
බන්ධනාගාර තදබදය වැඩි වුණේ ඇයි ?
බන්ධනාගාරයේ ඇති වූ ඛේදජනක සිද්ධියෙන් පසු ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු කිහිප දෙනෙක් බන්ධනාගාර තුළ දැනට පවතින තත්ත්වය ගැන සාකච්ඡාවක යෙදුණාහ. අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වූහ. බන්ධනාගාර තදබදය පිළිබඳ කරුණු ගණනාවක් එහිදී හෙළි දරව් වූ අතර ඒ පිළිබඳව රජය ගැනීමට නියමිත විධි විධාන ද සාකච්ඡා කෙරිණි.
බන්ධනාගාර තදබදය වඩාත් වැඩිවී ඇත්තේ පසුගිය සමයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය මෙහෙයුමෙන් පසුවය. එමගින් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනා සමග බන්ධනාගාර ගත කෙරුණු අතර එම පිරිස් සම්බන්ධ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලැබීම බොහෝ සෙයින් ප්‍රමාද විය. ඇතැම් සැකකරුවන් රස පරීක්ෂක වාර්තා ලැබෙනතුරු මා 18 ක කාලයක් රැඳවුම් භාරයේ සිටින බවද හෙළි වී ඇත.
මෙම සාකච්ඡාවේ දී අධිකරණ ඇමැතිවරයා පැවසුවේ කඩිනමින් නීති ප්‍රතිසංස්කරණ කිහිපයක් ගෙන එන බවය. සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත නොකර නිවාස අඩස්සියට පත් කිරීම සැකකරුවන්ට අභියාචනාධිකරණයට යාම සඳහා දැනට ඇති දුෂ්කර ක්‍රියාවලිය වෙනුවට එම කටයුත්ත මහාධිකරණයට පැවරීම, අවුරුදු හැත්තෑව පසුකළ සිරකරුවන් සිර භාරයෙන් මුදාහැරීම සහ සුළු දඩ ගෙවා ගැනීමට නොහැකි සැකකරුවන් විශේෂිත ක්‍රියාවලියකින් නිදහස් කිරීම එම ප්‍රතිසංස්කරණ යෝජනා වේ. මේ සඳහා පනත ඉතා ඉක්මනින් ගෙන එන බව අධිකරණ ඇමැතිවරයා එහි දී සඳහන් කර ඇත. නඩත්තු ගෙවීමේ දුර්වලතා නිසා සිර ගතව සිටින පිරිස්, රථ වාහන වැරදි නිසා සිරගතව සිටින පිරිස් ආදීන්ට සිරභාරයෙන් නිදහස් කර වෙනත් දඬුවමක් පැවරිය හැකි ක්‍රමවේදයක් ගැන ද රජය සොයා බලා ගෙන යයි.
තදබදයට විසඳුම ජනපතිගෙන්
‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඉකුත් 2 වැනිදා රැස්වූ අවස්ථාවේදී ද බන්ධනාගාර තදබදය ගැන ද සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ බන්ධනාගාර ගත සිටින්නන්ගෙන් සියයට හැත්තෑවක්ම සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවය.
”මේකයි තදබදයට හේතුව. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය නිසා බන්ධනාගාර පිරිලා. මේ පිරිස නිතිපතාම වැඩි වෙනවා. මේක රටට ලොකු ප්‍රශ්නයක් වෙලා. බන්ධනාගාර ගණනාවකම අලුතෙන් ගොඩනැගිලි හදාගෙන යනවා. එම ගොඩනැගිලි නිසා තදබදය ටිකක් හෝ අඩුවේවි.’’ ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
රස පරීක්ෂක නිලධාරී හිඟයෙනුත් සිර ගෙදර තද බදේ
රටම එක ජාතික සභාවේදී තවත් ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සාකච්ඡාවට ලක් වූයේ බන්ධනාගාර තදබදය සහ විවිධ මත්ද්‍රව්‍ය චෝදනා ලබන සැකකරුවන්ට දිගු කලක් බන්ධනාගාරවල ගත කිරීමට සිදුවී තිබීම ගැනය.
ඔව්... දැන් මොකක්ද මේකට හේතුව... සමහරු දිගු කලක් රිමාන්ඩ් එකේම ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ?” ජනාධිපතිවරයා විමසුවේය.
සර්... ප්‍රශ්නය තමයි රස පරීක්ෂක වාර්තා පරක්කුයි.’’ නිලධාරීහු කියා සිටියහ. ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසීය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ තම ආයතනයේ නිලධාරී හිඟයක් පවතින බවය. එක් පැත්තකින් නිලධාරීන්ගේ හිඟයක් පවතින අතර තවත් පැත්තකින් රස පරීක්ෂණයට යොමු කෙරෙන සාම්පල් ප්‍රමාණය වැඩිවී ඇති බවද එහිදී අවධාරණය කෙරුණි. ඔවුන් ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුම් සෙවීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරයා පසුගියදා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගි විය. මේ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පර්‌යේෂණ නිලධාරි තනතුරු 50ක් සඳහා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇත. එම දෙපාර්තමේන්තුවට නව තනතුරු 131 ක් බඳවා ගැනීමට ද අනුමැතිය හිමිවී ඇත.
ජනපති අයවැය සැකසීම අරඹයි
මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෙදී සිටින්නේ එළඹෙන වසරට අදාළ අයවැය යෝජනාවලිය සකස් කිරීමේ කටයුත්තේය. ඉකුත් අඟහරුවාදා සිට එක් එක් අමාත්‍යාංශ ගෙන්වා සාකච්ඡා කරන අතර මේ වන විට අමාත්‍යාංශ විසි එකෙන් පහක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අයවැය යෝජනාවලිය ගැන බදාදා සාකච්ඡා පැවැති අතර එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ එක් එක් ආයතන දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන මගින් නඩත්තු කෙරෙන සියලු වාරි ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කරන එක් ඒකකයක් මගින් නියාමනය කළ යුතු බවය. පසුගිය කාලයේ විදේශ ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල තත්ත්වය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ඉන් බොහොමයක් රටට වැය බරක් වී ඇති බව හෙළිවිය. මේ නිසා ඉදිරියේ දී විදේශ ණය යටතේ ආරම්භ කරන කිසිදු ව්‍යාපෘතියක් අවසාන ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයකින් තොරව අනුමත නොකළ යුතු බව ජනාධිපතිවරයා එහිදී දැඩිව කියා සිටියේය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සමග පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේ ද යන්න ගැන නිසි ලෙස සොයා බැලිය යුතු බවය. මේ වන විට ආයතන ගණනාවක් මගින් ලබාදෙන දිළිඳු සහන සහ සමාජ ආරක්ෂණ දීමනා එක් ආයතනයක් තුළට ගොනුකර එතැනින් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ‘‘අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ දෙකක් මේ වසර ඇතුළත ඵලදායි ආර්ථික ක්‍රියාවලියකට යොමු කර ඔවුන් සහනාධාර මත යැපීමෙන් මුදා ගන්නයි අපේ සැලසුම. එහෙම නැතිව රටක් ගොඩනගන්න බෑ...’’ යැයි ද ජනාධිපතිවරයා එහි දී කියා සිටියේය.
මුජිබර් එහෙම කීවේ කාට ද?
සමගි ජන බලවේගයේ කළමනාකරණ මණ්ඩල රැස්වීම ඉකුත් සතියේ පැවැත්විණි. මේ වන විට රට තුළ උද්ගතව ඇති ප්‍රශ්න ගණනාවක් ගැනම එහි දී සාකච්ඡාවට ලක්විය. ඉන් එක් ප්‍රශ්නයක් වූයේ ගොවීන්ගේ උද්ඝෝෂණ මාලාවය.
රටේ ගොවි ජනතාව අද ලොකු ප්‍රශ්නයක ඉන්නවා. පොහොර මිල ඉහළ යාම මෙන්ම පොහොර හිඟයත් ගොවීන්ට ලොකුවට බලපාල තියෙනවා. පහුගිය මැතිවරණවල දී ජාතික ජන බලවේගයට වැඩියෙන්ම සහයෝගය දුන්නේ ගොවි ජනපදවලින්. අද ඒ අයම පාරට බැහැලා ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරනවා. ලාල් කාන්තල නැගිටල ආවෙත් ගොවි සංවිධානවලින්. අද ගොවියට ජරා විදිහට පහර ගහන්නේ එයාලමයි. අපි ගොවි ප්‍රශ්නවලට මීට වඩා මැදිහත්වෙලා උදව් කරන්න ඕනෑ. හැම මන්ත්‍රීවරයාම මීට වඩා අවධානයක් ගොවි ප්‍රශ්න ගැන යොමු කරන්න....’’ සජබ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
සජිත් ඊළඟට කීවේ සැප්තැම්බරයේ දී ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරීම ගැන විපක්ෂය ලෙස ජනතාවට දැනෙන දෙයක් කළ යුතු බවය.
සැප්තැම්බර්වල දී ආණ්ඩුවට අවුරුදු දෙක පිරෙනවා. බොරු කියලා බොරු කියල බලයට ආ ආණ්ඩුව මේ අවුරුදු දෙකට මොකුත් දැනෙන දෙයක් කළේ නෑ කියලා මහජනතාව කියන්න පටන් අරගෙන. අපි ජනතාවට මේ ගැන පුළුවන් තරම් කරුණු පෙන්වල දෙන්න ඕනෑ. ඒ නිසා අපි ජනතාව දැනුවත් කරන සහ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට පාරට බහින්න ඕනෑ. ඒ ගැන මීළඟ කළමනාකරණ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන්නම් අපි වැඩ කරන ආකාරය ගැන. දැනට හැමෝම ලෑස්ති වෙලා ඉන්න හේතු කියන්නෙ නැතිව මේ කටයුත්ත සාර්ථක කරගන්න. ඒ වැඩසටහනටත් අපිට මේ කමිටුවේ අනුමැතිය ඕනෑ.....’’ සජිත් තදින්ම කියා සිටියේය. එයට කළමනාකරණ කමිටුවේ අනුමැතිය පළවිය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉන්පසු දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ, නමක් සඳහන් නොකරමිනි. ‘‘“අපේ සමහර අය වෙනත් පාර්ශ්ව එක්ක ඩීල් දානවා. ඩීල් දාලා අපිව අමාරුවෙ දාන්න අපට ගහනවා. වැරදි විදිහට අපි කිව්ව කියල යම් යම් දේ පත්තරවලට දෙනවා. සමහර අයගෙ ගෙවල්වලට ගිහින් අපට පහර දෙනවා. ආණ්ඩුවෙ අය එක්කත් ඩීල් දාල අපට ගහනවා. ඇයි මෙහෙම කරන්නේ.....’’ මුජිබර් නමක් සඳහන් නොකර දිගු ආවේගයකින් විනාඩි පහළොවක පමණ වේලාවක් මේ ගැන කරුණු කියා සිටියේය.
ඔව් මටත් තේරෙනවා. අපි කවුරුත් වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. එකට වැඩ කරන කොට මෙහෙම කරන එක වැරදියි....’’’ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.
මන්ත්‍රී සුජීව සේනසිංහ ඉන්පසු තවත් ප්‍රශ්නයක් මතු කළේය.
ආණ්ඩුව අපේ මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න වාරයක් පාසා අපේ පක්ෂයේ ස්ථාවර වෙනස් විය යුතු නෑ....’’ සුජීව සේනසිංහ කීවේය.
ඔහු එමගින් කියා සිටියේ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ගැනය. ‘‘එහෙම කරපුවම ඇණ්ඩුවේ න්‍යාය පත්‍රයට අපි එකඟ වුණා වෙනවා...’’ සුජිව කියා සිටියේය.
එම අවස්ථාවේ පක්ෂයට එවැනි පියවරක් ගැනීමට සිදුවූයේ රජය නගන චෝදනාව පක්ෂයට බරපතළ ලෙස බලපාන හෙයින් බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.
‘‘අපි පක්ෂයක් හැටියට එවැනි පියවරකට යා යුතුව තිබෙනවා. ඒකෙ වැරැද්දක් කියලා කෙනකුට හිතෙන්න පුලුවන්. ඒත් පොදුවේ මහජන මතයක් එක්කයි පක්ෂයට වැඩ කරන්න වෙලා තියෙන්නෙ’’පක්ෂ නායක සජිත් කීවේය.
සජිත් සිවිල් සංවිධාන රැස් කරයි
මෙරට ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන ඒකරාශි කිරීමේ හමුවක් ඉකුත් සතියේ පැවැත්වුණේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදීය. විපක්ෂය සජිත් ප්‍රේමදාස සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රී චරිත හේරත්, මන්ත්‍රී බුද්ධික පතිරණ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. ‘‘මෙම කණඩායම එකතු කළේ මේ වෙලාවේ සංධානයක් ගොඩනගන්නවත් මැතිවරණ සුදානමකින්වත් නොවෙයි. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන වෙලාවක්. ප්‍රජාතන්ත්‍රවාදී වත් පිළිවෙත් බිඳ වැටෙමින් තිබෙන වෙලාවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ආඥාදායකත්වය ඒක පක්ෂ පාලනය කියන දේ රට තුළ සිදුවෙන්න පටන් අරන්. එතැනදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ගමනට සිවිල් සංවිධානවලට ලොකු කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. අපි ඒකයි මෙම වැඩ පිළිවෙළ ආරම්භ කළේ.’’ විපක්ෂනායක හා සජබ නායක සජිත් එහි දී කියා සිටියේය.
ගොවීන් පාර්ලිමේන්තුවේ
ගොවීන් මේ දිනවල නිරත වන අරගලයට පකෂයක් ලෙස සහාය ලබාදිය යුතු බව සජිත් සජබ කළමනාකරණ කමිටුවටත් මන්ත්‍රී කණ්ඩායමටත් කියා සිටියේය. ඒ අනුව රට පුරා ගොවි සංවිධානවල ගොවි නායකයෝ එකොළොස් දෙනෙක් ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට විපක්ෂනායක සජිත් පියවර ගත්තේය.
අනුරාධපුරයේ රුහුණු සහ පොළොන්නරුවේ එම ගොවි නායකයන් පිරිස පිළිගනිමින් විපක්ෂනායක සජිත් කියා සිටියේ කිසිදා නොසිතු ලෙස රජය ගොවීන් රවටා ඇති බවය.
අපි පසුගිය ඡන්දවලදී උදව් කළේ ඔබතුමාට නෙවෙයි. මේ ආණ්ඩුව බලයට ගේන්නයි අපි වැඩ කළේ. මෙයාලා අපිව රවටලම දැම්මා. අපි ළඟදිම සියලු ගොවීන් කොළඹට ගෙනත් උද්ඝෝෂණයක් කරන්න හදන්නේ.” එම ගොවි නායකයෝ කියා සිටියහ.
විරෝධය පළකර විපක්ෂය කළුපටි බඳියි
මීගමුව බන්ධනාගාරයේ ඛේදජනක සිදුවීමෙන් පසු විපක්ෂය තීන්දු කළේ මේ පිළිබඳව ආණ්ඩුවේ අතපසුවීමක් ඇති බව නිරීක්ෂණය වන බවය. ඒ අනුව විපක්ෂ නායක සජිත් අඟහරුවාදා උදෑසනම පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර තම මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කැඳවීය.
දැන් මෙතන ලොකු අඩුපාඩුවක් ආණ්ඩුව පැත්තෙන් පෙනෙනවා.. කැරැලිකාර තත්ත්වයක් මැඩ පවත්වන්න අණ දෙන්න කෙනෙක් නෑ... බන්ධනාගාරය ඇතුළෙ ඉන්න සිරකාරයෝ, සැකකාරයො වගේම බන්ධනාගාර නිලධාරීන්ගේත් ජීවිත ආරක්ෂා කිරීම් ආණ්ඩුවේ වගකීම ඒ වගකීම ඉටු කරන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා..’’ විපක්ෂනායකවරයා කීවේය.
අපි මේ ගැන ආණ්ඩුවේ ඇහැ ඇරෙන දෙයක් කරන්න ඕනෑ...’’ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය. ඒ අනුව තීන්දු වූයේ රජය අසමත්වීමට විරෝධය දක්වා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් කළුපටි පැළඳ එදින සභාවේ කටයුතුවලට සහභාගී වීමටය.
මේ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා මන්ත්‍රීවරුන් විසි දෙනකුගේ අත්සනින් යුතු ලිපියක් භාරදීමට එහිදී තීන්දු විය. කතානායකවරයා යම් හෙයකින් එම විවාදය ලබා නොදුන්නොත් මන්ත්‍රීවරුන් විසි දෙනකු වගා හානිය විවාදයක් ඉල්ලා සිටීමට ද තීන්දු විය. සජිත්, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, මුජිබර්, මරික්කාර් ඇතුළු සජබ සියලු මන්ත්‍රීවරුද දයාසිරි ජයසේකර ඩි.වි. චානක ඇතුළු සෙසු මන්ත්‍රීවරුද එම හදිසි රැස්වීමට සහභාගී වූහ.
‘‘පුදුම තදබදයක් බන්ධනාගාරවල තියෙන්නේ. කළුතර බන්ධනාගාරයට මගේ වියදමින් විදුලිපංකා සවිකර දුන්නා වාට්ටුවලට ලක්ෂ ගානක් ගියා. මට එකෙ වියදම් ඒ මිනිස්සු හිරවෙලා එතන හත්සිය පනහක් ඉන්න ඕනෑ තැන දෙදාස් පන්සීයක් දාලා ඉන්නවා. අවුරුදු ගාණකින් ගලිවළවල් ඇදල නෑ. මම ගලි බවුසර් දාලා ඒවත් ඇදල දුන්නා.
ලක්ෂ හයක විතර වියදමක්. මෙහෙම තමා හැම තැනම පව් ඒ මිනිස්සු හිරකාරයොත් පීඩනයෙන් නිලධාරීන්ට කරගන්න දෙයක් නෑ..’’මන්ත්‍රී ජගත් විතාන කියා සිටියේය.
විපක්ෂය ඉල්ලූ විවාදය එලෙසම ලබාදීමට රජය පියවර ගත්තේය. එම විවාදයට විපක්ෂය සහභාගී වූයේ කළුපටි බැඳගෙනය.
ජනපතිවරුන් හතර දෙනකු එකතු කළ විවාහ මඟුල
හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ වැඩිමහල් පුත්‍රයා වූ සහශ්‍ර බණ්ඩාරගේ විවාහය ඉකුත් සතියේ රාත්‍රී කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැත් වුණේ හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනකුගේ සහභාගීත්වයෙනි. විවාහයට අත්සන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පිය පුතුන්ය. ගෝඨාභය රාජපක්ෂල, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරු ද මංගල උත්සවයට පැමිණියහ.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට ද ආරාධනා කරන්නට ශාන්ත කටයුතු කළ අතර එහිදී චන්ද්‍රිකා පවසා තිබුණේ ලන්ඩන් නුවරට යාමට කලින්ම ටිකට් බුක්කර ඇති නිසා පැමිණීමට නොහැකිවන බවත් පුතාට සුබ පතන බවත්ය.‘‘ අපරාදෙ එන්න තිබ්බනම් කොච්චර හොඳද? ශාන්තගෙ පුතා මගේ දරුවෙක් වගේන....’’ චන්ද්‍රිකා කීවාය.
ඔබතුමිය තමයි මාව මුලින්ම දඹදෙණියට පත් කළේ. ශාන්ත කීවේය.
හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනාම පැමිණ ශාන්තගේ පුතුට සුබ පතා විවිධ දේශපාලන කාරණා ගැන සාකච්ඡා කරමින් සිටියහ. දයාසිරි ජයසේකර ජොන්ස්ටන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, අනුර යාපා ඇතුළු කුරුණෑගල සියලු මන්ත්‍රීවරුද එම උත්සවයට පැමිණ විනෝදයෙන් කතාබහ කරමින් සිටියහ.
හිටපු ජනපති මහින්දට ආහාර සූදානම් කර තිබුණේ පහළ මහලේ කාමරයකය. ශාන්ත බණ්ඩාර මහින්දව එහි කැඳවාගෙන ගොස් ආපසු එද්දි හිටපු ජනපති රනිල් එහි පැමිණියේය.
‘‘සර්.... මහින්ද ජනාධිපතිතුමාව පහළට එක්ක ගියා. කෑම කන්න’’ශාන්න කියද්දී කෝ.. කෝ මහින්ද... මාත් යන්න ඕනෑ එයාත් එක්ක කතා කරල හැමෝම එකතු කරන වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ.. කෝ යමු...’’ එසේ කී රනිල් ශාන්තද සමග මහින්ද හමුවීමට ගොස් දේශපාලන කාරණා කතාබහ කළේය.
එජාපයෙන් සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් ද ශ්‍රීලනිපයෙන් නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් ද පැමිණියහ.
නාමල් රාජපක්ෂ රනිල් සහ ගෝඨාභය සමග බොහෝ වේලාවක් කතා බහේ යෙදී සිටියේය.
“මම අලුත් ගෲප් එකක් හැදුවා. ගොඩක් හිටපු මන්ත්‍රීවරුන් ඉන්නේ කිසිම පක්ෂයකට එකතු වෙන්නේ නැතිව මේ අය දේශපාලනයට ගන්න ඕනෑ. එයාලට එකතු වෙන්න ‘‘ඒටීම්’’ කියලා කණ්ඩායමක් මම හැදුවා.” නාමල් රාජපක්ෂ කීවේය.
”දැන් මෙහෙම යන්න දෙන්න බෑ. මුළු විපක්ෂයම එකතු කරලා ආණ්ඩු බලය ගන්න වැඩ පිළිවෙළක යොදන්න ඕනෑ. මෛත්‍රි ඔයාට පුළුවන්නෙව පොළොන්නරුව භාර අරගෙන කරගෙන යන්න..’’රනිල් මෛත්‍රීගෙන් විමසුවේය. එහෙත් එයට මෛත්‍රී සෘජු පිළිතුරක් දුන්නේ නැත. මෛත්‍රී සිනාමුසුව බලා සිටියෝය.
රනිල් සහ ගෝඨාභය හිටපු ජනාධිපතිවරුන් සමග නාමල් සෑහෙන වේලාවක් තිස්සේ සිනාසෙමින් කතා බහ කළ අයුරු එහි සිටි ඔහුගේ සගයන් බොහෝ දෙනාට කුතුහලයට කරුණක් විය. නාමල් පැමිණි පසු ඔවුන් විමසුවේ හිටපු ජනපතිවරුන් මොකද කියන්නේ කියාය.
”රනිල් ජනාධිපතිතුමා මගෙන් ඇහුවා කොහොම ද මේ දවස්වල වැඩ කියලා. මම කීවා සර් මම ගමින් ගමට වැඩසටහන එක්ක රට වටේ යනවා කියලා. ඔව් මම මීඩියාවලින් ඒව දකිනවා. හොඳින් වැඩ කරන්න පුතා කියල එතුමා කිව්වා. අපි ඉක්මනින් හමුවෙමු කියලා කිව්වා. මම කිව්වා සර් වෙලාවක් කියන්න... මම එන්නම් කියලා... තව ඉතින් පෞද්ගලික තොරතුරු විමසුවා...’’ නාමල් තම සගයන් සමග කියා සිටියේය.
නාමල් ගේ ඒ-ටීම්
නාමල්ගේ මූලිකත්වයෙන් ‘‘ඒටීම්- නෙක්ස්ටිවිව්’’ නමැති නව දේශපාලන ව්‍යාපාරයක් ඉකුත් සතියේ බිහිවිය. එහි අරමුණ වන්නේ පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් බැහැරව ද සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමය. රෝහිත අබේගුණවර්ධන, ඩී.වී.චානක, අනුරාධ ජයරත්න හා චානුක මාදුගොඩ නාමල්ගේ සෙසු සගයෝ වෙති.
එයට කලින් දින බත්තරමුල්ලේ හෝටලයක දී රැස් වී පිරිස සාකච්ඡා කළේ මෙම සංවිධානයට ඇති කාර්යභාරය ගැනය.
වත්මන් රජයට පවතින අති විශාල බලය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් නොලැබෙන පක්ෂ හා පුද්ගලයන්ට මෙම සංවිධානයට එක්විය හැකි බව එහිදී කියැවිණි.
‘‘ජාතික මට්ටමේ වැදගත් ගැටලුවලදී ජනතාවගේ සැබෑ හඬ බලධාරීන් වෙත රැගෙන යාම සඳහා දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයත් එකතු කර ගන්න ඕනෑ’’ අනුරාධ ජයරත්න එහි දී කීවේය.
‘‘අනාගත ලංකාව භාරගත හැකි ඊළඟ ජාතික කණ්ඩායම ලෙස ශක්තිමත් විපක්ෂ බලවේගයක් නිර්මාණය කිරීමයි අපේ අරමුණ...’’ එහෙම කීවේ නාමල් රාජපක්ෂය.
‘‘ලබන සතියේ අපට තවත් මන්ත්‍රීවරයෙක් එකතු වෙනවා.’’ ඩී.වී. චානක කීවේය. පසුදින මාධ්‍ය හමුවක් කැඳවා නව සංවිධානය රට හමුවේ තැබුවේ එම සාකච්ඡාවෙන් අනතුරුවය.
මාස දෙකකට ආසන්න කාලයක් කල් තබා තිබූ රනිල්ගේ නඩුව යළි විභාගයට ගත්තේ ඉකුත් බදාදාය. රනිල් ඊට පෙනී සිටීමට උසාවියට පැමිණියේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟයි. ඒ මුළු නඩුවටම කාලය ගතවූයේ විනාඩි තුනක් පමණි.
රනිල්ගේ ලන්ඩන් ගමන ගැන සොයන්නට ගිය පිරිස වාහන පහසුකම් ආදියට වැඩිම වියදමක් යොදා ඇති බවත් එය සිදුවිය නොහැකි බවත් රනිල්ගේ නීතිඥයෝ එහිදී පෙන්වා දුන්හ. ඊට වාහන සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය රජයෙන් බවද නීතිඥයෝ පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් රනින්ගේ පාර්ශ්වය ඒ ගැන තොරතුරු උසාවියට භාර දුන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නීතිඥවරිය උසාවියට දැනුම් දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට තවම මතයක් නැති බවයි. ඒ අනුව අවසන් වාර්තා ලබන සැප්තැම්බර් 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
මේ නඩුව සම්බන්ධයෙන් කලින් නඩු වාරවලදී ඉතා සද්දෙන් කතා කළ දිලීප පීරිස් මෙවර පැමිණ සිටියේ නැත.එමෙන්ම සී. අයි.ඩී ය පැත්තෙන්ද ඉහළ නිලධරයන්ගේ සහභාගීත්වයක් දක්නට නොලැබිණ.
මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැසිරුණු ආකාරය ගැන කිව හැක්කේ කුමක්දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් හමු වූ අවස්ථාවේ විමසා සිටියේය.
රනිල් විස්තර කළේ 1988 වසරේ සිද්ධියකි.
“1988 අවුරුද්දේ අධිකරණ ඇමති වෙලා හිටියේ නිශ්ශංක විජේරත්න.එතුමා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා පිටරට ගිහින් ඉන්න අවස්ථාවක මඩකළපුව බන්ධනාගාරයේ යම් සිද්ධියක් ඇතිවුණා. මේ අවස්ථාවේ ඔහු වගකීම අරගෙන ඉල්ලා අස්වුණා. ඔහුගේ නියෝජ්‍ය ඇමති හිටියේ ෂෙල්ටන් රණ රාජා. ඔහුත් මෙහි වගකීම අරගෙන ඉල්ලා අස් වුණා. ඉන් පසුව අධිකරණ වැඩ බලන්න පත් කළේ පෝල් පෙරේරා.
88 ඡන්දෙදි ප්‍රේමදාස ජනාධිපති කිව්වා කවුරු හරි ආසනයක් පැරදුණොත් ඔහු ඉල්ලා අස්විය යුතු බව.කඩුවෙල ආසනයෙන් ඉදිරිපත් වෙච්ච පෝල් පෙරේරා පරාජයට පත්වුණා. ඊට පස්සේ අධිකරණ වැඩබලන ඇමැති හැටියට මම (රනිල් වික්‍රමසිංහ) පත් කළා. ඡන්දෙන් පස්සෙ අධිකරණ ඇමැති හැටියට විල්සන් පෙරේරා පත් කළා.”
රනිල් කීවේ එක්සත් ජාතික පක්ෂය හැම විටම ඉතා ශිෂ්ට සම්පන්න ලෙස කටයුතු කර තිබෙන ආකාරය පෙන්වා දෙමිනි.
”මීගමුවේ සිද්ධියේදී මේවා පාලනය කරන්න ඕනෑ තරම් කාලයේ තිබුණා.ඇයි සෙකට්‍රි එක්ක කතා කළේ නැද්ද? මේකට ඇමති වගේම සෙකට්‍රිත් වග කියන්න ඕන” රනිල් එසේ කියන විට මාන්නප්පෙරුම පැවසුවේ ඇමතිවරයා අදාළ ස්ථානය නිරීක්‍ෂණයට ගියේ සිද්ධිය වී දින දෙකක් පමණ පිරුණු පසුව බවයි.
”ඇමතිවරයා මේ සිද්ධිය ජනාධිපතිට දැනුම් දුන්නාද?” කියන්න බැරි නම් අඩුගානේ ටිල්වින්ටවත් කිව්වා දැයි රනිල් ඇසුවේ උපහාසයක් මතු කරමිනි.
විනිසුරු විශ්‍රාම වයස
”විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන්න ආණ්ඩුවට දැන්නම් ලේසි වෙන්නෙ නෑ.සාමාන්‍ය ජනතාව පවා ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න කියලා දැන් තේරුම් අරගෙන ඉන්නේ” වජිර කීවේය.
ආණ්ඩුව දැන් අවුල් වෙච්ච නූල් බෝලයක් වෙලා තියෙන්නේ.එක පැත්තකින් විනිසුරු විශ්‍රාම වයස. අනිත් පැත්තෙන් බන්ධනාගාර ඇමති හර්ෂණ බේරා ගන්න එක රත්නප්‍රිය කීය.
මීගමු බන්ධනාගාර සිද්ධිය ගැන සජිත් පාර්ලිමේන්තු විවාදය ඉල්ලූ ආකාරයෙන් සිදුවූයේ ආණ්ඩුවට අවශ්‍ය කරුණු ටික කියාගන්නට කාලයක් ලැබීමයි. ඒ විවාදයට විපක්ෂය පැත්තෙන් කිසිම සූදානමක් තිබුණු බවක් නොපෙනිණ. ආණ්ඩුවට වදින්න කතා කළේ චාමර පමණි.
”ඇත්තෙන්ම ඔය විවාද ඉල්ලන්න තිබුණේ එදා නෙමෙයි. තව දවස් දෙකක් ඉඳලා ඒ විවාදෙ ඉල්ලන්න තිබුණා. විවාද ඉල්ලන්න තිබුණේ ඔක්කොම කරුණු අරගෙන.හිස් අතින් විවාද කරන සිරිතක් නෑනේ. විපක්ෂය නෙමෙයි, ආණ්ඩුවවත් හරියට කරුණු දන්නේ නැති පසුබිමක කොහොමද විවාදයක් තියන්නේ. මේ පාර්ලිමේන්තු සතියේ නැත්නම් වෙන විශේෂ දිනයක විවාදය ඉල්ලන්න තිබුණා.අනෙක ඇමතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කළාම ඒ ප්‍රකාශය උඩ තමයි විවාද කළ යුත්තේ. එහෙම නැතුව පත්තරවල තියෙන ඒව මත නෙමෙයි”රනිල් තම ස්ථාවරය ගැන පැහැදිලි කළේය.
කෙසේ වෙතත් අදාළ විවාදයේදී අඩුගානේ විපක්ෂ නායකවරයා බන්ධනාගාර ඇමති ඉල්ලා අස්විය යුතු බවවත් කීවේ නැත. ඒ කාරණය මුලින්ම කීවේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය පීරිස්ය.ඒ මල් පාර කාරයාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
මල් පාර කාර්යාලයේදී වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් කොටස් දෙකකට පැවැත්විණ.
පළමු වැනි සාකච්ඡාව තිබුණේ මහාචාර්ය ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙනි.ඒ සඳහා දොස්තර රාජිත මෙන්ම හැම පක්ෂයක්ම නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වූහ.සජබ නියෝජනය කරමින් දොස්තර චමල් සංජීව, එජාප සමන් රත්නප්‍රිය මෙන්ම බැංකු, දුම්රිය, තැපැල් ආදී සියලු ක්ෂේත්‍ර නියෝජනය වන අයුරින් පිරිස් එහි පැමිණ සිටියහ.හැම පක්ෂයකටම එක් විය හැකි එක මධ්‍යස්ථානයක් හැදිය යුතු බව එහිදී යෝජනා විය.
දෙවැනි හමුව පැවැත්වුණේ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙනි. පැලවත්තේ ආණ්ඩුව ක්‍රම තුනක් යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවත් පක්ෂ ක්‍රමය නැති කරන්නට සැරසීම, වෘත්තීය සමිති නැති කරන්නට යාම සහ බෞද්ධ දහමට පහර ගැසීම එම ක්‍රියාමාර්ග තුන බවත් රනිල් එහිදී පැහැදිලි කළේය.මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව තනි තනිව හා සියලු කණ්ඩායම් ඒකාබද්ධව සටන් කළ යුතු බවද රනිල් පෙන්වා දුන්නේය.
ඉකුත් සතිවල මහානාහිමි වරුන් හමුවූ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ මේ සතියේදී මුස්ලිම් ආගමික මවුලවි තුමන් හමුවූහ.
එහිදී ඔවුන් පැහැදිලි කළේ සත්‍ය සහ ප්‍රතිසංවිධානය පිළිබඳ පනතක් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පැවසුවත් ඒවා වචනවලට පමණක් සීමා වී තිබෙන බවයි.
රාජ දූත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd