- පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමි

විජය පුවත්පත් සමාගම විසින් අඛණ්ඩව 23 වැනි වරට සංවිධානය කරනු ලබන තන්තිරිමලේ රජමහා විහාරස්ථාන ආලෝක පූජාව ජුනි 27,28,29  තෙදිනෙහි පැවැත්වීමට නියමිතය. 

සිංහලේ මහා වංශකතාව විජය කුමරුගේ ආගමනයත් සමග ඇරඹුණ බවට මහාවංශයේ සදහන් වුවත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දීද තන්තිරිමලේ ජනාවාසයක්ව පැවති බවට ඓතිහාසික සාක්ෂි මගින් තහවුරු වන බව ඉතිහාසඥයෝ පවසති. විශේෂයෙන් එම විහාර භූමියේ ඇති ඉපැරණි ලෙන් සිතුවම් මගින් මෙම කරුණු පැහැදිලි වන ඓතිහාසික වටිනාකමින් යුත් සමාධි පිළිම වහන්සේ, අෂ්ට ඵල බෝධි වෘක්‍ෂය, සැතපෙන පිළිම වහන්සේ,චෛත්‍ය රාජයාණන් වහන්සේ මෙම විහාර භූමියේ අදටත් විරාජමානව වැඩ වාසය කරති.

මෙවන් ඓතිහාසික ආගමික වටිනාම් රැසකින් යුත් තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ආලෝක පූජාව සිදුකෙරෙන ආකාරය හා ඒ හා බැඳුණු සමාජ වටපිටාව පිළිබඳව විමසා බලන්නට අපි තන්තිරිමලේ රජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන් සම්බන්ධ කර ගතිමු.

23 වැනි ආලෝක පූජාව 

“පොසොන් පොහොය යෙදෙන 29දා පොසොන් පෝදා උදෑසන 6.00 සිට ශීල ව්‍යාපාර, ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා, භක්ති ගීත, දන්සල් ආදිය සමග විදුලි ආලෝක පූජාව පැවැත්වෙන්නේ ජනාධිපතිතුමන් හා විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙනුයි. 27 වැනිදා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්තුමා විසිනුත් 28 දා අනුරාධපුර මහදිසාපතිතුමා විසිනුත් විදුලි ආලෝක පූජාව විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

රට පුරා බෝම්බ පිපිරෙමින් යුද්ධය උපරිමයෙන් පැවති 2003 වසරේ විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමන් වන රංජිත් විජයවර්ධන මැතිදුන් ඒ අවස්ථාවේ කිසිවෙක් නොගන්නා අවදානම් සහගත තීන්දුවක් ගනිමින් තමයිි තන්තිරිමලේ පූජා භූමියේ ආලෝක පූජාව’ අරඹන්න තීන්දු කළේ.  

ඉදිකරමින් තිබෙන පහළ මල්වතුඔය ජලාශය

විජය පුවත්පත් සභාපතිතුමන් එදා ඒ තීන්දුව නොගත්තා නම් තන්තිරිමලේ පුදබිම ජනතාවගෙන් ඈත්වෙලා යන්න ඉඩ තිබුණා. මේ රටේ ජනතාව පමණක් නොව ලොව පුරා බෞද්ධ, අබෞද්ධ ජනතාව සක්සුදක් සේ දැනගත්තෙ සහ දේශිය විදේශීය දානපතියන්ගේ අවධානය මේ පුණ්‍ය භූමිය වෙත යොමුවුණේ විජය පුවත්පත් සමාගමේ ආලෝක පූජාව නිසයි. මේ හරහා විහාරස්ථානයට වගේම අපේ ගම්මානයේ අසරණ ජනතාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් සිදුකරන්න මට හැකියාව ලැබුණා. 

ගමේ යටිතල පහසුකම් දියුණු කරමින් පාසල් පද්ධතිය, රෝහල්, පානීය ජලය, විදුලිය, නිවාස ආදි පහසුකම් ලබාදෙන අතරේම වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමටත් ජීවනෝපාය ඇතිකිරීමටත් අවස්ථාව සැලසුණා. කොහෝ හෝ තැනකට ගියහම “හාමුදුරුවෝ කොහේද කියලා ඇහැව්වම,   “මම තන්තිරිමලේ හාමුදුරුවෝ” කියලා කිව්වම, “ආ තන්තිරිමලේ හාමුදුරුවොද” කියන තැනට හැදුවෙ විජය පුවත්පත් සමාගමයි, විජය පුවත්පත් සමාගම සම්බන්ධව මා තුළ පවතින ආශිර්වාදය සදාකල් පවතිනවා.

පූජා භූමිය ආරම්භය හා විකාශය

රජ දවස සිට පැවත එන විල්පත්තු කැලෑ මැද කැලෑවට වැසී තිබූ ඓතිහාසික තන්තිරිමලේ පූද බිම සොයාගනු ලැබුවේ මාගේ ගුරු ස්වාමීන් වහන්සේ වූ කුඩාකෝන්ගස්වැව විමලන නාහිමියන් විසින් 1960 වසරේදීයි. උන් වහන්සේ මෙහි ඓතිහාසික බෝධියේ වටිනාකම තේරුම්ගෙන එකල සිටි හේමසිරි සෝමරත්න සහ නිශ්ශංක විජේරත්න දිසාපතිවරුන්ගේ සහායෙන් මේ පුදබිම ආරම්භ කළා. අනතුරුව මැදවච්චිය පැත්තෙන් පාරවල් කපාගෙන ගම්මානයේ හේන් කොටා ජනතාව පදිංචි කරවාගෙන පන්සලත් දියුණු කරන අතරේ ගම්මානයත් දියුණු කරගෙන ආවා. 1975 පමණ වන විට වාහනයකින් යා හැකි මට්ටමට මාර්ගය සකසා තිබුණා. මම මහණ වුණෙත් 1975දීයි. එවිට තන්තිරිමලේ ගම්මානයේ පවුල් සිටියේ 60ක් පමණයි. නමුත් මේ වනවිට පවුල් හාරදහස් ගණනක් ජීවත්වනවා.    

ලොකු හාමුදුරුවෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය සමග එක්ව කුඩා වැව් 64ක් ඉදිකෙරෙව්වා. මේ හරහා ගමේ සිටි සියලු දෙනාට ගොවිබිමක් ලැබුණා. හැම මාසෙම 10 වැනිදා පන්සලට ගමේ පිරිස් රැස්කරවා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට උන්වහන්සේ කටයුතු කළා. ඔය අතරෙ මමත් ග්‍රාමෝදය මණ්ඩලයේ වැඩකටයුතුවලට වගේම පන්සලේ හා ගමේ සංවර්ධන කටයුතුවලට දායක වුණා. අනතුරුව මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා විහාරස්ථානයට පැමිණිලා විහාරස්ථානයේ සහ ගමේ දියුණුව වෙනුවෙන් සේවය කරන්න පටන් ගත්තා. මේ වනවිට විහාරයේ වගේම ගමේත් පිබිදීමක් ඇතිවෙමින් තිබුණා. එවන් පසුබිමක තමයි 1981 යුද්ධය පටන් ගත්තෙ.  1983 වනවිට යුද්ධය උත්සන්න වුණා. එවිට නායක හාමුදුරුවො ගමේ මිනිස්සු 25කට යුද පුහුණුව ලබා දී සිවිල් ආරක්ෂකයන් ලෙස ගමේ ආරක්ෂාව සඳහා යෙදෙව්වා. නායක හාමුදුරුවො ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සමග උතුරු නැගෙනහිර බේරා ගන්න විශාල සේවයක් කළා. මෙවැනි උදාරතර සේවාවන් රැසක් ශාසනයටත්, රටටත්, ගමටත් සිදුකළ නායක හාමුදුරුවන්ට එල්ටීටීඊය 1992දී බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා අපවත් කළා. 

මට ඒ වන විට අවුරුදු 30යි. ඉන් පස්සේ මට විහාරස්ථානය වගේම ගම ගොඩනැංවීමේ වගකීම පැවරුණා. ඒ විතරක් නෙවෙයි අපේ නායක හාමුදුරුවන්ට පැවරී තිබුණ උතුරු නැගෙනහිර වැලිඔය, පදවි පරාක්‍රමපුර, ත්‍රිකුණාමලය, කැබිතිගොල්ලෑව දක්වා ගම්මාන බලාගෙන නගාසිටුවීමේ වගකීමත් මට පැවරුණා. මට මෙම කටයුතු සිදුකිරීමට කොබ්බෑකඩුව මහතා, දිසාපතිවරු, කළුතර ‍බෝධිය ඇතුළු බොහෝ පිරිසකගේ මෙන්ම දේශීය විදේශීය සංවිධාන රැසක සහාය මට මේ කටයුත්ත සඳහා ලැබුණා. අදටත් ඒ කටයුතු සිදුකරගෙන යනවා. එවන් පසුබිමක මම විහාරාධිපති ලෙස සේවය කරමින් සිටියදි තමයි තමයි 2003දී විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමා මට මුණ ගැසුණේ. 

තන්තිරිමලේ විහාරස්ථානය සහ ගම්මානය ගැන ලෝකයටම ගෙනගියේ විජය පුවත්පත් සමාගමයි. මේ වනවිට ජාතික පොසොන් උත්සවයට අදාළව ව්‍යවස්ථාපිත ගැසට්ටුවට ගිය පූජාභූමියක් බවට තන්තිරිමලේ පත්ව තිබෙනවා. ඒ  අනුව අටමස්ථානය, මිහින්තලේ හා තන්තිරිමලේ තමයි ජාතික පොසොන් පොසොන් උත්සවයට අදාළ වන්නෙ. තන්තිරිමලේ පුණ්‍ය භූමිය මේ වනවිට පූජා භූමියක් බවටත් ගැසට් කර තිබෙනවා. ඒ වගේම දැයට කිරුළ හරහා ලොකු සේවයක් අපේ ගමට ඉටුකර දෙන්න මට හැකිවුණා. 

මේ වනවිට මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව සඳහා පහළ මල්වතු හරස්කර ලංකාවේ සිවුවන විශාල ජල ව්‍යාපෘතිය වන පහළ මල්වතුඔය බහුකාර්ය ජලාශ යෝජනා ක්‍රමය ආරම්භ කර ක්‍රියාත්මක කරමින් සිටිනවා. අධ්‍යාපනය අතින් තවමත් යම් පහළ මට්ටමක පැවතුණත් මේ වනවිට අධ්‍යාපනය නැංවීමේ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ හරහා අධ්‍යාපනය ලැබීමට ආර්ථිකමය අපහසුතා ඇති දරුවන්ට සවියක් වෙනවා. වෛද්‍යවරු කිහිප දෙනෙක්, ඉංජිනේරුවන් කිහිපදෙනෙක්, උපාධිධාරීන් කිහිප දෙනෙක් බිහිකරන්න සමත්වෙලා තිබෙනවා. හරි හෙමින් දිගුකාලීනව තමයි එහි ප්‍රතිඵල ලැබෙන්නෙ.

තාමත් අපේ ප්‍රදේශය ගැන කතාකරන විට අඩුආදායම්ලාභී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස තමයි හදුන්වන්නෙ. අපේ ගම ගැන එහෙම කතා ඇහෙනකොට හිතට හරි අමාරු නිසා ඒ තත්ත්වයෙන් අපේ ප්‍රදේශය මුදාගැනීම තමයි මගේ දැන් ඉලක්කය වෙලා තිබෙන්නෙ. ඉදිරි වසර කිහිපය ඇතුළත අපිත් දිවයිනේ අනෙක් ප්‍රා.ලේ. කොට්ඨාස වගේම ආර්ථික අතින්, අධ්‍යාපනය අතින්, යටිතල පහසුකම් අතින් සම තත්ත්වයක ගන්න උත්සාහ කරනවා. ඒක හරි වෙසෙකර කටයුත්තක්.  

ඔබත් දායකවන්න

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැංවීම සඳහා මේ වනවිට කැපකරු මාපිය ක්‍රමයක් මේ වනවිට හදුන්වාදී තිබෙනවා. මේ සඳහා පුද්ගලයන් හා ආයතන විදිහට සම්බන්ධවිය හැකි නම් හරි වටිනවා. අපේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ඉතා පරිස්සමින් තමයි අපි කැපකරු මාපිය ක්‍රමය වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙ. 

ඒ එක්කම ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික ජීවන රටාව සංවර්ධනය කිරීම උදෙසා නළ ළිං ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා. මේ සඳහා දෙස් විදෙස් ඔබටත් දායක විය හැකියි. විශේෂයෙන් එළවළු, කොමඩු, මිරිස්, කවුපි ආදි වගාවන් සිදුකරන ප්‍රදේශයේ ජනතාවට එය බෙහෙවින් වැදගත් වෙනවා. 

ඉදිකිරීමට යෝජිත බහුකාර්ය ගොඩනැගිල්ල

ප්‍රදේශයේ ජනතාවගේ නිවාස ගැටලු විසඳීම සඳහාත් දායක වියහැකි නම් එය ඔවුන්ට ලොකු උපකාරයක් වෙනවා. 

ගමේ ප්‍රජා කටයුතු සඳහා මෙන්ම විහාරස්ථානයේ සීල ව්‍යාපාර, ධර්ම දේශනා පිංකම් සඳහා සහභාගිවන පින්වතුන් වෙනුවෙන් සහ ගොවීන්ගේ සමිති පැවැත්වීම සඳහා  භාවිත කරන්නේ විහාරස්ථානයේ කුඩා බණ ශාලාවයි. ඒ වගේම දුරබැහැරින් එන පින්වතුන් නැවතෙන්නෙත් මේ බණ ශාලාවේයි. නමුත් මේ ශාලාව වෙනුවට ජනතාවට මෙන්ම විහාරස්ථානයේ පිංකම් කටයුතු සිදුකිරීමට බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. බණ ශාලාවල දහම් පාසල, නේවාසික පුහුණු ආදි ආගමික සහ සමාජීය අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි ගොඩනැගිල්ලක් තමයි මේ ඉදිකරන්න උත්සාහ කරන්නෙ. මෙහි අවශ්‍යතාව තේරුම් ගෙන දායක විය හැකි අයෙක් සිටී නම් මේ සඳහා දායක වන ලෙස ඉල්ලා සිටිනවා. 

විශේෂයෙන් තන්තිරිමලේ විහාරස්ථානය මගින් සිදුකරන ආගමික, සමාජීය, මානුෂීය මෙහෙවර  අපි නොනවත්වා ඉදිරියට රැගෙන යනවා. මේ සඳහා අපට ශක්තියක් වන්නටත් ආලෝක පූජාව පැවැත්වෙන දිනයන්හි විහාරස්ථානයට පැමිණ එහි නිරාමිස සුවය විඳගන්නා ලෙසටත් සියලු පින්වතුන්ට ආරාධනා කර සිටිනවා.

මේ පිළිබඳ වැඩි විස්තර 0773833599 මගින් ලබාගත හැකියි.

නිරෝෂාන් ප්‍රේමරත්න