සමාජ මාධ්‍ය යනු හුදෙක් ෆෙස්බුක්, යූ ටියුබ් හෝ ඉන්ස්ටග්‍රෑම් වැනි යෙදවුම් කිහිපයකට පමණක් සීමා වූවක් නොවේ. එය තොරතුරු නිර්මාණය කිරීමට, බෙදා ගැනීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වන පුළුල් ඩිජිටල් සන්නිවේදන පරිසරයකි. වර්තමානයේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වන සංවේදීම කණ්ඩායම ලෙස අවධානය යොමු වී ඇත්තේ වයස අවුරුදු 16 ට අඩු දරුවන් වෙතයි. මෙම තත්ත්වය හමුවේ, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම හෝ තහනම් කිරීම සඳහා ලොව පුරා බොහොමයක් රටවල් මේ වන විටත් නීති සම්පාදනය කරමින් හෝ ඊට අදාළ පනත් කෙටුම්පත් කරමින් සිටී.
මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළද අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම පිළිබඳ සංවාදයක් නිර්මාණය වී ඇත. මේ පිළිබඳවත්, සමාජ මාධ්‍ය මඟින් සිදුවන සමාජීය බලපෑම පිළිබඳවත් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මනෝජ් ජිනදාස දැක්වූ අදහස් ඇසුරින් සකස් වූ ලිපියකි මේ.
දෙමුහුන් පරිසරයක ධනාත්මක සහ සෘණාත්මක බලපෑම
සමාජ මාධ්‍ය මඟින් සිදුවන බලපෑම එක කොටසකට පමණක් ලඝු කළ නොහැකි අතර, එය පරිශීලනය කරන සියලු දෙනාටම විවිධ ප්‍රමාණවලින් බලපෑම් එල්ල කරයි. වත්මන් පරම්පරාවට සමාජ මාධ්‍ය මඟින් සිදුවන බලපෑම පිළිබඳව ආචාර්ය මනෝජ් ජිනදාස මෙසේ පැහැදිලි කරයි:
”සමාජ මාධ්‍ය වර්තමාන පරපුරට බලපාන්නේ හොඳ හෝ නරක යන දෙකෙන් එකක් ලෙස පමණක් නෙවෙයි. එය බලගන්වන සුළු මෙන්ම අවදානම්ද සහිත දෙමුහුන් පරිසරයක්. ධනාත්මක පැත්තෙන් බලන විට, දරුවෙකුට ලෝකයේ ඕනෑම තැනක තිබෙන දැනුම ලබාගැනීමට, අලුත් දේ ඉගෙනගැනීමට, නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමට, තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට සහ ලෝකය සමඟ සම්බන්ධ වීමට සමාජ මාධ්‍ය අවස්ථාව ලබා දෙනවා.
නමුත් අනෙක් පැත්තෙන් බලන විට, අසත්‍ය තොරතුරු, අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිරිහැර කිරීම් (cyberbullying, online harassment), ලිංගික සූරාකෑම, අනවශ්‍ය අන්තර්ගතයන්ට නිරාවරණය වීම, සමාජ සංසන්දනය, සමාජ මාධ්‍ය අධික ලෙස භාවිත කිරීම සහ පෞද්ගලික දත්ත පිළිබඳ ගැටලු වැනි දැඩි අවදානම්ද එහි තිබෙනවා.”
නියාමන පනතක ඇත්ත අරමුණ
ලෝකයේ මුල් පෙළේ රටවල් බොහොමයක ක්‍රියාත්මක වන, අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා වන සමාජ මාධ්‍ය නියාමන පනත් මඟින් සිදුවන ක්‍රියාවලිය පිළිබඳව අංශාධිපතිවරයා දක්වන්නේ මෙවන් අදහසකි:
”මෙවැනි නියාමන පනත්වලින් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ දරුවන්ට අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම වසා දැමීම නෙවෙයි. එහි ප්‍රධාන අරමුණ වන්නේ වයසට නොගැළපෙන, අනාරක්ෂිත සහ හානිකර ඩිජිටල් පරිසරයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීමයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වේදිකාවල ඇල්ගොරිතම (algorithm) මඟින් දරුවන්ට නැවත නැවතත් අන්තර්ගත ඉදිරිපත් කරන ආකාරය, ඔවුන්ගේ අවධානය දිගු වේලාවක් රඳවා ගැනීමට නිර්මාණය කර ඇති පද්ධති, පෞද්ගලික දත්ත භාවිතය සහ අන්තර්ජාල අපයෝජන වැනි කරුණු කෙරෙහි රජයන්ගේ අවධානය යොමුව තිබෙනවා. එබැවින් මෙය දරුවාට එරෙහි තහනමක් ලෙස නොව, දරුවාගේ ඩිජිටල් ආරක්ෂාව සඳහා වන වගකීම සමාජ මාධ්‍ය වේදිකා සහ වැඩිහිටියන් වෙත මාරු කිරීමේ නියාමන ක්‍රමයක් ලෙස බැලිය හැකියි.”
තහනම පමණක් විසඳුමක්ද?
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට විශේෂයෙන් සීමා පැනවීම පිළිබඳව ආචාර්යවරයා තවදුරටත් මෙසේ පවසයි:
”මෙහිදී ‘16‘ යන සංඛ්‍යාවම විද්‍යාත්මකව සම්පූර්ණ සීමාවක් ලෙස ගත යුතු නැහැ. දරුවකුගේ ඩිජිටල් පරිණතභාවය වයස මත පමණක් තීරණය කළ නොහැකියි. නමුත් ළමා වියේදී පුද්ගලයකුගේ විනිශ්චය කිරීමේ හැකියාව, අවදානම හඳුනාගැනීමේ හැකියාව සහ අන්තර්ජාල පරිසරයක තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමේ හැකියාව තවමත් වර්ධනය වෙමින් පවතිනවා.
එබැවින් සමාජ මාධ්‍ය වේදිකාවල ඇති වාණිජ අරමුණු, ඇල්ගොරිතම මඟින් අන්තර්ගත නිර්දේශ කිරීම (algorithmic recommendation), මාර්ගගත හිරිහැර කිරීම් (cyberbullying), දරුවන් අපයෝජනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම (grooming) සහ වයසට නොගැළපෙන අන්තර්ගතවලට නිරාවරණය වීම වැනි අවදානම් හමුවේ දරුවන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍යයි. එහෙත් මගේ අදහස නම් තහනම පමණක්ම ඊට විසඳුම නොවන බවයි. දරුවා ආරක්ෂා කිරීමත්, ඔහුට හෝ ඇයට ඩිජිටල් ලෝකය පිළිබඳ නිවැරදි දැනුම ලබාදීමත් එකවර සිදු විය යුතුයි.”
නව පනතක තිබිය යුතු මූලික ලක්ෂණ
මෙවැනි පනතක් හෝ නීතියක් සම්පාදනය කිරීමේදී අවධානය යොමු විය යුතු මූලික කරුණු පිළිබඳවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා කරුණු පැහැදිලි කළේය:
”එවැනි නීතියක් සම්පාදනය කිරීමේදී පළමුවෙන්ම දරුවාගේ යහපත මූලික කරගත යුතුයි. දෙවනුව, වයස සත්‍යාපනය කිරීමේදී දරුවන්ගේ පෞද්ගලික දත්ත තවත් අවදානමකට ලක් නොවන ක්‍රමවේදයක් තිබිය යුතුයි. තෙවනුව, වගකීම දරුවා මත පමණක් නොපවරා සමාජ මාධ්‍ය සමාගම් වෙතද පැහැදිලි වගකීම් පැවරිය යුතුයි.
ඊට අමතරව ඇල්ගොරිතමවල විනිවිදභාවය (algorithmic transparency), හානිකර අන්තර්ගත පාලනය, මාර්ගගත හිරිහැර කිරීම් වැළැක්වීම, මාර්ගගත සූරාකෑම (online exploitation) සහ අපයෝජන වැළැක්වීම, දත්ත ආරක්ෂාව, දෙමාපියන්ගේ සහ අධ්‍යාපන ආයතනවල වගකීම, පැමිණිලි කිරීමේ සහ සහාය ලබාගැනීමේ ක්‍රමවේද මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ ස්වාධීන අධීක්ෂණය වැනි කරුණු ඇතුළත් විය යුතුයි.
විශේෂයෙන්ම ඩිජිටල් සාක්ෂරතා අධ්‍යාපනය (digital literacy education ) මාධ්‍ය නීතියේ අනිවාර්ය අංගයක් විය යුතුයි. දරුවාට සමාජ මාධ්‍ය භාවිත නොකරන ආකාරය පමණක් නොව, එය වගකීමෙන් භාවිත කරන ආකාරයද ඉගැන්විය යුතුයි.”
ඩිජිටල් ලෝකයෙන් දරුවන් වෙන් කළ හැකි ද?
තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයක දරුවන් සමාජ මාධ්‍ය භාවිතයෙන් සීමා කිරීම කොතරම් දුරට ප්‍රායෝගික ද යන්න විමසූ විට ආචාර්යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
”මම මෙය සරල ‘ඔව්‘ හෝ ‘නැහැ‘ කියන උත්තර ඇති ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. අපි ජීවත් වන්නේ දරුවන්ට ඩිජිටල් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ජීවත් විය හැකි වටපිටාවක නොවෙයි. අධ්‍යාපනය, රැකියා, සන්නිවේදනය, සමාජ සබඳතා සහ අනාගත වෘත්තීය ජීවිතය පවා ඩිජිටල් පරිසරය සමඟ බැඳී තිබෙනවා. ඒ නිසා ඩිජිටල් ලෝකයෙන් දරුවන් ඉවත් කිරීම නොව, දරුවන්ට ආරක්ෂිත ඩිජිටල් පුරවැසියන් වීමට හැකියාව ලබාදීමයි වඩා වැදගත්.
මගේ පර්‌යේෂණ ක්ෂේත්‍රය තුළින් මා නිරන්තරයෙන් අවධාරණය කරන කරුණක් වන්නේ, තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නය තාක්ෂණික ප්‍රශ්නයක් පමණක් නොවන බවයි. එය සමාජ, සංස්කෘතික, සන්නිවේදන සහ බල සබඳතා පිළිබඳ ප්‍රශ්නයක්ද වෙනවා.”
ප්‍රායෝගික අභියෝග සහ විසඳුම්
අවුරුදු 16 ට අඩු දරුවන් සමාජ මාධ්‍යවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ඇති අභියෝග පිළිබඳවද ඔහු තවදුරටත් අදහස් දැක්වීය:
”සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා අභියෝගාත්මකයි. අන්තර්ජාලය භෞතික දේශසීමා හඳුනා නොගන්නා නිසා, එක් රටක නීතියක් පමණක් මත මෙය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම අපහසුයි. උදාහරණයක් ලෙස VPN , ව්‍යාජ උපන් දින, දෙමාපියන්ගේ ගිණුම් සහ වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වයස් සීමා මඟහැරීමට හැකියාව තිබෙනවා.
ඒ නිසා මෙය ක්‍රියාත්මක කළ යුත්තේ තහනම, වයස් සත්‍යාපනය, වේදිකාවල වගකීම, දෙමාපිය මඟපෙන්වීම, ඩිජිටල් සාක්ෂරතාව සහ පාසල් අධ්‍යාපනය යන සියල්ල එකට ගත් බහු මට්ටමේ ක්‍රමවේදයක් ලෙසයි. වඩාත් වැදගත් කරුණ වන්නේ දරුවා නීතිය කඩකරන පුද්ගලයකු බවට පත් කිරීම නොව, දරුවා ආරක්ෂා කිරීම සඳහා මුළු පද්ධතියම වගකිව යුතු වීමයි.”
දරුවන්ට පමණක් නොව සෑම අයකුටම සමාජ මාධ්‍ය භාවිතයේදී නියාමනයක් සහ ස්වයං පාලනයක් තිබිය යුතු බව පෙන්වා දෙන ආචාර්යවරයා, බාහිර නියාමනයට අමතරව ස්වයං නියාමනයක් පැවතීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ගැළපෙන ස්වදේශීය ආකෘතියක්
මෙවැනි නියාමන පනතක් ශ්‍රී ලංකාව තුළ සම්මත වීමේ ඇති ප්‍රායෝගික භාවය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය මනෝජ් ජිනදාස අවසාන වශයෙන් මෙසේ පැවසීය:
”ශ්‍රී ලංකාවට එවැනි නියාමනයක් අවශ්‍යද යන්න පිළිබඳව අපි පළමුව සාකච්ඡා කළ යුතුයි. නමුත් වෙනත් රටක නීතියක් එලෙසම ශ්‍රී ලංකාවට ගෙන ඒම සුදුසු නැහැ. ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික පරිසරය, ඩිජිටල් සාක්ෂරතාව, පාසල් පද්ධතිය, දෙමාපිය මැදිහත්වීම, තාක්ෂණික පහසුකම් සහ නීතිමය පරිසරය පිළිබඳව සලකා බැලිය යුතුයි.
විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ ඩිජිටල් ප්‍රවේශය එකම ආකාරයේ නොවන නිසා, ඩිජිටල් අසමානතාව පිළිබඳ කරුණද මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙනවා. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ වෙනත් රටක ආකෘතියක් පිටපත් කිරීම නොව, ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ ඩිජිටල් අනාගතය එකවර ආරක්ෂා කරන ස්වදේශීය නියාමන ආකෘතියක් නිර්මාණය කිරීමයි.”
ඉමේෂි මන්දිරා ජයරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd