පළමු රැකියාව, මාසෙට ලැබුණේ රුපියල් දහතුන්දහක පඩියක්.
රැකියාව කරන අතරතුර ලැබෙන නිවාඩු දිනවලදිත් මම සිහිනය අත්හැරියේ නැහැ. මම විසින් නිර්මාණය කළ කුඩා මෘදුකාංග අරගෙන, දෙහිවල ඉඳලා මහරගම ට වෙනකම් පයින්ම ගිහින් අලෙවි කළා. ඒක බලාපොරොත්තු වූ තරම් ම සාර්ථක වුණේ නැහැ. ඔය අතරෙදි මට විදෙස් රටක ආයතනයක රැකියාවක් ලැබිණා. එම ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස මම රැකියාව කළා. ඒ රැකියාවෙන් මට සැලකිය යුතු වැටුපක් ලැබුණා. ඒත් මම විවිධ මෘදුකාංග නිෂ්පාදන අත්හදා බලමින් ඒවා අලෙවි කරන වැඩත් කළා. මම පිටරට ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු විදිහට වැඩ කරන කාලේ ලැබුණ වැටුප ටිකක් එකතු කරගත්තා.
ඒ උපයාගත්ත මුදල්වලින් කොටසක් යොදවලා පිටකොටුවෙන් අව් කණ්ණාඩි පවා ගෙන්වා විකුණන ව්‍යාපාරයක් කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. අවසානයේ සියලු අසාර්ථක වීම් අතරින් මට ඉතිරි වූයේ අත්දැකීම් ටිකක් විතරයි. පිටරට ආයතනයේ රැකියාවත් එක තැනකදි මට නැති වෙනවා.

මට ජීවිතයේ නැවත නැවතත් හිස් අත් දෙකක් පමණක් ඉතිරි කළත් කිසිදාක හිස් හිතකින් ආපසු යන්න මම සූදානම් වුණේ නැහැ. සෑම වැටීමක් සමඟම අලුත් පාඩමක් ඉගෙන ගත්තා.සෑම අසාර්ථකත්වයක් සමඟම තවත් ශක්තිමත් මම ශක්තිමත් වුණා.
සමහර වෙලාවට ගෙදර ගිහින් ‘මේ මොකක්ද මට වුණේ‘ කියලා මම කල්පනා කළා. මම මෘදුකාංග හදනවා කියලා හැමෝටම කියලා තිබුණා. ඒ නිසා මම මගේම Spera නමින් පොඩි ආයතනයක් පටන් ගත්තා. ඒ හරහා සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු කළා, මෘදුකාංග හැදුවා. ඒවායින් කිහිපයක් විකුණලා මම ආයෙමත් කොළඹට ආවා. මම රැකියාව කරන මුල් කාලේ කෑවේ කඩෙන්. ඇත්තටම මට ජීවිතේටම උයන්න පුරුද්දක් තිබුණේ නැහැ. මගේ පිඟානක්වත් මම හරියට හෝදගෙන තිබුණේ නැති කාලයක් තිබුණා.
ඒත් ජීවිතය මට ඒ හැම දෙයක්ම ඉගැන්නුවා. මම රයිස් කුකර් එකකුයි, ගෑස් ලිපකුයි සල්ලි දීලා ගත්තා. ඒවා ගෙනාවට මට උයන්න බැහැ. යූටියුබ් බලලා බත් හදන හැටි, පරිප්පු හදන හැටි ඉගෙන ගත්තා. ඒ කාලේ මම හිතන විදිහට මාස හයක් පමණ එළියටවත් නොගිහින්, පරිප්පුයි බතුයි කමින් මගේ හීන වෙනුවෙන් මහන්සි වුණා. මට ඕන වුණේ කොහොමහරි මගේ හීනයට ළං වෙන්නයි. ඒ වෙනුවෙන් මට මොන දුකක් විඳින්න වුණත්, මොන අඩුවක් විඳින්න වුණත් මම ඒක ගැන වැඩිය හිතුවේ නැහැ.
ටික දවසකින් මම මගේම ආයතනයක් පටන් ගත්තා. කණ්ඩායමක් එකතු වුණා. අපි එකට වැඩ කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මම කුඩා කාලේ ඉඳන් දැකපු හීනයට ළං වෙන්න පටන් ගත්තා. අවසානයේ අපි රොබෝ කෙනෙක් හදන්න පටන් ගත්තා.
ඒක ලේසි ගමනක් නෙවෙයි. අපි ඊට කලින් රොබෝවරු දහයක් විතර හදලා අසාර්ථක වෙලා තිබුණා. ඒ හැම අසාර්ථකත්වයකින්ම අපි යමක් ඉගෙන ගත්තා. අද අපි සාර්ථකව නිර්මාණය කරලා තියෙන මේ රොබෝවරයා හදන්න අවුරුදු දෙකක් විතර ගත වුණා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන එකහමාරක් විතර වැය වුණා.
අද මේ රොබෝවරයාට විවිධ රටවලින් පවා ඉල්ලුමක් තියෙනවා. මනුෂ්‍යයකුට ළඟා වෙන්න අමාරු, මිනිසුන්ට කරන්න අපහසු තැන්වලට ගිහින් වැඩ කරන්නත්, මිනිසුන් කරන විවිධ කාර්යයන් ඉටු කරන්නත් මේ රොබෝවරයාට හැකියාව තියෙනවා.
ඒත් මට මේ හැමදේකටම වඩා වටින්නේ මගේ හීනෙයි. මම අද දකින්නේ මම කුඩා කාලේ දැකපු හීනෙයි. එදා කාමරේ බිත්තිවල ඇඳපු දේවල්, පොත්පත්වලින් තනියම ඉගෙන ගත්ත දේවල්, පරිගණකයක්වත් නැතුව හිතේ මවාගත්ත දේවල් අද මගේ ඇස් ඉස්සරහ සැබෑවක් වෙලා තියෙනවා.
ඒ නිසා අද මට දැනෙන්නේ ලොකු සතුටක්. සමහර වෙලාවට මම මේ රොබෝවරයා දිහා බලාගෙන කල්පනා කරනවා මේක ඇත්තටම මම පුංචි කාලේ දැකපු ඒ හීනයමද?’ කියලා. අද මම ඒ හීනය ඇතුළේ ජීවත් වෙනවා. ඒක තමයි මගේ ජීවිතේ ලැබුණු ලොකුම සතුට වෙන්නේ.”
නුවරඑළියේ සීතල වැහි බිංදු වැටුණු පුංචි නිවසක, බිත්ති හතරක් අතර නිහඬව වැඩුණු ඒ සිහිනය අද ලෝකය ඉදිරියේ සැබෑවක් වී තිබේ.
එදා කාමරයේ බිත්ති මත ඇඳුණු රූප, පොත්පත්වලින් තනිවම සොයාගත් දැනුම, රුපියල් තුන්දහසක් ණයට ගෙන ගිය පළමු සම්මුඛ පරීක්ෂණය, අසාර්ථක වූ ව්‍යාපාර සහ නැවත නැවතත් හිස් අතින් ආරම්භ කළ ගමන්“මේ සියල්ල එකතු වී අද සහන්ගේ ජීවිත කතාව ලියා තිබේ.
හීන සැබෑ වන්නේ ඒවා දකින නිසා පමණක් නොව, ඒවා වෙනුවෙන් ජීවත් වන්නට හැකි වූ විටය. සහන් අද ජීවත් වන්නේ එදා දුටු ඒ හීනය තුළය.
දිශානි ජයමාලි කරුණාරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd