• 2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 131.28 ක බෝනස් දීමනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life), ශ‍්‍රී ලංකාවේ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස තම වාර්තාව අභිබවා යමින් 2025 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු. කෝටි 1460 ඉක්මවා යමින් වාර්තාගත බෝනස් මුදලක් ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙය ශ‍්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ මෙතෙක් ප‍්‍රකාශයට පත් කළ ඉහළම වාර්ෂික ජීවිත රක්ෂණ බෝනස් මුදල වන අතර, 2006 වසරේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් ප‍්‍රකාශයට පත් කර ඇති සමස්ත බෝනස් මුදල රු. බිලියන 131.28 දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස වසරෙන් වසර රක්ෂණ ක්ෂත‍්‍රයේ ඉහළම බෝනස් මුදල ප‍්‍රකාශයට පත් කිරීමේ අඛණ්ඩ වාර්තාව සමග ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා ලෙස රක්ෂණ ඔප්පුහිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කරයි.

වෙනස් වෙමින් පැවති ආර්ථික හා වෙළඳපොළ පරිසරය හමුවේද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 වසර තුළ සිය මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කළේය. වසර අවසානයේදී සමාගමේ සමස්ත වත්කම් රු. බිලියන 275 දක්වාත්, ජීවිත අරමුදල රු. බිලියන 247 දක්වාත් වර්ධනය වී ශ‍්‍රී ලංකාවේ විශාලතම ජීවිත අරමුදල හිමි සමාගම ලෙස සිය ප‍්‍රමුඛත්වය රඳවා ගෙන ඇත. එමෙන්ම 2025 වසර තුළ සෑම මසකම දල වශයෙන් රු. බිලියන 1.35කට අධික ප‍්‍රතිලාභ හිමිකම් ගෙවා ඇති අතර, එය වාර්ෂිකව රු. බිලියන 16.2කට ආසන්න මුදලකි. මෙම සියලූ ගෙවීම් වාර්ෂික බෝනස් මුදලට අමතරව සිදු කර ඇති අතර, සමාගමේ විචක්ෂණශීලී ආයෝජන කළමනාකරණය, මූල්‍ය ශක්තිය සහ ඔප්පුහිමියන්ගේ යහපත වෙනුවෙන් ඇති නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි.

දශක හයකට අධික ඉතිහාසයක් පුරා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය පොරොන්දු ඉටු කරමින් ශ‍්‍රී ලාංකික පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගෙන ඇත. වෙනස් වෙමින් පැවති වෙළඳපොළ හා ආර්ථික ගතිකත්වය මධ්‍යයේ වුවද, 2025 වසර තුළ සමාගම තවත් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර, බදු පෙර ලාභය රු. බිලියන 4.3ක් ලෙස සටහන් විය. ජීවිත රක්ෂණ වාරික ආදායම (GWP) රු. බිලියන 32.6 දක්වා ඉහළ ගොස් සියයට 24ක වර්ධනයක් වාර්තා කළ අතර, නව ව්‍යාපාර වාරික ආදායම රු. බිලියන 7.56 දක්වා ඉහළ යමින් සියයට 42ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමාගම සමත් විය.

පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි මූලික ප‍්‍රමුඛතාවක් වන අතර, ඒ අනුව සිය සේවා ප‍්‍රමිතීන් සහ පාරිභෝගික අත්දැකීම අඛණ්ඩව ඉහළ නැංවීමට සමාගම කටයුතු කරයි. ඩිජිටල් නවෝත්පාදන සහ ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින්, රක්ෂණ සේවාවන් වඩාත් පහසු, කාර්යක්ෂම සහ ප‍්‍රතිචාරාත්මක අයුරින් පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට සමාගම කැපවී සිටී. එමෙන්ම Life Loyalty Rewards වැඩසටහන තුලින් ඔප්පුහිමියන්ට ඔප්පු කාලසීමාව පුරාවට දීමනා සහ ප‍්‍රතිලාභ රැසක් ලබාදෙමින් රක්ෂණයට එහා ගිය වටිනාකමක් පාරිභෝගිකයන්ට පිරිනමයි.

”පියෙකු මෙන්, මවක මෙන්” යන සන්නාම පොරොන්දුව පෙරදැරිව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාජයේ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි. 2007 වසරේ ආරම්භ කළ ”පාසල් පිරියත සුරකිමු” වැඩසටහන හරහා මේ වන විට අඩු පහසුකම් සහිත පාසල් 3,365කට අධික සංඛ්‍යාවක් සඳහා පන්ති කාමර නවීකරණය, පුස්තකාල, පානීය ජල පහසුකම් සහ අධ්‍යාපනික සම්පත් ලබාදී ඇත. 2014 වසරේ ආරම්භ කළ ”සුබ පැතුම් ශිෂ්‍යත්ව” වැඩසටහන යටතේ ජාතික විභාගවල දක්ෂතා දැක්වූ දරුවන්ට මේ වන විට රු. මිලියන 240කට අධික වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 2,200කට වැඩි සංඛ්‍යාවක් පිරිනමා ඇති අතර, 2025 වසරේදී පමණක් ශිෂ්‍යත්ව 225ක් පිරිනමන ලදී. එමෙන්ම ලෝක ළමා දිනයේ දී අලූත උපන් දරුවන්ගේ දෙමාපියන්ට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව සිව්වන වරටත් ක‍්‍රියාත්මක කිරීමට සමාගම කටයුතු කළේය. අධ්‍යාපනය නංවාලීම සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ”ශ‍්‍රී ලංකා ලීඩර්ෂිප් සම්මාන 2025” (Sri Lanka Leadership Awards 2025) හි “Excellence in CSR - Support and Improvement in Quality of Education” සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙවර වාර්තාගත බෝනස් ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ”විශ්වාසයක අගය අපමණයි” යන සන්නාම සංකල්පය මැනවින් පිළිබිඹු කරයි. ශක්තිමත් මූල්‍ය පදනමක්, අඛණ්ඩ වර්ධනයක් සහ ඔප්පුහිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් සමඟ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ඉදිරියටත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස සිය ඔප්පුහිමියන්ට  සහ රටට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට කැපවී සිටී.