“රට ඉස්සර පාලනය වුණේ සිරිකොතෙන්. ඒක කාටවත් ප්‍රශ්නයක් වුණේ නෑ. තව කාලයක් පාලනය වුණේ ඩාලි පාරෙන්. ඒත් කාටවත් ප්‍රශ්නයක් වුණේ නෑ. දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන් තමයි. ඒක පිරිසකට ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, රටක බලය හම්බ වෙන්නේ දේශපාලන පක්ෂයකට. මේ පාර බලය ලැබුණේ පැලවත්තට. පැලවත්තේ තමයි ජවිපෙයි මාලිමාවෙයි මූලස්ථානය. ඔව්, පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ...”

ඉතා ඍජුව මෙම අදහස පළ කළේ, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බිමල් රත්නායකය. පැලවත්තේ ජ.වි.පෙ. කණ්ඩායමේ නායකයා බව කියන්නේ ද බිමල්ය.

“රටේ ජනතාව බලය දුන්නේ අනුර දිසානායකට මිස පැලවත්තට නොවෙයි. බිමල් රත්නායක පැලවත්තට බලය ලැබුණා කීවාට එහෙම බලයක් ජනතාව දුන්නේ නෑ. ජනතාව බලය දුන්නේ විධායකය ලෙස අනුර දිසානායකට...” සමගි ජන බලවේග මන්ත්‍රී හර්ෂණ රාජකරුණා බිමල් රත්නායක ඇමැතිවරයාට ප්‍රතිචාර දැක්වූයේ එහෙමය. විපක්ෂ මන්ත්‍රී දිලිත් ජයවීර ඉකුත් සිකුරාදා පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඇමැති හර්ෂණ නානායක්කාර හැඳින්වූයේ වසර දෙකක් පැලවත්තේ බන්ධනාගාරගතව සිටින “ඇමැති හර්ෂණ නානායක්කාර” වශයෙනි. විපක්ෂයේ මේ හැමදෙනාම පවසන්නේ රට පාලනය කරන්නේ ජනාධිපති හැටියට අනුර නොව පැලවත්තේ ජ.වි.පෙ. මූලස්ථානයේ සිටින කණ්ඩායමක් බවය. මහලේකම් ලෙස ටිල්වින් එම කණ්ඩායම මෙහෙයවයි. එහෙත්, අසූ නවයේ භීෂණ සමයේ සිට අප්‍රකටව සිටින මධ්‍යම කාරක සභිකයන් පිරිසක් ද දේශපාලන මණ්ඩල පිරිසක් ද පැලවත්තේ පක්ෂ මූලස්ථානයේ පූර්ණ බලය දරති. රට කෙරෙන්නේ මේ පිරිසට වුවමනා අයුරිනි. එතැනින් ගන්නා තීන්දු පක්ෂයක් ලෙස මහලේකම් ටිල්වින්ගෙන් සහ ජනාධිපතිවරයා ලෙස අනුරගෙන් නීත්‍යනුකූල වෙයි. විපක්ෂය කියන පැලවත්තේ බලය ඇත්තේ එම පිළිවෙළටය. අන්තිමට බිමල් රත්නායක ඇමැතිවරයා පැහැදිලිවම පිළිගත්තේත් ඒ කතාවය.

සමූල ඝාතනයෙන් පසු ජ.වි.පෙ. යළි ක්‍රියාකාරි දේශපාලනයට පැමිණි 1994න් පසු ජ.වි.පෙ. මෙහෙයවූ ප්‍රධාන ක්‍රියාකාරින්ගේ තෝරා ගැනීම වී තිබුණේ ද බිමල්ය. සදා ජ.වි.පෙ.ට හිතැති ක්‍රියාකාරිකයකු ලෙස බිමල් රත්නායක මහලේකම් ධුරයට වුවත් සුදුසු බවට මතයක් අනූවේ දශකයේ අගභාගය වෙද්දී ජ.වි.පෙ. තුළ මතුව තිබිණි. ඒ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූ බිමල්, පක්ෂයේ දේශපාලනය වෙනුවෙන්ම ඇරුණු ක්‍රියාකාරිකයකු ලෙස රටේත් මාධ්‍ය ක්ෂේත්‍රයේත් නමක් දිනාගෙන තිබිණි. ජ.වි.පෙ. දණ ගාමින් නැගිටින්නට හැදූ ඒ ළදරු අවධියේ මහලේකම් ටිල්වින් සිල්වාට සමානවම මාධ්‍ය ක්ෂේත්‍රයේ ආකර්ෂණයක් බිමල් රත්නායකට ලැබී තිබිණි. 

නිදහසෙන් පසු පැවැති සෑම ආණ්ඩුවක් ගැනම කතා කරද්දී ඒ සෑම ආණ්ඩුවකම බලය රැඳුණු විශේෂිත තැනක් තිබිණ. ඒ, රාජ්‍ය නායකයාගේ නිවෙසය. එකල ජනතාව නිරතුරුවම ඒකරාශි වූයේ එම නිවෙස වටාය. ‘බලය රැඳුණු තැන’ යැයි සරල භාෂාවෙන් කියැවෙන්නේ ඒ නිසාය. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක අගමැතිවරුන්ගේ බලය රැඳුණේ බොරැල්ලේ වුඩ්ලන්ඩ්ස් මැදුරේය. බණ්ඩාරනායකවරුන්ගේ බලය රැඳුණේ හොරගොල්ලේ සහ රොස්මිඩ් බංගලාවේය. ඒ අයුරින් සෑම නායකයකුම බලයේ සිටියදී නිතර නම කියැවෙන – ජනතාව නිතර යන එන ඔවුන්ගේ නිවාස දශක ගණනාවක් ගියත් ජනතා මතකයෙන් මැකී ගියේ නැත.

සේනානායකවරුන්ගේ නිජබිම මීරිගම බෝතලේ ග්‍රාමයය. ඉතා දුර අතීතයකට බැඳෙන ඉතිහාසයක් සේනානායකවරුන් සම්බන්ධයෙන් එහි තිබේ. ලංකාවේ පළමු අගමැති, මහාමාන්‍ය ඩී. එස්. සේනානායක බිහි වූයේ බෝතලේ වලව්වෙනි. අගමැතිවරයාගේ බලය රැඳුණු තැන වූයේ බොරැල්ලේ වුඩ්ලන්ඩ්ස් මන්දිරයය. අගමැතිවරයා ජීවත් වූයේ එහිය. ඔහු එහි සිට රාජ්‍යය මෙහෙයවූයේය. 1915 කෝලහාලයේදී පන්ජාබ් සොල්දාදුවන් විසින් ඩී.එස්. සේනානායක අත්අඩංගුවට ගන්නා ලද්දේත් වුඩ්ලන්ඩ්ස් මැදුරේදීය. රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලය තුළත්, අගමැති වූ පසුවත් ඩී.එස්. සේනානායකයන් රැඳී සිටියේ මෙම නිවෙසේය. අගමැති ඩී.එස්. ගේ අභාවයෙන් පසු අගමැති ධුරයට පත් වූ ඩඩ්ලි සේනානායක ජීවත් වූයේ ද ‘වුඩ්ලන්ඩ්ස්’ මැදුරේය.

1965 දී රජයක් පිහිටුවීමට යාන්තමින් වැඩි ආසන ගණනක් දිනාගත් ඩඩ්ලි සේනානායක, ෆෙඩරල් පක්ෂ නායකයන් සමග සභාග රජයකට එකඟ විය. සභාගය සඳහා සාකච්ඡා කිරීම පිණිස ෆෙඩරල් පක්ෂ නායකයන් පැමිණියේ ඩඩ්ලිගේ වුඩ්ලන්ඩ්ස් නිවෙස වෙතය. යළිත් වුඩ්ලන්ඩ්ස් නිවෙස රාජ්‍යයේ බලය රැඳුණු නිවෙස බවට පත්ව තිබිණි. 1970 දී මහා මැතිවරණයෙන් එ.ජා.ප.ය පරාජය ලබන තුරුම එ.ජා.ප. ආධාරකරුවන්ගෙන් නිරතුරුවම වුඩ්ලන්ඩ්ස් මැදුර පිරී ගියේය. 1970 මහ මැතිවරණයෙන් ජය ගත්තේ ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සමගි පෙරමුණයි. මැතිවරණ පරාජය ගැන ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ මෙසේ සඳහන් වේ.

“ඩඩ්ලි සේනානායකගේ වුඩ්ලන්ඩ්ස් මැදුරේ පැවැතියේ දොම්නස් පරිසරයකි. පක්ෂ නායකයා අතිශය දුර්මුඛව සිටියේය. පෙර දා දැදිගම ඡන්ද ව්‍යාපාරය මෙහෙයවා රාත්‍රියේ වුඩ්ලන්ඩ්ස් වෙත ආ අගමැතිවරයා පසු දාට එළිවෙද්දී හිටපු අගමැතිවරයා බවට පත් වී සිටියේය. ඔහුගේ ආධාරකරුවන් මෙන්ම ඥාතීන් ද ඔහු අස්වසාලීමට දැරූ වෑයමට ප්‍රතිචාර නොදැක්වූ අගමැතිවරයා සිය නිවෙසේ උඩු මහලේ තම කාමරයට වී කාලය ගත කළේය.”

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක 1973 දී අභාවප්‍රාප්ත වූ පසු, ඔහුගේ ජනප්‍රියතාව මුළු රටටම දැකගත හැකි විය. බොරැල්ල නගරයත්, අවට මංමාවත් සියල්ලත් විශාල මහජන පෝලිම්වලින් වැසී තිබුණේය. ශෝකාකූල ජනතාව වුඩ්ලන්ඩ්ස් මැදුර වටා ශෝකයෙන් යුතුව රැඳී සිටියහ. එකල ද විපක්ෂය වුඩ්ලන්ඩ්ස් මැදුර එල්ල කර විවිධ කතා කීව ද, රටේ ජනතාව වුඩ්ලන්ඩ්ස් මැදුර පිළිගත්තේ මහා බලසම්පන්න තැනක් හැටියටය.

දශක හතකට පමණ දුරාතීතයේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවලය. 1936 දී මංමාවත් හා කර්මාන්ත ඇමැති වූ සර් ජෝන් කොතලාවල ඉන් පසු දිගටම ඇමැති ධුර දැරීය. 1952 දී එ.ජා.ප.ය රජයේ සභානායකවරයා වූයේ ද ඔහුය. 1953 දී අගමැති ඩඩ්ලි සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ පසු අගමැති තනතුරට පත්වූයේ සර් ජෝන් කොතලාවලය. ඔහුගෙන් එ.ජා.ප.යට වූ සේවය අති විශාලය. 

එකල එ.ජා.ප.යට කාර්යාලයක් තිබුණේ නැත. සර් ජෝන් කොල්ලුපිටියෙන් ඉඩම් කෑල්ලක් ගැනීමට අරමුදලක් පිහිටුවා තමන්ගේ ද විශාල මුදලක් එම අරමුදලට බැර කළේය. එහි ඉදිකළ පක්ෂ කාර්යාලය නම් වූයේ “සිරිකොත” නමිනි. සිරිමත් කොතලාවල යන නම අනුව “සිරිකොත” යන නම ලැබූ මෙම කාර්යාලය පසුව ජේ.ආර්. ජයවර්ධන සමයේ ජයවර්ධනපුර කෝට්ටේට ගෙන යනතුරුම කොල්ලුපිටියේ පවත්වාගෙන යනු ලැබීය.

කොතලාවලගේ වලව්ව පිහිටි කඳවලවත්ත අක්කර සියයක ඉඩමකි. නවසිය විසි ගණන්වල ඔහු එම ඉඩමේ තම නිවෙස ඉදිකළේය. ඔහු ඇමැතිවරයකු වූ සමයේත්, අගමැති වූ පසුවත් එතෙර අමුත්තන් ද මෙතෙර ඡන්දදායකයන් ද විවිධ ප්‍රභූවරුන් ද පැමිණියේ මෙම නිවෙසටය. සර් ජෝන්ගේ භාෂා ප්‍රතිපත්තියට සිංහල සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල විය. විරෝධයේ පෙරමුණ ගත්තේ භික්ෂුන් වහන්සේලාය. විරෝධතාකරුවෝ ගාලු මුවදොර පාර්ලිමේන්තුව ඉදිරිපිට පමණක් නොව අගමැති නිවෙස වූ කඳවල වලව්වේ ඉදිරිපස මිදුලේ ද වාඩි වී සත්‍යග්‍රහයක නිරත වූහ. එහි ද වැඩිපුර සිටියේ භික්ෂුන් වහන්සේලාය. 

තමාට කුමන විරෝධතා එල්ල කළත් එම විරෝධතාවලට නොසැලුණු අගමැතිවරයා තමාගේ නිවෙස ඉදිරිපිට රැඳී සිටිමින් පෞද්ගලිකව කරන හිරිහැරය ඉවසා සිටියේ නැත. තමාට වලව්වෙන් පිටතට යා යුතු බව භික්ෂුන් වහන්සේලාට දැන්වුව ද උන්වහන්සේලා එතැනින් ඉවත්ව ගියේ නැත. කිසිවකුටවත් බිය නැති පුද්ගලයකු ලෙස ප්‍රකටව සිටි සර් ජෝන් ඊළඟට ගත්තේ තමාටම ආවේණික ක්‍රියාමාර්ගයකි. තමාගේ මෝටර් රථයට නැගුණු ඔහු එය වේගයෙන් පදවාගෙන ආවේ භික්ෂුන් උපවාස කරමින් සිටි ස්ථානය වෙතය. මෝටර් රථය ළං වෙද්දී භික්ෂුන් වහන්සේලා සීසීකඩ දිවූහ. අගමැතිවරයා තම ගේට්ටුවෙන් පිටතට වාහනය පදවාගෙන ගියේය. යළිත් නිවෙස ඉදිරිපිට එවැනි උද්ඝෝෂණ ඇති වූයේ නැත. 1956 දී කඳවල වලව්වට තිබූ ගෞරවනීය තත්ත්වය අහෝසි වූයේ ඔහු මැතිවරණයෙන් පරාජය වූ නිසාය.

රණසිංහ ප්‍රේමදාස අගමැති සමයේ ද, ජනාධිපති වූ පසුව ද රාජකාරි කළේ සුචරිතයේ සිටය. මැද කොළඹ සුචරිත මැදුර ඔහු සැලකුවේ ඔහුගේ ජයභූමිය හැටියටය. 1989 ජ.වි.පෙ. සහ රජය අතර දැඩි ගැටුම් පැවැති සමයේ ජ.වි.පෙ. නියෝජිතයන් සමග ද, ඉන් පසුව එල්.ටී.ටී.ඊ. නියෝජිතයන් සමග ද ප්‍රේමදාස ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වූයේ සුචරිතයේ සිටය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීප සගයකු වූ හිටපු ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ ජ.වි.පෙ. දෙවැනි පෙළ නායකයන් සහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අතර සුචරිතයේ පැවැති සාකච්ඡාවක් ගැන මෙසේ සඳහන් කර ඇත.

“මම ඩී. ඇම්. ආනන්ද සහ රඹුක්පොත කැටුව සුචරිතයට ගොස් විජේවීර මුණගැසීම ගැන ජනාධිපතිතුමා සමග යළිත් සාකච්ඡා කළෙමි. ජනාධිපතිතුමා අවසාන වශයෙන් කියා සිටියේ, ඒ වන විටත් කාලය ඉක්මවා ගොස් තිබුණු බැවින් රටේ වන අපරාධ දැක දැක සිටිය නොහැකි හෙයින් ජ.වි.පෙ. නායකයාට තමා හමුවීමට වහාම කටයුතු සලස්වන ලෙසය.”

ප්‍රේමදාස ජනාධිපති වූ පසු රට පාලනය කළ නිල නොවන මූලස්ථානය වූයේ ඔහුගේ ජයබිම වූ සුචරිතයය. ජනාධිපති ලේකම් කාර්යාලය ආදියෙහි නිල කාර්යාල තිබුණත්, ජනාධිපතිවරයා රැඳී සිටියේ සුචරිතයේය. විදේශ තානාපතිවරුන් පවා යා යුතු වූයේ සුචරිතයටය. එම භීෂණ සමයේ මෙරට සිටි ඉන්දීය මහකොමසාරිස්වරයා වූ ජෝතීන්ද්‍ර නාත් ඩික්සිත් තානාපතිවරයකුට වඩා බලතල තිබූ ඉන්දිය ප්‍රබලයෙක් විය. ඔහු ලංකාවේ තම අත්දැකීම් ඇසුරින් ලියූ ‘කොළඹ භූමිකාව’ කෘතියෙහි සුචරිතයේදී ප්‍රේමදාස හමු වූ ආකාරය ගැන මෙසේ විස්තර කරයි.

“ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් දින දෙකකට පසුව එනම් 1988 දෙසැම්බර් 21 වැනිදා විශේෂ හමු වීමක් සඳහා මැද කොළඹ පිහිටි ඔහුගේ නිවාසය වූ සුචරිතයට මා කැඳවීය. විනාඩි 30ක් පමණ බලා සිටීමට හැරීමෙන් පසු ඔහු මා හමු වීමට පැමිණියේය.” ඩික්සිත් එසේ සඳහන් කරයි.
ජාතික ජන බලවේගය පාලන බලය ලබාගත් පසු පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානය විපක්ෂ දේශපාලකයන්ගේ නිරන්තර ප්‍රහාරයට ලක්විය. පැලවත්තේ ජ.වි.පෙ. කණ්ඩායමේ නායකයා ලෙස බිමල් ඇමැතිවරයා පැහැදිලිවම කියන්නේත් රට කරන තැන පැලවත්ත බවය.

සිරිකොතෙන්, සුචරිතයෙන්, ඩාලි පාරෙන් රට පාලනය කෙරුණේත් ඒ පිළිවෙළටය. සිරිකොතේ ජෝන් කොතලාවල ඉන්න කාලයේත් ජේ. ආර්. ඉන්න කාලයේත් ප්‍රතිපත්ති හැදුවේ “ඔරිජිනල්ම යූඇන්පීකාරයන් ටිකය. ඩාලි පාරේ මැතිනිලාගේ ආණ්ඩු පවතිද්දී රටේ ප්‍රතිපත්ති හැදුවේ ඔරිජිනල්ම ශ්‍රී ලංකාකාරයන් ටිකය. චන්ද්‍රිකා ජනපති වූ පසු පක්ෂය පැත්තකින් තියා තාරා ද මෙල් ලා ළං කරගෙන රටේ ප්‍රතිපත්ති හැදුවේත් එහෙමය. එහෙත්, ඒ ආණ්ඩුවල පක්ෂයෙන් ලැබෙන අණ කුමක් වුවත්. ජනාධිපති හෝ අගමැති තනිව ගන්නා තීන්දු තීරණත් තිබිණි. එහෙත්, අද පෙනෙන්නට ඇත්තේ සියලුම තීන්දු ගැනෙන්නේ පැලවත්තෙන් බවය. විපක්ෂය මෙතරම්ම පැලවත්තට ගහන්න හේතුවත් ඒකය.

ප්‍රේමකීර්ති රණතුංග