
ලංකාවේ සමාජයේ අතීතය ගැන සඳහන් කිරීමේදී නිතරම පාහේ ඇසෙනා කතාවක් තිබේ. “ඉස්සර ලංකාවේ පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව වෙනකං ගෑනියෙකුට රත්තරං ඇඳගෙන තනියම යන්න පුළුවන් කරදරයක් නොවී” නමුත් වර්තමානය සමාජය තුළ මේ කියමන කෙතරම් අදාල දැයි සත්‍යවශයෙන්ම ප්‍රශ්න කළ යුතුය. කාන්තාවකට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට නොව බස් රථයක එතැනින් මෙතැනට ගමන් කිරීමටත් නොහැකිය. දෛනිකව ඒ තරමට ශ්‍රී ලංකා සමාජය තුළ කාන්තා හිංසන සිදුවෙයි. නමුත් ලෝකය තුළ කාන්තා හිංසනවල තවත් පැතිකඩක් වන කාන්තා ඝාතන ශ්‍රී ලංකාවේ වැඩිපුර අවධානයට ලක් නොවන ගැටලුවකි. පසුගිය වසර කිහිපය තුළ සිදුවූ කාන්තා ඝාතනත් ඉදිරියට සිදු විය හැකි මෙවැනි අපරාධ වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ නීතිමට පද්ධතිය සූදානම් ද? මේ පිළිබඳ ඉරිදා ලංකාදීපය iProbono හි සමානාත්මතා අධ්‍යක්ෂක නීතීඥ අරිත වික්‍රමසිංහ සමඟ සිදු කළ සංවාදයක් මේ.
මොකක්ද මේ Femicide එහෙම නැත්තං ස්ත්‍රී ඝාතන කියන්නේ? සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනයක් සහ ස්ත්‍රී ඝාතනයක් අතර තියෙන වෙනස මොකක් ද?
Femicide කියන්නේ කාන්තාවක් හෝ දැරියක්, ඇය ස්ත්‍රියක් වීම කියන හේතුව පමණක් සිදුවෙන ඝාතනවලට. මේ සඳහා ස්ත්‍රීපුරුෂ භාවය මත නිර්මාණය වුණු බලය, පාලනය, ලිංගික හිංසනය හෝ සමීපතම සහකරුවන් විසින් සිදුකරන හිංසන හේතු වෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනවලදි සොයා බැලෙන්නේ “මේ පුද්ගලයා නීති විරෝධී අයුරින් ඝාතනය වූවාද කියන එක. ස්ත්‍රී ඝාතන එහෙම නැත්තං Femicide වලදි මෙයට අමතරව සොයාබලන තවත් දෙයක් තියනවා. මේ මරණය සඳහා අදාළ වින්දිතයා ස්ත්‍රියක් වීම කියන එක කුමන ආකාරයකින් හෝ බලපෑව ද කියන එක. එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා අංශය විසින් femicides සලකන්නේ ස්ත්‍රී-පුරුෂත්වය හා සම්බන්ධව සිදුවන. කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ ඝාතන විදිහට.
ශ්‍රී ලංකාවේ සිදුවන femicides ගැන සඳහන් කළොත්?
ශ්‍රී ලංකාවේ සිදුවන femicides ගැන ගණනය කිරීමක් කිරීම අපහසුයි. මොකද ශ්‍රී ලංකාවේ පද්ධතිය විසින් ශ්‍රී ලංකාවේ සිදුවන femicides නිල වශයෙන් femicides වශයෙන් හඳුන්වන්නේ නැහැ. මේක දැනට තියෙන ගැටලුවේ කොටසක්. UNFPA සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදු කරපු වාර්තාවල සඳහන් වෙනවා ශ්‍රී ලංකාවේ තුළ ඝාතනය වුණ කාන්තාවන් සංකාවෙන් බාගයක් පමණම ඝාතනය වෙලා තියෙන්නේ තමන්ගේ සහකරුවන් (intimate partners) අතින්. චූදිතයන්ගෙන් 84%කම ඝාතනය වුන කාන්තාව හඳුනනවා. ඒ අතරින් සැමියන්, නෑදෑයන්, පැරණි පෙම්වතුන්, අසල්වැසියන් ප්‍රධානයි.
මේකෙන් පැහැදිලි වෙන්නේ අවදානම තියෙන්නේ පිට ඉන්න අමුත්තෙක් ළඟ නෙමෙයි. ගොඩක් වෙලාවට අවදානම තියෙන්නේ තමන් ඉන්න පවුල ඇතුලේ සහ තමන්ගේ සම්බන්ධතා ඇතුළේ. මේ නිසා ඇත්තටම ඇතිවෙලා තියෙන්නේ ගැටලුකාරී තත්ත්වයක්. කාන්තාවකට පිට තැනක ඉන්නකොටත් තර්ජනයක් තියෙනවා, ඒ වගේම තමන්ගේම නිවෙස්වලත් ඔවුන්ට තර්ජනයක් තියනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් තමන්ගේ නිවෙස් තුළ, තමන්ගේ සැමියා හෝ සහකරුවා අතින් ඝාතනය වීමේ සම්භාවිතාව වැඩියි.
ශ්‍රී ලංකාවේ වර්තමාන දණ්ඩ නීති සංග්‍රහය මේ වගේ femicide සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොම ද?
ශ්‍රී ලංකාවේ වර්තමාන දණ්ඩ නීති සංග්‍රහය තුළ මේ අකාරයේ ඝාතන සලකන්නේ සාමාන්‍ය ඝාතන වශයෙන්. මේ අපරාධය සඳහා ස්ත්‍රී පුරුෂ භාවය සලකන්නේ නැහැ. ඝාතනයන් සහ මිනීමැරුම් කියන දෙකම විමර්ශනය වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ සාමාන්‍ය විධි විධාන හරහා. මේකෙන් පැහැදිලි වෙන්නේ මරණයක් සඳහා දඬුවම් ලබාදීමක් සිදු කරන්න පුළුවන් නමුත් මරණයට ස්ත්‍රීත්වය හෝ වින්දිතයාට පෙර සිදුවුණු හිංසන, බලපෑම් සහ පාලනය, පීඩන, ලිංගික හිංසනය, තර්ජන, වගේ දේවල් සලකා බැලෙන්නේ නැහැ.
මේ ආකාරයෙන් femicide සඳහා වෙනම නීති නොපැවතීම මත සිදුවන්නේ කුමක් ද?
මේ සඳහා වෙනම නීති නොපැවතීම මත සිදුවන්නේ නීති පද්ධතිය මඟින් මේ අකාරයේ ඝාතන, ඝාතනයක් ලෙස පමණක් සැලකීම. නමුත් එය හිංසන මාලාවක අවසාන ප්‍රතිඵලය වෙන්න පුළුවන්. ස්ත්‍රී ඝාතන සඳහා නීතිමය රාමුවක් නැති වුණාම අපිට දත්ත අහිමි වෙනවා, හිංසන වළක්වා ගන්න පුළුවන් පෙරනිමිති අහිමි වෙනවා, ඒ වගේම පොලිස් වාර්තා, ගෘහස්ථ හිංසන ඉතිහාසය, වෛද්‍ය වාර්තා සහ අධිකරණ වාර්තා අතර පවතින අන්තර් සම්බන්ධතා හඳුනාගැනීමට නොහැකි වෙනවා.
මේ වගේ අවස්ථාවලදි ගෘහස්ථ හිංසන වළක්වා ගැනීමෙ පනත කටයුතු කරන්නේ කොහොම ද?
ගෘහස්ථ හිංසන වළක්වා ගැනීමේ පනත වැදගත්, නමුත් එය සීමාසහිතයි. ඒ මඟින් පීඩිතයාට ආරක්ෂක නියෝග ලබාගැනීමට ඉඩසලසනවා. අධිකරණය විසින් තවදුරටත් හිංසන සිදුවීම වැළැක්වීම සහ පීඩිතයාගේ ආරක්ෂාව පිළිබඳ සලකා බැලෙනවා. නමුත් මේ පනත බොහෝ දුරට ආරක්ෂාකාරී හා සිවිල් ස්වභාවයෙන් යුක්ත පනතක්. ආරක්ෂක අංශ ඉක්මනින් ක්‍රියා නොකරනවා නම්, පීඩිතයාට අධිකරණය සමඟ සම්බන්ධ වෙන්න බැරි නම්, පවුල් විසින් හෝ ආරක්ෂක අංශ විසින් අදාළ පීඩිතයාට නිහඬව සිටීමට බල කරනවා නම්, ආරක්ෂක නියෝග ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරේ නැතිනම්, පනත පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නීතියක් විසින් දොරක් විවර කරන්න පුළවන්. නමුත් පද්ධතිය විසින් අදාළ පීඩිත කාන්තාවට ඒ දොර තුළින් ගමන් කරන්න තරම් ආරක්ෂාකාරී වාතාරණයක් සැලසිය යුතුයි, නමුත් වර්තමානය වන විට ඒ දොර නිතරම වැසී යනවා. එහෙම නැතිනම් අදාල පීඩිත කාන්තාවට ඒ දොර තුළින් ගමන් කරන්න තරම් වාතාවරණයක් නැහැ.
UNFPA අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් පස් දෙනකුගෙ එක් අයෙක් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම තමන්ගේ සහකරුවාගෙන් ශාරීරික හා ලිංගික හිංසනයට ලක්වෙනවා. නමුත් ලංකාවේ සමාජය මේ වගේ දේවල් බොහෝ අවස්ථාවල සුළු කොට තකනවා. ඒ ඇයි?
මේ දත්ත ඇත්ත වශයෙන්ම පුදුම සහගතයි. UNFPA විසින්ම සිදුකරපු කාන්තා යහපැවැත්ම සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් 20.4% ක් තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ගේ සහකරුවන් විසින් ශාරීරික හා ලිංගික හිංසනයට ලක් වී ඇති බව සොයාගෙන තියනවා.
ලංකාවේ සමාජය විසින් මේ හිංසන තවදුරටත් සලකන්නේ පවුලේ ප්‍රශ්නයක්’ වශයෙන්.කාන්තාවන්ට ගොඩක් වෙලාවට කියනවා අදාළ විදිහට හැඩගැහෙන්න, එහෙම නැත්ත සමාව දෙන්න. තමන්ගේ කසාදය ආරක්ෂා කරගන්න, තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරන්න, තමන්ගේ පවුලේ නම්බුව ආරක්ෂා කරන්න කියලා. වැඩිපුරම ආරක්ෂාව අවශ්‍ය කෙනාට තමන්ගේ ජීවිතය ඇරුණාම අනිත් සියලුම දේවල් ආරක්ෂා කරන්න කියල කියනවා. මේකෙන් යම් අකාරයකට පැහැදිලි වෙන්නේ අපේ නීති පද්ධතියේ මූලිකාංග සහ අපේ සමාජය විසින් කාන්තාවකගේ අගය දකින ආකාරය. කාන්තාවන් කියන්නේ පරිහාකරයි. ඔවුන්ගේ ජීවිතය කැප විය යුත්තේ අනිත් සියලුම දේවල් ආරක්ෂා කරන්න. මේ අපරාධවල වින්දිතයන් පවා නීති පද්ධතිය විසින් සිදුවන හිරිහැරවලට මුහුණ දෙනවා. කාන්තාවකගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, ඉවසීම හා පක්ෂපාතීත්වය ගැන හැම වෙලාවෙම ඇයගෙන් ප්‍රශ්න කරනවා. මේ වගේ සංස්කෘතියක් තුළ බොහෝ වින්දිතයන් නිහඬ වෙනවා. ඒ නිහඬතාවය නිසා ඇති වෙන්නේ චූදිතයන්ගෙ දඬුවම් නොලැබීම.
මේ වගේ අපරාධ ගැන ආරක්ෂක අංශ, විමර්ශනකරුවන් සහ අධිකරණය හරහා සිදුවන විමර්ශනවලදී ඇතිවන ගැටලු මොනව ද?
කාන්තා හිංසන සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදි ස්ත්‍රී-පුරුෂභාවය සලකළ බලන කෝණයක් භාවිත කරේ නැතිනම්, අදාළ විමර්ෂණ අසාර්ථක වෙන්න පුළුවන්. සැකකටයුතු කාන්තා මරණවලදි, විමර්ශකයන් විසින් පෙරදි කළ පැමිණිලි, දුරකථන වාර්තා, තර්ජන, තුවාල, ආර්ථිකමය පාලනය කිරීම්, පසුපස හඹා ඒම්, ලිංගික හිංසන සහ පවුල් පසුබිම තුළින් පැමිණි පීඩනයක් පිළිබඳ සලකා බැලිය යුතුයි. Femicide සම්බන්ධ ලතින් ඇමරිකානු ප්‍රොටොකෝලය විසින් විමර්ශන සිදුවෙන විට අදාළ ඝාතන සඳහා ස්ත්‍රී පුරුෂ භාවය හා බැඳුණු චේතනාවක් තිබේ දැයි සලකා බැලුම අනිවාර්යයි. ආරක්ෂක අංශ විසින් වැඩිදුර සලකා බැලීමකින් තොරව අදාළ මරණයන්, සියදිවි නසාගැනීමක් හෝ අනතුරක් හෝ ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් සිද්ධ වුන දෙයක් විදිහට සැලකුවොත්, වැදගත් සාක්ෂි අහිමි වී යන්න පුළුවන්.
අදාළ වින්දිතයන්ට නීතිය හමුවට රැගෙන ඒමේදී සමාජය විසින් බලපෑමක් පවතිනව ද? ඒ බලපෑම හරහා නීතිය ක්‍රියාත්මක කිරීම හා දඬුවම් ලබා දීම් පහසු වෙනවා ද අපහසු වෙනවා ද?
නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සමාජය තුළින් බලපෑමක් ඇති වෙනවා. මේ හිංසනවල සාක්ෂිකරුවන් බොහෝ අවස්ථාවල පැමිණිලි කිරීමක් සිදුකරන්නේ නැහැ. බොහෝ අවස්ථාවල පොලිසිය විසින් හෝ පවුල විසින් ම ගැටලුව සමථයකට පත් කිරීමට බල කරනවා. මේ නිසා අධිකරණයට ලැබෙන සාක්ෂි දුර්වලයි. නීතිය ක්‍රියාත්මක වීම නීතිමය ප්‍රතිඵලයක්. නමුත් වින්දිතයන්ට දඬුවම් නොලැබීම කියන දේ ආරම්භ වෙන්නේ සමාජය හෝ නීති පද්ධතිය තුළින්.
කාන්තා ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය පසුබිම අනෙක් රටවල නීතිමය පසුබිමෙන් වෙනස් වෙන්නේ කොහොම ද?
ආජන්ටිනාව සහ මෙක්සිකෝව වගේ රටවල් මේ කාන්තා ඝාතන ඍජුවම හඳුනා ගන්නවා. මෙක්සිකෝව femicides නිර්වචනය කරන්නේ ස්ත්‍රී-පුරුෂත්වය මත පදනම් වූ හේතු නිසා සිදුවන කාන්තා මරණ වශයෙන්. මෙය හඳුනා ගැනීමට භාවිත වෙන්නේ ලිංගික හිංසන, විශ්වාස කටයුතු සම්බන්ධතා, පෙර සිදුකළ හිංසනයන් සහ මළ සිරුර පොදු ස්ථානවල බැහැර කිරීම වැඩි දේවල්. ආජන්ටිනාව විසින් femicides හඳුන්වන්නේ ස්ත්‍රී-පුරුෂයත්වය හා සම්බන්ධ වූ උග්‍ර අකාරයේ ඝාතනයක් වශයෙන්. ශ්‍රී ලංකාව වෙනස්. අපි දඬුවම් ලබා දෙන්නේ මිනීමැරුමකට. නමුත් ඒ මිනීමැරුමට හේතු වෙලා තියෙන්නෙ පුළුවන් ස්ත්‍රී-පුරුෂත්වය හා සම්බන්ධ ස්වභාවය පිළිබඳ අපි සලකා බලන්නේ නැහැ.
වර්තමානයේ ලෝකය තුළ නීතිය වෙනස්වීමේදී නීති තුළ “සැමියා” හෝ “බිරිඳ” වෙනුවට “සහකරු” (partner) යන වචනය භාවිත කරනවා. මෙය වැදගත් වන්නේ ඇයි?
මේ පරිවර්තනය නීතිමය වශයෙන් බොහෝ සෙයින් වැදගත්. හිංසනයන් සිදුවන්නේ නීතිමය වශයෙන් විවාහ වු යුවලක් අතර පමණක්ම නෙමෙයි. අවිවාහක යුවලක්, පැරණි පෙම්වතුන්/පෙම්වතියන්, එකිනෙකා මත යැපෙන යුවලක් අතරත් හිංසන සිදුවිය හැකියි. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ හිංසන වැළැක්වීමේ පනත අදාළ වෙන්නේ විවාහක යුවල් සඳහා පමණක්ම නෙමෙයි. එය ඇත්ත වශයෙන්ම ඉතාම නූතන පනතක්. ඒ පනත මඟින් අවිවාහක සමලිංගික යුවල සඳහා ආරක්ෂාව වගේම දෙමව්පියන් විසින් දරුවන්ට සිදුවන හිංසන වළක්වා ගැනීමත් සිදුවෙනවා.
කාන්තා ඝාතන සහ හිංසන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් මොනවා ද?
ශ්‍රී ලංකාව තුළ කාන්තා ඝාතන සඳහා වෙනම අපරාධ නීතියක් හෝ ස්ත්‍රී-පුරුෂභාවය මත සිදුවන මිනීමැරුම් සඳහා උග්‍ර සාධකයක් ව්‍යවස්ථාමය වශයෙන් එකතු කළ යුතුයි. ඒ වගේම ගෘහස්ථ හිංසනය, පසුපස හඹා ඒම් (Stalking), තර්ජන, ලිංගික හිංසන සහ පෙර පැමිණිලි සම්බන්ධ කරගනිමින් කාන්තා ඝාතන අවධානම වළක්වා ගැනීම අනිවා©නේම සිදු කළ යුතුයි. ඒ වගේම හිංසන සම්බන්ධයෙන් ඉතිහාසයක් සහිත වැරදිකරුවන් සඳහා වඩා හොඳ දඬුවම් ලබා දිය යුතුයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් පවතින නීතිමය හිදැස් පුරවාගැනීමට දත්ත විශ්ලේෂණ, ආරක්ෂක නියෝග සහ සහය පද්ධති හේතු වෙන්නේ කොහොම ද?
ආරක්ෂක නියෝග ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු සේම ප්‍රායෝගික විය යුතුයි. අධිකරණය විසින් හදිසි ආරක්ෂක නියෝග නිකුත් කිරීමේ හැකියාව පැවතිය යුතුයි. ඒලෙසම ආරක්ෂක අංශ විය ඒ නියෝග ක්‍රියාත්මක කළ යුතුයි. මේ ක්‍රියාවලියට අනුගත නොවන්නන් සඳහා අදාළ ප්‍රතිවිපාක ලැබිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවට ස්ත්‍රී-පුරුෂභාවය මත සිදුවන අපරාධ පිළිබ්ඳ ජාතික දත්ත පද්ධතියක් පැවතිය යුතුයි. එය තුළ වින්දිතයා සහ චූදිතයා අතර පවතින සම්බන්ධය, පෙර පැමිණිලි, මරණයට හේතුව, අදාළ නඩුවේ ප්‍රතිඵල සහ නඩු පැවරීමේ ප්‍රමාද වීම් අන්තර්ගත විය යුතුයි.
පෙර සඳහන් කරපු UNFPA සහ කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්තාව තුළ හිංසන වළක්වාගැනීම, නීතිමට දැනුම, චිත්තවේගීය සහය (emotional support) සහ ආර්ථික ශක්තිය ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ සඳහන් වී තිබෙනවා. මොකද බොහෝ අවස්ථාවල පීඩිත ස්ත්‍රියට මුදල්, නිවසක් සහ සමාජීය සහය නොමැතිව හිංසාකාරී වාතාවරණයන් ගෙන් ගැලවීමට හැකියාවක් නැහැ.
සමාජය, නීතිඥයන් සහ නීති සකසන්නන් මේ අකාරයේ ඝාතන වලක්වාගැනීමට ගත යුතු පියවර මොනවා ද?
මේ වැනි ස්ත්‍රී-පුරුෂත්වය මත පදනම් වූ ඝාතන සාමාන්‍ය අපරාධ හෝ ඝාතන ලෙස සැලකීම නැවැත්විය යුතුයි. මේ වැනි අපරාධවල පවතින පද්ධතිමය ස්වභාවය හඳුනා ගත යුතුයි. නීතීඥයන් විසින් අධිකරණය තුළ මේ අපරාධවලට තුඩු දෙන හිංසන සහ බලහත්කාරකම් පිළිබඳ පෙන්වා දිය යුතුයි. ආරක්ෂක අංශ මෙවැනි සැකසහිත කාන්තා ඝාතන අපරාධ විමර්ශනය කිරීමේදී ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ කෝණයක් භාවිතා කළ යුතුයි. ඒ වගේම නීතියේ උපකාරය බලාපොරොත්තු වන පීඩිත කාන්තාව නැවතත් තමන්ගේ හිංසාකාරී සහකරුවන් වෙත නොයැවිය යුතුයි. මාධය විසින් වගකීම් සහගතව මේ පිළිබඳ දැනුවත් කළ යුතුයි සේම පාර්ලිමේන්තුව තුළ දණ්ඩ නීති සංග්‍රහය වෙනස් විය යුතුයි සහ ගෘහස්ථ හිංසන වළක්වාගැනීමේ පනත තවදුරටත් ශක්තිමත් කළ යුතුයි.
කාන්තා ඝාතන සහ හිංසන වැලැක්විය හැකියි. කාන්තා ඝාතනයක් කියන්නේ අවදානම් සංඥා දාමයක අවසාන අවස්ථාව. මෙතන වැදගත් වෙන්නේ තවත් කාන්තාවක් ඝාතනය වීමට පෙර ආරක්ෂක අංශ, නීතිය, අධිකරණය සහ සමාජය විසින් ඒ සංඥා හඳුනාගැනීමට තීරණය කරනවා ද කියල.
සටහන
අංජුන ලියනආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd