මැණික් ලෝකය යනු පියවි ඇසට පෙනෙන වර්ණය, දීප්තිය හෝ හැඩය ඉක්මවා ගිය, අතිශය සියුම් ලක්ෂණ රැසක් තුළ සැඟවුණු රහස් හඳුනාගත යුතු ක්ෂේත්‍රයකි. මැණිකක සැබෑ අනන්‍යතාව, ස්වභාවික බව, එහි අභ්‍යන්තර ව්‍යුහය මෙන්ම එහි වටිනාකම තීරණය කිරීමේදී මැණික් වේදියාගේ පළපුරුද්දට සමගාමීව විද්‍යාත්මක උපකරණවල නිරවද්‍යතාවද අතිශය වැදගත් වේ. ඒ අතරින් මැණික් පරීක්ෂා කිරීමේ අන්වීක්ෂය හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

සාමාන්‍ය අන්වීක්ෂයකින් පියවි ඇසට නොපෙනෙන ලෝකයක් විශාල කර දැකගත හැකි වුවද, මැණික් පරීක්ෂා කිරීමේ අන්වීක්ෂය ඊටත් එහා ගිය විශේෂිත අවශ්‍යතා සඳහා නිර්මාණය වූ උපකරණයකි. මැණිකක් තුළ ස්වභාවධර්මය විසින් තැබූ සියුම් සලකුණු, අභ්‍යන්තර ඇතුළත්කම්, වර්ධන රටා හා වෙනත් අතිශය කුඩා ලක්ෂණ හඳුනාගැනීමට එය මැණික් විද්‍යාඥයාගේ දෑසට තවත් බලවත් දෑසක් බවට පත්වෙයි. එබැවින් මැණික් ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව පිළිබඳ කතා කරන විට, එවැනි උපකරණයක් නිර්මාණය කිරීම යනු හුදෙක් යන්ත්‍රයක් නිපදවීමක් නොව, මැණික් හඳුනාගැනීමේ ලෝකයට නව දැක්මක් එක් කිරීමකි.

විශේෂයෙන්ම ලොව පුරා ප්‍රකට මැණික් සම්පතකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වැනි රටකින්, මැණික් පරීක්ෂාව සඳහා අතිප්‍රබල අන්වීක්ෂයක් නිපදවීමට ශ්‍රී ලාංකිකයකු සමත් වීම තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ දේශීය මැණික් දැනුම එකිනෙක මුණගැසෙන අපූරු අවස්ථාවකි. මැණිකක අගය සොයන ඇසට තවත් තියුණු දැක්මක් ලබාදෙමින්, ශ්‍රී ලංකාවේ නම මැණික් ලෝකයේ තාක්ෂණික පරිච්ඡේදයකද සටහන් කරන මේ නිර්මාණය පිටුපස ඇති කතාව, නිර්මාණකරුගේ දැක්ම සහ එහි විශේෂත්වය සොයා බැලීම කාලෝචිත වන්නේ එබැවිනි.

“මට මේ අවශ්‍යතාවය තදින්ම දැනුණේ මගේම මැණික් රසායනාගාරයක් ආරම්භ කළාට පස්සේ. මැණික් ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යද්දී මට තේරුණා, අපිට මැණිකක් පරීක්ෂා කරලා ඒ ගැන නිවැරදි සහතිකයක් ලබාදීම කොතරම් වැදගත්ද කියලා. විශේෂයෙන්ම මැණිකක ස්වභාවික බව, එහි තත්ත්වය සහ අනෙකුත් විද්‍යාත්මක තොරතුරු නිවැරදිව හඳුනාගෙන ඒ මත පදනම් වෙලා සහතිකයක් නිකුත් කරන එක ලොකු වගකීමක්.

ලංකාවේ මැණික් රසායනාගාර තියෙනවා. හැබැයි ඒ හැම රසායනාගාරයක් ගැනම සියයට සියයක් විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මට තිබුණා. සමහර අවස්ථාවලදී මැණික් ගලක් පරීක්ෂා කරලා නිකුත් කළ සහතිකයක යම් වැරැද්දක් තිබෙන බව පසුව ඔප්පු වුණත්, ඒ වගකීම භාරගැනීමට එම රසායනාගාරය ඉදිරිපත් නොවන අවස්ථා තියෙනවා. ඒ නිසා මට අවශ්‍ය වුණේ ‘අපි මේ සහතිකය නිකුත් කරනවා නම්, ඒ සහතිකය වෙනුවෙන් සම්පූර්ණ වගකීම අපි භාරගන්නවා’ කියන තැනකට එන්න.

ඒ නිසා තමයි අපේ රසායනාගාරයේ පරීක්ෂණ ක්‍රමවේදය සහ දත්ත ලබාගැනීමේ ක්‍රියාවලිය හැකිතාක් නවීන තාක්ෂණයත් එක්ක සම්බන්ධ කළේ. අපි ලබාදෙන සහතිකය පිටුපස තියෙන්නේ නිකම්ම කෙනෙකුගේ අදහසක් හෝ පියවි ඇසින් කරපු නිරීක්ෂණයක් විතරක් නෙවෙයි. පරීක්ෂණය සඳහා ලබාගන්නා දත්ත, ඡායාරූප සහ අනෙකුත් තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමානුකූලව ගබඩා කරගෙන තමයි අපේ වාර්තාව සහ සහතිකය සකස් කරන්නේ.

අපිට වැදගත්ම දේ තමයි විශ්වාසය. කෙනෙක් තමන් සතුව තියෙන වටිනා මැණිකක් අපි ළඟට ගෙනත් පරීක්ෂා කරවා ගන්නවා නම්, ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙන්නේ ඒ මැණික ගැන නිවැරදි තොරතුරු ලැබෙනවා කියන විශ්වාසය. ඒ විශ්වාසය ආරක්ෂා කරන එක තමයි අපේ ප්‍රධාන වගකීම. ඒ නිසා අපි නිකුත් කරන සහතිකයේ වගකීම සියයට සියයක්ම අපි භාරගන්නවා.”

සිය නිර්මාණය සමග මැණික් විද්‍යාඥ මිලින්ද එදිරිසිංහ

යැයි මැණික් විද්‍යාඥ මිලින්ද එදිරිසිංහ පැවසීය.

ඒ අනුව මැණික් රසායනාගාර ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී තාක්ෂණික උපකරණයක් හඳුන්වා දීමට මිළින්ද එදිරිසිංහ සමත් විය. ඔහු විසින් නිර්මාණය කළ මෙම විශේෂිත මැණික් පරීක්ෂණ අන්වීක්ෂය මඟින් මැණිකක් ඉතා ඉහළ විශාලනයකින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන අතර, එහි උපරිම විශාලනය 2400 ගුණයක් දක්වා ලබාගත හැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.

සාමාන්‍යයෙන් මැණිකක් පරීක්ෂා කිරීමේදී පියවි ඇසට හෝ සාමාන්‍ය මට්ටමේ විශාලන උපකරණයකට හසු නොවන අතිශය සියුම් අභ්‍යන්තර ලක්ෂණ හඳුනාගැනීම මැණික් විද්‍යාඥයාට ඉතා වැදගත් වේ. මැණිකක් තුළ ස්වභාවිකව නිර්මාණය වූ ඇතුළත්කම්, වර්ධන රටා, සියුම් රේඛා හා අනෙකුත් අභ්‍යන්තර ලක්ෂණ මෙන්ම ඇතැම් අවස්ථාවලදී මැණිකකට සිදුකර ඇති තාප පිරියම් කිරීම වැනි ප්‍රතිකාරවලට අදාළ සලකුණුද එහි අභ්‍යන්තර ව්‍යුහය නිරීක්ෂණය කිරීමෙන් හඳුනාගත හැකිය.

මෙම අන්වීක්ෂයේ තවත් වැදගත් විශේෂත්වයක් වන්නේ පරීක්ෂාව අතරතුර නිරීක්ෂණය කරන දසුන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පරිගණක තිරයක් මත විශාල කර නිරීක්ෂණය කිරීමටත්, අවශ්‍ය ඡායාරූප හා දත්ත සටහන් කර තබාගැනීමටත් හැකියාව ලැබීමය. ඒ අනුව මැණිකේ අභ්‍යන්තරයේ ඇති අතිශය කුඩා ලක්ෂණ පරීක්ෂකයාට වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට මෙන්ම, පරීක්ෂණයට අදාළ දෘශ්‍ය සාක්ෂි ලෙස එම තොරතුරු සංරක්ෂණය කිරීමටද හැකියාව සැලසේ.

විශේෂයෙන් මැණිකක් තුළ පවතින සියුම් රේඛා, අභ්‍යන්තර ඇතුළත්කම් සහ වර්ධන ලක්ෂණ වැනි දේ මැණිකේ ස්වභාවය හඳුනාගැනීමේදී වැදගත් ඉඟි ලබාදිය හැකිය. එමෙන්ම තාප පිරියම් කිරීම වැනි ක්‍රියාවලියකට මැණිකක් භාජනය කර තිබේද යන්න තීරණය කිරීමේදී ද අන්වීක්ෂීය නිරීක්ෂණ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, එවැනි නිරීක්ෂණයක් පමණක් මත අවසන් නිගමනයකට එළඹීම වෙනුවට, අනෙකුත් මැණික් විද්‍යාත්මක පරීක්ෂණ හා දත්ත සමග සලකා බැලීම වඩාත් නිවැරදි ක්‍රමවේදය වේ.

මේ ආකාරයෙන් බලන විට, මෙම අන්වීක්ෂය මැණිකක් විශාල කර පෙන්වන උපකරණයක් පමණක් නොව, පියවි ඇසට නොපෙනෙන මැණිකක අභ්‍යන්තර ලෝකය ඩිජිටල් තාක්ෂණය සමග සම්බන්ධ කරමින් වඩාත් පැහැදිලිව අධ්‍යයනය කිරීමට අවකාශ සලසන පරීක්ෂණ මෙවලමක් ලෙස හඳුන්වා දිය හැකිය. මැණික් පරීක්ෂණ ක්‍රියාවලියේ දී නිරවද්‍යතාව, දෘශ්‍ය සාක්ෂි සහ දත්ත සංරක්ෂණය යන කරුණු සඳහා මෙවැනි තාක්ෂණික දියුණුවක් ලබාදෙන දායකත්වයද ඒ අනුව සුවිශේෂී වේ.

“දැනට ලෝකයේ මැණික් පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන අන්වීක්ෂවලින් මැණික් ගලක් තුළ තියෙන සෑම අභ්‍යන්තර ලක්ෂණයක්ම පැහැදිලිව හඳුනාගන්න හැකියාවක් නැහැ. අන්වීක්ෂයකින් ගල විශාලනය කරලා බැලුවත්, ඒ විශාලනයේ සීමාවක් තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදී ගල ඇතුළේ තියෙන ඉතා සියුම් අන්තර්ගතයන් හෝ ලක්ෂණ නිවැරදිව නිරීක්ෂණය කරලා ඒවා මොනවාද කියලා තහවුරු කරගන්න අපහසු වෙනවා.

නමුත් මැණික් ගලක් නිවැරදිව හඳුනාගැනීමේදී මේ අභ්‍යන්තර ලක්ෂණ ඉතා වැදගත්. ඒවා හරිහැටි දැකගන්න බැරි වුණොත්, මැණික පිළිබඳ නිවැරදි නිගමනයකට එන්නත් අපහසු වෙනවා. ඒ නිසා සාමාන්‍ය අන්වීක්ෂයකින් ලබාගත හැකි නිරීක්ෂණය ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී අපට තවත් දියුණු පරීක්ෂණ ක්‍රමවේද වෙත යන්න සිදුවෙනවා. උදාහරණයක් විදිහට FTIR, Raman වැනි වර්ණාවලීක්ෂණ තාක්ෂණයන් භාවිත කරලා මැණිකේ සංයුතිය සහ ස්වභාවය පිළිබඳ තවත් තොරතුරු ලබාගන්න පුළුවන්. ඒ වගේම මම පසුගිය කාලයේ දී හඳුන්වා දුන් Ray Spectrum තාක්ෂණයත් මේ අවශ්‍යතාවය මත ඉදිරියට ගෙන ගිය ක්‍රමවේදයක්. අන්වීක්ෂයේ සීමාව නිසා අපට දැකගන්න බැරි වන දේවල් තවත් දියුණු තාක්ෂණික ක්‍රම ඔස්සේ හඳුනාගෙන, ඒ සියලු තොරතුරු එකට සම්බන්ධ කරලා තමයි මැණිකක් පිළිබඳ වඩාත් විශ්වාසදායක නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ ”

යැයි මිලින්ද එදිරිසිංහ පවසයි.

ඒ අනුව මෙතෙක් භාවිත වූ මැණික් පරීක්ෂණ අන්වීක්ෂවල සීමාවන් ඉක්මවා යමින්, වඩාත් පැහැදිලි සහ ප්‍රබල නිරීක්ෂණයක් ලබාදිය හැකි Gemological Microscope එකක් මිලින්ද විසින් හඳුන්වා දී තිබේ. මෙම උපකරණය හරහා මැණික් ගලක් තුළ පවතින අභ්‍යන්තර ලක්ෂණ වඩාත් විශාල කර, පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ.

මෙම නව නිර්මාණ මාලාව ඔහු විසින් DON BERRY Gemological Microscope ලෙස නම් කර ඇති අතර, විවිධ අවශ්‍යතා සඳහා වෙනස් විශාලන හැකියාවන් සහිත මාදිලි පහකින් සමන්විත වේ. ඒ අතර Don Berry 460x, Don Berry 600x, Don Berry Third Eye 1000x, Don Berry Third Eye 1400x සහ Don Berry 2400x යන මාදිලි ඇතුළත් වේ.

එම නිසා DON BERRY Gemological Microscope මාලාව හඳුන්වාදීම මැණික් පරීක්ෂණ ක්ෂේත්‍රයේ තවත් උපකරණයක් එක් කිරීමක් පමණක් නොව, මැණිකක් තුළ සැඟවී ඇති සියුම් තොරතුරු වඩාත් පැහැදිලිව දැකගැනීමටත්, ඒවා විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රියාවලිය තුළ වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමටත් අවකාශ සලසන නව තාක්ෂණික පියවරක් ලෙස සැලකිය හැකිය.

මැණික් විද්‍යාඥ මිලින්ද එදිරිසිංහ මීට පෙර නිර්මාණය කළ Digital Spectrum Syetem උපකරණය පිළිබඳව ජුනි 14 වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පලවුණි.

දිශානි ජයමාලි 
කරුණාරත්න