
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ පසුගිය 6 වැනිදා රාත්‍රී කාලයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය මැඩපවත්වා පැය හයක් යන්නට මත්තෙන්, රත්නපුර කුරුවිට බන්ධනාගාරයේ ද දරුණු ගැටුමක් හටගත්තේය. එම ගැටුමින් රැඳවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් හතර දෙනෙකුට තුවාල සිදු විය.
නව මැගසින් බන්ධනාගාරයේ සිද්ධිය
නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් දොළොස් දෙනකු තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අතර, ඉන් එක් අයෙක් මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ සැකකාර අංක 1777 යටතේ රඳවා සිටි මොහොමඩ් අස්වාන් සෙරෙෆ් ඩීන් නමැති රැඳවියාය.
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ විත්තිකූඩුව තුළදී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්කර සිටි මොහොමඞ් අස්වාන්, ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින ‘කොස්මල්ලී‘ නමැති පාතාල නායකයාගේ පාර්ශ්වයේ අයකු බව පාතාල මර්දන කටයුතුවල නිරත උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගැටුමට මුල් වූ ‘රබර් බෝලය‘
බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, බ්‍රහස්පතින්දා සවස් කාලයේ බන්ධනාගාර තාප්පයෙන් පිටත සිට මත්ද්‍රව්‍ය ඇතුළත් කරන ලදැයි සැක කෙරෙන රබර් බෝලයක් ඇතුළතට විසි කර ඇත. නිලධාරියකු එය දැක සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග රැඳවියන් නොසන්සුන් ලෙස හැසිරීමට පටන්ගෙන තිබේ.
‘ඊ‘ වාට්ටුවේ සිටි රැඳවියන් නව දෙනකු සෙසු පිරිස ද පොලඹවාගනිමින් මෙම නොසන්සුන්තාව ඇතිකර තිබෙන අතර, ඊට නායකත්වය දී ඇත්තේ කොස්මල්ලීගේ සහ ඔහුගේ සමීපතමයකු වන ‘චූවා සමන්ත‘ නැමැත්තාගේ ගෝලබාලයින් පිරිසකි. නොසන්සුන්තාවක් ඇතිකර ඉන් පළා යෑමට මොවුන් සැලසුම් කර තිබූ බවට ද තොරතුරු ලැබී ඇත.
මෙහෙයුම සහ ආරක්ෂාව
බ්‍රහස්පතින්දා රාත්‍රී 10:00ට පමණ හටගත් මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය, කැරලි මර්දන කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්.) සහ ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබීය.එස්.ටී.එෆ්.හි විශේෂ අවි සහ සංග්‍රාමික උපක්‍රම අංශයේ නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වී, සිරමැදිරියේ දොරගුළු කඩාගෙන පිටතට පැමිණ සිටි රැඳවියන් 40කට ආසන්න සංඛ්‍යාවක් පැය තුනක් ඇතුළත කිසිදු හානියකින් තොරව යළි ‘ඊ-1‘ සිරමැදිරියට ගාල් කිරීමට සමත් විය.
පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු වන විටත් එක් රැඳවියකු මියගොස් 11 දෙනකු තුවාල ලබා සිටි බව අනාවරණය වේ. කලහකාරී ලෙස හැසිරීමට නායකත්වය දුන් කොස්මල්ලීගේ පාර්ශ්වයේ රැඳවියන් නව දෙනෙක් එදිනම රාත්‍රියේ දැඩි ආරක්ෂක රැකවල් යටතේ ගාල්ල බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවනු ලැබූහ.
මීගමුව සහ මහර බන්ධනාගාරවල සිදුවූ ගැටුම්වලදී මෙන් නොව, මෙවර රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසලට එක්රොක් නොවීම නිසා තත්ත්වය පාලනය කිරීම පහසු වූ බව ද නිලධාරීහු පැවසූහ.
කුරුවිට බන්ධනාගාරයේ වෙඩි තැබීම
රත්නපුර කුරුවිට බන්ධනාගාරයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ හටගත් නොසන්සුන්තාව පාලනය කළද, පසුදින (සිකුරාදා) උදෑසන ඊට වඩා දරුණු ගැටුමක් හටගත්තේය. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය, එස්.ටී.එෆ්. සහ ත්‍රිවිධ හමුදාව කැඳවූ අතර වෙඩි තැබීමට පවා සිදුවූ බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසීය.
එම ගැටුමින් රැඳවියන් දෙදෙනකු මියගොස් 15 දෙනෙක් තුවාල ලැබූහ. බන්ධනාගාරයේ රඳවා සිටින අධිකරණ දෙකකට අදාළ රැඳවියන් දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින්බස්වීමක් ගැටුමට මුල් වී ඇති බව පැවසේ. රැඳවියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටීම නිසා ඇතිව තිබූ තදබදය සහ පීඩනය ප්‍රයෝජනයට ගනිමින් කොස්මල්ලීගේ පාර්ශ්වය මෙම ගැටුම නිර්මාණය කර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.

පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ උද්ඝෝෂණය
මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ ද සිකුරාදා උදෑසන දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තමන්ගේ නඩු කටයුතු කඩිනම් කරන ලෙස සහ අමතර පහසුකම් ඉල්ලමින් රැඳවියන් පිරිසක් වහලය මත නැගී උද්ඝෝෂණය කළ අතර, තවත් පිරිසක් ප්‍රධාන ගේට්ටුව අසලට රැස්වී ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් පිටතට පැමිණීමට උත්සාහ කළහ. තත්ත්වය පාලනය කිරීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවිය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසු එහි සිට රැගෙන ආ රැඳවියන් පිරිසක් ද මෙහි රඳවා සිටි බව පැවසේ. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිමල් පෙරේරා, කොළඹ උතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා සහ මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති තිළිණ හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම් සහිත් නිලධාරීහු එහි ආරක්ෂාව තර කළහ.
බුද්ධි අංශ අනතුරු ඇඟවීම් සහ විමර්ශන
පසුගිය කාල සීමාවේ බන්ධනාගාර කිහිපයකම මෙවැනි ගැටුම් වාර්තා විය:
මීගමුව බන්ධනාගාරය: ඉකුත් මස 5 වැනිදා ඇති වූ දරුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනකු සහ රැඳවියන් 23 දෙනකු මියගොස්, සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
මහර බන්ධනාගාරය: ඉකුත් 1 වැනිදා හටගත් ගැටුමෙන් රැඳවියකු මියගොස් 7 දෙනකු තුවාල ලැබූ අතර, එය බාහිර පාර්ශ්වයක මෙහෙයවීමෙන් සිදුවූවක් බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයිනේ බන්ධනාගාර පහක ඉදිරියේදී ගැටුම් ඇතිවිය හැකි බවට බුද්ධි අංශ ලබාදී තිබූ තොරතුරුවල සත්‍යතාව මෙකී සිදුවීම්වලින් තහවුරු වී තිබේ.
නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ උපදෙස් මත, කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, බස්නාහිර උතුරු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ සහ රත්නපුර දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ මෙහෙයවීමෙන් ඉදිරි පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
රත්නපුර දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ ද මෙහෙයවීම යටතේ මේ හා සම්බන්ධයෙන් ඉදිරි පොලිස් පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යනු ලබයි. කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ ගැටලුව එදින සවස හතරට පමණ වන විට සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකිවුණි. එහිදී රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දරගේ මූලිකත්වයෙන් රත්නපුර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි .එච් ජයරත්න සහ පොලිස් පරීක්ෂක මායාදුන්නද සහභාගි වූහ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd