
හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනී කාන්ති විජේතුංග
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර තිස්පහකට වඩා දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ඇය, අමාත්‍යාංශ සහ ආයතන ගණනාවක සහකාර ලේකම්, අතිරේක ලේකම්, අධ්‍යක්ෂක සහ ලේකම් තනතුර හොබවා ඇත. විශ්‍රාම යාමට පෙර ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ඇය කටයුතු කළාය. ඇයගේ සුවිශේෂත්වය වන්නේ එක් විෂයකට සීමා නොවී, විවිධ ආයතන වෙනුවෙන් සේවය ලබා දීමය. එලෙසින් සේවයේ යෙදෙන කාන්තාවන් විරලය. එහෙත් ඇය රාජ්‍ය පරිපාලන සේවයේ චරිතයක ලෙස නියැලී, කාන්තා භූමිකාවට ලොකු අරුතක් දුන් නිලධාරිනියකි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙසද කටයුතු කර ඇති ඇය විශ්‍රාම දිවියට යස අරුතක් සපයන්නේ ලේඛිකාවක ලෙසය. කැදැල්ලේ ආගන්තුකයා, ශ්‍රී-ස්ත්‍රී, හද බැඳුණු රුසියාව, හිමාලයේ පාරාදීසය, තුර්කි මතක මංපෙත් ඇය විසින් රචිත පොත් කිහිපයකි. අද විශ්‍රාමික සුපිරි තරු විශේෂාංගයට අදහස් දක්වන්නේ ඇයයි.
සම්පූර්ණ නම?
කාන්ති හේමමාලි විජේතුංග. භාවිත කරන්නෙ “කාන්ති විජේතුංග”.
කවුද මේ කාන්ති විජේතුංග? මොන විදිහට හඳුන්වනවට ද ඔබ කැමති?
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දිගුකාලීන අත්දැකීම් ඇති හිටපු රාජ්‍ය නිලධාරිනියක ලෙස.
දැරූ තනතුරු කෙටියෙන් සඳහන් කළොත්?
විශ්‍රාම යාමට පෙර ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළා. ඊට පෙර ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, මාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ඒ කාලයේදීම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙසත් කටයුතු කළා. කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙසත් කටයුතු කළා. පරිපාලන සේවයේදී මූලික පත්වීම ලැබුවෙ සහකාර කම්කරු කොමසාරිස්වරියක ලෙස. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙසත් කටයුතු කළා. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක කටයුතු කර තිබෙනවා.
ඔබගෙ ගම?
පිළියන්දල.
පාසල් අධ්‍යාපනය ලැබුවෙ?
සා/පෙළ දක්වා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්.
මොන වගේ පවුලක කෙනෙක් ද?
තාත්තා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් ලෙසත් අම්මා ගුරුවරියක ලෙසත් කටයුතු කළා. අපේ පවුලේ ඔක්කොම හත්දෙනයි. මම වැඩිමලා. ගැහැනු ළමුන්ම හය දෙනයි. එක් සහෝදරයෙක් විතරයි. ඒ අයගෙන් දෙන්නෙක් උපාධිධාරීන්. ගුරුවරු සහ ඉංජිනේරු අංශවල නියැළුණා.
උපාධිය ගත්තෙ?
විද්‍යා උපාධිධාරිනියක ලෙස උපාධිය සමත් වූ විගසම ගුරු පත්වීමක් ලැබුණා. රාජ්‍ය සේවයේ මුල්ම පත්වීම ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කටයුතු කළා. මගේ ප්‍රියතම විෂය වුණේ රසායන විද්‍යාව. පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට මාරුවක් ලැබුණා. ඒ අතුරතුර කාලයේදී තමයි පරිපාලන සේවා විභාගයට ලියලා සමත් වුණේ. 1980 දී පරිපාලන සේවයට ආවෙ. තාත්තා ඒ කාලයේ කටයුතු කළේ සිවිල් සේවයේ. ඉහළ නිලධාරීන් ඇසුර තිබුණා. එයාලගෙ පෞරුෂය – වරප්‍රසාද, ජීවන තත්වය දැක්කාම මාත් කවදා හරි මේ වගේ තනතුරකට යා යුතුය කියන හැඟීම මට තිබුණෙ. විද්‍යා ගුරුවරියක ලෙස සිටියට හිත තිබුණෙ පරිපාලන සේවයට. අනෙක පරිපාලන සේවයේ තනතුරක් ගත්තාම ඕනෑම අංශයකට සහ රටේ සංවර්ධනයට, ප්‍රතිපත්ති සම්පාදනයට ඍජුවම දායකත්වය ලබා දෙන්න පුළුවන්.
පරිපාලන සේවයට ආ ගමනේදී ඔබගේ වෘත්තීය ජීවිතයෙ හැරවුම් ලක්ෂය වුණේ කොතැනද?
පරිපාලන ක්ෂේත්‍රයට ඒමම තමයි හැරවුම් ලක්ෂය වුණේ. එහිදී මට මුලින්ම ලැබුණෙ කම්කරු දෙපාර්තමේන්තුවෙ සහකාර කම්කරු කොමසාරිස් තනතුර. කම්කරු දෙපාර්තමේන්තුව මගින් තරුණ තරුණියන් උදෙසා පවත්වාගෙන ගිය නිපුණතා සංවර්ධනය පිළිබඳ වැඩසටහනේ වගකීමක් පැවරිලා තිබුණෙ. කාන්තාවන්ට සවිබලගැන්වීමක් කළ යුතුය යන අදහස ආවෙ ඒ වැඩවලදි. පාසල් හැර යන ගැහැනු ළමුන් බොහෝ වෙලාවට යොමු වුණේ ඇඳුම් මැසීම වගේ අංශයකට. ඒ නිසා සම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රවලට යොමු කිරීමට වැඩපිළිවෙළ දියත් කළා. පාසල් හැර ගිය දරුවන් වෙනුවෙන් යමක් කරන්න එහිදී පුළුවන් වුණා.
ඇමැතිගෙ බලපෑම්වලට යටත් නොවී හිටියෙ කොහොමද?
ඒ කාලයේ හිටියෙ ජෝෂප් මයිකල් පෙරේරා. ප්‍රශ්න සහ අවශ්‍ය කළ දේ ගැන පැහැදිලි කර දුන්නාම එයාලා ඒවා පිළිගත්තා. ප්‍රශ්න කරන්න ආවෙ නැහැ. ඒ නිසා අපට පීඩනයකින් තොරව වැඩ කරන්න ලැබුණා.
ඔබගෙ සේවා කාලය දිහා බලද්දී එක ආයතනයක දීර්ඝ කාලයක් ඉඳලා නැහැ, විවිධ - විවිධ තනතුරුවලට මාරු වෙද්දී, ඒ එකක්වත් හරියට කරන්න පුළුවන් වුණාය කියලා හිතනව ද?
පරිපාලන ක්ෂේත්‍රයට එන නිලධාරීන් ඕනෑම අංශයක වැඩ කරන්නට තරම් සන්නද්ධ පරිණත බවකින් එන්නෙ. ලැබෙන ඕනෑම අභියෝගයක් ජයගන්න ඒ විදිහට කටයුතු කරන්න වෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවෙ වසර 10ක සේවයෙන් පසුව මම පශ්චාත් උපාධියක් කළා රාජ්‍ය පරිපාලනය පිළිබඳව. ඒ විදිහට දැනුම වර්ධනය කරගත්තාම ඕනෑ අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්.
කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව විදිහට ඔබට මොන වගේ සේවයක්ද කරන්න ලැබුණෙ?
අධ්‍යාපන අවස්ථාව තිබුණට කාන්තාවන්ට රැකියා අවස්ථා අඩුයි. පිරිමින්ට සමානව රැකියා ලබා ගැනීමට ලොකු තරගයක් තිබුණෙ. ඒ කාලයේ වගේම අදත් තරමක් දුරට එහෙමයි. තීරණ ගැනීමේ මට්ටමට එද්දි තීරණ ගන්නෙ බොහෝ විට පුරුෂ අංශය. බහුතරය එහිදී පිරිමි. කාන්තාවන්ට ලැබිය යුතු නියම තැන වෙනුවෙන් මම මට පුළුවන් දේ කළා.
තමුන්ට නිසි තැන, අවස්ථා ලබා ගැනීමට නම්? කාන්තාව සතු වගකීම?
අධ්‍යාපනයෙන් අවශ්‍ය දේ සපුරා ගැනීම වැදගත්. එවිට හැකියාව සහ පෞරුෂය වර්ධනය කරගන්න අවස්ථා ලැබෙනවා. ආකල්ප සංවර්ධනය කරගන්න අවස්ථා ලැබෙනවා. ඉස්සර කාලයේ වගේ දරුවන් හදාගෙන ගෙදර වැඩ කරන්න විතරක් කාන්තාව සීමාවෙලා නැහැ. අද වන විට ඇය රටේ ආර්ථිකයට දක්වන්නෙ විශාල දායකත්වයක්. ඒ කාලයේ මට මතකයි, අපි ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් බොහෝ ප්‍රායෝගික දේ කළා. මම හිතන විදිහට කාන්තාවන් නිතර තම දැනුම වර්ධනය කර ගත යුතුයි. හිංසනයට භාජනය වුණාම මොනව ද කළ යුත්තේ කියන දේ ගැන පවා අවබෝධයක් ලබාගැනීම වැදගත්.
තිස්පස් වසරක් කියන්නෙ සුළුපටු කාලයක් නෙවෙයිනෙ, විවිධ තනතුරු දරමින් කටයුතු කරද්දී ආඩම්බරකමක් දැනුණ ද?
තනතුර ගැන ආඩම්බර වුණේ නැහැ. තනතුර වෙනුවෙන් සෑම අවස්ථාවකදීම සාධාරණයක් කළාය කියලා මම විශ්වාස කරනවා. මම උත්සාහ කළේ මාව බබළවාගන්න නෙවෙයි. තනතුර බබළවන්න.

ඒ වෙනුවෙන් ඔබට තිබුණු ඉහළම ගුණාංගය?
කැපවීම සහ උනන්දු වීම. තමන් කරන කාර්යය ගැන විශාල වගවීමක් - වගකීමක් තිබෙන්න ඕනෑ.
රාජකාරි දරන කාන්තාවන්ට ඒ ඔබ කී ගුණාංග තිබෙනව කියල හිතනවද?
හැමෝටම තියෙනව කියලා මට හිතන්න බැහැ. ඒත් බහුතරයකට තියෙන බව පෙනෙනවා. තමන් ශක්තිමත් වෙන්න එයාලට අධිෂ්ඨානය තියෙන බව පේනවා. යම්කිසි වෘත්තියක නියැලෙද්දී කැපවීම විතරක් මදි, දැනුම ලබාගන්න ඕනෑ.
රාජ්‍ය සේවයේ නිලධාරී මට්ටමින් නියැළෙන සුන්දර කාන්තාවන්ට, ඒ කියන්නෙ ඇහැට – කනට පෙනෙන කාන්තාවන්ට පිරිමි පාර්ශ්වයෙන් එන අභියෝග – ඉල්ලීම් එහෙම තියෙනව ද?
අභියෝග – ඉල්ලීම් තියෙනවා. එවැනි අවස්ථාවලදී තමන්ගෙ ආත්මාභිමානය රැකෙන පරිදි මොළය පාවිච්චි කරලා වැඩ කරන්න වෙනවා. සේවා ස්ථානයේ ගැටලු ඇතිකර ගත්තොත් ප්‍රශ්නයක්. එවැනි අභියෝගවලට මුහුණ දීලා, ඒ සෑම අවස්ථාවකදීම ඒවා ජයගන්න මට පුළුවන් වුණා. පන්දම්වලින්, දේශපාලන වාසි අරගෙන නෙවෙයි, මගේ තනතුර රැකගත්තෙ. ඒ නිසා ඕනෑම කාන්තාවක් ඒ විදිහට කටයුතු කරන්න, සෑම විදිහකින්ම ශක්තිමත් වෙන්න ඕනෑ.
ඉහළ නිලතල දරන කාන්තාවන්ට ගැලවෙන්න බැරිම තැන කොතැන ද?
ඇත්තටම යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. නැත්තෙ නැහැ. ඒ නිසා මොළය පාවිච්චි කරලා වැඩ කරන්නම වෙනවා.
වසර තිස් පහකට වඩා ඔබ කරලා තියෙන්නෙ රාජකාරියනෙ, ඒ වගේ කාන්තාවන්ට ගෙදරට සේවයක් කරන්න ලැබෙනව ද?
පිරිමියකුගේ සාර්ථකත්වයට කාන්තාවක් ඉන්න ඕනෑය කියනව වගේ, කාන්තාවකගේ සාර්ථකත්වයටත් පිරිමියකු සිටීම වැදගත්. මගේ විවාහ ජීවිතයේදී මගේ සැමියා සෑම විදිහකින්ම මට උදව් කළා. මම විවාහ වුණේ 1980 දි. ඔහු ඉංජිනේරුවරයෙක්. මම හිතන විදිහට මට ලැබුණෙ සාර්ථක පවුල් ජීවිතයක්. දරුවො දෙන්නෙක් අපට ඉන්නවා.
ඒ අය මොනව ද කරන්නෙ?
ඒ දෙන්නම ආචාර්ය උපාධි සම්පූර්ණ කළා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළටම යාම මට ලොකු සතුටක්. පුතා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සහකාර මහාචාර්යවරයකු ලෙස වැඩ කරලා දැන් ලංකාවට ඇවිත් ඉන්නෙ. එයා වරලත් වාස්තු විද්‍යාඥයෙක්. දුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා.
විශ්‍රාම ගිය පසු කොහොමද ඔබගෙ ජීවිතය?
විශ්‍රාම ගිය පසුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස සෑහෙන වැඩ කොටසක් කළා. මෑතක් වනතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස කටයුතු කළා. ඒ අතර ලේඛන කලාවට පිවිසියා. විශ්‍රාම ගිය පසුවත් මට ඒ විදිහට වැඩ කරන්න ලැබුණෙ දේශපාලනය නිසා නෙවෙයි. දේශපාලනීකරණය නොවීමේ සතුට මට තියෙනවා.
ඔබගේ සේවා කාලයේදී වැඩියෙන්ම සතුටු වුණේ, මොන තනතුර දරද්දීද?
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරද්දී මම ලැබුවෙ ලොකු තෘප්තියක්. එහිදී මට සේවයක් කරන්න පුළුවන් වුණා. පුරාවිද්‍යා නිලධාරීන් සමග සුහදව කටයුතු කරමින් ජාතික උරුමයන් සහ ඒවායේ සංරක්ෂණය ගැන කටයුතු වේගවත් කරලා සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි වැඩිදියුණු කළා. ඇගේ උරුමය දරුවන්ට නමින්, ළමුන් දැනුවත් කරන්න රට පුරා වැඩසටහන් කළා.

උරුමයන් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙන්නෙ ඇයි? දරුවන්ට ඒ ගැන ඇයි වටහා දිය යුතු වන්නෙ?
දැයේ උරුමය, සංස්කෘතියක තියෙන උරුමය නිසා තමයි, අපේ අනාගතය රැඳී පවතින්නෙ. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පවතින්නෙම ජාතික උරුමයන් සහ විශිෂ්ට සංස්කෘතිය නිසයි. යුනෙස්කෝ ලෝක උරුම අටක් අපට තියෙනවා. ඒවා ලෝකයට ගෙන යාම අපේ අනාගත පරපුරේ වගකීමයි.
ලංකාවේ මිනිස්සුන්ට ජාතික උරුමයන් ගැන නිසි අවබෝධයක් තියෙනව ද?
සමහර අය ඇත්තටම ඒ ගැන දන්නෙ නැහැ. එක්කෝ සමහර අයට වැටහීමක් නැහැ. මම ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වුණාම, මොනවද ඔතන කරන්න තියෙන්නෙ කියලා අහපු අය හිටියා. වසර ගණනාවක් තිස්සේ අප රැකගෙන ආ භෞතික උරුම තියෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ඇතුළු ස්ථාන ඊට ඇතුළත්. ඒවා විනාශයට යන්න නොදී ඒවා නිසි ලෙස සංරක්ෂණය කර පවත්වාගෙන යාම සිදු වෙනවා. ඒවා කෙරෙන්නෙ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ.
ජාතික උරුමයන් ගැන කතා කිරීමේදී නිදන් හාරන අය ගැන නිතර කතා වෙනවා. ඒ අතර සමහර අවස්ථාවලදී දේශපාලනයට සම්බන්ධ අයගෙ නම් ගැන පවා සමහරු කතා කළා. ඒවා ඇත්තටම ඇත්ත ද? පදනම් විරහිත ද?
මිනිස්සු ජාතික උරුමයන් ගැන වටිනාකම අගය නොදන්න නිසානෙ ඒවා හාරන්න හදන්නෙ. අන්න ඒ නිසා කාට හෝ ඒවායේ අගය – වටිනාකම ගැන කියා දීම, දැනුම්වත් කරවීම තමයි වැදගත්.
ඒ කියන්නෙ නිදන් වස්තු හාරන අය අහුවෙලා තියෙනව ද?
අහුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් යන නඩු පවා තියෙනවා.
අපේ රටේ මේ ජාතික උරුමයන් ගැන කතා කළාට ඒවා නැරඹීමට එන විදේශීය සංචාරකයන්ට යටිතල පහසුකම් නිසි ලෙස සපයා නැහැ කියලා, බොහෝ විට ඇසෙන දෙයක්, විදේශිකයන්ගෙන් මුදල් ගන්නවා විතරයි. ඇයි ඔවුනට නිසි ලෙස සනීපාරක්ෂක පහසුකම් සපයන්නෙ නැත්තෙ?
එතැන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනව තමයි. විදේශිකයන්ගෙන් අයකරන ගාස්තු වැඩියි කියලත් කියනවා. ඒ කතාවේ ඇත්තටම සාධාරණයක් තියෙනවා. සංචාරකයන් අපහසුතාවයට පත් නොවන විදිහට පරිසරය අපි නිර්මාණය කළ යුතුයි. නැත්නම් එයාලගෙ පැමිණීම අඩුවේවි. ජාතික උරුමයන් නැරඹිය හැකි ස්ථානවල පහසුකම් වැඩි කිරීමට රජයේ අවධානය යොමුකළ යුතු කරුණක්.
ඔබගෙ කාලයේදී ඒ වගේ දේ කෙරුණෙ නැද්ද?
අපි උත්සාහ ගත්තා. ඒ වෙනුවෙන් කරුණු අදාළ අයට ඉදිරිපත් කළා. ලංකාවේ ආණ්ඩු මාරු එක්ක ජාතික උරුමයන් කියන අමාත්‍යාංශයත් වෙනස් වුණා. දැන් තියෙන්නෙ සංස්කෘතික අමාත්‍යාංශය නමින්.
මේ සංචාරක ගමනාන්තවල අදටත් විදේශීය වගේම දේශීය සංචාරකයන්ට වැසිකිළි පහසුකම් ඉතා සීමිතයි, එහෙම නේද?
ඔබගෙ අදහසට මම එකඟයි. අමාත්‍යාංශ සහ ඒ අදාළ ආයතන හරහා ඒ කටයුතු වැඩිදියුණු කළ යුතුයි.
ඔබ ඛනිජ තෙල් අමාත්‍යාංශයෙත් හිටියනෙ, ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස එදා ඔබට පැවරී තිබූ රාජකාරිය?
අතිරේක ලේකම් තනතුරට අමතරව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති තනතුරෙත් හිටියා.
ඛනිජ තෙල් සංස්ථාව අද තියෙන්නෙ මොන වගේ තැනක කියලද ඔබ හිතන්නෙ? බොර තෙල් ගෙනැල්ලා - පිරිපහදු කරලා ඇයි අපටම නිෂ්පාදනය කරන්න බැරි?
දැනට තියෙන්නෙ පිරිපහදු කරන්න සපුගස්කන්ද විතරනෙ. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මම හිටපු කාලයේදි ඉරානයෙන් ඉතා යහපත් යෝජනාවක් ගෙනාවා සපුගස්කන්ද වැඩිදියුණු කරලා ව්‍යාපෘතියකට යන්න. ඒ යෝජනාව අපි ක්‍රියාත්මක වේවි කියලයි හිතුවෙ. අවසනාවකට වුණේ නැහැ. සපුගස්කන්ද නවීකරණය කරන්නෙ නැතුව රටට අවශ්‍ය නිෂ්පාදන කරන්න ධාරිතාව මදි.

සැමියා, දියණිය සහ පුතා සමග
ඇයි සපුගස්කන්දට විතරක් සීමා වෙන්නෙ? වෙන තැනක පිරිපහදුවක් හදන්න බැරිද?
කරන්න බැරිකමක් නැහැ. විශාල වියදමකුත් ඒ වෙනුවෙන් යනවා. ඒ දිනවල ඛනිජ තෙල් නිස්සාරණය කරන්නත් යෝජනාවක් ගෙනාවා. නමුත් ඒ කටයුතු මග නැවතුණා. ප්‍රතිපත්ති වෙනස් වෙනකොට ආණ්ඩු මාරු වෙනකොට ඒ වගේ දේ වෙනස් වෙනවා.
ඛනිජ තෙල් නැත්නම් ‘ඉන්ධන’ ව්‍යාපාරයෙන් රජයට ලාබ ගන්න බැරි ඇයි? පෞද්ගලික අංශයට පවරලා තියෙන්නෙ ඇයි?
බැරිකමක් නැත්තෙ නැහැ. ඒ වෙනුවෙන් පළපුරුදු ප්‍රවීණ දැනුමැති අය අවශ්‍යයි. අපේ විද්‍යාඥයන් පිටරටවලත් වැඩ කරනවනෙ. ඒ අයගෙ දැනුම ගන්න පුළුවන්. මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන ගවේෂණය කරන්නත් යන බව පුවත් මගින් දැනගත්තා.
සමහර ප්‍රවීණයන් කියන්නෙ ලංකාවේ තෙල් කැණීම් කරලා ඇති වැඩක් නැහැ කියලයි? ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද? ඵලක් වේවිද?
ඵලක් තියෙනවා. මොකද තෙල් සම්පත තියෙන නිසානෙ. අපේ රටේ සම්පත් තියෙනවානම්, ඒවා ගවේෂණය කිරීම අපේ වගකීම. විනිවිද බවකින්, ඒ කටයුතු කළොත් හොඳයි.
රාජ්‍ය සේවයේ සිටින දක්ෂ නිලධාරීන්ට වැඩ කරන්න බැරි වපසරිය හැදෙන්නෙ කොතැනින්ද? කවුරු නිසා ද?
වැඩ කරන්න බැරි වපසරියක් නැහැ. වගකීම ඉටුකරන ආකාරය අනුව තමයි එය රඳා පවතින්නෙ. දේශපාලන අධිකාරිය එක්ක සුහදව කටයුතු කිරීම, වගේම තමාට පහළ සිටින නිලධාරීන් එක්කත් සුහදව කටයුතු කරන්න ඕනෑ. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි. එහෙම නැතුව කෙනෙක් කපාගෙන ගියොත් ඒක හරියන්නෙ නැහැ. ඒ වගේම දේශපාලන නායකත්වය එක්ක සාකච්ඡා කරලා ඒ අයට නිවැරදි මගපෙන්වීම කරන්න පුළුවන්. ඒක රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්.
රාජ්‍ය අංශයේ ආයතන – පෞද්ගලික අංශයේ ආයතන වගේ කලඑළියක් නැත්තෙ ඇයි? නවීකරණය නොවෙන්නෙ?
මම ඒකට එකඟ නැහැ. ඕනෑම රාජ්‍ය ආයතනයකට ගිහින් බලන්න භෞතිකව ගත්තත්, නවීකරණය වෙලා. බටහිර රටවල තියෙන කාර්යාලවලටත් වඩා සමහර ආයතනවල අය පහසුකම් භුක්ති විඳිනවා. හැබැයි වැඩ කෙරුවාව තමයි කාර්යක්ෂම වෙලා නැත්තෙ.
වැඩ කෙරුවාව කාර්යක්ෂම කරන්න නම්?
නිලධාරීන් දැනුම වර්ධනය කර ගැනීම වගේම කැපවීම අත්‍යාවශ්‍යයි. එවිට ඉබේම කාර්යක්ෂම වේවි.
අපේ රට මහා ආර්ථික ආගාධයකට ගියේ මොන වගේ හේතු නිසා කියල ද ඔබ හිතන්නෙ?
මේ රටේ පරිපාලන තන්ත්‍රය මෙහෙයවපු නිලධාරීන්ටත් ඒ වගකීම බාරගන්න වෙනවා. දේශපාලනඥයන්ට විතරක් ඒ චෝදනාව එල්ල විය යුතු නැහැ. පෞද්ගලික වාසි තකා දේශපාලකයන් කියන දේම කරන නිලධාරීන්ගෙන් රටට ඇති වැඩක් නැහැ. රටට මේ තත්වයට මුහුණපාන්න වුණේ ඒ දෙපාර්ශ්වයේම පරිපාලනයේ වැරදි නිසයි.
ඔබගේ දැක්ම අනුව ලංකාව ගොඩදාන්න නම්? මොන වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුද?
වර්තමාන පසුබිම බලද්දි අපි ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ මොන ක්ෂේත්‍රවලටද කියලා මුලින් බලන්න ඕනෑ. ඒ අනුව රාජ්‍ය පරිපාලන තන්ත්‍රය මෙහෙයවීම අවශ්‍ය වගකීමයි. ආර්ථික ප්‍රශ්න, සමාජයීය ප්‍රශ්න තියෙනවා, ඒ ප්‍රශ්න අතරින් මොන කාරණාවලටද ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ කියලා හොඳින්ම හඳුනාගන්න ඕනෑ. අපේ රටේ මිනිස්සු ගත්තොත්, සමහර අය ආර්ථික පීඩාවලින් සමාජයීය පීඩාවලින් දුක් විඳිනවා. ඒ තත්ත්වය තියාගෙන රටක් සමාජයීය වශයෙන් දියුණු තැනකට ගේන්න බැහැ. ඒ නිසා රටක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ නිසා අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය දෙන්න වෙනවා.
අපේ රටේ මිනිස්සුන්ගෙ සිතුම් - පැතුම් ගැන ඔබට හොඳ අවබෝධයක් ඇතිනෙ, සමස්තයක් දෙනා මේ රටේ නිවැරදි දේ තෝරාගන්නෙ නැහැ කිව්වොත්? ඒ ගැන අවබෝධයක් නැහැ කිව්වොත්?
මට හිතෙන විදිහට අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙම නිකම් සියල්ල ලබාගන්න. තමන් මහන්සියක් නොදරා, සුබසාධන මගින් යමක් ලබාගන්න. අස්වැසුම හරි වෙනත් දෙයකින් හරි ඒ විදිහට සුබසාධන බලාපොරොත්තු වෙනවා. ප්‍රතිලාභ ලබාගන්නම හැදිච්ච කණ්ඩායමක් ඉන්නවා. අන්න ඒ මානසිකත්වය නැතිකර ගත්තොත් යහපත් සමාජයක් බිහිවේවි. තමන් දෙයක් ලබාගන්න නම්? ඒ වෙනුවෙන් රටට තමන්ගෙන් දෙයක් දිය යුතුයිනෙ ශ්‍රමයෙන්, දැනුමෙන් සහ ප්‍රායෝගික වීමෙන්. ඒ හැඟීම රටේ හැමෝටම ඇතිවෙන්න ඕනෑ මගෙන් රටට කියන හැඟීම. එහෙම වුණාම දේශපාලකයන්ටත් සමස්ත ජනතාවගේ මතයට පිටුපාන්න බැහැ. කැම්පස් කාලයේ ඉඳලාම ගනිව් - ගනිව් දියව් - දියව් කියලා හරියන්නෙ නැහැනෙ.
අපේ රටේ ප්‍රධානව වෙනස් වෙන්න ඕනෑ කොතැන ද? ඒ කියන්නෙ ජනතාවක් විදිහට?
අධ්‍යාපනයේ සිට ආකල්ප වෙනසක් ඇතිවෙන්න ඕනෑ. පුංචි කාලයේ ඉඳලම ඒ ක්‍රමයට හුරු කළොත් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ අනාගතයේදි. මේ රට හදන්න නම් ආකල්පමය වෙනසක් අත්‍යාවශ්‍යයි. තමුන්ගෙ රටට විය යුතු යුතුකම් ගැන මිනිස්සුන්ට වැටහීමක් ඇතිවෙන්න ඕනෑ.
කොහොම වුණත්, ඔබ විශ්‍රාම ගියේ තෘප්තිමත් බවකින් ද?
මම විශ්‍රාම ගිය කාලයේදී 60න් විශ්‍රාම ගියේ. හැබැයි අපි කරගෙන ගිය වැඩසටහන් දිගටම තව වසර කිහිපයක් කරගෙන යාමට අපට තිබුණෙ ශක්තියක්. නමුත් අපි විශ්‍රාම ගත්තා. සේවය දීර්ඝ කරවාගැනීම දේශපාලන අධිකාරියේ අභිමතය පරිදි සිදු වුණානෙ. ඉතින් ඒ පසුපස ගියේ නැහැ. මම විශ්‍රාම ගියේ කනස්සල්ලෙන් නෙවෙයි. ඒත් මට තවත් වැඩ කරන්න පුළුවන් කියන බලාපොරොත්තුව මට තිබුණා. හැබැයි ඒකට මට සාධාරණය ඉෂ්ට වුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයට පත්කර ගැනීමෙන්.
සාකච්ඡා සටහන
සඳුන් ගමගේ
ඔබත් රාජ්‍ය සේවයේ යෙදී සිටි මෙවැනි අවංක අත්දැකීම් ඇති නිලධාරී මට්ටමේ, පරිපාලන අංශයේ චරිතයක් නම් මෙවැනි අත්දැකීම් ඔබට ඇත්නම් ඉරිදා ලංකාදීප අපට කතා කරන්න. එවැනි විශ්‍රාමික සුපිරි තරු ගැන විස්තර දන්වන්න.
0112479261
[email protected]
අපගේ ඊමේල් ලිපිනයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd