
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු සූදානම් කරමින් සිටින අතර විපක්ෂය එයට එරෙහිව මහජන මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටියි. ඉදිරි කාලයේදී විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ගෙන යන ප්‍රධාන සටන වන්නේ මෙයයි.
ඉකුත් සති අන්තයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට එරෙහිව මහජන සංවාද මණ්ඩපයක් සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති මෙම සංවාදයේ දී නීතිඥ සංගම් සභාපති නීතිඥ රජිව් අමරසූරිය පැවසුවේ ද විනිසුරු විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවය.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලෙස මෙරට ඉහළ උසාවි දෙකක් පවතී. එම අධිකරණවලට අදාළ කාර්යයන්ද විනිසුරුවරුන් සංඛ්‍යාව සහ සේවය කළ හැකි උපරිම වයස් සීමාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නියම කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 65 දී ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 63 දී ද විශ්‍රාම යා යුතුය. ආණ්ඩුව මෙම වයස් සීමාව වසර දෙකකින් ඉහළ දැමීමට උත්සාහ කරන බවත් එමගින් දැනට සිටින විනිශ්චයකාරවරුන් තවදුරටත් රඳවාගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් විපක්ෂය කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තියක් සංශෝධනය කරන්නේනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යය. රජයට එම බලය ඇති නිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සංශෝධනය කිරීමට තුනෙන් දෙකේ අනුමැතියක් හිමිවීමේ ගැටලුවක් නැත. එය ව්‍යවස්ථාවට ද එකඟය. එහෙත් විපක්ෂ දේශපාලකයන් තර්ක කරන්නේ එසේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ තීන්දුව නීත්‍යනුකූල වුවත් මේ අයුරින්ම ඉහළ දැමීමට හෝ පහළ දැමීමට අනාගත ආණ්ඩුවලටද මෙය පූර්වාදර්ශයක් වනු ඇති බවය.
අධිකරණ පද්ධතියේ යම් වෙනස් කිරීමක් සිදු කරන විට එයට විරෝධතා නැගුණේ අද පමණක් නොවේ. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ අධිකරණයට අදාළ පත්වීම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුකූලව කටයුතු කළ අවස්ථා ගණනාවකම මෙම විරෝධතා මතු වී ඇත.
1970 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් සහ ඉන්පසු පැවැති සෑම ආණ්ඩුවකින්ම පාහේ අධිකරණයේ එතෙක් පැවැති ස්වාධීනත්වයට අභියෝගයක් වන කුමන හෝ දඩබ්බර තීන්දු ගෙන ඇත. 1972 දී නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු සමගි පෙරමුණු රජය අධිකරණ සේවා කොමිසම ද අහෝසි කළ අතර ඉහළ උසාවිවල සියලු විනිසුරුවරුන්ට නව ජනරජ ව්‍යවස්ථාව අනුව දිවුරුම් දීමට අවස්ථාව සැලසීය. එහෙත් එහිදී අලුතෙන් පත්කරන ලද්දේ තමන්ට සමීප සහ කීකරු ලෙස විශ්වාස කළ විනිශ්චයකරුවන් පමණය. පෙර රජය සමයේ සිට පැවත ආ විනිසුරුවරුන් ගණනාවක්ම යළි පත්කළේ නැත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වන යසන්ත කෝදාගොඩ හෝමාගම නීතිඥ සංගමය අමතමින් ඉකුත්දා ප්‍රකාශ කළේ මෙරට අධිකරණ පද්ධතිය තුළ දැනට නීති කෘත්‍ය, නඩු විභාග සහ අභියාචනා දසලක්ෂයක් පවතින අතර එම නඩු විසඳීමට දිවයින පුරාම පවතින්නේ අධිකරණ 333 ක් පමණක් බවය.
මෙම තත්ත්වයම 1978 දී ජේ.ආර්. ජයවර්ධන රජය මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ අවස්ථාවේද සිදුවිය. නව ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිවරයාට සියලු ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය හිමි වූ අතර එහෙත් සිටි සියලු විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් අලුතෙන් ලබාදීමට සිදු විය. 1972 සමගි පෙරමුණු රජය කළ ආකාරයටම අනුව යමින් 1978 එජාප රජය ද අලුතෙන් පත්වීම් ලිපි ලබාදුන්නේ තමන්ට පක්ෂපාතී යැයි විශ්වාස කළ විනිශ්චයකාරවරුන්ට පමණකි. සමගි පෙරමුණු රජයේ හිතවතුන් ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනකුටම රැකියාව නොලැබිණි.
ජනාධිපති ජයවර්ධන යුගයේ පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සම්බන්ධයෙන් ද එවකට ඉහළ උසාවිවල නොකැමැත්ත තිබුණි. ජනාධිපති කොමිෂන් සඳහා විනිශ්චයකාරවරුන් පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාටය. 1982 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජික විනිසුරුවරයකු ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කේ.ඩී.ඊ. ද අල්විස් විනිසුරුවරයා එම කොමිසමේ සාමාජික විනිසුරුවරයකුට නුසුදුසු අයුරින් ක්‍රියාකොට ඇති බවය. විශේෂ ජනාධිපති කොමිෂම හමුවේ පරීක්ෂණයකට භාජනයවීමට නියමිතව සිටි කොළඹ හිටපු නගරාධිපති ඒ.එච්.එම්. පවුසි සමග එක්ව නිවාස ගනුදෙනුවක යෙදී ඇති බැවින් විනිසුරුවරයා එම තනතුරෙහි සේවය කිරීම නුසුදුසු බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු ශ්‍රීලනිප ඇමැති ෆිලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ගොනු කළ නඩුවක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම පිළිගත්තේය. එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන්නේ ඒ වන විට ඉහළ අධිකරණය සහ ජනාධිපති ජයවර්ධන අතර ඇතිවෙමින් තිබූ මත ගැටුම් අතරතුරය. එහෙත් ජනාධිපතිවරයා එම විනිසුරුවරයා ඉවත් නොකළ අතර තමාට පක්ෂපාතී වේ යැයි ජයවර්ධන ජනාධිපතිවරයා පිටත සිට ගෙනැවිත් අගවිනිසුරු ධුරය ලබාදුන් නෙවිල් සමරකෝන් මහතා ද එසේ ජේ.ආර්ට පක්ෂපාත වූයේ නැත.
වසර දෙකක පමණ කාලයක් දෙපාර්ශ්වය අතර පැවැති ගැටුමේ ප්‍රතිඵලය වූයේ අගවිනිසුරු ඉවත් කිරීමට රජය තීන්දු කිරීමය. එම ගැටුම අතරතුර අගවිනිසුරුවරයා නීතිඥ සංගම් රැස්වීමකදී කළ පහත සඳහන් ප්‍රකාශය එකල ජනමාධ්‍යයේ ප්‍රධාන පුවතක් ලෙස පළවිය.
මා අද මෙහිදී කරන්නට බලාපොරොත්තු වූ කතාව ඒ අයුරින්ම කරන්නට නොලැබුණේ මෙහි එන්නට පෙර දුරකථනයෙන් මා ඇමතූ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ආණ්ඩුව හා ජනාධිපතිවරයා අපහසුතාවට පත්වන ආකාරයේ කතාවක් නොකරන්නැයි ඉල්ලා සිටි නිසා” යැයි අගවිනිසුරුවරයා කීවේය. දැනට ශ්‍රී ලංකාවේ අධිකරණවල නඩු ගොඩගැසී තිබීම ලොකුම හිසරදයක් වී ඇති බවත් බොහෝ විට නඩුවලින් සියයට හැටක් පමණ හරි හැටි විභාගයට සූදානම් නොකිරීම මෙසේ නඩු ප්‍රමාද වීමට හේතුව බවත් අගවිනිසුරුවරයා එදා කීවේය.
අගවිනිසුරු ධුරයෙන් ඉවත්වීමට නෙවිල් සමරකෝන්ට සිදුවිය. ජේ.ආර්. ජයවර්ධන රජයට කළු පැල්ලමක් වූ එම ඉවත් කිරීමේ සිදුවීමේදී තම සමුගැනීමේ කතාව කරමින් අගවිනිසුරුවරයා පැවසුවේ තමාට රාජකාරි කරන්නට සිදුවූයේ බරපතළ බාධක මැද බවය.
මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක තීන්දුව දුන් විනිශ්චයකාරවරුන් තිදෙනකුගේ නිවෙස්වලට ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් කළ පහරදීම සහ හූ තැබීම සිහිපත් කළ අගවිනිසුරුවරයා එවැනි හිරිහැර මැද වුවද ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැකදීමට බලවත් වෙහෙසක් ගත් බව කීවේය.
වසර හතළිස් දෙකකට පෙර එවකට අගවිනිසුරුවරයා පැවසූ කරුණම වර්තමාන විනිසුරුවරයකුට ද එලෙසම පැවතීමට සිදුවී තිබීම දෛවයේ සරදමක් බඳුය. එදා හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මෙසේ කීවේය.
අගවිනිසුරු හැටියට පත්වූ මට මුලින්ම කරන්නට සිදුවූයේ නඩු විභාග පමාවීම වැළැක්වීමට පිළියම් යෙදීමයි. දිනකට මහේස්ත්‍රාත්වරයකු හමුවට නඩු 10-20 අතර සංඛ්‍යාවක් පැමිණෙන අතර එය දැරිය නොහැකි පීඩනයක්” යැයි එවක අගවිනිසුරුතුමා කියා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වන යසන්ත කෝදාගොඩ හෝමාගම නීතිඥ සංගමය අමතමින් ඉකුත්දා ප්‍රකාශ කළේ මෙරට අධිකරණ පද්ධතිය තුළ දැනට නීති කෘත්‍ය, නඩු විභාග සහ අභියාචනා දසලක්ෂයක් පවතින අතර එම නඩු විසඳීමට දිවයින පුරාම පවතින්නේ අධිකරණ 333 ක් පමණක් බවය. එම නඩු සමසේ බෙදාහැරිය හොත් එක් අධිකරණයකට 3303 ක් පැවරෙන බව කියා සිටි කෝදාගොඩ විනිසුරුතුමා පවතින විනිසුරුවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් ද යන්න විමසා සිටියේය. වසර හතළිස් දෙකකට පෙර අධිකරණ පද්ධතියේ පැවැති තදබලය අදට ද නොවෙනස්ව ඇත්තේ ඒ අයුරිනි.
අගවිනිසුරුවරයා ඉවත් කිරීමට ජේ.ආර්. ජයවර්ධන රජය ගත් උත්සාහය එම රජයට නොමැකෙන කළු පැල්ලමක් බවට පත්විය. ඉන්පසුව චන්ද්‍රිකා කුමාරතුංග රජය අපකීර්තියට පත්වූයේ එවකට ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වූ මාක් ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට පත් නොකර තම සමීපතමයකු ලෙස සැලකුණු නීතිපති සරත් එන්. සිල්වා මහතාට අගවිනිසුරු ධුරය ලබාදීමෙනි. ඒ සම්බන්ධව නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති විය. බොහෝ විවේචකයන් පැවසුවේ ජනාධිපති කුමාරතුංග මහත්මිය අධිකරණ තීන්දු පාලනය කිරීමට ඔහු යොදා ගත් බවය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා ජේ.ආර්. ගේ හිතවතකු ලෙස 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට දායක වූ හෙයින් ඔහු එජාපයට පක්ෂපාතී ලෙස එකල රජය මත පළ කළේය.
මහින්ද රාජපක්ෂ රජය අධිකරණයට ඇඟිලි ගැසුවේ තමා විසින්ම අගවිනිසුරු ධුරයට පත් කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝග යෝජනාවක් මගින් ඉවත් කිරීමෙනි. එම ඉවත් කිරීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනවලට තුඩු දුන්නේය.
මහින්ද රාජපක්ෂ රජය විසින් ඉන්පසුව අගවිනිසුරු පදවියට පත් කළ මොහාන් පීරිස් නෙරපාහැරීමට 2015 පත්වූ යහපාලන රජය පියවර ගත්තේය. එම තීන්දුව විවේචනයට ලක්වූයේ පිළිගත් නෙරපා හැරීමේ පරිපාටියෙන් සම්පූර්ණයෙන්ම බැහැර යමින් අගවිනිසුරුවරයා නෙරපා හළ බව පවසමිනි.
මේ ආකාරයට මෙරට මෑතකාලීන සෑම ආණ්ඩුවක්ම පාහේ රටේ ඉහළම අධිකරණයට තමාට පක්ෂපාතී පුද්ගලයන් පත්කර ගැනීමට සහ විවිධ ක්‍රමවලින් තමාගේ පාලනයට ගැනීමට ක්‍රියාකර තිබේ. වර්තමාන රජය ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දිගුකිරීමට උත්සාහ ගන්නේද තමාට පක්ෂපාතී තීන්දු ලබාගැනීමේ අදහසින් බවට විපක්ෂයේ පක්ෂ චෝදනා නගයි. මේ අනුව බලනවිට අපට පෙනෙන්නේ අධිකරණ බලය ද විධායකය සහ ව්‍යවස්ථාදායක යටතේ තබා ගැනීමට මෙරට බලයට පත්වූ ආණ්ඩු උත්සාහ කළ අන්දමයි. සරත් එන් සිල්වා, ශිරාණි බණ්ඩාරනායක හා මොහාන් පීරිස් යන හිටපු අගවිනිසුරුවරුන් එම තනතුර දැරූ සමයේ රජයට පක්ෂපාත ලෙස සහ විපක්ෂ ලෙස නීති ක්ෂේත්‍රයේ බෙදීම් දැකිය හැකි විය. එකල විපක්ෂය තමාට බලයට ඒම සඳහා පාලමක් ලෙස මෙම අගවිනිසුරුවරුන් සම්බන්ධ සිදුවීම් පොදුජන සමාජය තුළ මහජන වේදිකාවක් බවට පත් කළේය. අධිකරණය සම්බන්ධව දේශපාලන බෙදීම් ඇතිවන සෑම විටම සිදුවන්නේ සමස්ත අධිකරණ ක්‍රමයම ජනතාව අතර හෑල්ලුවට ලක්වීමය. මෙවර පමණක් එය එසේ නොවන්නට හේතුවක් නැත.
ප්‍රේමකීර්ති රණතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd