
මීගමුව බන්ධනාගාරයේ සිදූ වූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ මේ වෙනවිට මුළු රටම දනී. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබූ අතර සිද්ධිය ගැන අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතයා ද නිවේදනයක් නිකුත් කර තිබුණි. මීගමුවේී සැබෑවටම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ විමර්ශන, අංශ කිහිපයකින් සිදුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. ඉරිදා ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළේ ය. එම සාකච්ඡාවේ සටහන මෙසේ ය.
- බන්ධනාගාරවල අවුරුදු 30 ක් විතර තිස්සෙ වෙනම ලෝක හදාගෙන තිබුණනෙ. දැන් ඒ ලෝක එකින් එක කඩමින් යන්නෙ
- මීගමුව බන්ධනාගාරය කියන්නෙ මේ වේලාවෙ රැඳවියන් තියන්න සුදුසු තැනක් නෙවෙයි. ආරක්ෂක පද්ධතිය බිඳවැටිලා තියෙන්නෙ
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේ දැන් තත්ත්වය මොකක් ද?
ඒ සිද්ධියෙන් පසු තත්ත්වය අපි කළමනාකරණය කරමින් යනවා. ඒ වගේම මේ වෙද්දි සී.අයි.ඩී. විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව මගිනුත් පූර්ණ විමර්ශනයක් කෙරෙනවා. මෙතන අපේ මූලික බලාපොරොත්තුව වෙන්නෙ මේ සිද්ධිය ඇතිවෙන්න පාදක වුණු කරුණු, බන්ධනාගාර ආරක්ෂක අංශවල තිබුණු අතපසුවීම් මෙනවාද කියලා හොයලා බලන එක සහ ඉදිරියේදී අනිත් බන්ධනාගාරවල මෙවැනි තත්ත්ව ඇති නොවීම සඳහා ගත යුතු පියවර මොනවාද කියලා සලකා බැලීම. වරදක් වුණාම ඒකෙන් ඉගෙන ගන්න බැරි නම් වැඩක් නෑ. ඊට අමතරව මීගමුවෙ බන්ධනාගාරයේ හිටපු රැඳවියන් ස්ථාන කීපයකට මාරු කරලා තියෙනවා. ඔවුන්ගෙ ආරක්ෂාව හා සුබසාධනය බලමින් ඉන්නවා.
මීගමුව බන්ධනාගාරය මේ වෙද්දි සම්පූර්ණයෙන් ම හිස්කරලා ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙනවා. ඒක ඇත්තද?
නෑ. තවම එතන 800 - 1000 අතර පිරිසක් ඉන්නවා. එතන ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න නම් ඒ අයවත් වෙනත් තැනකට යොමු කරන්න වෙනවා. ඒ කටයුතු තමයි මේ වෙද්දි කරමින් ඉන්නෙ. මේ සිද්ධියෙන් මීගමුව බන්ධාගාරයට විශාල හානි සිදු වුණා. ඒකෙ තිබුණු ලිපි ලේඛන, සන්නිවේදන මෙවලම් විනාශ වෙලා තියෙන්නෙ.
සිදුවුණු අලාභය සම්බන්ධයෙන් දළ ගණනය කිරීමක් තියෙනවා ද?
නෑ. අද (08දා) අමාත්‍යාංශයේ ලේකම්තුමිය එතනට යනවා. අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිනිය එතුමිය නිසා ඒ අලාභය ගැන ඇය ගණන් බලයි. පසු කළමනාකරණ කටයුතු අපේ නිලධාරීන් කරමින් ඉන්නවා. අනිත් බන්ධනාගාරවලත් ඒ විදියෙ අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා නම් ඒවා වළක්වාගන්න ගත යුතු පියවර ගැන අද උදේ රැස්වීමක් තියලා සාකච්ඡා කළා. හරියට බැලුවොත් මේ සිද්ධියෙදි රැඳවියො හා නිලධාරීන් යන දෙපාර්ශ්වයම වින්දිතයො. නමුත් යම් රැඳවියෙක් අනීතික ලෙස කටයුතු කරලා තියෙන බව විමර්ශනවලදි ඔප්පු වුණොත් ඔහුට එරෙහිව පියවර ගන්න ඕනැ. ඒ වගේ ම නිලධාරියෙක් අනීතික විදියට වැඩකරලා තිබුණොත් ඔහුට විරුද්ධවත් පියවර ගන්න ඕන. වෙන්න ගිය ලොකු විනාශයක් වළක්වා ගත්ත එක ගැන බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ට මම ස්තුතිවන්ත වෙනවා. රැඳවියො එළියට ආවා නම් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුණා.
මේ විදියෙ ගැටුමක් ඇති වෙන බවට බුද්ධි තොරතුරු ලැබිලා තිබුණෙ නැද්ද?
මම කිව්වා වගේ අපේ නිලධාරීන් තවම ඉන්නෙ පසු කළමනාකරණ කටයුතුවල. බුද්ධි තොරතුරු කොහොමත් බුද්ධි අංශයක් ඇතුළෙ තියෙනවා. ඒ බුද්ධි තොරතුරු එනවා. ඒවා නොදැනගෙන කටයුතු කරනවා නෙවෙයි. මේ සිද්ධියෙදි කොයි වෙලාවකවත් නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වුණේ නෑ. සිද්ධිය ඇති වුණු පළමු වැනි දවසෙ ඒ කණ්ඩායම් දෙකේ ප්‍රශ්නෙට නිලධාරීන් මැදිහත් වෙලා ඒක සමථයකට පත් කළා. ඒක පිළිගන්න පුළුවන් ආකාරයේ සමථයක්. අපේ බන්ධනාගාර කොමසාරිස් තමයි එතනට ගිහින් ඒක කරන්නෙ. එතකොට බුද්ධි තොරතුරු හැමදාම එනවා. සමහර ඒවා ඇත්ත. නමුත් සමහර ඒවා නිවැරදි නෑ.
ඒ බුද්ධි තොරතුරු විෂය භාර ඇමති හැටියට ඔබටත් ලැබෙනවා ද?
අවශ්‍ය අවස්ථාවලදි එනවා. පොඩි ඒවා එන්නෙ නෑ. සිද්ධිය වෙන්න කලින් තොරතුරක් මට තිබුණෙ නෑ. කලින් ප්‍රශ්නයට මම දුන්න උත්තරයෙ ඉතිරි කොටසට ආවොත් පළමු වැනි දවසෙ ගැටුම සමථයකට පත්කළාට පසු නැවත ගැටුමක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණා නම් එදා රෑම ඒක කරන්න තිබුණනෙ. නමුත් එදා රෑ ඒ අය හොඳට හිටියනෙ. පහුවදා උදේ ආහාරත් දීලා ඒ වැඩ ටික කෙරෙන වෙලාවෙ තමයි මේ ගැටුම නැවත ඇති වුණේ. මම මේ මොහොෙත කියන්නෙ මගෙ ළඟ තියෙන තොරතුරු. සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන පූර්ණ විමර්ශනයෙන් පස්සෙ මම කියන කරුණු වෙනස් වෙන්නත් පුළුවන්.
කෙහෙල්බද්දර පද්මෙ නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගෙ ගෝලයෙක් මේ ගැටුමට සම්බන්ධ බව ප්‍රකාශ වෙනවා. ඒ ගැන තොරතුරු තියෙනවා ද?
විමර්ශන අවසන් වන තෙක් මට ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න හැකියාවක් නෑ.
ගිනි අවි දෙකක් රැඳවියන් අතට පත්වීම ගැනත් ලොකු කතාවක් තිබුණා. ඒ ගැන දැනගන්න ලැබුණු අලුත් තොරතුරු තියෙනවා ද?
ගිනි අවි සංඛ්‍යාවක් ගැන මට කියන්න බෑ. යම් ගිනි අවි ප්‍රමාණයක් රැඳවියන් අතට ගිහින් තියෙනවා. ඒක කොහොමද වුණේ කියන්න දන්නෙ නෑ. එහෙම ගිනි අවි ඒ අය අතට ගියා කියලා කියනවා. ඒවා පාවිච්චි කරලා වෙඩි තිබ්බද කියලා මට හරියටම කියන්න බෑ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් මිය ගිය මිය ගියේ කොහොමද කියලා තොරතුරු හෙළි වෙයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙනුත් අභ්‍යන්තර විමර්ශනයක් යනවද?
අභ්‍යන්තර පරීක්ෂණයක් කෙරෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙන්නෙ බන්ධනාගාරයේ ආරක්ෂක අංශවල අතපසුවීම් හෝ දුර්වලතා තිබුණාද යන්න ගැන. නමුත් මේ සිද්ධියෙදි අපි වැඩිවශයෙන් බලන්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනය දෙස.
කාන්තා රැඳවියන් පිරිසකුත් බන්ධනාගාරයේ වහළය මත සිට උද්ඝෝෂණය කළා. මේ සිද්ධිය මත්ද්‍රව්‍ය හා පාතාලයට සම්බන්ධ දෙපිරිසක් අතර ඇති වුණු ගැටුමක් නම් ඒ අයත් මේ ජාලයට සම්බන්ධ අය වෙන්න පුළුවන් ද?
එතන ඒ සිද්ධිය වීමේදී මම කිව්වෙ මූලයනෙ. ඒ මූලයෙන් හටගෙන වෙන වෙන තැන්වලට කතාන්දරය යන්න ඇති. නමුත් මේක එක වැඩක්. මූලය තියෙන්නෙ කණ්ඩායම් දෙක අතර ගැටුම. ඒක අතරමග යද්දි යම් යම් තත්ත්වයන් වෙනස් වෙන්න ඇති. ඇයි ඒ කාන්තාවො වහළය උඩට ගියේ වගේ මේ සියලු කාරණා ගැන විමර්ශනයෙන් සොයා බැලෙනවා.
බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය යන එක සෑහෙන කාලෙක ඉඳන් අහන කතාවක්. මේ තත්ත්වය වළක්වන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ද?
අපේ රජය එළියෙ විතරක් නෙවෙයි ඇතුළට මත්ද්‍රව්‍ය එන එකත් වළක්වන්න කටයුතු කරලා තියෙනවා. බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය යන එක ගැන දැන්නෙ මාධ්‍ය වැඩියෙන් කතා කරන්නෙ. එහෙම කතා කරන්නෙ අපේ නිලධාරීන් ගිහින් ඒ මත්ද්‍රව්‍ය අල්ලන නිසානෙ. ඉස්සරත් මත්ද්‍රව්‍ය ඇතුළට ගියා. ඒවයෙන් නඩත්තු වෙච්ච ඇමතිවරු පවා ඉස්සර හිටියා. නමුත් අපේ රජය මත්ද්‍රව්‍ය නතර කළ යුතුයි කියන ප්‍රතිපත්තියෙ ඉඳන් කටයුතු කරනවා. මේකෙදි සියයට සියයක සාර්ථකත්වයක් ලබාගන්න බැරි වෙලා තිබුණත් මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන් ඉවත් කරන්නත් කටයුතු කරලා තියෙනවා.
බන්ධනාගාරවල අවුරුදු 30 ක් විතර තිස්සෙ වෙනම ලෝක හදාගෙන තිබුණනෙ. දැන් ඒ ලෝක එකින් එක කඩමින් යන්නෙ. නිලධාරීන් එක්ක ගැටලුවක් තිබුණා නම් සීසීටීවි කැමරා කඩන්න ඕන නෑනෙ. ශරීර පරීක්ෂණ යන්ත්‍රය කඩන්න ඕනෙත් නෑනෙ. මේකෙ වෙන වැඩක කට්ටිය ඉන්නෙ. මොකද අපි පාතාලය එක්ක හැප්පෙන්නෙ. පාතාලය එළියෙත් ඉන්නවා. ඇතුළෙත් ඉන්නවා. මැරුණු හැම රැඳවියෙක් ම පාතාලයට සම්බන්ධ අය කියලවත් වැරදිකරැවන් කියලවත් මම කියන්නෙ නෑ.
පරීක්ෂණ කමිටුවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිලධාරියෙක් පත්කරලා නෑ. මේක අඩුවක් නෙවෙයි ද?
නෑ. හේතුව ඒ කමිටුව පත් කළේ ජනාධිපති ලේකම්වරයා විසින්. බන්ධනාගාර නිලධාරීන් අතින් වරදක් වුණාද කියලා හොයන්න පත්කරන කමිටුවට බන්ධනාගාර නිලධාරියෙක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ කමිටුවෙ දක්ෂ ජනාධිපති නීතිඥයෙක් ඉන්නවා. විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ඉන්නවා. තව නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් ඉන්නවා. විමර්ශන කරන හැටි ඒ අයට හොඳට තේරෙනවා.
සිද්ධිය වුණාට පස්සෙ ජනාධිපතිවරයා ඔබට කතා කරලා උපදෙස් දුන්නා ද?
අනිවාර්යයෙන්ම. නිතරම උපදෙස් දුන්නා. වුණේ මොකක්ද කියලා සොයා ගෙන නැවත මෙවැනි දෙයක් නොවෙන තැනට වග බලාගන්න කියලා මට උපදෙස් දුන්නා. ඒ අනුව අපි කටයුතු කරනවා.
අනිත් බන්ධනාගාරවල වගේම මීගමුව බන්ධනාගාරයෙත් නියමිත ප්‍රමාණයට වඩා රැඳවියන් සිටින බව වාර්තා වෙනවා. මේ තදබදය විසඳන්න ආණ්ඩුව මොනවද කරන්නෙ?
එදා පාර්ලිමේන්තුවෙදි මම කරපු කතාවෙදි ඒ තදබදය විසඳන්න ගන්න පියවර එකින් එක ගැන කතා කළා. අලුතින් බන්ධනාගාර හැදීම පමණක් නෙවෙයි රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම වගේ සියලු ප්‍රශ්න මේ වෙන කොට විසඳමින් ඉන්නෙ.
මිය ගිය බන්ධනාගාර නිලධාරීන් අතර බුද්ධි අංශවලට සම්බන්ධ අයත් හිටියද?
දන්නෙ නෑ.
මේ අයගෙ පවුල් වෙනුවෙන් වන්දි ලබාදීමක් කරනවා ද?
ඔව් එහෙම සැලසුමක් තියෙනවා. ඒක ස්ථිර වුණාම කියන්නම්.
විෂය භාර ඇමතිවරයා විදියට ඔබ කියන්නෙ මේ මොහොත වෙන කොට කිසිදු නොසන්සුන්කාරී තත්ත්වයක් නෑ කියලා?
ඔව්. ඒත් පශ්චාත් ගැටුම් කළමනාකරණ කටයුතු සිදුවෙනවා. මීගමුව බන්ධනාගාරය කියන්නෙ මේ වේලාවෙ රැඳවියන් තියන්න සුදුසු තැනක් නෙවෙයි. ආරක්ෂක පද්ධතිය බිඳවැටිලා තියෙන්නෙ. ඒ නිසා ඉතා ඉක්මනින් ඒක ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඒ කටයුතු කරමින් ඉන්නවා.
මීගමුවෙ රැඳවියො විවිධ බන්ධනාගාරවලට ගෙනිහින් තියෙනවා. ඒ අයගෙ ආරක්ෂාව තහවුරු කරලාද තියෙන්නෙ?
800 කට ආසන්න පිරිසක් තැන් කීපයකට යවලා තියෙනවා. ඒ අයට පූර්ණ ආරක්ෂාවක් සපයලා තියෙන්නෙ. ඒ පිළිබඳව ගැටලුවක් නෑ. ඒත් දැනට බන්ධනාගාරයෙ ඉන්න 800 දෙනාටත් ඉන්න තැනක් සූදානම් කරන්න ඕන.
දැන් කරන්න ඕන අලුතින් බන්ධනාගාර හදන එකද නැතිනම් බන්ධනාගාර ගතවෙන අය සීමා කරන එකද?
රටක සාර්ථකත්වය මැනිය හැක්කෙ බන්ධනාගාර වැහෙන තරමට මිසක් ඒවා වැඩිවෙන තරමට නෙවෙයි. බන්ධනාගාර පිරෙන්න හේතුව තමයි අවුරුදු 30 ක් තිස්සෙ තිබුණු දේශපාලන සංස්කෘතිය හා නීතියේ ආධිපත්‍යයේ තිබුණු ගැටලු. බන්ධනාගාරවල ඉන්න කිසිදු වැරදිකරුවෙක් උපතින් වැරදිකරුවෙක් වෙලා නෑ. සමාජයේ තියෙන දුප්පත්කම ආර්ථික අසාධාරණය හා අසාමානාත්මතාව නිසා බිහිවුණු පුද්ගලයො තමයි මේවා ඇතුළෙ ඉන්නෙ. මේ මිනිස්සුන් එළියට ගන්න එක තමයි ආණ්ඩුවේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තෙ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සපයන්නන් අල්ලන්න ඕන. ඒ අය ඇතුළට දාන්නත් ඕන. එහෙම නම් ඉස්සෙල්ලාම කළ යුත්තෙ බන්ධනාගාරවල ධාරිතාව යම් ප්‍රමාණයකට වැඩිකිරීම. බන්ධනාගාර තදබදය අවුරුදු පහළොවක් විස්සක් තිස්සෙ තිබුණා. රටේ තියෙන බන්ධනාගාර වැඩි ප්‍රමාණයක් යටත් විජිත කාලයේ හදපු ඒවා. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නෙ නැතුව සිර ගෙවල්වල සෙනඟ අඩු කරන්න බෑ. අපරාධකරුවො බිහිවෙන්නෙ සමාජයෙන්නෙ. ඊට අමතරව නීති ගෙන්න ඕන. කලින් ආණ්ඩු මේ ප්‍රශ්නයට අතගැහුවා නම් මේ වෙද්දි විසඳිලා. ඒත් දැන් ඒක ආරම්භ කරන්න වෙලා තියෙන්නෙ අපේ ආණ්ඩුවට.
පාතාලය සමග සබඳකම් පවත්වන බන්ධනාගාර නිලධාරීන් ගැනත් නිතර අසන්නට ලැබෙනවා. ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා ද?
හැමදාම පරීක්ෂණ කරනවා. ඉවත් කරපු නිලධාරීනුත් ඉන්නවා. සුද්ද කරන එක ලේසි නෑ.
සිරකරුවෝද මනුෂ්‍යයෝ කියලා කිව්වට බන්ධනාගාරගතව ඉන්න අයට මනුෂ්‍යයෙකුට ලැබිය යුතු මූලික පහසුකම් පවා නිසි පරිදි නොලැබෙන බව නිතර අසන්නට ලැබෙනවා. මේ අයට මනුෂ්‍යයො විදියට සලකන්න ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?
අංක එකට මේ අයට මනුෂ්‍යයො විදියට ජීවත් වෙන්න පුළුවන් බන්ධනාගාර ප්‍රවේශයක් හදන්න ඕන. දෙක ඒ අයව සිරගෙවල්වලින් එළියට අරගෙන පුනරුත්ථාපනය කළ යුතුයි. සමාජය විසින් මිනිසුන් හිර ගෙවල් ඇතුළට යන එක නවත්වන්න වැඩ කරන්නත් ඕන. මත්ද්‍රව්‍ය ගෙන්වන සහ ජාවාරම් කරන අය අත්අඩංගුවට අරන් හිරේ දාලා මත්ද්‍රව්‍ය සැපයුම නතර කරලා විතරක් මදි. සමාජයෙන් මත්ද්‍රව්‍යවලට තියෙන ඉල්ලුමත් නැති කළ යුතුයි. ඒ සඳහා බලපාන සමාජ ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ යුතුයි.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගෙ ධුර කාලය වැඩිකිරීම වැරදියි කියලා විපක්ෂයත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් කියද්දි ආණ්ඩුව ඇයි ඒක කරන්න මෙච්චර දඟලන්නෙ?
සාකච්ඡාවක් තියෙනවා. නීතිඥ සංගමයත් වැරදි කතාවක්නෙ කියලා තියෙන්නෙ. මේ වැඩි කරන්න හදන්නෙ සියලු විනිශ්චයකාරවරුන්ගෙ ධුර කාලයනෙ. උපරිමාධිකරණ විනිසුරුවන්ගෙ විතරක් නෙවෙයිනෙ. නීතිඥ සංගමය වැරදි තොරතුරක් කියන්නෙ ඇයිද කියලා මම දන්නෙ නෑ. මහාධිකරණ විනිසුරුවරයෙක් නම් අවුරුදු 61 දිත් අභියාචනාධිකරණ විනිසුරුවෙක් නම් අවුරුදු 63 දිත් විශ්‍රාම යනවා. විශ්‍රාම යන බොහෝ අය නැවත කොහේ හරි රස්සාවක් කරනවා. ඔවුන්ට හැකියාව හා ශක්තිය තියෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තීයභාවය නිපුණත්වය අවශ්‍යයි. නීති ක්ෂේත්‍රයේ ඒක විශේෂයි. අත්දැකීම්වලින් පරිණත වෙලා නීතියේ දැනුම වැඩිවෙන කොට තමයි උසාවිවල විනිසුරුවන්ගෙ ඉහළම හැකියාව එන්නෙ. බහුතරයක් රටවල විනිසුරුවන්ගෙ විශ්‍රාම වයස අවුරුදු 70 තියෙන්නෙ. අපේ බලාපොරොත්තුව තියෙන්නෙ මේ අයගෙ වෘත්තීය නිපුණත්වය තබාගැනීම. නැත්නම් වෙන්නෙ අපි එතුමන්ලට විශ්‍රාම වැටුපක් ගෙවද්දි එතුමලා පෞද්ගලික අංශයට තමන්ගෙ දක්ෂතාව හා හැකියාව ලබාදෙන එක. අපි ඒ හැකියාව රජය වෙනුවෙන් පාවච්චි කරන්න ඕන.
දැන් ඉන්න විනිසුරුවන්ගෙ ධුර කාලය වැඩි කළාම ඒ තනතුරුවලට එන්න ඉන්න ඊට පහළ විනිසුරුවන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?
එහෙම වෙන්නෙ නෑනෙ. හැමෝගෙම ධුර කාලය වැඩිවෙනවානෙ.
ඔබ කියන්නෙ තවම මේ කාරණය සාකච්ඡා මට්ටමේ තියෙන්නෙ කියලා. උපරිමාධිකරණ විනිසුරුවන් විශ්‍රාම ගන්වන වයස වැඩිකරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන්න වෙනවා. ආණ්ඩුව ඒකට සූදානම් ද?
ඔව්. අනිත් විනිසුරුවන්ගෙ ධුර කාලය වැඩිකරන්න නම් අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරන්න වෙනවා.
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd