ගෙවී ගිය සතියේ වැඩිමනත් අවධානයට ලක් වූ ප්‍රවෘත්තියක් වූයේ මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අවස්ථා කිහිපයකදී ඩොලර් බිලියනයක මුදලක් රටින් පිටකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාණිජ බැංකු හතරක නිලධාරීන් සිවු දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම යි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ පිරිස් ඒ සා මුදලක් රටින් පිට කර ඇතත් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නැති බව ය. මේ සිද්ධියත් සමග නීතිවිරෝධීව රටින් බැහැරට විදේශ විනිමය ගෙන යෑම පිළිබඳ තියුණු සාකච්ඡාවක් හටගෙන ඇති අතර පසුගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීන්දුවක් හේතුවෙන් එම අවධානය තවත් තීව්‍ර වී ඇති ආකාරයක් දැකිය හැකි ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අපරාධමය වරදක් ලෙස හඳුන්වා දීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේදී තීරණය කළේ ය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස රටින් බැහැරට අරමුදල් ප්‍රේෂණය කර ඉන් අනතුරුව සාධාරණ කාලසීමාවකදී ඊට අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එවැනි ප්‍රේෂණය කිරීමක් රටින් බැහැරට සිදු කළ අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සැලකිය හැකි බවත්, විදේශ විනිමය පනතේ දැනට පවතින ප්‍රතිපාදන යටතේ එවැනි අනවසර මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ මහ බැංකුව විසින් අදාළ ප්‍රේෂණයේ වටිනාකමට සමාන වන ශ්‍රී ලංකා රුපියල්වලින් වන මුදලක් මූල්‍ය දඩයක් වශයෙන් පැනවීම පමණක් බවත් අදාළ අමාත්‍ය මණ්ඩල නිවේදනයෙහි සඳහන් වේ.

එයින් ඔබ්බට යමින් අනවසර අරමුදල් මාරු කිරීම අපරාධමය වරදක් බවට පත්කිරීම සඳහා විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව, ඉදිරියේදී නීතිවිරෝධී ආකාරයට රටින් ඩොලර් බැහැර කිරීම අපරාධමය වරදක් වන අතර ඊට අනුරූප දඬුවම් ද අදාළ පනත් සංශෝධනයෙන් නියම කරනු ඇත. 2022 වසරේ උද්ගත වූ ආර්ථික අර්බුදයට බලපෑ ආසන්න හේතුව වූයේත් එවකට පැනනැගි විදේශ විනිමය හිඟය නොහොත් ඩොලර් හිඟය යි. රටට ඩොලර් අවශ්‍යම මොහොතක විවිධ පිරිස් විසින් අනීතිකව ඩොලර් රටින් පිට කරනු ලබන්නේ නම් එයින් අවදානමට වැටෙන්නේ රටේ සමස්ත ආර්ථිකයම ය. මේ සන්දර්භයේ අනවසරයෙන් විදේශ විනිමය රටින් බැහැර කිරීම අපරාධමය වරදක් බවට පත්කිරීම සඳහා ගන්නා ලද තීරණය පිළිබඳ විද්වතුන් දක්වන අදහස් පහත පරිදි ය.

”‍විදේශ විනිමය කියන්නේ අපේ ආර්ථිකයේ ඉතා වැදගත් නිර්ණායකයක්. ණය ගෙවීමටත්, භාණ්ඩ ආනයනයටත්, ලෝකය සමග කරන ගනුදෙනු සඳහාත් විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ නිසා අපට විදේශ විනිමය ඉපැයීමට සිදුවෙනවා. ඒ විදියට උපයන විදේශ විනිමය නීතිවිරෝධී විදියට රටින් පිටට යනවා නම් එයින් රටේ ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වෙනවා.

රටේ විදේශ විනිමය මෙලෙස පිටකිරීම අපරාධමය වරදක්. විදේශ විනිමය පාලන පනත යටතේ කලින් මෙය අපරාධමය වරදක් හැටියට දක්වලා තිබුණත් පසුව ඒ අපරාධමය වරද ඉවත් කරලා තියෙනවා. ඒක මොන පරමාර්ථයෙන් කළාද කියන්න අපි දන්නේ නැහැ. රටින් විදේශ විනිමය නීතිවිරෝධීව පිටකිරීම අපරාධ වරදක් බවට වූ නියමය අයින් කළහම විදේශ විනිමය රටින් පිට කරන අයට ඒ සඳහා යම් පෙලඹවීමක් ඇති වෙනවා. රටින් මුදල් පිට කළාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඔවුන් හිතනවා. ඒ නිසා අපරාධමය වරදක් හැටියට නීතියේ තිබුණු එක ඉවත් කළ එක විශාල අපරාධයක් කියලා අපි හිතනවා.

ආර්ථිකය නිසි මගට හරවද්දී මේ විදියේ මූල්‍යමය අපරාධ සිදුවෙන්න තියෙන ඉඩ අහුරන එක අපේ වගකීමක්. ඒකේ එක් පියවරක් හැටියට තමයි මේ තීරණය ගත්තේ. ඒ අනුව නීතිවිරෝධීව විදේශ විනිමය රටින් පිට කළොත් ඒක අපරාධමය වරදක් බවට පත්කිරීම සඳහා ඊට අදාළ පනත සංශෝධනය කරනවා. අපි එතැනින් නවතින්නේ නැහැ. රට ඇතුළේ මූල්‍ය විනය ශක්තිමත් කිරීම සඳහා ආයතන සහ නිලධාරීන් සවිබලගන්වා තියෙනවා. විදේශ විනිමය නීතිවිරෝධීව රටින් පිට කරනවාද යන්න අධීක්ෂණය කිරීමට යාන්ත්‍රණයන් සකස් කරලා තියෙනවා. අපේ මූලික අරමුණ වෙන්නේ විදේශ විනිමය රටින් බැහැරට ගලා යෑම නැවැත්වීමයි. අවසාන පරමාර්ථය වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ප්‍රතිලාභ ජනතාව අතරට ලබා දීමයි.

විදේශ විනිමය විවිධ ක්‍රම ඔස්සේ රටින් පිට කරනවා වෙන්න පුළුවන්. ඇතැම් ආනයනකරුවන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා තියෙන අවස්ථාවන් පවා අවභාවිත කරමින් විදේශ විනිමය රටින් පිට කරනවා. භාණ්ඩ ලංකාවට ආනයනය කරද්දී ලංකාවෙන් ණයවර ලිපි විවෘත කරලා බැංකු පද්ධතිය හරහා භාණ්ඩ ගෙන්වන රටට මුදල් යවන්න ඕන. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඒත් සුළු පරිමාණ ආනයනකරුවන්ට පහසුකම් සැලසීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමකින් තොරව ඩොලර් 50,000ක් දක්වා අත්තිකාරම් මුදල් විදියට ගෙවන්න පුළුවන්. නමුත් අදාළ ආනයනකරු අත්තිකාරම් මුදල් හරිහැටි ගෙවලා රටට භාණ්ඩ ගෙනාවද කියන එක දැන් තියෙන ක්‍රමවේදය ඇතුළේ හරියට පරීක්ෂා වෙන්නේ නැහැ.

ඊට අමතරව මේ දක්වා කරපු පරීක්ෂණවලින් සොයා ගෙන තියෙනවා ව්‍යාජ සමාගම් නිර්මාණය කරලා රටින් ඩොලර් විශාල ප්‍රමාණයක් බැහැර කරලා තියෙනවා කියලා. ඒවට අනිත් පැත්තට භාණ්ඩ රටට ගෙනල්ලා නැහැ. මේ සම්බන්ධ පරීක්ෂණ දිගටම කරනවා. රටින් ඩොලර් පිට කරන්න පුළුවන් තවත් විදි ගැන පරීක්ෂා කරලා ඒවා අවහිර කරන්න ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.”‍

”‍නීතිවිරෝධී ආකාරයට රටින් පිටට ඩොලර් ගෙන යෑම අධීක්ෂණය කිරීමේ පූර්ණ වගකීම තියෙන්නේ මහ බැංකුවට. මෑතක ඉඳන් වාර්තා වෙන දේ තමයි පිටරටින් භාණ්ඩ ගෙන්වන බව පවසමින් ව්‍යාජ ඉන්වොයිස් හදලා රටින් පිටට ඩොලර් ගෙන යෑම. ඒවායින් වෙන්නේ රටේ තියෙන ඩොලර්වලින් ප්‍රමාණයක් වෙන රටවලට ඇදී යන එක. තව උණ්ඩියල් වැනි ක්‍රම භාවිත කරමිනුත් රටින් ඩොලර් බැහැර කරනවා. ඒ ක්‍රමයෙන් මුදල් පිටරට යැව්වහම ආණ්ඩුවට ලැබිය යුතු බදු මුදල් අහිමි වෙනවා. ඒ නිසා මේ තත්ත්වයන් පාලනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් ඕන. මේවා අධීක්ෂණය කිරීම අපි මහ බැංකුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒවා වළක්වන්න අවශ්‍ය කඩිනම් පියවර ගත යුතුයි.

නීතිවිරෝධී ආකාරයට රටින් විදේශ විනිමය බැහැර කිරීම අපරාධ වරදක් බවට පත්කිරීම හොඳ පියවරක්. මොකද මේ වැරැද්ද පුද්ගලයෙක් හෝ කීපදෙනෙක් කළාට ඒකේ බලපෑම සමස්ත ආර්ථිකයටම දැනෙන නිසා. ඒ නිසා නීතිවිරෝධීව ඩොලර් රටින් බැහැර කිරීම අපරාධ වරදක් කරලා නිසි දඬුවම් ලබා දිය යුතුයි. නීති ප්‍රමාණවත් නැත්නම් පාර්ලිමේන්තුව විසින් ඊට අවශ්‍ය නීති සකස් කරලා ඩොලර් බැහැරට ගෙන යෑම වැළැක්වීමට පියවර ගැනීම වැදගත්.

අනවසර අරමුදල් මාරු කිරීම අපරාධමය වරදක් බවට පත්කිරීම සඳහා විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව, ඉදිරියේදී නීතිවිරෝධී ආකාරයට රටින් ඩොලර් බැහැර කිරීම අපරාධමය වරදක් වන අතර ඊට අනුරූප දඬුවම් ද අදාළ පනත් සංශෝධනයෙන් නියම කරනු ඇත. 2022 වසරේ උද්ගත වූ ආර්ථික අර්බුදයට බලපෑ ආසන්න හේතුව වූයේත් එවකට පැනනැගි විදේශ විනිමය හිඟය නොහොත් ඩොලර් හිඟය යි. රටට ඩොලර් අවශ්‍යම මොහොතක විවිධ පිරිස් විසින් අනීතිකව ඩොලර් රටින් පිට කරනු ලබන්නේ නම් එයින් අවදානමට වැටෙන්නේ රටේ සමස්ත ආර්ථිකයම ය. 

ඩොලර් සම්බන්ධ ගනුදෙනු සඳහා දැඩි නීතිරීති පනවන්න ඕන. ඒ වගේම තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතුයි. මොකද සාම්ප්‍රදායික ක්‍රමවලින් මේ වගේ වංචා අල්ලන්න අමාරුයි. ඒ නිසා මහ බැංකුව ඇතුළු අදාළ ආයතනවලට අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්න ඕන. ඩොලර් බිලියන එකක මුදලක් රටින් පිටකිරීම හේතුවෙන් පසුගියදාක කීපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් ලැබෙන්නෙත් ඩොලර් බිලියන 2.9ක මුදලක්. ඒ මුදලෙන් තුනෙන් එකක ප්‍රමාණයක් නීතිවිරෝධී විදියට රටින් බැහැර කරලා තියෙනවා. භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ඩොලර් බිලියනයක් රටින් පිට කරලා තිබුණත් භාණ්ඩ රටට ඇවිත් නැහැ.

ඩොලර් බිලියනයක මුදල රටින් පිටට ගිහින් තියෙන්නේ වසර ගණනාවක් ඇතුළත. ඒවා දැනුත් වෙනවද කියන එක බලන්න ඕන. මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සහ වෙනත් අනීතික ක්‍රමවලින් උපයන ලද මුදලු‍ත් මේ විදියට රටින් පිට කරනවද කියන එක ගැන හොයලා බලන්න ඕන. මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වෙන මූල්‍ය බුද්ධි ඒකකයෙන් මේ ගැන සොයා බැලිය යුතුයි.

භාණ්ඩ ආනයනය කරන සියලු‍ම දෙනා අපරාධකරුවන් ලෙස සැලකීමෙන් හෝ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන වැඩිකිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මොකද වැරදි කරන ටික දෙනෙක් නිසා සියලු‍ම ව්‍යාපාරිකයන් අපරාධකරුවන් කරන්න බැහැ. එහෙම කිරීමෙන් නිදහස් වෙළෙඳාමටත් බාධා සිදුවෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ ප්‍රශ්නයට උත්තර හොයනවාට වඩා හේතු හොයන ක්‍රමවේදයයි. ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාට වඩා වැදගත් වෙන්නේ රටින් ඩොලර් පිට කරන එකට හේතු මොනවාද කියලා හොයන එකයි.”‍

”‍නීතිවිරෝධීව රටින් ඩොලර් පිට කරපු සිදුවීම් වාර්තා වීමත් එය අපරාධ වරදක් බවට පත්කිරීමට රජය තීරණය කර තිබීමත් දකින්න පුළුවන් වුණාට, අප දකින සරල සිද්ධාන්තයෙන් ඔබ්බට ගිය යමක් මෙහි සිදුවෙන බව මගේ අදහසයි. ඇතැම් ආනයනකරුවන් ආනයනය කරන භාණ්ඩ සඳහා හදන ඉන්වොයිස්වල අගය සැබෑ අගයට වඩා වැඩියෙන් සඳහන් කරලා (over invoice)  රටින් පිටට ඩොලර් යවනවා. උදාහරණයක් විදියට ඩොලර් 1000ක භාණ්ඩ ගෙන්වලා ඩොලර් 2000ක් හෝ ඊට වැඩි අගයක ඉන්වොයිස් හදලා රටින් ඩොලර් පිට කරනවා.

අපනයනකරුවෝ කරන දෙයක් තමයි සත්‍ය ලෙසටම අපනයනවලින් උපයන ආදායම අඩුවෙන් ඉදිරිපත් කිරීම. යම් අපනයනකරුවෙක් ඩොලර් බිලියන තුනක් උපයනවා කියලා හිතමු. නමුත් ඔහු රටට ඉදිරිපත් කරන්නේ ඩොලර් බිලියන එකක් පමණක් ඉපැයූ බවයි. එතකොට ඩොලර් බිලියන දෙකක් ලංකාවට ගෙන්වන්නේ නැතුව වෙන රටක තබා ගැනීම සඳහා කටයුතු කරනවා.

රටින් ඩොලර් බැහැර කරන නැතිනම් රටට ලැබිය යුතු ඩොලර් නොගෙනෙන මේ ප්‍රධාන ක්‍රම දෙකට අමතරව ඇතැම් අය රටට භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ඉන්වොයිස් සකස් කර රටින් ඩොලර් පිට කරන බවත් මේ වෙද්දී සොයා ගෙන තියෙනවා. නමුත් ඒ අය ඇත්තටම රටට භාණ්ඩ ගෙන්වන්නේ නැහැ. මේ ක්‍රියාවලිය සංවිධානාත්මකව හොර ජාලයක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. එකම භාණ්ඩ සඳහා නැවත ඉන්වොයිස් සකස් කිරීම මගිනුත් රටින් ඩොලර් පිටට යවනවා. ඒකට හේතුව ඉන්වොයිස් සම්බන්ධ රේගු කටයුතු මැනුවල් කරන නිසා.

මේ සියලු‍ දේ නිසා රටේ ආර්ථිකයට බලපෑම් ගණනාවක් වෙනවා. එකක් තමයි රට ඇතුළට ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා රටින් පිටට ගලා යන ඩොලර් ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම. ඒ වගේම තමයි රටට ලැබිය යුතු සැබෑ ඩොලර් ප්‍රමාණය ලැබෙන්නෙත් නැහැ. මේ විදියට ඩොලර් ලැබීම් හා පිටවීම් අතර පරතරයක් නිර්මාණය වීම නිසා විදේශ විනිමය හිඟයකට මුහුණ දීමටත් සිද්ධ වෙනවා.

මේ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙන්න පුළුවන්. විදේශ විනිමය හිඟයක් ඇති වුණොත් විදේශ ණය ගන්නත් සිද්ධ වෙනවා. රටේ විදේශ සංචිතවලටත් විදේශ ණය සේවාකරණයටත් මේ සමස්ත ක්‍රියාවලියෙන් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.”‍

උපුල් වික්‍රමසිංහ