මීට මසකට පෙර මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විශාල පිරිසකට ජීවිත අහිමි වීම් සහ තුවාල සිදුවීම් එනම් පුද්ගල හානි ප්‍රමුඛ වූ අතර, පසුගිය සතියේ මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේ විශේෂ ලක්ෂණයක් වූයේ බන්ධනාගාර පොදු දේපළවලට සිදු වූ විශාල හානියයි. එයින් පසුව යළිත් මේ සතියේ අවසන් දින දෙකේ දී මැගසින් බන්ධනාගාරයේ  සහ කුරුවිට බන්ධනාගාරවල නොසන්සුන්තා ඇතිවිය. එම සිදුවීම්වලදී  පුද්ගල ජීවිත හානි වීමේදී අපරාධමය වගකීම වැදගත් වනවා මෙන්ම, පොදු දේපළවලට සිදු වූ විනාශය පිළිබඳ අපරාධමය වගකීම ද බැහැර කළ නොහැක. පොදු දේපළකට ගිනි තැබීම යනු “රජය සතු දෙයක්” විනාශ කිරීමක් පමණක් නොවේ; එය ජනතාවගේ බදු මුදලින් ගොඩනැඟු‍ණු වර්තමාන පරපුරේ අයිතියක් සහ අනාගත පරපුරේ උරුමයක් එකවර විනාශ කිරීමකි. මේ නිසා පොදු දේපළ ආරක්ෂා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ආ) ව්‍යවස්ථාව අනුව සෑම පුද්ගලයකුගේම මූලික යුතුකමකි. එම යුතුකම බන්ධනාගාරයක් තුළදී අහෝසි නොවේ.

කෙසේ වෙතත්, මහර බන්ධනාගාරය තුළදී මෙවන් විශාල දේපළ හානියක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2020 නොවැම්බර් මස 29 දින කොවිඞ් වසංගතය පැවති සමයේ මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබූ අතර විශාල දේපළ හානියක් ද සිදු විය.

එම සිදුවීමෙන් පසුව පංච පුද්ගල කමිටු අතුරු වාර්තාවක්, මානව හිමිකම් කොමිෂන් සභාවේ අතුරු නිර්දේශ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සැලසුම් ඉදිරිපත් විය. එම වාර්තාවල ගැටුම හඳුනාගැනීම සහ ඒ සඳහා විසඳුම් නිර්දේශ කිරීම් දක්නට ලැබෙන අතර, කොතෙක් දුරට ඒවා ප්‍රායෝගිකව ඉටු කළාද යන්න සංසන්දනාත්මකව විග්‍රහ කිරීම වැදගත් ය. මන්ද මෙම අවස්ථා දෙකෙහිම සමාන ලක්ෂණ රැසක් දක්නට ලැබෙන බැවිනි.

එබැවින් මෙම ලිපියෙහි කරුණු පදනම් වන්නේ මහජනතාවට ප්‍රවේශ විය හැකි ඉහත කී නිල වාර්තා සහ අදාළ නීති මත ය. මෙහි අරමුණ වන්නේ ප්‍රමාණවත් මහජන හා ප්‍රතිපත්තිමය අවධානයක් නොලැබුණු බන්ධනාගාර ක්ෂේත්‍රය තුළ නැවත නැවතත් ඇති වන ප්‍රචණ්ඩ ගැටුම්වලට බලපාන සාධක හඳුනාගැනීමයි. ඒ සඳහා 2020 මහර සිදුවීමෙන් ලැබුණු අත්දැකීම් සහ එවකට ඉදිරිපත් කළ නිර්දේශ පසුකාලීන සිදුවීම් සමඟ සංසන්දනය කරමින්, රැඳවියන්, බන්ධනාගාර පරිපාලනය සහ අදාළ රාජ්‍ය ආයතන ඇතුළු සියලු‍ පාර්ශ්වයන්ගේ වගකීම හා වගවීම නීතිමය වශයෙන් විමසා බැලීමයි.

මෙම ලිපිය පුරා “රාජ්‍යයේ වගකීම” යන යෙදුමෙන් අදහස් කරන්නේ අදාළ ව්‍යවස්ථාපිත හා පරිපාලන ආයතනවලින් සමන්විත අඛණ්ඩ රාජ්‍ය ව්‍යූහයයි. එම ආයතන තම නීතිමය වගකීම් ඉටු කර තිබේදැයි විමසා බැලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයක පුරවැසි වගකීමක් ලෙස අප වටහා ගත යුතුය.

එදා මහර සහ අද මහර බන්ධනාගාරය තුළ පොදු දේපළ නොහොත් රාජ්‍ය දේපළ විනාශය

2020 පත් කළ පංච පුද්ගල කමිටු නිරීක්ෂණ අනුව මහර බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටු කාර්යාලය, ගබඩා, ලේඛනාගාරය, නිලධාරී කාර්යාල, මුළුතැන්ගෙය, ආහාර ගබඩා, වැඩ අංශ, බන්ධනාගාර රෝහල සහ රිමාන්ඞ් බන්ධනාගාර ගොඩනැගිලි ඇතුළු ස්ථාන රැසකට බරපතළ හානි සිදු වී තිබූ බව සඳහන් වේ. රැඳවියන් ඇතැම් ගොඩනැගිලිවල දොරවල් කඩා ඇතුළු වී තිබූ අතර, රෝහලේ ඖෂධ ගබඩාවට සහ රසායනාගාරයට ද හානි සිදු කර තිබිණි. විශේෂයෙන්ම, “සිරකරුවාගේ මනුෂ්‍යත්වය” සහ දැනුම වර්ධනය කිරීම නියෝජනය කරන බන්ධනාගාර පුස්තකාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබූ බව වාර්තාව පෙන්වා දෙයි. එහි තිබූ පොත්පත්, පොත් රාක්ක සහ රැඳවියන්ගේ ප්‍රයෝජනය සඳහා සපයා තිබූ ගුවන්විදුලි හා රූපවාහිනී උපකරණ ද විනාශ කර තිබිණි.

පසුකාලීන මහර සිදුවීම පදනම් කරගෙන පත් කරනු ලැබ ඇති කමිටුවලට ද ඒ හා සමාන තත්ත්වයක් නිරීක්ෂණ ලෙස වාර්තා කිරීමට සිදු වනු නොඅනුමානය. මන්ද මෙවරත් බන්ධනාගාර රෝහල, මුළුතැන්ගෙය, පරිපාලන සහ සුබසාධන ගොඩනැගිලි, අලු‍තින්ම ඉදිකළ පුනරුත්ථාපන ගොඩනැගිල්ල, වෘත්තීය පුහුණු ගොඩනැගිලි සහ ඖෂධ ගබඩා ගොඩනැගිලිවල තිබූ බඩු බාහිරාදිය ඇතුළු රජයේ දේපළවලට මුළුමනින්ම හානි සිදු වීමත්, ඇතැම් ගොඩනැගිලි ගිනි තැබීමට ලක් වීමත් දක්නට ලැබුණි. ඒ අනුව 2020දී විනාශයට ලක් වූ ආයතනික ස්ථානවලට සමාන ස්ථාන නැවතත් ඉලක්ක වී තිබීමත්, මෙවර රැඳවියන්ගේ සිර මැදිරි හෝ ඔවුන් නවාතැන් ගන්නා වාට්ටු ලෙස හැඳින්වෙන ගොඩනැගිලි විනාශ නොවීමත් විශේෂත්වයකි.

බන්ධනාගාර දේපළ ආරක්ෂා කිරීමේ නීති සහ රැඳවියන්ගේ නෛතික වගකීම

බන්ධනාගාරයක් තුළ පුද්ගල ජීවිත මෙන්ම දේපළ ආරක්ෂාව පවත්වාගෙන යාම ප්‍රමුඛ අරමුණක් වේ. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතියට අනුව එහි දේපළ හානි කිරීම හෝ විනාශ කිරීම විනය විරෝධී ක්‍රියාවකි. එනම් 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥාපනතේ 78 (ix) වගන්තිය අනුව බන්ධනාගාරයේ කිසියම් කොටසකට, බන්ධනාගාර දේපළකට, ඇඳුමකට හෝ උපකරණයකට හිතාමතා හානි කිරීම බන්ධනාගාර විනයට එරෙහි වරදකි. තවද ඊට අනුබල දීම හා ආධාර කිරීම ද 78 වගන්තිය යටතේ විනය වැරදි වේ. ඒ අනුව බන්ධනාගාර දේපළ විනාශ කළ හා ඊට ආධාර අනුබල දුන් රැඳවියන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගැනීමට ද අදාළ දඬුවමකට යටත් කිරීමට ද ආඥාපනතින් හැකියාව තිබේ.

එසේම ආඥාපනතේ 85 වගන්තිය සාමාන්‍ය අධිකරණවල බලය සුරක්ෂිත කරන බැවින්, සාක්ෂි පවතින්නේ නම් පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද නඩු පැවරිය හැකිය. කෙසේ වුවත් එකම වරදකට අවස්ථා දෙකක් යටතේ නඩු පවරා දඬුවම් නොකළ යුතුය යන සිද්ධාන්තය 85 වන වගන්තියෙන් පිළිගන්නා බැවින්, එක්කෝ විනය විරෝධී ක්‍රියාවක් ලෙස සලකා අභ්‍යන්තර විනය දඬුවමකට යටත් කිරීමට, නැතහොත් රටේ පොදු අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට හැකියාව තිබේ.

ඒ අනුව රටේ පොදු අපරාධ නීතිය යටතේ නඩු පැවරීමේදී 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත (1988 අංක 76 සහ 1999 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත) සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉහත වැරදි සලකා බැලිය හැකිය.

1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ 2 වැනි වගන්තිය යටතේ පොදු දේපළට අනර්ථයක් සිදු කිරීම බරපතළ අපරාධයකි. වරදකරු වූ විට වසරක අවමයක සිට වසර විස්සක් දක්වා සිරදඬුවමක් සහ සිදු කළ හානිය මෙන් තුන්ගුණයක් දක්වා දඩයක් නියම කළ හැකිය. එනම් යමෙක් පනත යටතේ වරදකරුවකු වුවහොත් මෙම දඬුවම් දෙකටම යටත් වීමට සිදු වන අතර, එසේ නියම කරන ලද දඩ මුදල නොගෙවා වරදකරු පැහැර හරින්නේ නම් එම පුද්ගලයා සතු, දඩ මුදලේ ප්‍රමාණයට වටිනාකමින් සමාන යැයි අධිකරණය විසින් සලකනු ලබන සියලු‍ චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කිරීමටත්, එම දේපළ විකුණා එම මුදල රජයට අය කරවා දීමටත් අධිකරණයට හැකියාව තිබේ. යම් හෙයකින් දේපළ විකුණා දඩ මුදල අය කරගත නොහැකි අවස්ථාවකදී, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ එම තැනැත්තාට අදාළව ප්‍රජා සේවා ආඥාවක් ද අධිකරණය විසින් නිකුත් කළ හැකි බවට නීතියෙන් වැඩිදුරටත් නියම කර ඇත.

දේපළ හානිය සම්බන්ධයෙන් වගකීම තීරණය කිරීමේදී වඩාත් සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ විනාශයට පත් කළ රාජ්‍ය දේපළවල ස්වභාවය සහ ඒවා මඟින් ඉටු කරන මහජන කාර්යභාරයයි. බන්ධනාගාර රෝහල හෝ බෙහෙත් ශාලාව විනාශ කිරීමත්, එහි ඖෂධ හා වෛද්‍ය උපකරණවලට හානි කිරීමත් හේතුවෙන් අවසානයේ අහිමි වන්නේ එම ක්‍රියාවට කිසිදු සම්බන්ධයක් නොමැතිව බන්ධනාගාරයේ රැඳී සිටින අනෙකුත් රැඳවියන්ගේ සෞඛ්‍ය සේවා ලබාගැනීමේ අයිතියයි. එලෙසම, බන්ධනාගාර මුළුතැන්ගෙය විනාශ කිරීමෙන් රැඳවියන්ගේ දෛනික ආහාර සැපයුමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකමක් බිඳවැටේ. පුනරුත්ථාපන කටයුතු සඳහා අලු‍තින් ඉදිකරන ලද ගොඩනැගිලි විනාශ කිරීම, හුදෙක් ගොඩනැගිල්ලකට හානි කිරීමක් නොව, බන්ධනාගාරගත කිරීමේ ප්‍රධාන අරමුණක් වන පුනරුත්ථාපන ක්‍රියාවලියටම එල්ල කරන ප්‍රහාරයකි.

රැඳවියන්ගේ විශේෂ සුබසාධන අවශ්‍යතා සපුරාලන සුබසාධන කාර්යාලය ද එවැනිම අත්‍යවශ්‍ය සේවා මධ්‍යස්ථානයකි. අවශ්‍ය අවස්ථාවලදී අනුමත දුරකථන පහසුකම් ලබාගැනීම, සබන් සහ දන්තාලේප වැනි සනීපාරක්ෂක ද්‍රව්‍ය රැඳවියන්ට ලබාගැනීම සහ උපදේශන සේවා වෙත ප්‍රවේශ වීම ඇතුළු රැඳවියන්ගේ දෛනික අවශ්‍යතා රැසක් එමඟින් සපුරාලනු ලැබේ. එබැවින් එම ගොඩනැගිල්ල විනාශ කිරීමෙන් සිදු වන්නේ රාජ්‍ය දේපළකට භෞතික හානියක් පමණක් නොව, එම ක්‍රියාවට සම්බන්ධ නොවූ අනෙකුත් රැඳවියන්ගේ සුබසාධනය, සනීපාරක්ෂාව සහ මානසික යහපැවැත්මට අදාළ පහසුකම් ද අහිමි කිරීමකි.

පරිපාලන කටයුතු සිදු කරන නිලධාරීන්ගේ කාර්යාල සහ උපකරණ විනාශ කිරීම ද බන්ධනාගාරයේ දෛනික පාලනය, ආරක්ෂාව, රැඳවියන්ගේ ලේඛන පවත්වාගෙන යාම සහ ඔවුන්ට සේවා සැපයීම අඩාල කරයි. ඒ අනුව මෙම හානිය තක්සේරු කළ යුත්තේ ගොඩනැගිලි, ඖෂධ හෝ උපකරණවල මූල්‍ය වටිනාකම මත පමණක් නොවේ. විනාශයට පත් වූ එක් එක් දේපළ මඟින් ඉටු කළ කාර්යභාරය, එම සේවාව අහිමි වීමෙන් අනෙකුත් රැඳවියන්ට ඇති වූ බලපෑම සහ බන්ධනාගාරයේ ආරක්ෂාව, පරිපාලනය හා පුනරුත්ථාපන ක්‍රියාවලියට සිදු වූ බාධාව ද සැලකිල්ලට ගත යුතුය. එම අර්ථයෙන් මෙය පොදු දේපළ විනාශ කිරීමක් පමණක් නොව, ජනතාවගේ සම්පත්වලට හා රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් සපුරාලීමට පිහිටුවා ඇති සමස්ත සේවා පද්ධතියකටම සිදු කරන ලද බරපතළ හානියකි.

යම්කිසි රැඳවියකු පොදු දේපළ පනත යටතේ අපරාධමය වරදකරුවකු බවට පත් වූ විට සිරදඬුවමට අමතරව දඩය නියම කිරීමේදී එකී දඩය ගෙවා ගැනීමට ඔහුට වත්කම් නැත්නම් සහ ඔහුට යම්කිසි දේපළක් තහනමට ගැනීමට ද නොහැකි වන්නේ නම්, එවැනි විටෙක ප්‍රජා සේවා නියෝගයක් නිකුත් කිරීමේ තත්ත්වය ද ප්‍රායෝගිකව වැදගත් වේ. එවන් විටක වත්කම් නොමැති පුද්ගලයකුට එම තත්ත්වය නිදහසට කරුණක් ලෙස භාවිත කිරීමට අවස්ථාව නොලැබේ. මන්ද එවන් වරදකරුවන් මෙම කඩාබිඳ දැමූ ගොඩනැගිලි නැවත ඉදිකිරීම සඳහා ප්‍රජා සේවා නියෝග යොදා ගනිමින් එම ඉදිකිරීම් කටයුතුවල විවිධ අවස්ථාවලට සහභාගී කරවීම උදෙසා අධිකරණයට නියෝග කිරීමට ඇති හැකියාව පෙන්වා දිය හැකිය.

නැවතත් අපගේ අවධානය පෙර අත්දැකීමට යොමු කළහොත් පෙනී යන්නේ, 2020 පංච පුද්ගල කමිටුව ද රාජ්‍ය දේපළ විනාශ කළ රැඳවියන්ට එරෙහි පොලිස් විමර්ශන කඩිනමින් අවසන් කර, වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර, ප්‍රමාදයකින් තොරව නඩු පැවරීමට නිර්දේශ කර තිබූ බවයි. එහෙත් එම නිර්දේශ අනුව වගකිව යුතු රැඳවියන්ට නඩු පවරා අවසන් තීන්දු ලබා නොදීම යනු වගවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොවීමක් ලෙස පෙන්වා දිය හැකිය.

බන්ධනාගාර පොදු දේපළ ආරක්ෂා කිරීමට පවතින පරිපාලනමය වගකීම

මීට පෙර ද සඳහන් කළ පරිදි, බන්ධනාගාරයක් තුළ පිහිටි දේපළ ආරක්ෂා කිරීමේ වගකීම එහි සිටින සියලු‍ පාර්ශ්වයන් වෙත පැවරේ. රැඳවියන් එම දේපළවලට හානි කිරීමෙන් වැළකී සිටීමට නීතිමය වශයෙන් බැඳී සිටින අතර, බන්ධනාගාර පරිපාලනයට එම දේපළ ආරක්ෂා කිරීම, විනය පවත්වාගෙන යාම සහ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි අවදානම් කල්තියා හඳුනාගෙන පාලනය කිරීමේ ආයතනික පරිපාලන වගකීමක් පවතී.

එබැවින් මෙවැනි සිදුවීමක වගකීම විමසීමේදී දේපළවලට සෘජුවම හානි කළ පුද්ගලයන් හඳුනාගැනීමෙන් පමණක් විමර්ශනය අවසන් කළ නොහැකිය. බන්ධනාගාරයේ අධික තදබදය, ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති වීම, රැඳවියන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා හුවමාරුව, ජංගම දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය සංසරණය සහ ඒවා හරහා බන්ධනාගාරය ඇතුළත හා පිටත සංකීර්ණ සම්බන්ධතා පවත්වාගෙන යාම වැනි කරුණු ගැටුම ඇතිවීමට හෝ එය උත්සන්න වීමට සෘජුව හෝ වක්‍රව බලපෑවේද යන්න විමසා බැලිය යුතු අතර, එවැනි විනාශයක් වැළැක්වීමට අසමත් වූ පරිපාලනමය හා පද්ධතිමය දුර්වලතා පිළිබඳ වගවීම ද එකසේ විමර්ශනය කළ යුතුය.

හඳුනාගත් තදබදය

2020 මහර ගැටුම ඇති වූ අවස්ථාවේ එහි රැඳවියන් 2,782 දෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් 2,148ක්ම රිමාන්ඞ් සැකකරුවන් වූ බව පංච පුද්ගල කමිටු වාර්තාවල සඳහන් වේ. එය එවකට බන්ධනාගාරයේ නියමිත ධාරිතාව මෙන් තුන්ගුණයකට ආසන්න තදබදයකි. එම පිරිස අතර වැලිකඩින් කොවිඞ් ආසාදිතව පැමිණි සැකකරුවෝ ද වූහ. එම තදබදය ගැටුමට බලපෑ මූලික පද්ධතිමය සාධකයක් බව හඳුනාගත් කමිටුව, බන්ධනාගාර ජනගහනය වහාම අඩු කිරීමට නිර්දේශ කර තිබිණි.

එහෙත් පසුකාලීනව නොසන්සුන්තාව ඇති වූ අවස්ථාවේ, රැඳවියන් 991 දෙනෙකු සඳහා පමණක් සැලසුම් කර තිබූ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 4,100කට අධික පිරිසක් සිටි බව වාර්තා විය. ඔවුන්ගෙන් ද වැඩිම පිරිසක් රිමාන්ඞ් සැකකරුවන් වූ අතර, මීගමුවේ මාරාන්තික ගැටුමෙන් පසු මහරට රැගෙන ආ සැකකරුවෝ ද මෙම ගණනට ඇතුළත් වූහ.

ඒ අනුව 2020දී ගැටුමකට හේතු වූ බවට හඳුනාගත් තදබදය අඩු කිරීම වෙනුවට, වසර හයකට පසුව තුන්ගුණයක්ව පැවති ධාරිතාව හතරගුණයකටත් වැඩි මට්ටමකට වර්ධනය වී තිබීම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බරපතළ ප්‍රමාදයක් සහ අසාර්ථකත්වයක් පෙන්නුම් කරයි. තවද මීගමුවේ ඇති වූ ප්‍රචණ්ඩත්වය නිසා, සිරකරුවන් සමඟ මීගමුවේ පැවති කල්ලිමය ගැටලු‍ සහ ආරක්ෂක අවදානම් ද මහර බන්ධනාගාරයට මාරු වූවාද යන ප්‍රශ්නය ද මතු වේ.

හඳුනාගත් මත්ද්‍රව්‍ය ගැටලු‍ව 

තවත් වැදගත් කරුණක් වන්නේ, මීගමුව සහ මහර ගැටුම් සම්බන්ධයෙන් ප්‍රධාන හේතුවක් ලෙස කතා කරන මත්ද්‍රව්‍ය ගැටලු‍ව ද 2020 මහර සිදුවීමෙන් පසුව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එහි නිරීක්ෂණ අනුව පැහැදිලිව හඳුනාගෙන තිබීමයි. එවකට මහර රිමාන්ඞ් රැඳවියන්ගෙන් සියයට 80කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා මත රඳවා සිටි බවත්, ඔවුන් අතර නැවත නැවත එවැනි වැරදිවලට සම්බන්ධ වූ පුද්ගලයන් බහුල බවත් කොමිෂන් සභාව වාර්තා කර ඇත.

එහිදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සහ ලාභය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් එකම කාණ්ඩයක් ලෙස සලකා බන්ධනාගාරගත නොකළ යුතු බව අවධාරණය කෙරිණි. මත්ද්‍රව්‍ය මත යැපෙන සැකකරුවන් බන්ධනාගාර වෙත නොව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු බවත්, එම මධ්‍යස්ථාන බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ නොව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය යටතේ පවත්වාගෙන යා යුතු බවත් කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණි.
වසර හයකට පසුවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, ඇබ්බැහි වූවන්, සුළු මට්ටමේ චෝදනා ලැබූවන් සහ සංවිධානාත්මක ජාවාරම්කරුවන් එකම අධික තදබදයකින් යුතු බන්ධනාගාර පරිසරයක රඳවා තැබීමෙන් කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාල තවදුරටත් ශක්තිමත් වීම පුදුමයක් නොවේ. පුදුමයට කරුණ වන්නේ, හේතුව සහ විසඳුම 2020දීම හඳුනාගෙන තිබියදීත් ඒවා ඉටු නොවීමයි.

තවද මත්ද්‍රව්‍ය පමණක් නොව බන්ධනාගාරය තුළ ජංගම දුරකථන නීති විරෝධී ලෙස භාවිතය සහ රහසිගත ලෙස තබාගෙන සිටීම ද සිදුවූ අපරාධවල සංවිධානාත්මක බව වැඩිදියුණු කිරීමට හේතුවක් විය හැකිය.

හඳුනාගත් නිලධාරී හිඟය 

පංච පුද්ගල කමිටු වාර්තාවේ තවත් වැදගත් නිර්දේශයක් වූයේ මහර බන්ධනාගාරයේ දෛනික කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නිලධාරී සංඛ්‍යාව වහාම වැඩි කළ යුතු බවයි. මෙයින් පෙනී යන්නේ නිලධාරී හිඟය පසුව අලු‍තින් ඇති වූ ගැටලු‍වක් නොව, 2020 මහර සිදුවීමේදීම නිල වශයෙන් හඳුනාගත් ආරක්ෂක හා පරිපාලන දුර්වලතාවක් බවයි.

එවන් පසුබිමක් මත වසර හයකට පසුවත් විශාල රැඳවියන් පිරිසකගේ විනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම මහර සිදුවීමේ තවත් එක් පැතිකඩකි. ඒ අනුව සිදුවීම වූ දින රාජකාරියේ සිටි නිලධාරීන් සංඛ්‍යාව, අනුමත නිලධාරී සංඛ්‍යාව, පුරප්පාඩු ප්‍රමාණය සහ නිලධාරියකුට අධීක්ෂණය කිරීමට සිදු වූ රැඳවියන් සංඛ්‍යාව එහි පරිපාලනමය හැකියාව පෙන්නුම් කරයි. මෙහි තවත් පැතිකඩක් වන්නේ රැඳවියන් සමඟ මුහුණට මුහුණ කටයුතු කරන නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු‍වයි.

අවසන් වශයෙන් පෙන්වා දිය හැක්කේ රැඳවියන්ගේ නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ වගකීම තීරණය කළ යුතු සේම, එම ක්‍රියා සිදුවීමට ඉඩ සැලසූ පරිපාලනමය අසාර්ථකත්වය පිළිබඳ රාජ්‍ය වගකීම ද මඟහැරිය නොහැකි බවයි. සිරකරුවන්ගේ වගකීම සහ රාජ්‍යයේ වගකීම එකිනෙකට විකල්ප දෙකක් නොව, එකම විමර්ශනයේ අත්‍යවශ්‍ය පැති දෙකකි. අතීත අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන රාජ්‍යය නිවැරදි මාර්ගයට යොමු කිරීමට ජනතාව, මාධ්‍යය සහ සමාජය බුද්ධිමත් ලෙස ක්‍රියා නොකරන තාක්, පුද්ගලයන් සහ පාලන වෙනස් වුවද එකම ඛේදවාචක නැවත නැවතත් වාර්තා කිරීමටත් විමර්ශනය කිරීමටත් සිදුවනු ඇත.

(මෙම ලිපිය සකස් කිරීමේදී ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිය පිළිබඳ මා විසින් පසුගිය වසර කිහිපය පුරා සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් අනාවරණය වූ කරුණු සහ නිරීක්ෂණ ද පදනම් කරගෙන ඇත.)