රටේ ආර්ථිකය හා ආර්ථිකයට ඇති අභියෝග විමසමින් හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග කළ සාකච්ඡාවකි.
Q මේ දවස්වල මොකද කරන්නේ?
ප්‍රධාන කරුණු තුනක් කරනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ දර්ශන විශාරද ආචාර්ය උපාධියක් සඳහා පර්‌යේෂණ කටයුතු කරනවා. අනගාරික ධර්මපාල තුමාගේ ආර්ථික දර්ශනය පිළිබඳව පුළුල් පර්‌යේෂණයක්. මහාචාර්ය දේශප්‍රිය ගුණසේකර තමයි මගේ සුපරීක්ෂක ලෙස කටයුතු කරන්නේ. දෙවැනි කාරණය තමයි පසුගිය කාලය තුළ දීර්ඝ කාලයක් ඇණහිට තිබුණ චිත්‍රපට පහක වැඩ ඉවර කළා. තුන්වැනි කාරණය තමයි උසස් පෙළ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වෙන ශාස්ත්‍රීය පොත් කිහිපයක් රචනා කළා.
Q දේශපාලන කටයුතු මුකුත් නෑ?
නොකරන එකම දෙය තමයි ප්‍රධාන කිසිම දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කිරීම.
Q දේශපාලනය ගැන ඒ තරම්ම කලකිරිලා ?
මෙහෙමයි, මේ වෙලාවේ කිසිම දේශපාලන පක්ෂයක් මම තෝරා ගෙන නෑ. එයට ප්‍රධාන හේතුව තමයි මගේ දීර්ඝ කාලීන අත්දැකීම් හා පළපුරුද්දට අනුව කිසියම් දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත් වෙලා අමාත්‍ය ධුරයක් දැරුවත් අමාත්‍යවරයාට අවශ්‍ය නිර්මාණාත්මක දෙයක් කිරීමට තිබෙන ඉඩකඩ විශාල වශයෙන් අඩුවීම
Q පක්ෂයේ නායකයෝ ඒකට ඉඩ දෙන්නේ නෑ.
හැම පක්ෂයකම සංවිධාන ව්‍යුහය තුළ මධ්‍යම කාරක සභාවක් තියෙනවා. ඊට උඩින් දේශපාලන මණ්ඩලය තියෙනවා. මෙම දෙක නියෝජනය කරන විවිධ පාර්ශ්ව ඉන්නවා. මගේ අත්දැකීම අනුව සියලු දෙනාට තියෙන පොදු දුර්වලතාවක් තියෙනවා. උදාහරණයක් හැටියට ආර්ථිකය පිළිබඳව ඔවුන්ට තියෙන්නේ බොහෝ විට ආවේග හා හැඟීම්. ඒ වගේම වෙනත් කවුරුහරි හෝ උපදේශයක් පමණයි. ස්වාධීන මතයකට ඉඩක් නෑ. මධ්‍යම කාරක සභාවේ හා දේශපාලන මණ්ඩලයේ තීරණවලට එරෙහිව ගියොත් ඔහු පක්ෂයෙන් නෙරපන්න ඉඩ තියෙනවා. එතකොට තමුන් කෙතරම් අකමැති දෙයකට වුණත් පොදු තීරණයට පාර්ලිමේන්තුව තුළ අත උස්සන්න ඕනෑ.
අපේ රටේ 2022 දී මහා ආර්ථික අර්බුදය ඇති වුණා. ගෑස් නැතිව තෙල් නැතිව, බෙහෙත් නැතිව පෝර නැතිව වෛරයෙන් මුසපත් වෙච්ච ජනයා දේශපාලනයට සම්බන්ධ සියලු දෙනාට පහර දෙමින්, ගෙවල් දොරවල් ගිනිබත් කරමින්, මිනිසුන් මරමින් ප්‍රචණ්ඩ දේශපාලන අරගලයක් ඇති වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි දේශපාලන පක්ෂ ගත්ත ආර්ථික තීන්දු තීරණ වැරැදි සහ ආර්ථික තීන්දු තීරණ ගැනීම. ඒ අවස්ථාවට සාක්ෂි මත පදනම් වෙච්ච විද්‍යාත්මක තීන්දු ගැනීමට අසමත් වීමයි.
Q ඔය ඔබ කියන ගැටුම එහෙමනම් මේ ආණ්ඩුවටත් පොදුයි. ජවිපෙ තුළත් මධ්‍යම කාරක සභාවක් වගේම දේශපාලන මණ්ඩලයක් තියෙනවා ?
ඔව් දැන් උදාහරණයක් ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හෝ ඇමැතිවරයකුට වඩාත් නිවැරැදි යැයි සිතෙන දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද පැලවත්තේ තමයි දේශපාලන අධිකාරිය තියෙන්නේ, පැලවත්තේ දේශපාලන අධිකාරිය ඉක්මවා යන්න බැරි නිසා තමයි වර්තමාන ආණ්ඩුවෙත් හදලා ගත් නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ මේ කාලය තුළ ආණ්ඩු කරන්න බැරිවෙලා තියෙන්නේ.
Q නමුත් තවම එහෙම දෙයක් ප්‍රදර්ශනය වෙලා නෑ?
2023 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ණය ගිවිසුමක් විස්තීරණ ණය ගිවිසුම ඇතිකර ගැනීමට හදාගත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයන් ඊට අදාළව පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් ප්‍රධාන පනත් පහකට අනුව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට රට පාලනය කරන්න වෙලා තියෙන්නේ
Q ඔබ ඒ පනත් පහට කිව්වේ ‘‘ආර්ථික පංචායුධය’’ කියලා.
ඔව් මොකක්ද මේ පනත් පහ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත. 2023 අංක 19 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත. 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත. 2024 අංක 35 දරන ආර්ථික පරිවර්තන පනත. දැන් මේ පනත් පහ විසින් හිටපු ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අනුර කුමාර දිසානායක මුදල් ඇමැති ඇතුළු මතු මත්තේ වන මුදල් ඇමැතිවරුන්ගෙත් ඇඟ සම්පූර්ණයෙන්ම බැඳලා තියෙන්නේ.
Q අවශ්‍යනම් ලබන අවුරුද්දෙදී එයින් එළියට එන්නත් පුළුවන් ?
පැහැදිලිවම ලබන අවුරුද්දේ මාර්තු 23 වැනිදායින් පස්සේ මූල්‍ය අරමුදල පසු විපරම් එන්නේ නෑ. මාස 48 කාලය ඉවරයි. මේ මාස 48ක කාලය තුළ අපට ලැබුණු දේ තමයි 2027 වෙනකම් විදේශ ණය හිමියන්ට ගෙවිය යුතු ද්විපාර්ශ්වික ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර ණය ගෙවන්නේ නෑ. ඒ වගේම සෑම වසරකදීම කාල පරිච්ඡේදය තුළ වසරකට ඇති වෙනවා විදේශීය මූල්‍ය පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 4යි පහක් අතර ප්‍රමාණයක්. ඒ ඇතිවෙන එකෙන් ගිවිසුම් ප්‍රකාරව අපට පසුගිය කාලය තුළ අපට ලැබෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක්. ඒ විදියට ඇමරිකන් ඩොලර් බිලියන 7ක් ලැබෙනවා. ඒවා විසින් අපට මේ කාලය තුළ ඉටු කරගත යුතු ආර්ථික අරමුණ නීතිගත කරලා තියෙනවා.
Q ඒවාට පිටුපාන්න බෑ.?
කොහොමටවත් බෑ. අරමුණු මොනවද කියලා පැහැදිලි කළොත් එකක් තමයි මධ්‍යම රජයෙ මුදල් සැපයීම දළ මූල්‍ය අවශ්‍යතාවය වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 නොඉක්මවිය යුතුය. ආණ්ඩුවට බජට් එකෙන් ඕනෑ තරම් සල්ලි වියදම් කරන්න බෑ. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ දළ මුදල් අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ඉක්මවා යන්න බෑ. අනෙක් කාරණය තමයි රජයේ බදු හා බදු නොවන මුළු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනෑ.
තුන්වැනි කාරණය තමයි රාජ්‍ය අයවැයෙන් ප්‍රාථමික ගිනුමේ ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක් හෝ ඊට වඩා වැඩිවෙන්න ඕනෑ. ඊළඟට රාජ්‍ය සේවා ණය කරණය හා ණය හා පොලී ගෙවීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 නොඉක්ම විය යුතුයි. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ට වඩා වැඩි නොවෙන්න ඕනෑ.
සාමාන්‍යයෙන් වර්ෂයක ආර්ථික වර්ධන වේගය සියයට 5ක් හෝ ඊට වැඩි මට්ටමකින් පවත්වාගෙන යන්න ඕනෑ. විරැකියාවේ අනුපාතය සියයට 5ට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්න ඕනෑ. උද්ධමනයේ අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙන්න ඕනෑ. අපනයන 2025 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 වුණොත් 2030 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40 වුණොත් 2040 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60ක් අපනයනය වෙන්න ඕනෑ.
අනිත් එක ඍජු විදෙස් ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනෑ. ඒ එන විදේශ සංයෝජනවලින් සියයට 40 අපනයන අභිමුඛ වෙන්න ඕනෑ. ඒක 2032 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 90 ට වඩා සියයට 90 කට අරගෙන එන්න ඕනෑ. කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවන්න ඕනෑ. මේ සියලු කරුණු ටික 2024 අංක 45 දරණ ආර්ථික පරිවර්තන පනතට ජාතික ආර්ථික ප්‍රතිපත්ති ඉලක්ක කියල ඇතුළත් කරලා තියෙන්නේ. ඔය ටික කළොත් ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනම තියෙනවා.
Q වෙනස්කම් කරන්නත් ඉඩ තියලා තියෙනවා?
ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු දේවල් මේ ගිවිසුමේ දක්වලා තියෙනවා.
Q එහෙම වෙනස්කම් කරලා තියෙනව ද?
කරපු වෙනස්කම් එකක් දෙකක් කිව්වොත් එකක් තමයි විදුලිය, ජලය, ඉන්ධන යනාදිය සඳහා පිරිවැය පිළිබිඹුවන මිල ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ කියන්නේ වැඩි මිලට ගෙනල්ලා අඩු මිලට දෙන්න බෑ. නිෂ්පාදන මිල වැඩිනම් මිල වැඩියි. නිෂ්පාදන මිල අඩුනම් මිල අඩුයි. මිල සූත්‍රය දාන්නේ ඒකට තමයි. මසකට වරක් ඉන්ධන මිල පහළ යෑම කරන්නම ඕනෑ. විදුලිය ගාස්තුව පිරිවැය වියදම පිළිබිඹුවන ආකාරයට මාස 6කට වරක් ප්‍රකාශ කරන්න ඕනෑ. එහිදී යම්කිසි පාර්ශ්වයකට විශාල පීඩනයක් ඇති වෙනවා නම් ඒ පීඩනයට පත්වෙන අයට ඉන්ධනවලටයි විදුලියටයි සහනාධාරයක් දෙන්න ඕනෑ කියලා දෙවැනි වගුවේ සඳහන් වෙනවා. ඒ සහනාධාරය දීම සඳහා රාජ්‍ය අයවැයෙන් මුදල් වෙන් කරන්න ඕනෑ.
ඒ වගේම විනිමය අනුපාතය තීරණය කරන්න මහ බැංකුවට මැදිහත් වෙන්න බෑ. මොනම හේතුවක් නිසාවත් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බෑ. දිට්වා කුණාටුව ආවා වෙන්න පුළුවන්. එල්නිනෝ තත්ත්වය මත දැඩි නියඟයක් වර්ෂාවත් ඇති වෙලා කම්පනයක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවට බෑ මධ්‍යම ආණ්ඩුවට ණය දෙන්න.
Q නමුත් මීට කලින් සල්ලි අච්චු ගැහුවා ද?
පසුගිය දශක කිහිපය තුළ රජය සල්ලි අච්චු ගහලා තියෙනවා. සල්ලි අච්චු ගහපු නැති ජනාධිපතිවරු දෙන්නයි ඉන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක විතරයි. මේ රාමුව තුළ ගිහිල්ලා තමයි ආර්ථිකය මේ වන විට යම්කිසි රාජ්‍ය මූල්‍යයේ හා වර්ධනයේ හොඳ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ.
Q ඒ කියන්නේ ඔබ පිළිගන්නවා මේ ආණ්ඩුව යන ආර්ථික ගමන හොඳයි කියලා.
අර රාමුව තුළනේ යන්නේ. ඒ නිසයි එහෙම වුණේ ?
Q අපට ඉදිරියේදීත් මේ හොඳ දකින්න පුළුවන්?
නෑ විශාල අභියෝග ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි අර ආර්ථික පරිවර්තන පනතෙන් ඇති කරන්න කියපු ප්‍රතිසංස්කරණ එයාකාරයෙන් කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අර මම කියූ දේශපාලන පක්ෂයක තියෙන දේශපාලන අධිකාරිය.
ජනතාවට හිතකරයි කියල හිතෙන තීන්දු ගන්න ගියොත් ආර්ථිකය නැති වෙනවා. ආර්ථිකයට හිතවත්ව තීරණ ගන්න ගියොත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය නැති වෙනවා. ඒ නිසා තමයි විපක්ෂයටත් මං හවුල් වෙන්නේ නැත්තේ. 2028 ඉඳන් මේ ණය ආපහු ගෙවන්න ඕනෑ. කැමති වුණත් නැතත්. මේ ගිවිසුම අනුව 2028 දී අපි ආපහු ජාත්‍යන්තරයට යන්න ඕනෑ. ස්වෛරිත්ව බැඳුම්කරණයක් අරන්. අපට අවසර දීලා තියෙනවා. 2027 දී අර මම ඉස්සෙල්ලා කියපු විදේශීය මූල්‍ය හිඟයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් ගත්තා. දැනට අපිට කොහේවත් යන්න බෑ. එහෙම යන්නම් ගිවිසුමේ කොන්දේසි තියෙනවා.
විශේෂයෙන් ජාත්‍යන්තර සංචිතය ගොඩ නගන්න ඕනෑ. ජාත්‍යන්තර සංචිතයේ ඉස්සර තිබුණ ඉලක්කම්. දළ ජාත්‍යන්තර සංචිතයේ පළමුවෙන් ගිවිසුමේ තිබුණේ 2025 දී 805යි. 2026 දී 10.8.යි. 2028 දී 14.2යි. නමුත් ඒ ගිවිසුම ඇතිවෙන කාලේ එහෙම වුණාට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ ගොල්ලෝ ඔය ගිවිසුම අත්සන් කරනකොට උපකල්පනය කළේ ඍණ දශම 7.8ක් වෙච්ච ආර්ථික වර්ධන වේගය ඉදිරි වසරවල දී සියයට 3ක් පමණ වෙයි කියලයි. නමුත් 2024 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ආර්ථික වර්ධන වේගය ඍණ දශම 7.8 එක 5ට වැඩිවෙලා තිබුණා. ජාත්‍යන්තර සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6ට වැඩි වෙලා තිබුණා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර ඉලක්ක වෙනස් කළා. ඒ අනුව දැන් මේ අවුරුද්දට ජාත්‍යන්තර සංචිතයේ තිබිය යුතුයි ඇමරිකානු ඩොලර් 9.2යි 7ක්. හැබැයි තියෙන්නේ 6.4 යි. එතැන තමයි ප්‍රශ්නය.
ඊළඟට අවුරුද්දේ තියෙන්න ඕනෑ ඇමෙරිකානු ඩොලර් බිලියන 12.9යි. හක්. අපට මේක සපුරාගන්න පුළුවන් වුණොත් පමණයි අර ස්වෛරිත්ව බැඳුම්කරයට යන්න විශ්වාසනීයත්වය ඇති වෙන්නේ. අපේ වත්කම ඒ විදියට වැඩි වෙලා පෙනුණොත් තමයි අපට ජාත්‍යන්තර යන්න පුළුවන් වෙන්නේ. ඒ විදියේ දැවැන්ත අභියෝග රැසක් මේ ආණ්ඩුව ඉදිරිපිට තියෙනවා.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd