
විනිසුරු විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ රජයේ වෑයම මේ වනවිට ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද බලය උරගා බලන සටන් බිමක් බවට පත්වෙමින් තිබේ. විපක්ෂය මේ වනවිට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහායද තම පාර්ශ්වයට එකතු කර ගැනීමට සමත්ව තිබෙන අතර නීතිඥ ප්‍රජාවේ යම් සැලකිය යුතු පිරිසක් මෙම හේතුව මත ආණ්ඩු විරෝධී ස්ථාවරයකට පැමිණ ඇත. මෙම සංශෝධනයට විරෝධය පා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉකුත් සතියේ පැවැත්වූ මහා සභාවටද නීතිඥවරුන් විශාල පිරිසක් සහභාගි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පවසන්නේ නීතිඥවරුන් තුන්දහස් හත්සියයක් සහභාගි වූ බවය.
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල පවසන්නේ එම රැස්වීම පැවැති ශාලාවේ ඇති පුටු ප්‍රමාණය, සිටගෙන සිටි නීතිඥ පිරිස සහ සූම් තාක්ෂණයෙන් සහභාගි වූ පිරිසද සමග හත්සියයකට අඩු පිරිසක් එයට සහභාගි වූ බවය. රට පුරාම නීතිඥ ප්‍රජාව විසිහය දහසක් සිටින අතර කොළඹ නීතිඥ සංගමයේ සාමාජික පිරිස හය දහසක් බවද කියන නියෝජ්‍ය ඇමැතිවරයා සමස්ත නීතිඥවරුන්ගේ සහාය විපක්ෂයට නොමැති බවද කියයි. ඉහළ උසාවි දෙකේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නංවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන සතියේදී ගැසට් පත්‍රයේ පළ කරන බවද වටගල ඇමැතිවරයා සඳහන් කළේය.
විපක්ෂය මෙයට එරෙහිව තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධානවලටද පැමිණිලි කර ඇත. එයට ප්‍රතිචාර ලෙස ප්‍රංශයේ නීතිඥ සංගමයක් රජයෙන් ඉල්ලා සිටියේ මෙම සංශෝධනය හකුළා ගන්නා ලෙසය. රජය මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නීතිඥවරුන් තීරණය කර ඇත. එයට විපක්ෂයේද සහාය හිමිවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සියලු පක්ෂ කැඳවා කළ සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ ජනතා සහභාගිත්වයෙන් මහා පාද යාත්‍රාවක්ද එදින පැවැත්වීමටය.
වටගල ඇමැතිවරයා මෙම ලේඛකයා සමග පැවසුවේ රජය ගෙන එන සංශෝධනය සම්බන්ධයෙන් දිස්ත්‍රික් 18 පුරාම රැස්වීම් පවත්වා ජනතාව දැනුවත් කිරීමට තීන්දු කර ඇති බවය.
සෑමවිටම මෙරට පැවැති සෑම විපක්ෂයක්ම උත්සාහ කළේ කුමන උප්පරවැට්ටියක් හෝ දමා පවතින රජය පෙරළා ගැනීමටය. 1987 ජවිපෙ භීෂණ සමයේ ජවිපෙන් බැට කන ගමන්ම ශ්‍රීලනිපය උත්සාහ කළේ පැවැති එජාප රජය පරාජය කර ගැනීමට මිස තමන්ට තුවක්කුව එල්ල කළ ජවිපෙ පරාජය කිරීමට නොවේ. මෙවර ජවිපෙ රටේ ආණ්ඩු බලය හොබවන විට පවතින විපක්ෂය උත්සාහ කරන්නේ විනිසුරු විශ්‍රාම වයස යන මාතෘකාව මත හෝ පවතින රජය පෙරළා ගන්නටය. ජවිපෙද මේ ලෙසට මහින්ද රාජපක්ෂ රජය ව්‍යවස්ථාව සංශෝධන සිදුකරද්දී රජයට එරෙහි දැඩි සටනක් ගෙන ගිය අයුරුද ඉතිහාසයේ ලියැවී තිබේ.
මෙරට බලයට පත් වූ ආණ්ඩු අතරින් එකක් හෝ දෙකක් හැර අන් සෑම ආණ්ඩුවක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන හෝ ඡේදයක් කුරුටු ගා තමන්ට උවමනා පරිදි සකසාගෙන ඇත.
නිදහස් පනත අනුව ලංකාවේ අධිකරණයට ස්වාධීන බලතල තිබුණේ අපරාධ නඩු හැර අන් නඩු කටයුතු සම්බන්ධයෙනි. ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් අවසාන අභියාචනාධිකරණය වූයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. 1972 දී සමගි පෙරමුණු රජය එම යටත්විජිත වියගසේ ඉතිරි කොටස්ද කපා දමා ජනරජ ව්‍යවස්ථාව ලෙස “දේශීය වියගසක්” තැනුවද එම ව්‍යවස්ථාව සමගි පෙරමුණේ දේශපාලන උවමනාවට අනුකූලව සකස් කළ ව්‍යවස්ථාවක් බවට ඇතැමුන්ගෙන් විවේචන එල්ල විය.
ලංකාවේ දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී පැනවීමට සමගි පෙරමුණු රජය යටතේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක තීන්දු කළේ 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවේදී මෙරට අධිකරණය ලබාදුන් තීන්දුව සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරමින් බ්‍රිතාන්‍ය රාජාධිකරණය ලබාදුන් තීන්දුව නිසාය. එම රාජාධිකරණ තීන්දුවෙන් ඉතා පැහැදිලිව ඔප්පු වූයේ 1948 දී මෙරටට පූර්ණ නිදහසක් ලැබී නොමැති බවය. තීන්දුව ප්‍රකාශ කළ බ්‍රිතාන්‍යයේ පියර්ස් සාමිවරයාගේ තීන්දුවේ මෙසේ දැක්වෙයි.
“ලංකාවට නිදහස ලැබුණද අධිකරණයේ මූලධර්මයන්හි වෙනස්කම් කිරීමට ඔවුන්ට බලතල ලැබී නැත.
අධිකරණය රාජ්‍ය හා විධායක පාලනයෙන් නිදහස් විය යුතුය.” එම තීන්දුව අනුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සැකකරුවන් සියලු දෙනාටම නිදහස හිමිවූ අතර බණ්ඩාරනායක මැතිනිය 1970 බලය ලබාගත් අවස්ථාවේ නව ජනරජ ව්‍යවස්ථාව පනවා මෙරටට බ්‍රිතාන්‍ය සමග තිබූ අවසන් බැඳීමද මුදා හැරියාය.
එම දෙවැනි ව්‍යවස්ථාව සම්මත කරන අවස්ථාවේ එතෙක් සිටි සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලටම නව ජනරජ ව්‍යවස්ථාව යටතේ අලුතෙන් දිවුරුම් දෙන්නට සිදුවිය. එහිදී එජාපයට හිතවත් යැයි ප්‍රකටව සිටි විනිසුරුවරුන් කිහිප දෙනකුටම යළිත් දිවුරුම් දීමේ වරම නොලැබී ඔවුන්ගේ සේවය අවසන් කරන්නට සිදුවිය.
එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආයු කාලය පැවැතියේ 1978 දක්වා පමණකි. 1978 දී එජාප රජය යටතේ වත්මන් ව්‍යවස්ථාව අලුතෙන් පැනවූ අතර එය මෙරට තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු විටක පොදු ජන යහපත පිණිස තනන ලද ව්‍යවස්ථාවක් නොව බලය පවතින පාලක පන්තියේ දේශපාලන අභිලාෂය ඉටුකර ගැනීම පිණිස පනවන ලද ව්‍යවස්ථාවකි. 1970 රජය මෙන්ම 1977 රජය පැනවූ ව්‍යවස්ථා දෙකම කෙටුම්පත් කරන ලද්දේ වියතුන් හා නීති විශාරදයන් නොව දේශපාලකයන්ගේ මගපෙන්වීමෙනි. නිදහසට පෙර පැවැති ව්‍යවස්ථාව විද්වත් විශේෂඥයන් හැදූ ව්‍යවස්ථාවක් වූ හෙයින් 1972 වනතුරුම ව්‍යවස්ථා මුවහමට තඩිබෑමක් සිදු වූයේ නැත.
මේ වනවිට ව්‍යවස්ථාවට ගෙනැවිත් ඇති සංශෝධන අතරින් කිහිපයක් පමණක් දේශපාලන නොවන හේතු මත ගෙන ආ ඒවාය.
අට වැනි ව්‍යවස්ථා සංශෝධනය 1984 දී ගෙන එන ලද්දේ එතෙක් පැවැති රාජ නීතිඥ යන තනතුර වෙනුවට ජනාධිපති නීතිඥ යන තනතුර හඳුන්වාදීම සඳහාය. රාජ නීතිඥයන් පත් කළේ එවකට රටේ පාලකයා වූ බ්‍රිතාන්‍යයේ මහ රජතුමාගේ බලය ලත් නීතිඥයන් හැටියටය. 1972 දී බ්‍රිතාන්‍ය රජුට තිබූ නාමික හිමිකමත් නව ව්‍යවස්ථාවෙන් ඉවත් කළ ද රජ නීතිඥ යන තනතුර වෙනස් වූයේ නැත. ජේ.ආර්.ගේ අට වැනි සංශෝධනයෙන් ජනාධිපති නීතිඥ යන නාමය ආදේශ කර ඒ දක්වා රාජ නීතිඥයන් භුක්ති විඳි සියලු පහසුකම් හා වරප්‍රසාද ද මෙමගින් හිමිකර දුන්නේය.
9 වැනි සංශෝධනය ගෙන ආවේ රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සඳහා තරග කිරීමට යොදා තිබූ තහනමේ සඳහන් වැටුප් පරිමාණ සංශෝධනය කිරීම සඳහාය. 11 වැනි සංශෝධනය මහාධිකරණයේ බලතල පුළුල් කිරීම හා ඒ ආශ්‍රිත අධිකරණ කටයුතු වෙනුවෙන් 1987 දී පැනවිණි.
බලය බෙදීම සඳහා ජනාධිපති ජයවර්ධන සහ රජිව් ගාන්ධි අතර අත්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුමට අදාළ බොහෝ කරුණු 13 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාවට ඇතුළත් කර රටේ නීතියක් බවට පත් කෙරිණි. 1987 නොවැම්බර් 14 වැනි දින මෙම සංශෝධනය සම්මත විය. පළාත් සභා පිහිටවූයේ 13 වැනි සංශෝධනය අනුවය. පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් මන්ත්‍රී මණ්ඩලය හා ඇමැති මණ්ඩලය, ඇතුළත්ව බලය බෙදීම සඳහා වැදගත් බොහෝ නීති මෙමගින් ස්ථාපිත කෙරිණි.
14 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ 1988 මැයි මාසයේ 24 වැනිදාය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාවක් සම්මත කර විධායක ජනාධිපති ධුරයට පත් වුවද මෙම නව ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පවත්වා නොතිබුණි. ජේ.ආර්.ට හයෙන් පහක බලයක් ලැබුණේ 1972 මැතිනිය සම්මත කළ ජනරජ ව්‍යවස්ථාව යටතේය. 1977 පත් වූ මන්ත්‍රීවරුන් 1983 දී නව මහා මැතිවරණයකට මුහුණ දිය යුතු වුවද ජනමත විචාරණයකින් පාර්ලිමේන්තු ධුර කාලය දිගු කරගත් නිසා මහ මැතිවරණ පනතේ අඩුපාඩු පිරවීම 14 වැනි සංශෝධනයේ අරමුණ විය. මේ යටතේ ජාතික ලැයිස්තුව පළමුවරට ඇතුළත් කෙරිණි. එතෙක් පැවැති මන්ත්‍රීවරුන් 196ක සංඛ්‍යාව ජාතික ලැයිස්තුවත් සමග 225 දක්වා වැඩි කෙරුණේ මෙම සංශෝධනයෙනි.
1988 ජනපතිවරණය ජය ගැනීම සඳහා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඒ.එච්.එම්. අෂ්රොෆ්ට වූ පොරොන්දුවක් අනුව මෙම 15 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කෙරිණි. ප්‍රේමදාස ජනාධිපති වූ වහාම පැනවූ මෙම සංශෝධනය අනුව සමානුපාතික ඡන්ද ක්‍රමයම අවුල් විය. අවම වශයෙන් එක් මන්ත්‍රීවරයකු පත් කිරීමේ කඩඉම වූයේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකකි. 1988 දෙසැම්බර් මස පැනවූ නව සංශෝධනයෙන් අටෙන් එකේ කඩඉම විස්සෙන් එක දක්වා කුඩා කෙරිණි. මේ නිසා කුඩා පක්ෂවලට අවම ඡන්ද ගණනකින් එක් මන්ත්‍රීවරයකු හෝ පත් කරගැනීමේ අවස්ථාව හිමිවිය. මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලීම මත එදා මෙම සංශෝධනය සිදුවුවද ජවිපෙ හා හෙළ උරුමය වැනි කුඩා පක්ෂ මෙම සංශෝධනයෙන් පසුකාලීනව වඩාත් ප්‍රතිලාභ ලැබීය.
රාජ්‍ය සේවයේ කටයුතු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ඉටුකිරීම සඳහා පුළුල් ප්‍රතිපාදන 1988 අග සිදු කෙරුණු 16 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය. මෙම සංශෝධන දහසයම සිදු කෙරුණේ එජාප පාලන සමයේය. අනතුරුව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ කණ්ඩායම්වල දැඩි බලපෑම මත 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2001 වසරේදී ක්‍රියාත්මක විය. එමගින් රාජ්‍ය සේවය පිළිබඳව එතෙක් පැවැති කොමිෂන් සභාවලට වඩාත් පුළුල් බලතල ලබා දුන්නේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තත්ත්වය ප්‍රබල වෙනසකට ලක් කිරීමට එමගින් හැකියාව ලැබිණි.
නීතිඥවරුන් සහ විනිසුරුවරුන් යනු එකම කාසියේම දෙපැත්තය. වෘත්තියට අදාළ ප්‍රශ්නවලදී ඇතැම් විනිසුරුවරුන්ද සිටගන්නේ නීතිඥවරුන්ගේ පාර්ශ්වයේය. අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන සටනේදී බැලූ බැල්මට පෙනෙන්නේ නීති ක්ෂේත්‍රයේ ඇතැම් ඉහළ පුටුද එම සටනට මතවාදීමය වශයෙන් හෝ සහායක් පළ කර ඇති බවය. මෙම පුද්ගල කේන්ද්‍ර විරෝධයක් බව ආණ්ඩු පක්ෂය පවසන්නේද ඒ නිසාය.
ජේ.ආර්. ජයවර්ධන රජයේ විවිධ බාධා කිරීම්වලට මුහුණ දී විශ්‍රාම යන මොහොතේ එවක අගවිනිසුරු නෙවිල් සමරකෝන් නීතිඥවරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය අදටද වලංගු බවට තර්කයක් නැත.
“ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇති මූලික අයිතිවාසිකම් ඇතුළු නීති ප්‍රතිපාදන භාවිත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයට අවාසනාවන්ත හා නොසිතූ විරූ විපාකවලට මුහුණපෑමට සිදුවිය. මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහි වූ පිරිසක් විනිශ්චයකාරවරුනට එරෙහිව ප්‍රසිද්ධියේම බලහත්කාරකම් කරමින් අපහාස කිරීම එක් සිද්ධියකි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පොලිස් නිලධාරියකුට උසස්වීමක් ලබාදීම තවත් සිද්ධියකි. එවැනි තර්ජන එල්ල වුවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුබට වූයේ නැත. එසේ කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ශක්තිය ලැබෙන තවත් වැදගත් බලවේගයක් නම් අභීත නීතිඥයන්ගෙන් ලැබෙන සහායයි. නීතිඥයනුත් විනිසුරුවනුත් අනාගතයේදී ද එසේම අභීතව නැගී සිටින බව මගේ දැඩි විශ්වාසයයි.” එවක අගවිනිසුරු නෙවිල් සමරකෝන් සමුගත්තේ එසේ කියමිනි. හේතුව වෙනස් වුවත් වර්තමානයේද අධිකරණය විනිසුරුවරුන් සහ නීතිඥ සංගමය පිළිබඳව මතුව ඇත්තේ එයට ආසන්න තත්ත්වයකි. මේ සිදුවන්නේ නීතිඥවරුන්ගේ එම නැගී සිටීම ද?
ප්‍රේමකීර්ති රණතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd