මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමුකර ඔවුන් සහනාධාර මත යැපීමෙන් මුදාගැනීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා පැවසීය. 2027 අයවැය යෝජනා පිළිබඳ කළ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. අඩු ආදායම්ලාභීන් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන අර්ධ කාලීන ශ්‍රම දායකත්වයක් කරා ඔවුන් යොමුකළ යුතු වන බවද වැවිලි ක්ෂේත්‍රය වැනි අංශවල එවැනි අවස්ථා ඇති බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ මගින් රුපියල් විසිපන්දහසක් වැනි මුදලක් ලැබෙන අතර නිකරුණේ එම මුදල් වැය කරන බවට නිරතුරුව විවේචන එල්ල වේ.

ග්‍රාමීය ජනතාවගේ දුගී දුප්පත්කම තුරන් කිරීම ඉතා හොඳ කටයුත්තකි. ඒ සඳහා සියලු ආණ්ඩුවලට ස්තූතිවන්ත විය යුතුය. මෙතෙක් රටේ සිටි සෑම නායකයකුම එවැනි සහනාධාර වැඩසටහන් හඳුන්වා දෙමින් බලාපොරොත්තු වූයේද ග්‍රාමීය දුගී දුප්පත්කම තුරන් කිරීමය. ආහාර මුද්දර, ජනසවිය, සමෘද්ධි, දිවි නැගුම හා අස්වැසුම සහනාධාර ක්‍රම ආරම්භ වූයේත් ඒ සඳහාය. එහෙත් ඒ සියලු සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක වුවත් මෙරට ජනතාවගේ දුගී දුප්පත්කම තුරන් වූයේ නැත. සිදු වූයේ දුප්පත්කම තව තවත් වැඩි වීමය.

සහනාධාරයේ ආරම්භය

මෙරට ක්‍රියාත්මක වූ ආහාර සහනාධාර ක්‍රමයේ ආරම්භය දෙවැනි ලෝක මහා සංග්‍රාම අවධිය කරා දිවෙයි. ලෝක සංග්‍රාමයේ අවසාන සමයේදී ලොව පුරා ආහාර අර්බුදයක් ඇතිවිය. මෙම අර්බුදයට විසඳුමක් ලෙස එවක යටත්විජිත රජය ආහාර සහනාධාර ක්‍රමයක් ආරම්භ කළ අතර එමගින් රටේ සියලුම ජනතාවට සහන මිලට සහල් යම් ප්‍රමාණයක් හිමිවිය. යටත්විජිත රජය ඉවත් වීමෙන් පසු ද මෙම ක්‍රමය 1970 රජය පැමිණෙන තුරු නොකඩවා ක්‍රියාත්මක විය. 1970 රජයට අයවැය පියවා ගැනීම දුෂ්කර වූ අතර ආනයනය දැඩි සීමා කිරීමකට ලක් විය. 1975 දී ආදායම් බදු ගෙවන පිරිස් සඳහා ධාන්‍ය සහනාධාරය ඉවත් කෙරිණි.

1962 සහ 1971 අතර දස අවුරුදු කාලසීමාවේ මෙරට පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය රටේ සංවර්ධනය අඩාල කළ දස වසක් ලෙස හඳුනාගත හැකිය. මෙම කාලයේ එක් පක්ෂයක් නොව ශ්‍රීලනිපය හා එජාපය යන ප්‍රධාන පක්ෂ දෙකම අවස්ථා දෙකකදී රට පාලනය කළේය. මෙකී කාලය තුළ රජය ජනතාවට ලබාදුන් ආහාර සහනාධාර වෙනුවෙන් වැය කළ මුදල රජය ආයෝජන වෙනුවෙන් වැය කළ මුදලට වඩා මඳකින් පමණක් අඩුවිය. දස අවුරුදු කාලය සඳහා ආහාර සහනාධාර වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 5281 කි. ආයෝජන වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් මිලියන 6584 කි. එකල ඇමෙරිකානු ඩොලරයක වටිනාකම වූයේ රුපියල් අටකි. ආහාර සහනාධාර වෙනුවෙන් වැය කළ මුදල්වලින් යම් ප්‍රමාණයක් හෝ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආයෝජනය කළා නම් රටේ සංවර්ධනය මෙයට වඩා විශාල දියුණුවක් ලබා තිබෙනවාට සැකයක් නැත. එහෙත් ජනතාව තම උදරය ගැන සිතූ අතර දේශපාලකයන් තම අනාගත මැතිවරණ ගැන සිතීමේ ප්‍රතිඵලය වූයේ රාජ්‍ය ආපස්සට යාමය.

ආහාර මුද්දර එයි

එවකට විපක්ෂය විසින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය එතෙක් පැවැති ආහාර සහනාධාර ක්‍රමය බොහෝ සෙයින් සීමා කිරීමට තීන්දු කළ අවස්ථාවේ දැඩි විවේචනයක් එල්ල කළ ද එම අවස්ථාවේ කළ යුතු වූ සුදුසුම ප්‍රතිසංස්කරණය එය විය. ජනතාවට නොමිලේ කන්න දීමේ රාජ්‍ය පිළිවෙත් නිසා රාජ්‍ය මූල්‍ය තත්ත්වය දරුණු පිරිහීමකට ලක්ව තිබිණි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආර්ථික විපර්යාස සිදුකිරීම සඳහා උපදෙස් පැතුවේ බී.ආර්. ෂෙනෝයි නම් ඉන්දියානු ආර්ථික විශේෂඥයකුගෙනි. පරිභෝජන භාණ්ඩ සඳහා වූ මිල සහන අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ඔහු යෝජනා කළේය. රාජ්‍ය සහනාධාර ලෙස නොමිලේ ආහාර පැකේජයක් ජනතාව වෙත ලබාදීම ද ඉන්දීය ආර්ථික විශේෂඥයාගේ විවේචනයට ලක් වූ අතර එම ආධාර ඉතාම සුළු පිරිසකට පමණක් ලබාදෙන ලෙස ද ඔහු උපදෙස් දුන්නේය. 1977 විවෘත ආර්ථිකයත් සමඟ ජේ.ආර්. ගේ ආර්ථික ප්‍රතිපත්තිය හැඩගැසුණේ එම උපදෙස් අනුවය. ඒ අනුව එතෙක් රටේ සියලුම ජනතාවට හිමිවූ සහල් සලාකය ජනගහණයෙන් බාගයකට පමණක් පිරිනැමුණි. මෙම කප්පාදුව ආහාර සහනාධාරය විපර්යාසයකට භාජනය කිරීමේ පළමු පියවර විය. ඊළඟ වසර කිහිපය තුළ සහනාධාරලාභීන් තවත් විශාල වශයෙන් අඩු කෙරිණි. එය දේශපාලන අවදානමක් වුවද ජේ.ආර්. ගේ මැතිවරණ ජයග්‍රහණය අනුව ඔහුට එය සිදුකිරීමේ හැකියාව තිබිණි.

ආහාර මුද්දර ක්‍රමය තුළින් දරිද්‍රතාව අවම කිරීම සිතූ තරම් සාර්ථක නොවීම නිසා ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනසවිය වැඩසටහන ආරම්භ කළේය. එය ලබාදුන්නේ එකල මසකට රුපියල් 700ට වඩා අඩු ආදායමක් ලැබූ පවුල්වලටය. මෙසේ තෝරාගත් පවුල්වලට සිය ආයෝජන හා පාරිභෝගික අවශ්‍යතා සඳහා මසකට රුපියල් 2500ක මුදලක් ප්‍රදානය කෙරිණි. මෙය වසර දෙකක ආධාර වැඩසටහනකි. මෙම ජනසවිය ප්‍රතිලාභ වැඩසටහනේ වඩාත්ම වැදගත් කොටසක් වූයේ ප්‍රතිලාභ ලබන සෑම පවුලක්ම මසකට දින විස්සක ශ්‍රම දායකත්වයක් ප්‍රදේශයේ පොදු වැඩ වෙනුවෙන් ලබා දිය යුතු වීමය. එකල මංමාවත් පිළිසකර කිරීමට, ඇළ මං සැකසීමට, ක්‍රීඩා පිටි හා පොදු ළිං පිළිසකර කිරීමට හා මාර්ගවල එකතුවන කුණු රොඩු ඉවත් කිරීමට මෙම පිරිස යොදා ගැනිණි. එවකට විපක්ෂය වූ ශ්‍රීලනිපය මෙම ශ්‍රමික පිරිස හෑල්ලුවට ලක් කළේ කුණු ඇදීමට ජනතාව යොදාගෙන ඇති බව කියමිනි. සුපුරුදු විපක්ෂ විවේචනය වූ මෙවැනි විවේචන සෑමවිටම පොදු වැඩකදී දැකගත හැකිය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවත්ව සිටින තුරුම ප්‍රතිලාභීන්ගේ ශ්‍රමය නොකඩවා මාස් පතා ලබා ගත්තේය. 1977 සිට 1994 දක්වාම එජාප ආණ්ඩු රජයෙන් ලබාදෙන සහනාධාරයට හිලව් ලෙස එම පවුල්වලින් රට වෙනුවෙන් ශ්‍රමය වැය කිරීමට නියම කළ බව දැකගත හැකිය.

ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක වූ යුගයේ මාර්ග අද්දර කුණු රොඩු අල්ප විය. ග්‍රාමීය මාර්ග දෙපස මසකට දෙතුන් වතාවක්වත් උදලු ගා නඩත්තු කිරීම නිසා එම මාර්ග ද පිරිසිදු විය. එහෙත් වර්තමානයේ ගම්බද මාර්ග දෙපස එවැනි නඩත්තුවක් සිදු නොවේ. ඩෙංගු වැනි වසංගත රෝග බෝවීම වේගවත් වී ඇත්තේ කැළි කසළ ඉවත් කිරීම සිදු නොවන නිසාය. රජයෙන් සහනාධාර ලබන ශ්‍රමිකයන්ගෙන් එම කටයුතු කරගත හැකිය. ජනසවියේ එක් ප්‍රධාන කොන්දේසියක් වූයේ නියමිත ශ්‍රම ඒකක විස්සක ප්‍රමාණය මසකට ලබා නොදෙන පවුල්වලින් එම සහනාධාර ඉවත් කරන බවය. ඒ නිසා රටේ පොදු වැඩ කෙරුණි. වර්තමානයේද එවැනි නියමයක් පනවා සහනාධාරලාභීන්ගේ ශ්‍රමය ලබාගත යුතුය.

දශක කිහිපයකට පෙර මෙරට නියං ආපදා පැවැති අවස්ථාවල රජය මහජනතාවට ආධාර ලබා දුන්නේ එම ජනතාවගෙන්ද පෙරළා රටට ප්‍රයෝජනයක් ලබා ගනිමිනි. එනම් වසරේ නිශ්චිත දින කිහිපයක් ප්‍රදේශයේ මහාමාර්ග ප්‍රතිසංස්කරණයට දායක වීමය. යටත්විජිත යුගයේ සිටම මෙම ක්‍රමය පැවත ආවේය. 1982 වසරේ මුල භාගයේද රජරට සහ වයඹ පළාත් මහා නියඟයකින් පීඩා වින්දේය. එම අවස්ථාවේ රජය තීරණය කළේ නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට එතෙක් ලබාදුන් ආහාර මුද්දරවලට අමතරව මුදල්ද ලබා දීමටය. මෙම මුදල් වෙනුවෙන් මසකට දින 14ක කාලයක් ප්‍රදේශයේ වැව් පිටි, ඇළ මාර්ග සහ මාර්ග පිළිසකර කිරීමට ආධාර ලබාගන්නා ජනතාවට සිදුවිය. එමගින් දුෂ්කර මොහොතේ ඔවුන්ට අතට මුදලක් ලැබීමද ඔවුන්ගේ ශ්‍රමයෙන් රටට යහපතක්ද සිදුවිය.

එහෙත් අද කිසිදු සුබසාධක දීමනාවක් ලබන ජනතාව ප්‍රදේශයේ පොදු ශ්‍රමදාන කටයුත්තකට දායක කරගන්නේ නැත. එකල වාරි සංස්කෘතියක් නොමැති වයඹ පළාතේ අන් ප්‍රදේශවලද නියං සමයට ජනතාවට නියං සහනාධාර බෙදා දුණි. ඒ සියලු දෙනාමත් ප්‍රදේශයේ මාර්ග නඩත්තුවට දායක කර ගැනීම එකල සිදුවිය.

රජයෙන් ලබාදෙන සහන වෙනුවෙන් එම සහනාධාරලාභීන් පෙරළා තම ශ්‍රමය රජයට ලබාදීමේ ක්‍රමය සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භක යුගයේද යම් තරමකට පැවතිමුත් 2005 රජය පත් වූ පසු එම ශ්‍රමය ලබාගැනීම අතහැර දැමිණි. එතැන් සිට සමෘද්ධි ඇතුළු රජයෙන් ආධාර ලබාගන්නා පිරිසට මුදල් සහ භාණ්ඩ ප්‍රතිලාභය ලැබුණු මුත් ඔවුන් නිශ්චිත දින ගණනක් රට වෙනුවෙන් දහදිය හෙළීමේ ක්‍රමය නැවතිණි. බොහෝ දෙනා එම සහනාධාර ක්‍රමවලට අලුතෙන්ම ඇතුළත් කරමින් තම දේශපාලන හිතවතුන් සතුටු කිරීමේ ක්‍රමයක් ආරම්භ විය. රජය තවත් පිරිසකගෙන් බදු අයකරමින් එක් කොටසකට “නත්තල් සීයා සේ” තෑගි බෙදමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන පවුල් සංඛ්‍යාව පනස්හත් ලක්ෂයකි. අස්වැසුම සහනාධාරය සඳහා 2024 වනවිට ඇතුළත් කරගෙන සිටි පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 කි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ආරම්භ කළ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වූයේ සමෘද්ධි වැඩසටහනට අමතරවය. ඒ අනුව සහනාධාර ලබන පවුල් ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට ආසන්න වේ. ජාතික ආදායමෙන් විශාල කොටසක් සහනාධාර සඳහා ජනතාවට ආපසු පුද කෙරෙන්නේ නම් සංවර්ධනය යනු මිත්‍යාවකි.

පැවැති ආණ්ඩු ක්‍රියාත්මක කළ අනිවාර්ය ප්‍රජා සේවය යළිත් රාජ්‍ය සහනාධාරලාභීන්ගෙන් ලබාගන්නා ක්‍රමයක් මෙරට ඇතිකළ යුතුය. මේ වන විට ඩෙංගු රෝගය වසංගතයක තත්ත්වයට පත්වෙමින් යන්නේ නිසි කසළ කළමනාකරණයක් නොමැති නිසාය. ගම්බද මාර්ගවල නිසි නඩත්තුවක් නොමැතිකමින් ඒවා සෝදාපාළු වී වල් බිහිවෙයි. අස්වැසුම වැනි රාජ්‍ය සහනාධාර ලබන පිරිස් ප්‍රජා සේවයට යොදවා ගැනීම නොපමාව ආරම්භ කළ යුතුය. එය ඔවුන් වෙනුවෙන් බදු ගෙවන අන් ජනතාවට ද කරන මහඟු සේවයකි.
ප්‍රේමකීර්ති රණතුංග