
විධායක ජනාධිපති ධුරය ඇතිකළ පසු මෙරට තුනෙන් දෙකේ ජනවරමක් ලැබූ තුන්වැනි ආණ්ඩුව වන්නේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවය. 1977 දී පළමු වරට තුනෙන් දෙකක බලයක් ලෙස මන්ත්‍රීවරුන් විශාල පිරිසක් හිමිවූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මෙරටට කළ සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව ආ කිසිම ආණ්ඩුවකට සිදුකිරීමට නොහැකි විය. තුනෙන් දෙකේ බලය ලැබූ දෙවැනි ආණ්ඩුව වූ ගෝඨාභය රාජපක්ෂ රජය රටට වැඩ කිරීම අතින් අසාර්ථකම ආණ්ඩුව වූ අතර තුනෙන් දෙකේ වරම ලැබූ තෙවැනි ආණ්ඩුව වන වත්මන් ආණ්ඩුවද තවමත් කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘති හා ජනතාවට තෘප්තිමත් ජීවන රටාවක් ලබාදීමට සමත් වී නැත. ඉතා සුළු පිරිසකගේ හැරෙන්නට බහුතර ජනතාවක් සිටින්නේ ජීවන බරින් හෙම්බත්වය. දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක්ම සහ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හා හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ පොරොන්දු ඉටුකිරීමට රජය සමත් වීම රටට යහපතක් වුවත් රට පුරා ව්‍යාප්ත වූ සංවර්ධන ව්‍යාපෘති නොමැතිකමින් ගම්බද ජනතාව කරා මුදල් ගලනයක් සිදුවන්නේ නැත. ආණ්ඩුවක් රට තුළ සංවර්ධන ව්‍යාපෘති සිදුකරන විට මහා පරිමාණ ඉදිකිරීම් ශිල්පීන්ගේ සිට ගමේ බුලත්විට කඩය දක්වාම මුදල් ගලා යන මූල්‍ය ප්‍රවාහයක් බිහිවෙයි. ගමේ මිනිහාට මුදල් ලැබෙන්නේ එමගිනි. එමගින් රාජ්‍ය යාන්ත්‍රණය පණ ගසයි. එහෙත් වර්තමානයේ එවැනි තත්ත්වයක් නැත.
මේ වනවිට රටේ ආණ්ඩුවක් තිබේදැයි සැක සිතෙන තරමට රාජ්‍ය යාන්ත්‍රණය චලනය වීම මන්දගාමී වී තිබේ. රාජ්‍ය යාන්ත්‍රණය චලනය වන්නේ ආණ්ඩුව සිදුකරන සංවර්ධන කටයුතු සහ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළිනි. එහෙත් සංවර්ධන ව්‍යාපෘති අතළොස්සක් හැරෙන්නට රට පුරා විහිදුණු සංවර්ධන ව්‍යාපෘති සිදු නොවේ. තුනෙන් දෙකේ විශාල බලයකින් හෙබි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාශීලීත්වයක් පෙනෙන්නට නැත. දෙතුන් දෙනකු හැරෙන්නට ප්‍රසිද්ධියේ අදහස් දක්වන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂය තුළ විරලය. ආණ්ඩුවක් ඇති බවක් නොපෙනෙන්නේ මේ නිසාය.
ජේ.ආර්. ජයවර්ධන රජය විසින් ක්‍රියාත්මක කළ මහවැලි කඩිනම් මහ සැලැස්ම එම රජයේ සුවිශාලම සංවර්ධන ව්‍යාපෘතිය විය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේදී ජේ.ආර්. ම කියන හැටියට ඔහු බලයට පත්වන විට හය වසරක කඩිනම් මහවැලි සංවර්ධන සැලැස්මක් ගැන ඔවුන්ගේ කිසිම අදහසක් තිබුණේ නැත. බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් ආනයන සීමා කර තිබූ ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පත්කිරීම හා ව්‍යවස්ථාව වෙනස් කර තමා විධායක ජනාධිපති වීමේ අදහස හැර මහවැලි කඩිනම් සැලැස්මක් ජේ.ආර්. තුළ නොවීය. “ඔහු හෝ ඔහුගේ කැබිනට්ටුවේ එම ව්‍යාපෘතිය භාර අමාත්‍යව සිටි ගාමිණී දිසානායක වසර හයකින් මහවැලි ජලාශ ඉදිකිරීමක් ගැන සිතා තිබුණේවත් නැත” යැයි ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වෙයි. ජේ.ආර්. එම තීන්දුව ගත්තේ තමාට ලැබුණු අති විශාල ජන බලයෙන් කරන්නේ කුමක්දැයි කල්පනා කරමින් සිටින විටය. ලෝක බැංකුවට දන්වා අසීරුවෙන් අවසර ගෙන සහ යුරෝපීය ආණ්ඩු ගණනාවකට ආයාචනා කර ජලාශ ඉදිකිරීමට කැමති කරවාගෙන ජේ.ආර්. මහවැලිය හදා තමාගේ ආණ්ඩුව රටට දැනෙන යමක් කළ බවට ඉතිහාසයේ ලියවා ගත්තේය.
අහම්බෙන් තුනෙන් දෙකක බලයක් ලැබූ අනුරගේ ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් තබා දැනට වැසී යමින් තිබෙන ඇඟලුම් කම්හල් ටික රැකගැනීමටවත් වැඩපිළිවෙළක් නොමැතිද?
ජේ.ආර්. ගේ දෙවැනියා වූ අගමැති ප්‍රේමදාසගේ චරිතය අධ්‍යයනය කරන අයකුට රටට වැඩ කිරීම සඳහා බන්දේසියක ලා බලය ලැබෙන තුරු ඔහු බලා නොසිටි බව මැනවින් වටහා ගත හැකිය. ඔහුට අගමැති ධුරය ලැබුණේ ජනාධිපතිවරයා අතට සියලු බලතල ගොනු වී තිබූ වකවානුවකය. එහෙත් අගමැති ප්‍රේමදාස තමාගේ හැකියාවෙන් විශාල බලයක් අගමැති ධුරයට ආරෝපණය කරගන්නට සමත් විය. නිවාස ඇමැතිවරයා ලෙස ඔහු තමාට පෙර සහ පසු කිසිම නිවාස ඇමැතිවරයකුට නොබිඳිය හැකි නිවාස විප්ලවයක් මෙරට ඇති කළේය.
මේ වනවිට රටේ ආණ්ඩුවක් තිබේදැයි සැක සිතෙන තරමට රාජ්‍ය යාන්ත්‍රණය චලනය වීම මන්දගාමී වී තිබේ. රාජ්‍ය යාන්ත්‍රණය චලනය වන්නේ ආණ්ඩුව සිදුකරන සංවර්ධන කටයුතු සහ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළිනි. එහෙත් සංවර්ධන ව්‍යාපෘති අතළොස්සක් හැරෙන්නට රට පුරා විහිදුණු සංවර්ධන ව්‍යාපෘති සිදු නොවේ. තුනෙන් දෙකේ විශාල බලයකින් හෙබි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාශීලීත්වයක් පෙනෙන්නට නැත.
රට දියුණු කිරීම සඳහා “සංකල්ප” ඉදිරිපත් කළ ප්‍රථම නායකයා වන්නේද ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. ගම් උදාව නමැති උදාරතර වැඩසටහනේ නිර්මාතෘවරයා ඔහුය. හිසට සෙවණක් නැතිව සිටි දහස් සංඛ්‍යාත පිරිසකට නිවාස තනා ගම්වර පිදුවේ ඔහුය. එවැනි සංකල්පයක් මේ දක්වා කිසිදු නායකයකුට ක්‍රියාත්මක කළ නොහැකි විය. දුගී දුප්පත්කම තුරන් කරන ජන සවිය වැඩසටහන ඔහුගේ නිර්මාණයකි. “නැති බැරි අය ඇති හැකි අය කිරීම” ජන සවියේ තේමාවය.
1994 බලයට ආ චන්ද්‍රිකා ජනපතිනියගේ රජය ජන සවිය නම ඉවත් කර සමෘද්ධි යන අලුත් නමකින් ක්‍රියාත්මක කළේද ජන සවියේම කාබන් පිටපතකි. “ව්‍යාපෘති 1500” වැඩසටහන ප්‍රේමදාස ජනාධිපතිවරයා ගම සංවර්ධනයට ගෙනා සංවර්ධන මොඩලයය. මේ යටතේ ගම් පාරවල් කොන්ක්‍රීට් කෙරුණි. පාලම් බෝක්කු ඉදි විය. මේ කටයුතු කෙරුණේ ප්‍රජා දායකත්වයෙනි. ගමේ පාරවල්වලට කොන්ක්‍රීට් දැමූ පළමු නායකයා ප්‍රේමදාස ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මෙය පුළුල්ව ක්‍රියාත්මක විය. ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ එතෙක් කටුනායක හා බියගමට සීමා වී තිබූ ඇඳුම් කම්හල් ඈත ගම් දනව් කරාද පැතිරුණේය. ආයෝජකයන්ට නියම වූයේ අවම වශයෙන් එක් කර්මාන්ත ශාලාවකින් රැකියා 500ක්වත් ලබා දිය යුතු බවය. රැකියා දීමට සුදුසුකම වූයේ දුප්පත්කමය.
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සංවර්ධන ව්‍යාපෘති එකල තත්ත්වය අනුව විප්ලවයක් ලෙස සැලකිය හැක්කේ දකුණේ භීෂණයෙන් බැටකමින් සිටියදීම බලයට පත් වූ ඔහු එම භීෂණයටද මුහුණ දෙමින් මෙම සංවර්ධන කටයුතු සිදුකිරීම හේතුවෙනි. ඔහු එම තනතුර දැරුවේ තුන් වසරක් පමණකි. ඔහුගේ අභාවයෙන් එම විප්ලවීය සංවර්ධන ක්‍රියාවලිය නැවතුණු අතර එදා සිට අද දක්වාම යම් යම් ආණ්ඩු තමන්ගේ බවට පත් කරගෙන ක්‍රියාත්මක කරන්නේ ප්‍රේමදාසගේ සංවර්ධන ව්‍යාපෘතිවලම කාබන් පිටපත්ය.
වත්මන් රජයට තුනෙන් දෙකක අති විශාල ජන බලයක් තිබියදීත් වෙනත් ජනාධිපතිවරුන්ට මෙන් උතුරේ ත්‍රස්තවාදය වැනි විනාශකාරී කල්ලි කණ්ඩායම් නොතිබියදීත් රාජ්‍ය යාන්ත්‍රණය එක තැන පල්වෙමින් ඇත්තේ ඇයි?
මැතිවරණයකින් බලය පත් වූ ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වන්නේ එතෙක් රටේ පවත්වාගෙන ආ පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීම නොවේ. තම ජීවන ක්‍රමයට පහසුවක් උදා කර ගැනීමය. එහෙත් ජාතික ජන බලවේගයේ අත්දැකීම් නොමැති ඇතැම් දේශපාලකයන් ඇමැතිවරුන් බවට පත්වීමේදී තමන්ගේම ක්‍රමයක් රාජ්‍ය සේවය මත මුදා හැරීමට යත්න දරන්නේද යන සැකයක් දැන් මතුව ඇත්තේ ඇමැතිවරුන් එක් පසෙකටත් රාජ්‍ය නිලධාරීන් තවත් පසෙකටත් ගමන් කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇති නිසාය. මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් ඇතිවනු ඇත්තේ එළහරකා සහ මී හරකා එක බානේ බැන්ද ගොවියාට ඇතිවූ ප්‍රශ්නයමය. එනම් හීය හෑමට නොහැකි වීමය. ආණ්ඩුවක් කරගෙන යාමද හීයක් හෑමට සමානය. හරි හැටි සී සෑමට නොහැකි වුවහොත් ගොවියාට බඩගින්නේ සිටීමට සිදුවේ. රාජ්‍ය නිලධාරීන් හා ඇමැතිවරුන් එකට වැඩ නොකළොත් ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවේ. ඇමැතිවරුන්ගේ ක්‍රමයට නිලධාරීන්ට හැඩගැසීමට නොහැකි වන අතර නිලධාරීන් වැඩ කරන ක්‍රමයට ඇමැතිවරුන් හැඩගැසිය යුතුය. රජය යනු ඇමැතිවරුන් නොව සමස්ත නිලධාරී තන්ත්‍රයයි. ලැබුණු ජන රැල්ලට සාධාරණය ඉටුවන්නේ ජනතාවගේ ජීවන බරට සහනයක් ලබාදීමෙන් මිස නිතිපතා නිලධාරීන් මාරු කිරීමෙන් නොවේ.
ජාතික ජන බලවේගයට මෙරට පාලන බලය ලබා දෙන අවස්ථාවේ ජනතාවට සුවිශාල බලාපොරොත්තු සමුදායක් තිබිණ.
ජනාධිපතිවරණයෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ ගුරුවරයකු අප සමඟ කියා සිටියේ තම පරම්පරාවේ පළමු යුතුකම අවසාන බවය. දෙවැනි යුතුකම ලෙස ප්‍රධාන පක්ෂවල ඉතිරි වූ සුන්බුන් ටිකද ශුද්ධ කරන බව ඔහු කීවේය. එම පක්ෂවල හොඳ පුද්ගලයන් දෙතුන් දෙනකු හෝ සිටිය හැකි වුවත් මේ මොහොතේ ඒ සියලු දෙනාද පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු බව ඔහු කීවේය. “ඉන්න හැමෝම දූෂණයට අඩු හෝ වැඩි වශයෙන් සම්බන්ධයි. අලුත්ම අය ආවම අවුරුදු කීපයකට හරි දූෂණය වංචාව නවතීවි...” ඔහුගේ මතය විය. එම මතය පොදුජන මතවාදයේ හරස්කඩක් ලෙස සැලකිය හැකිය. ජනතාවට උවමනා වූයේ හොරුන් ඉවත් කර දූෂණයෙන් තොරව රටේ ඇති සම්පත් කළමනාකරණය කළ හැකි පාලනයකි.
එහෙත් ආණ්ඩුවේ වර්තමාන හැසිරීමෙන් පෙනෙන්නේ එම ගුරුවරයා තුළ තිබූ අතිමහත් බලාපොරොත්තු වතුරේ ගිය බවද? දූෂිතයන් මැතිවරණයෙන් පරාජය කර ගෙදර යවා අලුතෙන්ම ගෙන ආ අදූෂිත හා උගත් නව මන්ත්‍රී පිරිසට රට පාලනය කිරීමට හැකියාවක් නොමැති බවද? ජනාධිපතිවරයා සහ ඇමැතිවරුන් අතලොස්සක් හැරෙන්නට ආණ්ඩුවේ වෙනත් ජනප්‍රිය මුහුණු නොපෙනෙයි. ඔවුන්ගේ හඬක් නොඇසෙයි. ආණ්ඩුවක් ඇති බව කොළඹට පමණක් නොව පළාත් නවයෙහිම පෙනිය යුතුය. සංවර්ධනය කොළඹට පමණක් නොව මහියංගණයටත් හසලකටත් කුරුණෑගලටත් මඩකළපුවටත් ගලා යා යුතුය. එක තැන පල්වීම ආණ්ඩුවේ අනාගතය ගැන ඇති කරන්නේ යහපත් චිත්‍රයක් නොවේ.
ප්‍රේමකීර්ති රණතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd