
ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරයෙකු වන නජිත් ඉන්දික, වත්මන් දේශපාලන වටපිටාව පිළිබඳ සාකච්ඡාවකට ‘ඉරිදා ලංකාදීපය‘ සමඟ මෙසේ එක්වේ.
Q ආණ්ඩුවට අවුරුදු දෙකත් පනින්න ළඟයි. අවුරුදු දෙකක ප්‍රගති වාර්තාව ගැන මොකක් ද අදහස?
අවුරුදු දෙකක ප්‍රගතියක් තක්සේරු කරන්න වෙන්නේ එදා අපිට තිබුණු අභියෝගය සහ අද අපි ඇවිත් තියෙන දුර කියන කාරණා සලකා බලල තමයි. අනුර දිසානායක ජනාධිපතිධූරය භාර ගන්නකොට මේ රට තිබුණේ ආර්ථික අතින් පහළම අඩියක. ඊට පෙර පැවති ආණ්ඩුවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනතාවට තිබුණේ විශාල විරෝධයක් සහ නොසතුටක්. ඉතිහාසයේ නොකෙරුණු ආකාරයේ අරගලයකින් අවුරුදු දෙකකට පස්සේ තමයි අපි ආණ්ඩු බලය ලබා ගන්නේ. අපි ආණ්ඩු බලය ලබාගන්න මොහොත ඉතිහාසයේ සුවිශේෂී එකක්.
ඒ මොහොතේ අපිට තිබුණු බරපතලම අභියෝගය තමයි ආර්ථිකය ජයගැනීම. පහුගිය දවස්වල නිකුත් කෙරුණු වාර්තාවලට අනුව අද රට ආර්ථික වශයෙන් තියෙන තැන ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. අපි රට භාරගන්නකොට අපි කැමති වුණත් අකමැති වුණත් අපිට යන්න තිබුණේ අයි.එම්.එෆ් එකත් එක්ක. ළිඳට වැටිච්ච කෙනා ළිං කටින්ම ගොඩ එන්න ඕන වගේ අපිටත් යන්න වුණේ අයි.එම්.එෆ් එකත් එක්කම තමයි. හැබැයි අපි හිතුවේ මේක අපි මුහුණ දෙන අවසාන අයි.එම්.එෆ් ප්‍රෝග්‍රෑම් එක වෙන්න ඕන කියලා. අද ඒ තත්ත්වයට එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ආර්ථිකය පැත්තෙන් විතරක් නෙවෙයි අනෙකුත් හැම ක්ෂේත්‍රයක් ගැනම සලකා බලද්දී මේ වගේ සුබවාදී තත්ත්වයක් අපිට පෙනෙන්න තියෙනවා. රට ගැන හැඟීමක් තියෙන ඕනෑම කෙනෙකුට මේ සත්‍යය බැහැර කරන්න බැහැ.
Q අවුරුදු දෙක යන්න කලින් විපක්ෂයේ සියලු කණ්ඩායම් එක පිලකට ඇවිත් ආණ්ඩුවට ඇටෑක් කරන තත්ත්වයකට ආවේ ඇයි ආණ්ඩුවේ අප්සෙට් එකක් ඇත්තෙම නැත්නම්...?
මම හිතන්නේ අපේ සාර්ථකත්වය තමයි ඔවුන් එක පිලකට එකතුවීම. හතර අතට විසිරිලා හිටපු විපක්ෂ කල්ලි කණ්ඩායම් දැන් එක පිලකට ඇවිත් තියෙනවා. මීට කලින් එකිනෙකා කුළල් කාගත්ත අය අද එකට එකතුවෙලා තියෙන්නේ ඔවුන්ට යන එන මං නැති වෙච්ච නිසා. ඒක අපේ පැත්තෙන් සාර්ථකත්වයක්. ඒක වෙන්නේ රටේ ආර්ථිකය ස්ථාවර වීම, නීතියේ ආධිපත්‍යය තහවුරු වීම, නීතිය සැමට පොදුයි කියන මතය සමාජගත වීම වගේ කාරණා එක්ක. මේ කාරණා නිසා තමයි විපක්ෂය අද කලබල වෙලා තියෙන්නේ. හුදෙකලා සිදුවීම් ඇරෙන්න ඔවුන්ගේ ආණ්ඩු කාලවල සිද්ධ වුණා වගේ බරපතළ ගණයේ වංචා, දූෂණ, ඝාතන කිසිවක් අද සිද්ධ වෙන්නේ නැහැ.
විපක්ෂයට අද සටන් පාඨවල හිඟයක් තියෙනවා. ඒක නිසා ඔවුන් එකතු වෙලා මොකක් හෝ කරුණක් අල්ලගෙන ඒකෙ එල්ලිලා බලය ගන්න බලනවා. කොටින්ම කියනවා නම් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ‘සිස්ටම් චේන්ජ්‘ එකක් අද වෙමින් තියෙනවා. ඒක විපක්ෂයට දිරවාගන්න බැරුව ඉන්නවා. ඕක තමයි ඇත්ත. අද එකට එකතු වෙලා ඉන්න ඔය විපක්ෂ කල්ලියේ කාගේ කාගේත් කෙරුවාව මේ රටේ මිනිස්සු හොඳට දන්නවා.
Q විපක්ෂ කණ්ඩායම්වල මේ එකතුවීම කිසියම් මොහොතක ආණ්ඩුව දෙදරවන්න පුළුවන් කියලා සැකයක් නැද්ද? මොකද අනවශ්‍ය අධිතක්සේරුව සමහර ආණ්ඩුවල විනාශයට මුල් වුණු හැටි ගැන අත්දැකීම් අපිට තියෙනවා...?
අපි, අපි ගැන අධිතක්සේරුවක නැහැ. ඒ වගේම අපිට එරෙහිව එන විරෝධයන් ගැන අවතක්සේරුවකුත් නැහැ. අපි ඒ දිහා හොඳ අවබෝධයෙන් බලන්න සූදානම්. හැබැයි මේක වැරදි කරන ආණ්ඩුවක් නෙවෙයි. යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. යම් අඩුපාඩුවක් සිද්ධ වෙන එකයි හිතාමතා සැලසුම් සහගතව ආණ්ඩුවක් වංචා දූෂණ කරන එකයි කියන්නේ කාරණා දෙකක්. අපි දැක්කා පහුගිය ආණ්ඩුවලින් වෙච්ච මහා පරිමාණ වංචා දූෂණවල තරම.
දැන් රටේ ඉන්නේ අලුත් ජනතාවක්. මේ අලුත් පුරවැසියා බිහි කරන්න පහුගිය කාලේ සිද්ධ වුණු අරගලය බලපෑවා. ඒක නිසා පරණ හොරුන්ට දැන් ආපහු ඇවිල්ලා අපේ ආණ්ඩුවේ හොරකම් ගැන, දූෂණ ගැන බොරු කියලා ජනතාව රවට්ටන්න බැහැ. දැන් ජනතාව හරිම දේශපාලනිකයි, සබුද්ධිකයි. මේ ආණ්ඩුව පරාජය කරන්න නම් ඉදිරියට එන ඕනෑම ආණ්ඩුවක් අපිට වඩා හොඳ වෙන්න ඕන. එහෙම සේයාවක්වත් නැති තත්ත්වයක් තුළ අපි මොකටද විපක්ෂයේ කල්ලි කණ්ඩායම් ගැන අනිසි සැක සංකාවක් තියාගන්නේ?
Q ඔබලා ආණ්ඩු බලය ගත්තට රාජ්‍ය බලය හම්බවෙලා නැහැ වගේ අදහසක් ඔබලාගේ පැත්තෙන්ම සමහර අවස්ථාවල ප්‍රකාශ වෙනවා. ඇත්තටම එහෙම ද...?
වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් විදියට අපි දේවල් කියවාගන්න විදියක් තියෙනවා. මේ කතාව කියවුණු තැන්වලදී ඊට කලින් සිදුවුණු යම් යම් සිදුවීම් උදාහරණයට අරගෙන තමයි ඒක කිව්වේ. රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් වෙච්ච අඩුපාඩු ඒ තැන්වලදී කතා වුණා. එහෙම තමයි මේ කතාව ඉස්මතු වෙන්නේ. හැබැයි කුමන්ත්‍රණකාරී විදියට මේ අදහස විකෘති කරලා ප්‍රකාශ කරන අයගේ කතාවල ඇත්තක් නැහැ.
Q තැනින් තැන සිද්ධ වෙන ගොවි විරෝධතා රැල්ල ආණ්ඩුව සීරියස් අරන් නැද්ද? නැත්නම් මේක දේශපාලන ඇජෙන්ඩා එකකට සිදුවන දෙයක් කියලා හිතලා නොසලකා ඉන්නව ද...?
අපි මේ ප්‍රශ්නය පිළිබඳව සංවේදීයි. රටේ වෙන ඕනෑම ජනකොටසකගේ විරෝධයක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. ඒ අයගේ විරෝධය අපි තේරුම් ගන්නවා වගේම ඒක පිටුපස තියෙන තත්ත්වයත් අපි අවබෝධ කරගන්නවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ බරපතළකම අපි සැහැල්ලුවට ගන්නේ නැහැ. එතැනදී ඒ විරෝධතාව පාන්නේ මොන පක්ෂයේ අයද, ඒ ඇත්තම ගොවියද කියන කාරණා අපිට ද්විතීයිකයි.
මේ රටේ කෘෂිකර්මාන්තයේ හැමදාම ප්‍රශ්න තිබුණා, දැනුත් තියෙනවා. ඒවට නිසි පිළිතුරු හොයන්න අපේ ආණ්ඩුව උපරිම උත්සාහයක් ගන්නවා. ඒ අතරේ විවිධ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව සිද්ධවෙන කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන්, අපි ඒ ගැනත් හොඳ අවබෝධයෙන් ඉන්නේ. අපේ රටේ වී ගොවිතැන අර්බුදකාරී තැනක තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ පැවති ක්‍රමය ඇතුළේ මේ ප්‍රශ්නය දිගින් දිගටම දිග්ගැස්සුණා මිසක් විසඳුමකට ආවේ නැති නිසයි. ඒක නිසා ඕනෑම දේශපාලන න්‍යාය පත්‍රයකට මේක ලේසියෙන්ම ඇදලා ගන්නත් පුළුවන්. කෘෂිකර්මයේ තියෙන ප්‍රශ්න ටික දැන් ඒකට අදාළ අමාත්‍යවරුන් නිසි අවබෝධයෙන් තේරුම් බේරුම් කරගෙන යනවා. ගොවියන්ගේ ඇත්ත ප්‍රශ්න සම්බන්ධව මේ ආණ්ඩුව සංවේදීයි වගේම, ගොවියන් උසිගන්වන දේශපාලන ව්‍යාපෘති සම්බන්ධවත් මේ ආණ්ඩුව හොඳ අවබෝධයෙන් ඉන්නවා.
Q මේ දවස්වල රටේම කතාබහ නීති ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වය. අධිකරණ ඇමතිට විශ්වාසභංගයකුත් ඇවිත්, වැඬේ අතරමග නැවතිලා තියෙන්නේ...?
මේක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේක ප්‍රශ්නයක් බවට පත් කරන්න උත්සාහ කරන්නේ විපක්ෂය. විපක්ෂයේ පැත්තෙන් බැලුවම ඒක සාධාරණයි. මොකද නීතියේ විධානය ස්ථාපිත වීම සහ නීතිය ක්‍රමවත් වීම කියන එක ඔවුන්ට මාරාන්තිකයි. ඒ කල්ලියේ බොහෝ අයට අද නඩු වැටිලා, සමහරු හිරේ, සමහරුන්ට චෝදනා තියෙනවා. මේ තත්ත්වය තුළ ඔවුන් කලබල වීම ගැන අපිට පුදුමයක් නැහැ.
විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ගැන තමයි ඔවුන්ගේ මේ කලබලය තියෙන්නේ. මෙතන තියෙන්නේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධව අපි අරන් තියෙන බහුවිධ ප්‍රවේශයක්. අධිකරණ ක්ෂේත්‍රයේ තියෙන ඇත්ත ප්‍රශ්න ටික තේරුම් අරගෙන තමයි අපි මේ ප්‍රවේශය අරන් තියෙන්නේ. මේ වැඩ් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි, ඒක රටට අහිතකර එකක් නෙවෙයි. විපක්ෂය මතු කරන බොරු බිල්ලකුත් නෙවෙයි. රටට යම් සාධනීය දෙයක් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම් ඒක ගේන එක හොඳ දෙයක්. රට පැත්තෙන් යහපත් දෙයක් කරන්න අපි පැකිලෙන්නේ නැහැ.
Q මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා. ඒ වගේම විපක්ෂයත් දුර්වල තත්ත්වයක තියෙනවා. මේ කියන තත්ත්වයන් සියල්ල හමුවේ ආණ්ඩුව දේවල් සීරියස් ගන්නේ නැහැ කියලා චෝදනා කළොත් උත්තරයක් තියෙනව ද ඒකට...?
මේ තත්ත්වය අපි කිසිසේත්ම සැහැල්ලුවට අරගෙන නැහැ. ඒ වගේම විපක්ෂයේ ක්‍රියාකාරීත්වය දුර්වල මට්ටමක තියෙන බව ඇත්ත. අපිට එළියෙන් අභියෝගයක් නැති මොහොතක වරදිනවා නම් වරදින්න තියෙන්නෙත් ඔතන තමයි කියලා අපි දන්නවා. ඒ ගැන අපි ඉතාම සබුද්ධිකව ඉන්නවා.
ප්‍රියන්ත කොඩිප්පිලි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd