තෙල්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ භෞත චිකිත්සකවරියගේ අබිරහස් මරණය මුළු මහත් ශ්‍රී ලංකාවම දැඩි කම්පනයකට මෙන්ම විස්මයට පත් කිරීමට සමත් විය. මුලදී සාමාන්‍ය මරණයක් හෝ සියදිවි නසාගැනීමක් ලෙස පෙනෙන්නට තිබුණද, මේ වන විට අධිකරණයෙන් විවෘත තීන්දුවක් ලැබී ඇති මෙම සිදුවීම පිටුපස ඇත්තේ අඳුරු කතාවකි.

මෙම ඛේදවාචකයට ගොදුරු වූයේ අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සක නිලධාරිනියක ලෙස සේවය කළ, 33 හැවිරිදි වියේ පසු වූ ශ්‍යාමා දර්ශනී නමැති අවිවාහක තරුණියකි. ම්ලේච්ඡ සිදුවීම මුළු රටකම හෘද සාක්ෂිය කීරි ගස්වාලූයේ නිරායුධ තරුණියකගේ ජීවිතය කාර් රථයක් තුළ සදහටම නිහඬ කරමිනි. කෙසේ නමුත් රෝගීන්ගේ ගත සුවපත් කරන්නට වෙහෙසුණු ඒ භෞතචිකිත්සකවරිය සිය ජීවන ගමන අවසන් කොට හමාරය. කාමරයක බිත්ති හතරක් අතුළත තම පණ මෙන් විශ්වාස කළ මිනිසා මාරයකු වීම තමන්ගේ පණ නල උදුරා ගන්නා විට ඇය විඳි වේදනාව බිය චවනයට පෙරළිය නොහැකිය. “ඇසුර වැරදුනොත් සසර වැරදෙනවා” යන කියමන ඇගේ නිසල සිරුර අසල අකුරක් නෑර සත්‍යය වී ඇත. 

ඝාතනයට ලක් වූ ශ්‍යාමා දර්ශනී ජීවත් වූ වැලිගම වලල්ල පිහිටි නිවසට අප යන විට පරිසරය පුරාම රජ කළේ මලානික, මූසල නිහඬතාවකි. ඇගේ වියෝවෙන් දැවෙන, අළු වී යන ඒ මහගෙදර සාලයට අප පියනගින විටත් ශ්‍යාමා උපාධි ලෝගුව ඇඟලාගත් ජායාරූපය සිනාසෙමින් සිටියාය.

"අනේ මගේ දුව කාටවත් වරදක් නොකළ කෙනෛක්. විනෝදයෙන් හිටපු කෙනෙක්. මේ අයියලා අක්කලා ආදරේට ගෙදරට කිව්වේ චූටි පැටියෝ කියලා. ගෙදර බාලයා නිසා හුරතලේට හැදුණේ. මේ මුදල් ගනුදෙනු ණය ප්‍රශ්න එයා කා ඒක්කවත් කිව්වේ නැහැ. පවුලේ අයට මේ ප්‍රශ්නය නොදී තනියම විසඳගන්න තමයි එයාට ඕන වුණේ. අනේ කිසිම අම්මෙකුට මේ වගේ දුකක් ජාති ජාතිත් විඳින්න සිදු වෙන්න එපා” 

ඒ ශ්‍යාමා ගේ  අම්මාගේ වේදනාවය.

ශ්‍යාමා දර්ශනී යනු පවුලේ  බාලම මෙන්ම සැමගේ ආදරය මැද හැදුණු වැඩුණු දියණියකි. ඇය තමන්ට වඩා අවුරුදු දහසයකින් බාල වූ බැවින්, රැකියාව සඳහා නිරන්තරයෙන් නිවසින් බැහැරව සිටි පියාටත් වඩා තමන් ඇය වඩාගෙන හුරතල් කරමින් ඇති දැඩි කළ බව ඇයගේ ලොකු අයියා සිහිපත් කරන්නේ දැඩි සංවේගයෙනි. කුඩා කල සිටම අධ්‍යාපනයට උපන් හපන්කම් දැක්වූ ඇය වැලිගම සුමංගල බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා විශිෂ්ට ලෙස අධ්‍යාපනය හැදෑරුවාය. පවුලේ වැඩිමහල් සහෝදරවරු තමන්ට යා නොහැකි වූ ඉහළම තැනට තම චූටි නංගි රැගෙන යාමේ අරමුණින් විශාල කැපකිරීම් සිදු කළහ. 

වෛද්‍යවරියක වීමට ලකුණු කිහිපයකි මදි වූ බැවින් ඇය කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී භෞත චිකිත්සක උපාධිය සාර්ථකව නිම කළාය. ඉන් නොනැවතුණු ඇය මානසික චිකිත්සක පාඨමාලාවක්ද ඉහළින්ම සමත් වූ අතර, රජයේ ප්‍රථම පත්වීම ලෙස අම්පාර රෝහලට අනුයුක්තව සේවය කරමින් රෝගීන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේද නොමඳ ආදරය දිනාගැනීමට සමත් වූ ක්‍රියාශීලී තරුණියක වූවාය.

"මගේ බාලම නංගි පොඩි කාලේ ඉඳලම මට ලොකු ලෙන්ගතුකමක් තිබුණා. ඒ නිසා හැම දෙයක්ම මාත් එක්ක එයා කියනවා.  නංගිට මුල් පත්විම හම්බ වුණේ අම්පාරට. මාරුවක් ගන්නම බැරි වුණා.

ඒ නිසා ගෙදර ආවේ නිවාඩුවකට විතරයි. අම්පාර රෝහලේ මේ යන්නේ නංගිගේ සේවාවේ හත්වැනි අවුරුද්ද.

අපිට ලොකුවටම දැනුණේ චූටි නංගි කල වයස ආවමත් විවාහ නොවුණ එක. අපි  පුවත්පත් මනාල සේවා හරහා සියයකට අධික යෝජනා ඉදිරිපත් කළත් ඒ කිසිවකට චූටි නංගි කැමති වුණේ නැහැ.  

"අනේ අයියේ මට විවාහ වෙන්න බැහැ.කරදර කරන්න එපා. බැඳීම් කියන්නේ දුකක්. මම කැමති නැහැ බැඳීම් නිසා දුක් විඳින්න කියලා "

නිතරම කිව්වා. මම හිතුවා එයා දරන මතයන් එක්ක ආධ්‍යාත්මික පැත්තට යයිද කියලා.“

අබිරහස් ලෙස ඝාතනය වූ රත්නායක පතිරණගේ ශාමා දර්ශනී මෙ​ෙනවියගේ වැඩිමහල් සොහොයුරා වන සමන්ත කුමාර මහතා නැඟණීයගේ මතක ආවර්ජනය කළේය. 

පසුගිය වසරේ දිනෙක ඇය හදිසියේම තම වැඩිමහල් සොහොයුරාට දුරකථන ඇමතුමක් ලබා දෙන්නේ තමන් විවාහ වීමට සුදුසු සහකරුවකු සොයාගත් බව කියන්නටය.

"ලොකු අයියේ මට ගැලපෙන කෙනා මම හොයාගත්තා. එයාගේ නම  "දිනෙත් දිසානායක". කටුනායක ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෘදුකාංග ඉංජිනේරුවරයකු විදිහට වැඩ කරන්නේ. ගෙවල් මහනුවර ගන්නෝරුව. ප්‍රභූ පැළැන්තියක  දළදා මාලිගාවට සම්බන්ධ දිසානායක මුදලිතුමාගේ පුතෙක් කියලා කිව්වා. ගන්නෝරුවෙ හමුදා කඳවුර ගාවින් ඉහළට පාරේ ගෙවල් තියෙන්නේ, දළදා මාලිගාවෙ එයාලගෙ පවුලෙ ඇතෙකුත් ඉන්නවා කියලාත් කිව්වා. වත්තක්,හෝටලයක් තියෙනවා කිව්වා. මේ ඔක්කොම ඇත්ත කියලා සහතික වෙන්නම පුද්ගලයා රඟපෑවා. එක තැනකදි ඔය පුද්ගලයා කියලා තියෙනවා පෙළපත්වල පවුල්වල නොගැළපීම් හින්දා ශ්‍යාමට ගෙදරින් කැමති වෙන එකක් නෑ ඒත් එයා මුළු පවුලම අතෑරලා එයා අරන් පිටරටකට ගිහින් ජීවත් වෙන්න කැමතියි කියලා. 

මේ සම්බන්ධතාව කියනකොටම මම කිව්වා ඔයා කිව්වාට බැහැ අපි හොයන්න ඕන මට ඒ මනුස්සයාගේ තොරතුරු දෙන්න කියලා. චූටි නංගිට මුල් කාලේ  ඒ පුද්ලයා හොඳට සැලකුවා. අම්පාරේ ඉඳන් නිවාඩුවට ගෙදර එද්දි වාහනෙන් ගෙනත් දානවා. නිවාඩු ඉවර වෙද්දි ආයේ එක්ක යන්න එනවා. උසස් තත්වයේ කෑම බීම ඇඳුම් පැලඳුම්වලින් චූටි නංගිට අඩුවක් කළේ නැහැ.  මේ හැම දේම ඕනැවටත් වඩා ඒ මනුස්සයා දෙනකොට ඒ මනුස්සයා නංගිට දැනෙන්න දුන්නා ඔයාට හම්බුණේ කුමාරයෙක් කියන හැඟීම . ටික ටික ඒ මිනිහා ගැන සැක හිතෙන දේවල් වෙනාකොට අපි ඒවා කියන්න යනකොට අපි කියන ඒවාත් නංගිට රුස්සන්නේ නැතුව ගියා. නංගිගේ ඔළුව එහෙම් පිටින්ම මේ පුද්ගලයා වෙනස් කළා. නංගිගෙයි මේ පුද්ගයාගෙයි සම්බන්දෙට මාස 8ක් වගේ. දෙසැම්බර් 17 තමයි මුලින්ම ලොකු නංගිගේ ගෙදරට මේ මනුසස්යා එක්ක ආවේ. 

චූටි නංගි මේ පුද්ගලයාගේ තොරතුරු කිව්වාම මම ගන්නොරුවේ පැත්තේ මගේ යාළුවෙක් හරහා තොරතරු හෙව්වා. හොයල බැලුවම නුවර ගන්නොරුවේ ඔය වගේ ගෙදරක් තියෙනවා. ඒ වගේ පවුලකුත් ඉන්නවා. 

ඊට පස්සේ දවසක් නංගි මගෙන් කතා කරලාමට ලක්ෂ තුනක විතර මුදලක් දෙන්න පුළුවන් ද කියලා  ඇහුවා. කැනඩා යන වැඩේට කිව්වා. දින හතරකින් මම අයියගේ සල්ලි  දෙනනවා  කිව්වා. නංගි මගෙන් කවදාවත් සල්ලි ඉල්ලලා නැහැ. මම ඒ වෙලාවෙම සල්ලි දුන්නා. නංගිත් ඒ කියපු දිනේටම මට සල්ලි දාලා තිබුණා.

ඔහොම කාලය ගෙවුණා. අපි කිව්වා එ මනුස්සයා අපේ ගෙවල්වල ආවානේ . අපිට එහේ යන්න දවසක් අහලා කියන්න කියන්න කියලා. අපිට ලබන මාසේ එන්න ඊ ළඟ මාසේ එන්න කිය කිය කල් දැම්මා.  නැකැත් ගේනවා කිය කියත් බොරු කිව්වා.අපිට නංගි එයාව සම්බන්ධ කරන්න දුන්නෙම නැහැ. නංගි හරහා තමයි අපට එයාව සම්බන්ධ වුණේ. ඔහු එක දිගට දින දින කිය කිය මග අරිනවා වගේ දැනුණම මම නංගිට කිව්වා මම ගේ හොයාගෙන හරි ගෙදරට යනවා කියලා. “

ශ්‍යාමාගේ පවුලේ අයගේ විශ්වාසය දිනා ගැනීම සඳහා මෙම වංචනිකයා විවිධ උපක්‍රම භාවිත කර ඇත. ඔහු සුදු පැහැති වැගන් ආර් රථයකින් ශ්‍යාමා සමඟ ලුණුගම්වෙහෙර පිහිටි ඇයගේ සහෝදරියගේ නිවසට මෙන්ම මාතර නිවසටද පැමිණ තිබේ. දිනෙත් තමන් සතුව මිල අධික ඩ්‍රෝන කැමරාවක් ඇති බව පවසමින්, ශ්‍යාමාගේ නිවසේ වටපිටාව ඉහළට යවා වීඩියෝ කරමින් දර්ශනිගේ පවුලේ කුඩා දරුවන්ට "ඩ්‍රෝන් මාමා" ලෙස සමීප වී ඇත. 

ශ්‍යාමා දර්ශනීට මෙම සැකකාර පුද්ගලයා සම්බන්ධ කරන්නේ අම්පාර කච්චේරියේ සේවය කළ තිළිණි නමැති කාන්තාවකි. ඇය ශ්‍යාමා දර්ශනී වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි අයකු වන අතර, පසුව ඇය විසින් මෙම පුද්ගලයා ශ්‍යාමාට හඳුන්වා දී තිබුණි.                 

"මේ  සැකකාර පුද්ගලයා මගේ චූටි නංගි ළඟට යන්නේ ෆිසියෝ තෙරපි එකකට . නංගි ළඟට එක්ක ඇවිත් තියෙන්නේ ඔය කච්චේරියේ වැඩ කරන තිලිණි කියන කාන්තාව . ඒ වෙලාවෙදි දිනෙත් නමින් පෙනී හිටි  පුද්ගලයා සහ තිලිණි පෙම්වතුන් ලෙස තමයි චූටි නංගි ඉස්සරහ පෙනී ඉඳලා තියෙන්නේ.  මේ අය ඉන් පසුව මිතුරු වෙලා තියෙනවා. ඔහොම ටික දවසක් යද්දි මේ පුද්ගලයා චූටි නංගි එක්ක කියලා තියෙනවා මමයි තිළිණියි ගැළපෙන්නෙ නෑ ඒ  නිසා අපි දෙන්නා දුරස් වුණා කියලා.ඔය විදිහට හෙමින් හෙමින් ඔය සැකකාර පුද්ගලයයි නංගියි අතර සබඳතාවක් ඇති වෙලා තියෙනවා.අපට මේක සාමාන්‍ය සිද්ධියක් විදියට පෙනුණත්,ඒකෙ තිබිලා තියෙනන්නේ අමුතු ප්ලෑන් එකක්.”

දර්ශනී උපාධිය ගත්දා

නමුත් මේ සුන්දර රඟපෑම පිටුපස තිබූ බිහිසුණු ඇත්ත ක්‍රමක්‍රමයෙන් එළයට එන්නේ ශ්‍යාමා දර්ශනී දැඩි ලෙස රෝගාතුර වී වෛරස් උණ වැලඳී නිවසට පැමිණි අවස්ථාවේදීය. 

“වෙනදාට චූටි නංගිව අම්පාරේ ඉඳලා එක්ක එන මේ මනුස්සයා අසනීප වෙච්ච වෙලාවේ එක්ක ඇවිත් තිබුණේ නැහැ. චූටි නංගි බස් එකේ තමයි ගෙදර ඇවිල්ලා තිබුණේ. චූටි නංගි වෙනදා වගේ ක්‍රියාශීලීත් නැහැ. මම හිතුවා අසනීප නිසා කියලා. ඒත එයා දැඩි ලෙස කල්පනා කරමින් අසහනයෙන් පසුවන බව මට තේරුණා.

මම ඇහුව්වා මොකද්ද ප්‍රශ්නේ  ප්‍රශ්නයක් තියේ නම් කියන්න හිතේ හිර කරන් ඉන්න එපා කියලා.  එතකොට කිව්වා. කැනඩා වැඩේට මං සෑහෙන ලොකු මුදලක් ණයට ගත්තා අයියේ කියලා. මට කිව්වේ ලක්ෂ පනහක් විතර. ණය තියෙනවා කියලා බැංකු ලෝන් එකක් පඩියෙන් කැපෙන්න ගත්තේ කිව්වාම මම කිව්වා එහෙනම් අවුලක් නෑනේ කියලා..... 

ඊට පස්සේ එදා හවස ආපහු අපි කතාවට අල්ල ගත්තා. නෑ ඔයා මොකක් හරි ඊටත් වඩා වැඩි පීඩනයක ඉන්නවා මම කිව්වාම.නෑ අයියා මම අයියාට කියනවට වඩා වැඩි ණය ප්‍රමාණයක් අරන් තියෙනවා කිව්වා. ලක්ෂ 150 කට වැඩි කියලා කිව්වා.

කැනඩාවට  අවශ්‍ය ලියකියවිලි සකස් කරන්න රුපියල් ලක්ෂ එකසිය පනහකට වඩා  මුදලක් විවිධ පුද්ගලයන්ගෙන් සහ බැංකු මඟින් අරගෙන දිනෙත්ට  දුන්නා. රට යන වැඩේ හරිම ප්‍රමාදයි. දැන් ණයට සල්ලි ගත්ත අය සල්ලි ඉල්ලලා කරදර කරනවා කියලා කිව්වා. 

මං ඇහුව්වා ඒ මුදල් දුන්නේ දිනෙත්ටමද කියලා, නැහැ අයියේ දිනෙත්ගේ වතුපිටි සහ හෝටල් පාලනය කරන සංඛ කියලා මැනේජර්වරයකුගේ ගිණුමට තමයි දැම්මේ කියලා කිව්වා. 

ඊට පස්සේ  දිනෙත්ගේ ගෙදරක් බැංකුවට තියලා මෙම ණය මුදල් පියවන්න රුපියල් ලක්ෂ හැත්තෑපහක චෙක් දෙකක් ගිණුමේ තැන්පත් කරලා තියෙනවා කියලාත් කිව්වා. මම කිව්වා එහෙනම් කල්පනා කරන්න දෙයක් නෑනේ චෙක් මාරු වෙන්න දින දෙකක් විතර යනවා ඒ සල්ලි ලැබුණාම ණය ගෙවන්න පුළුවන්නේ කියලා.”

සහෝදරයන් සමඟ ඒ කතා බහ සිදුවී දින කිහිපයකින් මේ ගැටලු උග්‍ර වන බව දැනගත් ඇය තමාට සිදුවන්නට යන විනාශය පිළිබඳ දැන හෝ නොදැන නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි "ග්‍රෑන්ඩ් ෆෝල් රෙසිඩන්සීස්" ඇෂ්ලි එපාර්මන්ට් එකේ කුලි පදනම මත නිවසක් ගන්නේ පවුලේ සහෝදරයන්ට ගැටලුව නිසා බරක් නොවී තනිව විසඳා ගැනීමේ අදිටනින්ය . ශ්‍යාමා අම්පාර රෝහලේ රැකියා ස්ථානයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන්නේද ඒ වන විට ණය හිමියන්ගේ පීඩනය සහ රැකියා ස්ථානයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙනි.

“නංගි මට එක දවසක් ඇමතුමක් අරන් කිව්වා පීඩනය වැඩියි රැකියාවෙත් අයියේ මම අයින් වෙනවා කියලා. මම කිව්වා රැකියාව කරන්න බැරි නම් ගෙදර එන්න කියලා. නෑ අයියේ මම නුවරඑළියේ එපාර්මට් එකක් ගන්නවා කියලා කිව්වා. මම කිව්වා කොහෙවත් ඉන්න ඕන නැහැ මහ ගෙදර ඉන්න බැරි නම් අනුරාධපුරේ මගේ ගෙදර එන්න කියලා. ඒ හැම වෙලාවක හරි එන්නම් අයියේ කියනවා මිසක් .එයා ආවේ නැහැ. අන්නතිමට අන්තිමට එයා අපි එක්ක එයාට තියෙන ගැටලු කිව්වෙත් නැහැ. ඒ හැම දේම එයා තනිවම දරාගෙන හිටියා කියලා මට දැනුණ නිසා මම නිතර චූටි නංගිට දුරකථනයෙන් කතා කළා. ඒත් එයා ඇත්තක් කිව්වෙම නැහැ. මේ ගැටලු නිසා එයා මහගෙදරට හෝ අපේ ගෙවල්වලට එන්න අකමැත්තක් පෙන්නුවා .අපි එයාට බනියි කියලා. අපේ දරුවෙක් වගේ අපි චූටි නංගිව හැදුවේ.  ඒත් එයා අවසානයේ අපේ ආදරේ විශ්වාස කළේ නෑ.  ගෙදර එන්න කිව්වාම එන්නම් කියලා ෆෝන් ඕෆ් කරගන්නවා. 

මේ සිදුවීම දාමය වෙද්දි නංගි අතේ සල්ලි තිබුණේ නැහැ. එයාගේ පොත්වල තිබුණ සල්ලි රත්තරං බඩු කිසිවක් තිබුණේ නැහැ. නංගිගේ කනේ කරබු දෙක විකරයි ඉතුරු වෙලා තිබුණේ. ඔක්කොම අර මනුස්සයාට උකස් කරලා සල්ලි දිලා.  මේ හැම කතාවක්ම එළියට එන්නේ නංගිගේ මරණයත් එක්ක. 

නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි "ග්‍රෑන්ඩ් ෆෝල් රෙසිඩන්සීස්" (ඇෂ්ලි එපාර්මන්ට්  නැමැති නිවාස සංකීර්ණයක මාසික කුලී පදනම මත  වෙන් කරවාගෙන තිබුණේ නංගිගේ නමින් ලක්ෂ එකහමරක මුදල් ගෙවලා. ඒ ලක්ෂ එකහාමාරත් මේ පුද්ගලයා දෙන්න ඇති කියලා හිතනවා. නංගි ඒ මනුස්සයා ගැන අවසාන මොහොතේ ඇත්තම දේවල් දැනගන්න ඇති  කියලා හිතනවා .ඒ නිසා තමයි අපිව අමාරුවේ දාන්න බැරි නිසා අර කොහෙද තියෙන එපාර්මන්ට් එකකට ඔය ප්‍රශ්නය විසඳගන්න ගියේ. 

කොහොම හරි ඒ මනුස්සයා පාවිච්චි කරපු ගොඩාක් සිම් නම්බර් අරන් තියෙන්නෙත් මගේ චූටි නංගිගේ නමට.

සමහර මාධ්‍යවල ගියා නංගි ඒ මනුස්සයා එක්ක හෝටල් කාමරවල හිටියා කියලා ඒවා සියල්ලම අසත්‍ය. ඒ එපාර්ට්මන්ට් එකේ නංගි හිටියේ තනියම. ”

ඒ දෑස්වල ඇත්තේ කඳුළු පමණක් නොවේ, මුළු ලෝකයක්ම කඩා වැටුණු මිනිසෙකුගේ අසරණකම. ඒ සුසුම් අතරේ තිබුණේ නංගී වෙනුවෙන් දැකපු හීන බිඳී යාමේ ශෝකය පමණක්ම නොව ඇය අවසන් වරට "අයියේ මාව බලන්න එන්නැයි කියා " ඇයට රැකවරණය වෙන්නට තමන්ට නොහැකි වූවාදෝ යන වරදකාරී හැඟීමේ බරය.

"ඒ ඉන්න අතර තුර ජුනි මස 16 වැනිදා චූටි නංගිගෙන් මට ඇමතුමක් ආවා.

"ලොකු අයියේ  මට සනීප නැහැ. ඔළුවට හරි නැහැ. මට හරි අමාරුයි .පුලුවන් නම් එන්න කියලා කිව්වාම .මම ඒ වෙලාවෙම අනුරාධපුරෙන් පිටත් වුණා. මම වෛරස් උණ හැදිලා දින හතරක් පමණ ආහාර නොගෙන ඉඳලා ඇඟට පණක් තිබුණෙත් නැහැ. ඒත් හිතේ ශක්තියට මම නංගි බලන්න ගියේ. මටත් ඇය බලන්නම ඕන වුණා. මම සැරෙන් සැරේ චූටි නංගිට දුරකථනයෙන් කත කරලා කිව්වා මම එන්න තව වෙලා යනවා අමාරු නම් බෙහෙත් ටිකක් ගන්න යන්න සුවසැරියටවත් මම කියන්නද කියලා. ඇය එපා කිව්වා. එළියට යන්න බෑම කියලා චූටි නංගි කිව්වා. මම ඇයි කියලා ඇහැව්වාම කිව්වා ඒ වෙලාවෙත් කිව්වා ලක්ෂ හැත්තෑවක් ණයට දුන් පුද්ගලයෙක් මුදල් ඉල්ලලා කරදර කරනවා  දිනෙත් ලක්ෂ විස්සක් අරන් එනවා කියලත් කිව්වා. ඒ පාර ආයම කිව්වා

පොඩි බයක් දැනෙනවා දිනෙත් මාව ෆලෝ කරනවා වගේ ,මුදල් දෙන පාටක් නැහැ වගේ කියලා.

මම ඇහුව්වා එහෙනම් මම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්නද කියලා. එපා එපා අයියා එන්නකෝ කියලා කිව්වා. පොලීසි ගියොත් මුදල් ගන්න බැරි වෙයි අයියේ කියලා කිව්වා. මගේ ඇමතුමේ ඉන්නවා එක්කම නංගිගේ අනිත් දුරකථනය නාද වුණා. නංගි කිව්වා " දිනෙත් කතා කරනවා, මම පස්සේ ගන්නම් කියලා නංගි දුරකථනය විසන්ධි කළා.”

ඉන්පසු ඇයගේ දුරකථනය ක්‍රියා විරහිත වූ අතර, දැඩි සැකයක් මතු වූ බැවින් ජුනි 17 වැනිදා පාන්දර 4:30 ට පමණ නුවරඑළියට ළඟා වූ ඔහු නුවරඑළිය මූලස්ථාන පොලිසිය වෙත ගොස් ස්ථානාධිපතිවරයා හමුවේ මේ වූ සංවාද සියල්ල පවසා පැමිණිල්ලක් කළේය. එසැණින් ක්‍රීයාත්මක වූ පොලිසිය පොලිස් නිලධාරීන් සහ සහෝදරයා සමඟ අදාළ නිවාස සංකීර්ණයේ ඇය කුලියට ගත් නිවසට ගියද එහි ඇය නොමැති බව තෙරතුරු අනාවරණය විය. 

දර්ශනී ඝාතන සැකකරුගේ සැබෑ පෙනුම

"සිකියුරිටිගෙන් විස්තර ඇහව්වාම එයා කිව්වා මම අද අලුතින් ආවේ එහෙම කෙනෙක් එපාර්ට්මන් එකේ ඉන්නවාද දන්නැ කිව්වා . පස්සේ අපි මැනේජර්ට කතා කළා. ඔහු ඇවිත්  ඒ වෙලාවේ දිනෙත්ට ඇමතුමක් ගතතාම අපි එපාර්මන්ට් එකේ ඉන්නේ කියලාත් කිවවා. ඊට පස්සේ මැනේජ්ර් කිව්වා " මිස්ගේ අයියා පොලිසිය එක්ක ඇවිත් ඉන්නවා කියලා ඒ මොහොතෙම දුරකථනය දිනෙත් විසන්දි කළා. එතැනින් පස්සේ ඔහුගේ දුරකථනය වැඩ කළේ නැහැ. පස්සේ පොලීසිය ජනේලයකින් ඇතුළු වී එපාර්ට්මන්ට් එකට ඇතුළු වෙලා පරීක්ෂා කළා. මුළු එපාර්ට්මන්ට් එකම හිස් කරලා තිබුණේ. නංගිගේ බඩු කිසිවක් එහි තිබුණේ නැහැ. “

කෙසේ වෙතත්, එහි ආරක්ෂක කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී බිහිසුණු සත්‍යය අනාවරණය විය. ජුනි 16 වැනිදා රාත්‍රී 9:50 ට පමණ දිනෙත් සුදු පැහැති වැගන් ආර් රථයෙන් පැමිණ ශ්‍යාමාගේ ගමන් බෑග් වාහනයට දමා තිබෙන අතර පසුව රාත්‍රී 10:28 ට පමණ ලිෆ්ට් එක අසල කැමරාවක සටහන්ව තිබුණේ දිනෙත් විසින් ශ්‍යාමාගේ සිරුර බඩ මැදින් අත දමා, කකුල් දෙක පොළොවෙන් අඟල් හයක් පමණ ඉහළට සිටින සේ ඔසවාගෙන යන දර්ශනයකි.

“සමහර තැන්වල  සීසීටීවී සමහර වැඩ කරන්නේ නැහැ කිව්වා.  සීසීටීවී එකේ පෙනුණ විදිහිට හිස කළු පැහැති ජැකට්ටුවකින් නංගිගේ ඔළුව වහලා තිබුණේ.  සිකියුරිටිට කියලා තියෙන්නේ  බිරිඳට සනීප නැහැ බෙහෙත් ගන්න යනවා කියලා. 

ඔය අතරේ ජුනි 17 වැනිදා උදේ 10:00 ට විතර සැකකරු මගේ ලොකු නංගීට කතා කරලා කියලා තියෙනවා  චූටි නංගි එයත් එක්ක ඉන්නවා අපි ඉන්නේ කටුනායක ගුවන් තොටුපළේ, අපි තව පැය එකහමාරකින් කැනඩා යන්න පිටත් වෙනවා කියලා. පොඩි වෙලාවකට හරි නංගිට කතා කරන්න මට දෙන්න කියලා ලොකු නංගි බැගෑපත් පත්වෙලා තියෙනවා. ඕගොල්ලෝ කැනඩාවට ගිහින් හොඳින් ඉන්න ඒත් මට නංගි එක කතා කරන්න පොඩි වෙලාවක් දෙන්න යනුවෙන් කියලා තියෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා දුරකථනය විසන්ධිකර තියෙනවා .

මේක දැන් හතරබීරි කතාවක්නේ,  මගේ ඇස් දෙකෙන් දැක්ක සීසීටීවී හරහා චූටි නංගිට ඒ මිනිහා අරන් යන සිදුවීමයි  . ලොකු නංගිගේ ඇමතුමයි එකක් නංගිට මොකක් හෝ කරදරයක් වෙලා කියලා හිතට දැනුණා. මම ඒ වෙලාවෙම මේ ගැන උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කළා. ඒ වෙලාවේ එතුමන්ලාත් කිව්වා මෙතන සැකයක් තියෙනවා කියලා   මුළු දිවයිනටම පොලිස් ස්ථානවලට  පණිවිඩ නිකුත් කෙරුවා.”

එදිනම පස්වරු 2:00 ත් 3:00 ත් අතර කාලයේදී තෙල්දෙණිය පොලිසියට නිර්නාමික ඇමතුමක් ලැබෙන්නේ තෙල්දෙණිය රජයේ රෝහලේ රථ ගාලේ නවතා තිබූ සී.බී.ආර් 2061 දරන වැගන් ආර් රථය තුළ කාන්තා  මළ සිරරක් තිබෙන බවටය. 

එම නිර්නාමික ඇමතුම ලබා දී තිබුණේද අපරාධකරු විසින් බව පසුව තහවුරු වුණා.

"නංගිගේ මරණය මම දකින්නේ තෙල්දෙණිය මෝචරියෙදි. එතනදි පොලිස් නිලධාරියෙන් මට චූටි නංගි වැගන්ආර් එක ඇතුළේ ඉඳපු පින්තූරයක් පෙන්නුවා. වාහනයේ ඉදිරිපස අසුන සීට් එක පාත් කරලා තමයි නංගි වාඩි කරලා තිබුණේ.  රතු පැහැති කලිසමක් සහ කළු ටී ෂර්ට් එකක්  තමයි නංගි ඇඳන් හිටියේ. සිරුරට සීට් බෙල්ට් දාලා තිබිලා තියෙනවා.  මම ඒ පින්තුරෙන් දැක්කා නංගිගේ නහයෙන් සහ කටින් ලේ වහනය වී තියෙනවා. බෙල්ලේ ප්‍රදේශයේ තුවාල සලකුණුත් දැක්කා. 

මෝචරියෙදි චූටි නංගිගේ සිරුර අඳුරගන්න ගිය වෙලාවේ  දැඩි පොරබැදීමක ලක්ෂණ දකින්න ලැබුණා. කොණ්ඩේ ගොඩාක් අවුල් වෙලා තිබුණේ. නංගිගේ එක් අතක් සහ කකුලක් බිඳිලා හෝ තැළීමට ලක් වෙලා තියෙන සලකුණු තිබුණා.  ඒ වගේම නංගිගේ කකුලේ වළලුකරට උඩින් ලේන්සුවකින් තදින් ගැටගහලා තිබුණා එතන තිබුණේ කැනියුලාවක්. "මම දරුවෙක් වගේ හදාගත්තු නංගිව එහෙම දකින්න ශක්තියක් නැතත් මට ඒක විඳගන්න වුණා."

අවසානයේදී ශ්‍යාමා දර්ශනීගේ දේහය වැලිගම පිහිටි ඇයගේ මහගෙදර වෙත රැගෙන ආ අතර, පසුව නීතිමය කටයුතු සඳහා නැවත ගොඩගත හැකි වන පරිදි ආරක්ෂිත අයුරින් නිවස අසලම භූමිදානය කිරීමට පියවර ගැනුණි. ඇය සහ මව ජිවත් වූ මහගෙදර මුදලේ ඇය භූමිදානය කෙරුණි.

ඇය තවදුරටත් මේ ලෝකයේ නැත. නමුත් ඇය සුවපත් කළ මිනිසුන්ගේ හදවත්වල සහ මේ පවුලේ සාමාජිකයන්ගේ මතකයන් තුළ ඇය සදාකාලිකය. නීතිය විසින් වැරදිකරුවන්ට උපරිම දඬුවම් පමුණුවනු යුතුය. නමුත් මේ මහගෙදර අම්මාගේ පපුවේ ඇවිළෙන ගින්න නිවන්නට හෝ සහෝදරයන්ගේ හිස්වුණු හදවත් පුරවන්නට ලෝකයේ කිසිදු දඬුවමකට නොහැකි වනු ඇත.

නදීෂා අතුකෝරළ
ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි