
මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ හා මහාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් ඉහළ නැංවීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් මහාචාර්ය නීතිඥ මානව හිමිකම් ක්‍රියාකාරි ප්‍රතිභා මහානාම හේවා සමග කළ සාකච්ඡාවකි.
මීගමුව බන්ධනාගාර සිද්ධිය රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බලපෑම ගැන කතා කළොත්?
පිළිතුර:- මීගමුව බන්ධනාගාර සිද්ධිය දෙස අපට පැතිකඩ කිහිපයකින් බලන්න වෙනවා. ඒකේ ප්‍රධානතම පැතිකඩ තමයි මෙබඳු සිදුවීම්වලින් නීතියේ ආධිපත්‍යය කොතෙක් දුරට හෑල්ලු වෙනව ද කියන එක. රැඳවියන්ට ප්‍රශ්න තියෙන්න පුළුවන්. රැඳවියන්ගේ අයිතිවාසිකම් ‘රැන්ඩෙලා රූල්ස්’ යටතේ පිළිඅරගන තියෙනවා. බන්ධනාගාර ආඥා පනතෙත් තියෙනවා.
මෙතැනදී රැඳවියන් හැසිරුණ ආකාරය ගත්තාම ඒක ම්ලේච්ඡයි. ඒකට හේතුව තමයි මේ ඉන්න බන්ධනාගාර නිලධාරීන් අතින් රැඳවියන්ගේ අයිතිවාසිකම් කඩවෙලා තියෙනවානම් ඒ අයට නීතිය පැත්තෙන් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි මේ සම්බන්ධව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කරන ආයතන රාශියක් තියෙනවා. මෙම සිදුවීමට මං පාදක කරගත්තේ එකොළොස් දාහකට පහසුකම් තියෙන තැනක හතළිස් දාහක් ඉන්නවනම්, හයසීයකට පහසුකම් තියෙන තැනක දෙදහස් පන්සීයක් ඉන්නවානම් එතැන අධික තදබදයක් තිබීමයි.
තදබදයට හේතුව වශයෙන් ඔබ දකින්නේ?
පිළිතුර:- මේ තදබදය එන්නේ රිමාන්ඩ් සිරකරුවන්ගෙන්. රිමාන්ඩ් සිරකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණවල නඩු තියෙනවා. ඒ නඩු විභාග වෙනවා. ඒ නිසා ඔවුන් සැකකරුවන් විතරයි. තව ඉන්නවා දඬුවම් විඳින සිරකරුවන්. ඒ අයට මරණීය දඬුවම දීලා තියෙනවා. මරණීය දඬුවම ලබන සිරකරුවන් ඉන්නේ බොහොම පොඩි සංඛ්‍යාවක්. තව ඉන්නවා අභියාචනයට භාජනය වූ සිරකරුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ආගමන විගමන පනත යටතේ ඉන්න සිරකරුවන් ද ඉන්නවා.
කොහොම වුණත් මහේස්ත්‍රාත් අධිකරණයට යම්කිසි තැතැත්තෙක් ඉදිරිපත් වෙලා එක්කෝ ඇප දීලා එළියට දානවා. එහෙම නැත්නම් වැදගත්ම දේ තමයි විෂ මත්ද්‍රව්‍ය අබිං යටතේ ගත්තොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බන්ධනාගාරගත කරනවා. මොකද ඔවුන්ට මහාධිකරණයෙන් ඇප ගන්නත් බෑ. එතකොට මෙතැන සීයට 90ක්ම ඉන්නේ මත්ද්‍රව්‍යවලට සැකකටයුතු අය. ඒ විදියට බන්ධනාගාර පිරුණට පස්සේ ඒක පාලනය කරන්න අපහසුයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවොත් මෙතැන ඉන්නවා. මත්ද්‍රව්‍ය පානය කරන අයත් ඉන්නවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අයත් ඉන්නවා. එතකොට බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය එන්නේ කොහොම ද කියන ප්‍රශ්නය තියෙනවා. මේවාට අපිට විසඳුම් සොයන්න වෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා මහාධිකරණයේ විනිසුරුවන් ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමේ යෝජනාවක් ඇවිත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා. ඔබේ මතය?
පිළිතුර:- මගේ මතය විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම ගැන නොවෙයි. විශ්‍රාම යාමේ වයසට වඩා ලෝකයේ අද ප්‍රවණතාව වෙනස්. ලෝකයේ රටවල් ගත්තොත් ඒගොල්ලෝ සාකච්ඡාවක් ගෙනාවා ඒ ඉන්න විනිසුරුවරුන්ගේ පරිණතභාවය, එගොල්ලන්ගේ දැනුම, විශේෂඥභාවය ලබාගත යුතුයි කියලා. එතකොට අපි මේ කියන ආකාරයට රටවල් ගණනාවක් බැලුවොත් සාමාන්‍යයෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තමයි අවුරුදු 70, 71, 72 වගේ. ලංකාවේ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට පහයි. අභියාචනාධිකරණය විනිසුරුවරයකු නම් හැට තුනයි.
මේ වයස සම්බන්ධව ගත්තම අපිට දකින්න ලැබෙනවා බටහිර ඉන්දීය කොදෙව් රටවල සාකච්ඡාවක් යනවා විශ්‍රාම යාමේ වයස හැට පහ හැත්තෑව කරන්න. බංග්ලාදේශයේ විශ්‍රාම යාමේ වයස 67 කළා. මෑත කාලීනව තිබුණ රැස්වීම් කිහිපයකටම මම ගියා. ඒ රැස්වීම්වලදී කියන කාරණාව තමයි විනිශ්චයකරුවන් ගේ වයස දීර්ඝ කිරීම නොව එම ක්‍රමවේදය ගැන සැලකිය යුතුයි කියන එක. හොඳට බලන්න මේ අවස්ථාවේ මේක අවශ්‍ය ද? මේ අවස්ථාවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්න ඕනෑ නේද? එහෙම තිබියදි විශ්‍රාම යාමේ වයස විතරක් ගේන්නේ ඇයි කියලා.
ඇත්තටම ඇයි එහෙම වෙන්නෙ ?
පිළිතුර:- පසුගිය කාලවල පෙර නොවූ විරූ විදියට ඔය දණ්ඩන මුක්තිය එහෙම නැත්නම් දඬුවම්වලින් බේරීම සඳහා විශාල වශයෙන්ම විවිධ අවස්ථාවලදී උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම අද අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව තදින්ම ක්‍රියාත්මක වෙනවා. වංචා, දූෂණ කරපු අයට එරෙහිව නඩු පවරනවා . ජනතාවට ඒ පක්ෂයෙනුත් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ජනතා පරමාධිපත්‍යය තමයි ඉතා වැදගත්. ඒ නිසා පරමාධිපත්‍යය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා ඒක අධිකරණය මගින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒ නිසා මේ සම්බන්ධව පුළුල් සංවාදයක් එන්න ඕනෑ. ඒ සංවාදය ගත්තට පස්සේ අපට පේන කාරණාව තමයි අත්‍යවශ්‍යයෙන්ම මෙය ලෝකයේ රටවල ඇතිවෙලා තියෙනවනම්, ආසියාවේ ඇති වෙමින් පවතිනවානම්, ඉන්දියාවේ නීතිඥ සංගම් නියෝජනය කරන අය ඒගොල්ලෝ කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වා වැඩි කරන්න ඕනෑ 2027 දි ඒගොල්ලොත් ඒකමතිකව සම්මත කරනවා ‘‘මේක හදිසි තත්ත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි’’ කියලා. මේ වගේම සාකච්ඡාවක් දකුණු අප්‍රිකාවෙත් තියෙනවා.
මෙතැනදි මතුවෙන ප්‍රශ්නය තමයි විශ්‍රාම යාමේ වයස එහෙම වැඩි කළාම විනිසුරුවරුන් විශාල පිරිසකට අසාධාරණයක් වීම?
පිළිතුර:- ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. මේකේ තනි විනිසුරුවරයකුගේ වයස වැඩි කරලා යනවානම් එතැනදි අපට පේනවා එහෙම වෙන්නේ කිසියම් දේශපාලන හේතුවකට කියලා. නමුත් සියලු දෙනාගේම විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම කළ යුතුයි. මෙතැනදි පෙරට ගත යුත්තේ වයස පිළිබඳ ප්‍රශ්නය නොවෙයි. ජනතාවගේ විශ්වාසයත් එක්ක අධිකරණය ගොඩනැගීගෙන යනවා. හැම පැත්තෙන්ම හොඳ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.
විනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වයස දික් කරල පත්වීම කළාට පස්සේ ඉවත් කරන්න බෑ. තනි විනිසුරුවරයකුට මුකුත්ම කරන්න බෑනේ. විනිසුරු මණ්ඩලයක් සිටිය යුතුයි. අඩුම තරමේ විනිසුරුවරුන් තුන් දෙනෙක්වත් වැඩි වෙන්න ඕනෑ. ලෝක තත්ත්වයත් එක්ක ගත්තට පස්සේ ඔවුන්ගේ පරිණතභාවය වැදගත්. හැබැයි ඒක එකම ක්‍රමවේදයට වෙන්න ඕනෑ.
මේ ආණ්ඩුව විපක්ෂයෙ ඉන්නකොට කිව්වෙ ගෙදර යතුරවත් සීයා කෙනෙකුට බාර දෙන්නේ නෑ කියලා. එහෙම කියලා ආපු අයගේ ආණ්ඩුවක් මෙහෙම කරන කොට?
පිළිතුර:- ඇත්තටම ජනතාවගේ බලයෙන් ආවට පස්සෙ හුඟක් වෙලාවට න්‍යාය පත්‍රයක් අනුව තමයි වැඩ කරන්නෙ. ඒක ප්‍රායෝගික තලයට ආවම ඒ ප්‍රායෝගික තලයෙදි හඳුනාගත යුතු කාරණා කිහිපයක් තියෙනවා.
පළමුවැනි කාරණාව තමයි මේ කියන ආකාරයේ සමාජයේ ඇතිවන අලුත් ප්‍රවණතා සමග අර කියන දේවල් එක්කම රැඳිලා ඉන්න බෑ. ඇයි එහෙම බැරිවෙන්නෙ? සමාජ අවශ්‍යතාවන් වෙනස් වෙනවා. ආර්ථික අවශ්‍යතාවන් දවසෙන් දවස වෙනස් වෙනවා. ඉතින් මම කියන්නේ එක තැනකට ලඝු නොවී ඒ ප්‍රතිපත්තියට සීමා නොවී අලුත් ආකාරයට හිතලා මහජන සුබසාධනයක් කරා යා යුතුයි. ඒක තමයි 21 වැනි සියවසේ බොහෝ රටවල් කරන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවොත් මෙතැන ඉන්නවා. මත්ද්‍රව්‍ය පානය කරන අයත් ඉන්නවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අයත් ඉන්නවා. එතකොට බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. මේවාට අපිට විසඳුම් සොයන්න වෙනවා.
අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග ගෙනෙල්ලා තනතුරෙන් ඉවත් කළා. එහෙම කළේ ආණ්ඩුවට අවශ්‍ය තීන්දු නොදුන් නිසා කියලා කියැවුණා. දැන් මේ විශ්‍රාම යාමේ වයස දික් කරන්න යන්නේ තමන්ට අවශ්‍ය තීන්දු දෙන විනිසුරන් තියාගන්න කියලා කියනවා?
පිළිතුර:- 2013 දී ඒ අගවිනිසුරුවරියට අදාළව නඩු ඇහුවේ පාර්ලිමේන්තුවෙන්. තීන්දුව දුන්නෙත් පාර්ලිමේන්තුවෙන්. තීන්දු සම්මත වුණෙත් පාර්ලිමේන්තුවෙන්. එතැනදි ඒ ක්‍රියාදාමය එකක්. මෙතැනදි ඔය ඔබ කියන විදියට එක එක අයට දේශපාලනිකව විග්‍රහ කරන්න පුළුවන්. විශ්‍රාම යන වයස දිගු කරන්නේ තමන්ගේ අභිලාසයන් ඉෂ්ට කරගන්න කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඉතිහාසයෙත් අපි පාඩම් ඉගෙන ගන්න ඕනෑ. මෙතැනදී වෙන්නේ කෙනෙක් ඉවත් කිරීමක් නොවෙයි. මේක දේශපාලනිකව බලන්න නරකයි. මේ පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි කියලා මම කියන්නේ ඒකයි. කිසි කෙනෙකුට අසාධාරණයක් නොවන ක්‍රමයකට මෙය කළ යුතුයි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd