
ගමේ සංවර්ධන වැඩ ලබන වසරේ
ආණ්ඩුව රට හදන්න ආවාට ගම හදන්නේ නැතැයි ජනතාවගෙන් නැගෙන චෝදනාවකි. බොහෝ ග්‍රාමීය මාර්ග අබලන් වී ඇති බවත් වත්මන් ආණ්ඩුව යටතේ බෝක්කුවක්වත් හදා නැති බවත් ඇතැම් ජනතාව කියති. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඇමැතිවරුන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවක දී ද මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.
“නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්නයක් නෑ. දූෂිතයන්ට දඬුවම් දීම ගැනත් ජනතාවට ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට ගමේ පාර හැදෙන්නෙ නෑ. බෝක්කුව හැදෙන්නෙ නෑ. රටට වැඩ කළාට ආණ්ඩුව ගමට වැඩ කරන්නේ නෑ වගේ මතයක් ජනතාව අතර තියෙනවා” ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
“ඒක ඇත්ත... මෙතන තියෙන්නෙ කොන්ත්‍රාත් ගැන ප්‍රශ්නයක්නෙ නේද?”
වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ විමසුවේය.
“ඔව්. මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි ඉස්සර වගේ බාගෙට වැඩ කරලා සල්ලි ගන්න බැරිකම. ඒ නිසා කොන්ත්‍රාත්කාරයෝ කොන්ත්‍රාත් කරන්න කැමති නෑ. එහෙමයි කියලා බාගෙට වැඩ කරන්න දෙන්නත් බෑ. අපි ඒකට උත්තරයක් සොයමු. ගොඩක්ම පළාත් පාලන ආයතනවලට තියෙන ප්‍රශ්නෙ තමයි සංවර්ධන කටයුතු සඳහා වුවමනා කරන යන්ත්‍ර සූත්‍ර හිඟය. අපි එවැනි යන්ත්‍ර සූත්‍ර ලබාගන්න වැඩ පිළිවෙළක් හදමු. එහෙම වුණොත් ඒ ආයතනවලටම සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන්. පළාත් පාලන ආයතන ශක්තිමත් කළ යුතුයි.. ලබන වසරේදී ගම හැදෙන්නම ඕනෑ. ඒ අපිට ඡන්දෙ දුන්න ජනතාවගේ බලාපොරොත්තු බිඳදාන්න බැරි නිසාම නොවෙයි. අපි ආවේ මේරට ගොඩ නගන්නේ. ඒ කටයුත්ත කවුරු බල කළත් නොකළත් අප විසින් කළ යුතුමයි.’’ ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනපති ලෝක බැංකු සුබ පණිවිඩය කියයි
ආර්ථික සංවර්ධන කටයුතු අතින් තමා වෙත ලැබී තිබුණු. සුබ පණිවිඩයක් ඇමැතිවරුන්ට හෙළි කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය. එනම් ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන තත්ත්වයේ සිට ඉහළ මැදි ආදායම් ලබන තත්ත්වය දක්වා ඉදිරියට පැමිණ ඇතැයි ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවය. ලෝක බැංකුව පවසා ඇත්තේ 2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් වසර තුනකට පසු කර්මාන්ත මූල්‍ය හා සංචාරක ක්ෂේත්‍රවල ඇති වූ පිබිදීම හේතුවෙන් මෙම තත්ත්වය ලබාගත් බවය. “අපිට ඒ ඇගයීම ඉතා වටිනවා. ආණ්ඩුවක් ලෙස අප අත්කරගත් ආර්ථික ජයග්‍රහණ නිසා තමයි මේ රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට යළිත් පත්කරගන්න පුළුවන් වුණේ” ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ පැවසීය.
හඳුන් හරි නේද?
“හරි අපි දැන් ගමට වැඩ කරන්න ඕනෑ නම් අපේ භාණ්ඩාගාරය ශක්තිමත් කර ගන්න ඕනෑ. දැනටත් අපි ඉලක්ක පසුකරලා ආදායම් උපයාගෙන තිබෙනවා. අපි එහෙම කළේ අලුතෙන් කිසිම බද්දක් ගහලා නෙවෙයි. නාස්තිය අවම කිරීමෙන් සහ හරියට බදු ටික එකතු කිරීමෙන්. තව ඉස්සරහට යන්න නම් ඒ මදි... අපනයන ආදායම වැඩි කරගන්නට වෙනවා. හඳුන් මොකද කියන්නෙ ඇමැතිතුමා කරන්න පුළුවන් නේද?..’’ ජනාධිපතිවරයා විමසුවේ කර්මාන්ත ඇමැති හඳුන්නෙත්ති ගෙනි.
‘‘අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමනි, හැමෝගෙන්ම සහයෝගයෙන් ඒ වැඩේ කරගෙන යනවා’’ ඇමැති හඳුන්නෙත්ති කීවේය.
එම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා දේශීය කර්මාන්තකරුවන් සහ අපනයනකරුවන් සමග සාකච්ඡා වාර කිහිපයක්ම පැවැත්වීය. අපනයන ප්‍රවර්ධනය කරමින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම එහි අරමුණ විය.
ජනපති සහ විපක්ෂ නායක එල්නියෝ ගැන සාකච්ඡාවක
ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා එකට එක්වී සාකච්ඡා කළ රැස්වීමක් ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඒ ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ රැස්වීමය. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් ද අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය සහ ඇමැතිවරුද පළාත් ආණ්ඩුකාරවරු ද රැස්වීමට එක්ව සිටියහ.
එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම පිළිබඳව කතාකළ ජනාධිපතිවරයා මේ වන විට පවතින පුරෝකථන කොතෙක් දුරට විද්‍යාත්මක දත්ත සමග සැසඳෙන්නේදැයි නිලධාරීන්ගෙන් විමසුවේය. වනජීවි කලාප තුළ ජලය හිඟවීමෙන් සතුන්ට වන පීඩාව මග හැරවීම සඳහා වනජීවි කලාප තුළ පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මගින් සකස් කළ යෝජනා සභාවට ඉදිරිපත් කළේය. දේශගුණික ප්‍රශ්නවලට ඔරොත්තු දීමේ හැකියාව සමස්ත රජයේම වගකීමක් විය යුතු බවත් ඒ සඳහා කෘෂිකර්ම ජල සම්පත් මුදල් ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අතර සමීප සබඳතාවක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා දැනට පවතින පනත සංශෝධනයේ දී එම යෝජනා සලකා බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ
හයවැනි ශ්‍රේණිය සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනතා විරෝධය නිසා මෙම වසරේදී ඉවත් කරගත්ත ද ලබන වසරේ දී එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති ලේකම්වරයා සහ අධ්‍යාපන බලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ ඒ සඳහා පැවති ගැටලු ගණනාවක්ම දැන් ඉවත් කර ඇති බවය. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙන පාසල් සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ලබාදී අවසන් වී ඇති අතර අධ්‍යාපන මොඩියුලද බෙදාදීමට සූදානම් කර ඇත. විරෝධයට ලක්වූ විෂයය ඒකක එම මොඩියුලවලින් ඉවත් කර ඇති බවද එහිදී හෙළිදරව් විය.
විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීම ස්ථිරයි?
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දිගු කිරීමට රජය සූදානම් වන බවට පැතිර ගිය ආරංචියත් සමග අධිකරණ සහ දේශපාලන ක්ෂේත්‍ර දෙකම යම් කැලඹීමකට ලක්විය. මේ වන විට දැන ගන්නට ඇත්තේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජය තීන්දු කර ඇති බවය.
මුලදීම මෙම වයස් සීමාව ගැන විරෝධයක් මතු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීන්දු කර ඇත්තේ මෙම වයස් සීමාව දිගු කිරීම ගැන මහජන අදහස් විමසීමක් සිදු කිරීමටය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවද ඉකුත් සතියේ රැස්වූ අතර එහිදී තීන්දු වී ඇත්තේ එකී වයස දිගු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලා සිටීමය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම සම්බන්ධයෙන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ද යම් කැළඹීමකට ලක්ව සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වකුගඩුව විකුණූ සල්ලි ගත් නීතිඥ කවුද?
අගවිනිසුරුතුමාගෙන් පසුව සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරයා වන යසන්ත කෝදාගොඩ ඉකුත්දා හෝමාගම නීතිඥ සංගමයේ උත්සවයකට එක් වෙමින් කළ ප්‍රකාශයක් මේ වන විට නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ. එතුමා එහිදී අධිකරණ පද්ධතිය මේ වන විට පත්ව ඇති තත්ත්වය ගැන කරුණු ගණනාවක් බාහිර සමාජය හමුවේ තැබුවේය. මේ වන විට මෙරට අධිකරණ පද්ධතියේ නඩු මිලියනයක් ගොඩගැසී ඇති බැවින් පද්ධතියේ තදබදයක් පවතින බවද එම නඩු විසඳීමට ඇත්තේ අධිකරණ 333 ක් පමණ බවද එතුමා පැවසීය. මෙම නඩු සමව බෙදී ගියහොත් එක් අධිකරණයකට නඩු 330 ක් පැවරෙන බවද ඒ සඳහා දැනට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව හා විනිසුරු නොවන අධිකරණ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් ද නැද්ද යන්න සිතා බැලිය යුතු බවද විනිසුරුතුමා පැවසීය. නීතිඥවරුන්ගේ ගාස්තු ගැනද කතාකළ කෝදාගොඩ විනිශ්චයකාරතුමා දැනට වසර පහළොවකට පමණ පෙර තම සොහොයුරකු මිනීමැරුම් නඩුවකින් බේරා ගැනීම සඳහා තවත් සහෝදරයෙකු නීතිඥගාස්තු ගෙවීමට වකුගඩුවක් විකුණා මුදල් ලබාගත් අවස්ථාවක් ගැනද එහිදී හෙළිදරව් කළේය. මෙම ප්‍රකාශය නීතිඥවරුන් අතර යම් කැලඹීමකට හේතු වී ඇතැයිද දැනගන්නට තිබේ. එසේ මුදල්ගත් නීතිඥවරයා කවුදැයි මේ වන විට නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති බවද දැන ගන්නට ඇත.
වයස වෙනස් කිරීමට තුනෙන් දෙකේ බලයක් ඕනෑ
විනිසුරුවරුන්ගේ රාජකාරි වයස දිගුකිරීමට රජය ගෙන ඇති බව කියන තීන්දුව සම්බන්ධයෙන් නීතිඥවරුන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විණි. සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ජනාධිපති නීතිඥ උපුල් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මහාචාර්ය ජී.එල්. පීරිස් හා නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. මෙම විශ්‍රාම වයස දිගුකිරීමෙන් අධිකරණ ක්ෂේත්‍රයේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේත් අවුල් ඇති වන බවට එහිදී කතාබහට ලක්විය. ‘‘ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නියම කර තිබෙනවා. මේ වයස වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත විය යුතුයි. ඒ වගේම ඕනෑම කෙනෙකුට අධිකරණයේ නඩු පැවරිය හැකියි, ජනමත විචාරණයකිනුත් සම්මත කරන්න නියෝගයක් ඉල්ලලා.’’
උපුල් ජයසූරිය පැහැදිලි කළේය. ‘‘මේ තත්ත්වය අනාගත ආණ්ඩුවලටත් පූර්වාදර්ශයක් කරගන්න පුළුවන්. ඒ ආණ්ඩුත් අධිකරණය ගැන විවිධ තීන්දු ගත්තොත් රටේ අධිකරණ පද්ධතියම අවුල් වෙනවා’’ එහිදී මත පළවිය.
මේ සම්බන්ධයෙන් ජනතාව අවදි කිරීම පිණිස ජනතා ව්‍යාපාරයක් බිහිකිරීමේ කටයුතු සෙනසුරාදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ කිරීමටද තීන්දු කෙරිණි.
යෝධකණ්ඩියේ දී ප්‍රේමදාස ගුණ සමරුවක්
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ගුණ සැමරුම වෙනුවෙන් පිං පැමිණවීමේ උත්සවයක් තිස්සමහාරාම යෝධ කණ්ඩිය විහාරස්ථානයේදී ඉකුත් සති අන්තයේ පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද එම අවස්ථාවට එක්විය. ප්‍රදේශයට පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් දානපතියකුගේ උදව්වෙන් ඉදිකර තිබූ අතර, විපක්ෂ නායක සජිත් එය විවෘත කළේය. උත්සවයට වැඩම කර සිටි මහා සංඝරත්නය එම පිංකම අගය කළේ, එය ප්‍රදේශයට මහත් සෙතක් බව පවසමිනි.
ඔලිවර් ගුණතිලකගේ දියණියගේ 100 වැනි උපන් දිනය
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වූ සර් ඔලිවර් ගුණතිලකගේ දියණිය වන ශීලා සතානාදන්ගේ සියවැනි උපන් දිනය වෙනුවෙන් සුබපැතීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා එම මහත්මියගේ පිටකෝට්ටේ පිහිටි පෞද්ගලික නිවසේදී පැවැත්විණි. දේශපාලන කටයුතුවලට කිසිදා සම්බන්ධ නොවූ ශීලා සතානාදන් මහත්මිය, පසුගිය දශක කිහිපයක්ම ගතකළේ කිසිදු පෞද්ගලික ප්‍රසිද්ධියකින්ද තොරවය. එහෙත් පවුලේ සමීප හිතවතුන් සමග ඇගේ සබඳතා දිගටම පැවතුණි.
හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු පවුලේ සමීප හිතවතුන් කිහිප දෙනකුට මෙම සුබපැතීමේ උත්සවයට ආරාධනා කර තිබිණ.
හිටපු කතානායක කරු ඇයගේ උපන් දිනය වෙනුවෙන් සුබපතා ටික වේලාවක් පිළිසඳර කතාබහක ද යෙදී සිටියේය. ‘‘නිදහසෙන් පස්සෙ අපේ රටේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක්. මෙතුමිය සමග අපේ සබඳතා දිගු කලක් තිස්සේ පැවතුණා.....’’ හිටපු කතානායක කරු එහි සිටි පිරිස සමග පැවසුවේය.
නාමල්ට හඳුන්නෙත්ති හමුවී....
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට ඉකුත් සතියේ නෙල්ලිගල විහාරයේ උත්සවයකට ආරාධනයක් ලැබී තිබිණි. නාමල් එදින කාල්ටන් නිවසේ ගත කළ අතර, උදෑසනම එම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
ඉන් අනතුරුව නාමල් උත්සව අවස්ථාවට සහභාගි වූ අතර, එහිදී තවත් අමුත්තකු දුටුවේය. ඒ සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයාය. නාමල්ව දුටු සුනිල් හඳුන්නෙත්ති කොහොම ද නාමල් යැයි විමසුවේය.
‘‘හොඳින් ඉන්නවා ඇමැතිතුමා’’ නාමල් ද උත්තර දුන්නේය.
‘‘කොහොමද දැන් තාත්තට’’ හඳුන්නෙත්ති ඇමැතිවරයා නාමල්ගෙන් විමසුවේය.
‘‘තාත්තා හොඳින් ඉන්නවා ඇමැතිතුමා’’ නාමල් උත්තර දුන්නේය. ‘‘එහෙනම් තාත්තව මතක් කරන්න’’ එසේ කී හඳුන්නෙත්ති නාමල්ගෙන් සමුගත්තේය.
සමන්ත භද්‍ර හිමිගේ උපදෙස
සති අන්තයේ පොසොන් උත්සව ගණනාවකටම නාමල්ට ඇරියුම් ලැබී තිබිණි. නාමල් මුලින්ම ගියේ උමංදාවටය. උමංදාවේ ඉදිකර තිබූ අඩි සියයක් උස මෛත්‍රී බෝසත් ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයට නාමල් සහභාගි විය. ව්‍යවසායකයන් විසිපස් දෙනකු සඳහා කිරි හරකුන් ප්‍රදානය කිරීමේ අවස්ථාවට නාමල් සහභාගි වෙද්දී පොද වැස්සක් ඇදවැටුණේය. ‘‘නාමල්ට ස්වභාව ධර්මයත් ආශීර්වාද කරනවා’’ සමන්ත භද්‍ර හිමියෝ පැවසූහ.
‘‘නාමල් තාත්ත වගේ වෙන්න. මහින්ද ජනාධිපතිතුමා මෙහාට ආවාම කෑම කාලා ප්ලේන්ටියකුත් බීලා අවශ්‍ය මොනව ද කියලා අහලා ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙලා වැඩ කරනවා. ඔබත් තාත්තා වගේ වෙන්න’’ සමන්ත භද්‍ර හිමියෝ නාමල්ට අවවාද අනුශාසනා කරමින් පැවසූහ.
ඉන් අනතුරුව නාමල් ගියේ මිහින්තලේ පුදබිමේ පැවැති ආලෝක පූජාවටය. නාමල් සමග බිරිය ලිමිනි ද සහභාගි වූවාය.
‘‘දේශපාලකයන් කවුරුවත් ආවේ නෑ. ඒත් නාමල් ආවා. ඒ ගැන ඉතා සතුටු වෙනවා. මිහිඳු හාමුදුරුවො වැඩිය තැනට රාජ්‍ය අනුග්‍රහය නෑ. රජයෙන් කවුරුවත් නෑ. අපේ සිවුරු ගලවලා එල්ලලා ගහන්නයි කතාව. දෙසීය විසි පහෙන් ආවෙ නාමල් විතරයි’’ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියන් සියලු දෙනා ඉදිරියේම පැවසුවේ, තරමක් ආවේගයෙනි. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සංවිධානය කර තිබූ බත් දන්සලක්ද එහි පැවැත්වුණු අතර, නාමල් ආහාර බෙදීම සඳහා ද එක්විය. සෑම තැනකදීම නාමල්ට ඇරියුම් ලැබෙන සෙල්ෆි ඡායාරූප ගැනීමටද එහි සිටි පිරිසෙන්ද නාමල්ට ඇරියුම් ලැබිණි. නාමල් සිනාපිරි මුහුණින් එම ඇරියුම් පිළිගෙන ඡායාරූපවලට පෙනී සිටියේය.
අගලවත්ත සමුපේ විපක්ෂයට
විවිධසේවා සමුපකාර සංගම්වල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ නිලවරණ වසර ගණනාවක සිටම දේශපාලන මුහුණුවරක් ගෙන ඇත්තේ බිම් මට්ටමේ දේශපාලන බලය එම නිලවරණය මගින් පෙන්වා සිටිය හැකි නිසාය. ආණ්ඩුවටද විපක්ෂයටද මේ සඳහා උපරිම ශක්තිය යොදවන්නේ බලය ලබා ගැනීමට සහ තිබෙන බලය රැක ගැනීමටය. අගලවත්ත සමුපකාර සංගමයේ නිලවරණය පැවැත්වුණේ ද දැඩි දේශපාලන උණුසුමකිනි.
ඉකුත් සතියේ එම නිලවරණය පැවැත්වීමට පෙර සජබ මන්ත්‍රී ජගත් විතාන විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට කතාකර නිලවරණය ගැන කියාසිටියේය.
‘‘සර් අගලවත්ත සමුපකාර නිලවරණය තියෙනවා. අපි ගන්නවා ඒක. ගිය මාසෙ තියන්න තිබුණේ. ඒත් ආණ්ඩුවට අවාසි නිසා කල් දැම්මා. කළුතර දිස්ත්‍රික්කෙ කැබිනට් ඇමැති කෙනකුයි, මන්ත්‍රීවරු දෙන්නකුයි ඉන්නෙ අගලවත්තෙ. එයාලා මුළු බරම දාල තියෙන්නෙ මේක දිනන්න. ඒත් අපි දිනනවා සර්..... බලන්නකෝ....’’ ජගත් විතාන විපක්ෂ නායක සජිත්ට කියා සිටියේය.
‘‘හරි ජගත්, ඔයාට පුළුවන් වැඩේ කරන්නකෝ.....’’ සජිත් කීවේය. ඒ අනුව ජගත් විතාන මන්ත්‍රීවරයා විපක්ෂයේ සියලු පක්ෂ ආණ්ඩුවට එරෙහිව ඒකරාශිකර සෑම පක්ෂයකටම නාමයෝජනා ලබා දුන්නේය. මාලිමාවට ජනාධිපතිවරණයේදී සහාය දුන් කීප දෙනකු ද විපක්ෂ කණ්ඩායමට එකතු කරගත්තේය. නිලවරණයේදී විපක්ෂ කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.
ප්‍රතිඵලය රැගෙන ජගත් යළිත් විපක්ෂනායක සජිත්ට ඇමතුවේය.
‘‘ඔන්න සර් අපි දිනුවා....එකසිය එකයි පත්වෙන්නේ. ඒකෙන් අසූ තුනක්ම අපේ....’’ ජගත් විතාන කීවේය.
‘‘ඒක විශිෂ්ට ජයග්‍රහණයක් ජගත්.... ගම් මට්ටමේ බලයක් දැන් ආණ්ඩුවට නැති බවයි මේ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ. විපක්ෂ නායක සජිත් කියා සිටියේය.
විජයදාසගේ සුවදුක් විමසීම සඳහා රනිල් ඉකුත් සතියේ ඔහුගේ නිවසට ගියේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සමඟයි. ඒ අවස්ථාවේ සජබ දොස්තර කාවින්දත් එහි සිටියේය.
විජයදාස ගැන කතා
විජයදාසට අත තැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ කතාබහ ඇතිවෙමින් තිබෙයි.
එහිදී කරුණු පැහැදිලි කරමින් රනිල් කීවේ හරක් කටා නමැති පුද්ගලයා රඳවා ගැනීම නීතිය අනුව එදා හරියට ක්‍රියා පටිපාටිය දාලා ක්‍රියාත්මක කර තිබෙන බවයි.
“කාටවත් interfieer (මැදිහත්කරු) කරන්න බෑ. ඒක තියෙන්නේ ආරක්ෂක ඇමතිතුමාගේ අතේ. ජනාධිපතිගේ අතේත් නෙමෙයි. ඉතින් ජනාධිපති හැටියට ජනාධිපති කාර්යාලය තියෙනවා. ආරක්ෂක ඇමති හැටියට ආරක්ෂක අමාත්‍යාංශය තියෙනවා. පොලිස්පතිගෙන් ඉල්ලීමක් ආවාම ආරක්ෂක ලේකම් ඒක දිහා බලලා එයාගේ යෝජනාව පිළිගන්නවාද නැද්ද කියලා ආරක්ෂක ඇමතිට එවන්න ඕන.”
“මෙතන ආරක්ෂක ඇමති හිටියේ මම. අලුත් බිල්ඩිමේ ආරක්ෂක ඇමතිට කාර්යාලයක්වත් නෑ.
අනෙක් අමාත්‍යාංශවලත් මම අත්සන් කරන්න තියෙන ඒවා ඔක්කොම එන්නේ මගේ ඔෆිස් එකට. එතන නිලධාරියෙක් ඉන්නවා, ඒවායේ අඩුපාඩු බලන්න. ඒවායේ අඩුපාඩු තියෙනවා නම් නැවත දැනුම් දෙනවා. නැත්නම් කෙළින්ම මට එවනවා. එතකොට මම අත්සන් කරනවා. ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැන බලා ආපහු ඒ තැනට එවනවා.
මේක ආවාම මම අත්සන් කරලා ආපහු එව්වා. ඉතින් විජයදාසවත් කවුරුවත් ඕකට ඇඟිලි ගහන්නෙ කොහොම ද?”
“අනෙක මේ ගොල්ලෝ කියන්නේ විජයදාස හරක් කටාට ආරක්ෂාව දුන්නා කියලා. මම කියලා තිබුණ ආණ්ඩුවේ කස්ටඩි එකට බාරගත් ඕනැම කෙනෙක් අපි ආරක්ෂා කළ යුතු බව. පොලිසියෙන් ගත්තත් හිරේ ඇතුළෙ හරි ආරක්ෂා කළ යුතු බව මා කියා තිබුණා.
අපට ආපහු හියුමන් රයිට්ස් කතා කරන්න සිද්ධ වෙනවා. අනික ඒක බාර දීලා තියෙන්නේ අලි සබ්රිටයි, විජයදාසටයි.”
“විජයදාස කිව්වා නම් ලියුමක් යවලා මෙයාට ආරක්ෂාව දෙන්න කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කරන එක එයාගේ යුතුකම. ඒ ටික එයා කළා. ඉතින් දැන් මෙතන මොකක්ද කරන්න තියෙන්නේ?
මේකෙන් ඔක්කොම දේවල් එළියට එනවා. ඉතින් මේ පුද්ගලයෙක් අරගෙන මේ සිදුවීම් වහන්න බෑ. ගල් අඟුරුවලට කොමිසමක් දැම්මා නම් මේකටත් කොමිසමක් දාන්න. ආණ්ඩුවේ සම්බන්ධයකුත් තියෙනවද කියලා හොයන්න ඕන “රනිල් එදා හරක් කටා නමැත්තා රඳවාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මැදිහත් වූ ආකාරය ගැන එසේ විස්තර කළේය.”
”අපට පේන හැටියට විජයදාස සම්බන්ධ කරලා ගන්න බලන්නේ එයා භික්ෂූන් වහන්සේ සමඟ බුදු දහම ආරක්ෂා කිරීමේ වැඩසටහනේ සිටි නිසයි” රනිල් පැවැසීය.
ශ්‍යාමිලා
ශ්‍යාමිලා පෙරේරාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධවත් මල් පාර දේශපාලන කාර්යාලයේදී මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී කතාබහට ලක් විය.
”ඒ අය හේතුවක් නැතුව දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙක් ඉන්නවා. මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඒ පක්ෂයට බලපෑමක් කිරීමටද කියා සලකා බැලිය යුතුයි.
ඒ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිය චාමර වගේම රෝහිත ආණ්ඩුවට ලොකු අභියෝගයක් වෙලා තියෙන්නේ. ඔවුන් සමාජ ප්‍රශ්න ගැන සක්‍රියව හැම වෙලාවෙම කතා කරනවා. අනුරාධ ඉතා හොඳින් මහනුවර සංවිධාන කටයුතු කරනවා. මේ වැඩවලට පහරක් ගහන්න අත්අඩංගුවට ගැනීම සිදුවුණාද කියල සැකයක් තියෙනවා” රනිල් තම ස්ථාවරය පැහැදිලි කළේය.
”මේ විදියටම ඉදිරියට ගියොත් ලබන අවුරුද්දේ ප්‍රතිඵල බලාගන්න ලැබෙිවි. දැන් කෑ ගහලා වැඩක් නෑ” රනිල් කෙටියෙන් උත්තරයක් දුන්නේය.
ක්‍රිකට් ප්‍රශ්නය
”මේ ආණ්ඩුවේ ක්‍රිකට් ගහන්නේ කවුදැයි රනිල් මන්ත්‍රී කණ්ඩායමෙන් විමසූයේ ඇත්තෙන්ම ඒ ගැන දැන ගැනීමට වගේය. ඒත් කාටවත් එවැන්නකුගේ නමක් මතක් වූයේ නැත.
”ටිල්වින් එක්ක කතා කරලා ක්‍රිකට් කණ්ඩායමේ මැනේජර් තෝරන්න කියලා තියෙන බව ආරංචියි” රනිල් එසේ කීවේ උපහාසයක් ඉතිරි කරමිනි.
ජේ ෂා ලංකාවට පැමිණ ජනපති හමුවූ අවස්ථාවේදී පැවසූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය පළ කළ පුවත් ගැන ආණ්ඩුවේ උදවිය උරණ වී තිබිණ. පුවත්පත්වල පළ වී තිබූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති සහ ඉරාන් පවසා තිබුනේ ක්‍රිකට් සම්බන්ධයෙන් ජේ ෂා කිසිම බලපෑමක් කර නොතිබූ බවයි. නමුත් ඒ පුවත් වාර්තා සම්බන්ධයෙන් ජේ ෂාගේ පාර්ශ්වයෙන් කිසිම නිවැරදි කිරීමක් හෝ පැමිණ තිබුණේ නැත.
”ජේ ෂා සහ ජනාධිපති අතර තිබිච්ච කතාව දැන් රහසක් නෙමෙයි. ඒ වගේම දැන් තේරීම් කමිටුවද නිකන් විහිළුවක් බවට පත්වෙලා තියෙන්නේ. මුකුත් වැඩක් වෙන්නේ නැහැ. ඉරාන් ගැන දන්නවනේ. අනිත් මිනිස්සුත් කතා කරනවා. වැඩක් වෙන පාටක් පේන්න නෑ. මම 2001 දි දැම්මේ නිමල් වෙල්ගම. මිනිහා වැඩක් කළා. රනිල් තමා එදා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය ගැන විස්තර කළේය.
”මාතරින් බැට් කරලා විකට් එක ගියපු උපුල් කුමරප්පෙරුමත් පරිවර්තන කමිටුවේ ඉන්නව නේද? මාන්නප්පෙරුම විමසීය.
”අපි ඕවා කරනකොට පිටිපස්සෙන් හිටියේ කිලි මහරාජා. එයා ඒ කාලේ හොඳ වැඩක් කළා. ඊට පස්සේ ධම්මික අරගෙන මෙහෙයවීමක් කළා. ධර්මදාසලා සල්ලි ටිකක් වියදම් කළා රනිල් පැවසීය.
ජනපති යාපනයේ ගොස් එහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන බවට මීට ඉහතදී පොරොන්දුවක් ලබා දුන්නේය. නමුත් දැන් ක්‍රිකට් ආයතනය පැත්තෙන් ප්‍රකාශ වී තිබුණේ එවැනි ක්‍රීඩාංගණයක් හදන්නට සල්ලි නැති බවයි.
චරිත්
චරිත් අබේසිංහගේ ප්‍රශ්නය නිසා සජබ ඇතුළෙත් කතා ඇරඹී තිබේ.
”ඇත්තෙන්ම චරිත් අබේසිංහට එංගලන්තෙ ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තිබුණා. අනිත් පක්ෂ එයාව ළං කර ගත්තේ නෑ. ඒත් සජිත් මෙයා අරගෙන සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් දැම්මා. මෙයාගේ පැටිකිරිය නොදැන හිටිය කියලා සජබට කියන්න බෑ. ඒ වගේම සජබෙන් මූලික අයිතිවාසිකම එයාට දුන්නේ නෑ. රනිල් ඒ සම්බන්ධයෙන් වන තම මතය පැහැදිලි කළේ චරිත් අබේසිංහ තමා හමුවටද පැමිණි නමුත් ඔහුගේ අතීත ස්වරූපය ගැන දන්නා හෙයින් ඔහුට අනුකූලතාවක් නොදැක්වූ බව අඟවමිනි.
”තමන්ගේ අයට ඒ මූලික අයිතිවාසිකම දෙන්නේ නැතිනම් සජබෙ ආණ්ඩුව ගැන කතා කරන්නේ කොහොම ද? වජිර ප්‍රශ්න කළේය.
ඒ වගේම ඉරාන් තාම සජබෙන් අයින් කරලා නෑ. එයා තාම ඒකෙ සාමාජිකයෙක්. ඒ වගේම ඉරාන්ට විරුද්ධව කිසිම විනය පරීක්ෂණයක් පවත්වලත් නෑ” මාන්නප්පෙරුම කීය.
ඒකාබද්ධය
ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් සියලු පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. ඒ එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් ජී. එල් ගේ නිවසේදී රැස්වූ අවස්ථාවේදීය. මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සියලු නිකායවල මහා නා හිමිවරුන් බැහැදුටු ඒකාබද්ධ විපක්ෂය මේ සතියේදී අමරපුර නිකායේ මහනාහිමියන් සිකුරාදා බැහැ දුටුවේය.
ජී.එල්. පොසොන් දාට පෙර දින දඹුල්ලේ රජ මහා විහාරයට ගොස් විහාරාධිපති දඬු බැඳිරුප්පේ මහින්ද නාහිමියන් බැහැ දුටුවේය. රටේ වත්මන් තත්ත්වය මෙන්ම බුදු දහමට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදුවී තිබේ.
ඒකාබද්ධ විපක්ෂය සිකුරාදා මල් පාර දේශපාලන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඒ වර්තමානයේදී දැඩි ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන ඩෙංගු රෝගය පිළිබඳවයි.
”ඩෙංගු මර්දනය සම්පූර්ණයෙන් අසාර්ථකයි. දැන් ලෙඩුන් පනස් දාහකට වඩා ඉන්නවා. ආණ්ඩුවට මෙහි කිසිම පාලනයක් නෑ. ඒ වගේම ගොවීන්ටත් දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා.” ජී. එල් මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
රාජ දූත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd