
රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සමග කළ සාකච්ඡාවකි.
පහුගිය දවස්වල රටේ දේශපාලනයේ ලොකු චලනයන් වෙනවා අපි දැක්කා. ඔබට අනුව මේ මොකක්ද වෙමින් පවතින්නේ ?
පිළිතුර:- සාමාන්‍යයෙන් නාට්‍ය හොඳටම පේන්නේ ප්‍රේක්ෂකයන්ට. අඩුපාඩු, වැරදි ගැන හොඳ නරක පේන්නේ බලාගෙන ඉන්න කෙනකුට. මමත් මම වගේම පහුගිය රජයේ කටයුතු කරපු කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු පිරිසකුත් දේශපාලනිකව නිහැඬියාවක තමයි ඉන්නේ.
ඒ නිහැඬියාවට හේතු?
පිළිතුර:- ඒ නිහැඬියාවට හේතුව මේ සියල්ල දෙස බලාගෙන ඉඳීමටයි. නිහඬව බලාගෙන ඉන්නකොට තමයි හුඟාක් දේවල් අවබෝධ වෙන්නේ. මේ රජය පත්කරගන්න තරම් මේ රටේ ජනයා ලොකු අවදානමක් ගත්තා. ප්‍රධාන සහ පාරම්පරික ව්‍යුහයේ දේශපාලනයෙන් ඉවත් වෙලා තමයි ජනතාව ඒ තීන්දුව ගත්තේ. ඒ තීන්දුවට අපි ගරු කරන්න ඕනැ. ඒ වගේම සැලකිය යුතු කාලයක් අපි මේ රජයට ලබාදෙන්න ඕනැ. ඒ නිසා මම ඇතුළු අර කියපු නිහඬ කණ්ඩායම විශ්වාස කරනවා. එය එසේ විය යුතුයි කියලා. ඒ වගේම හැම තිස්සෙම කෑ ගහන ඝෝෂා කරන, උද්ඝෝෂණය කරන ගතානුගතික දේශපාලනයෙන් විතැන් වෙන්න ඕනෑ කියලත් අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ රජයේ පාලනය සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්නවා. ආණ්ඩුවක ඉන්නවා වගේම වගකීමකින් විපක්ෂයේ ඉන්න කොට අපි වැඩ කරන්න ඕනෑ. මොකද ආණ්ඩුකරණය පහසු දෙයක් නොවෙයි. විපක්ෂයේ ඉඳලා වේදිකාවල කෑ ගහන එක පහසු වුණාට ආණ්ඩුකරණය අමාරුයි. ආණ්ඩුකරණය සංකීර්ණයි. මේකත් අපි අවබෝධ කරගන්න ඕනෑ.
කියමනක් තියෙනවා බලය තියෙනකොට මොළය නෑ, මොළය තියෙන කොට බලය නෑ කියලා.
පිළිතුර:- මෙහෙමයි. ඔබට මතක ඇති 2015 – 2016 කාලවල තෙල් මිල ඉහළ දාපුවම අපි බයිසිකල්වල ගියා. හැබැයි අපි ආණ්ඩුව ගත්තමත් තෙල් මිල වැඩි කරන්න වුණා. ලෝක තත්ත්වයට අනුව දැනට අපිට පේන්න තියෙන දේ තමයි මාලිමා ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය තමයි ඔවුන්ගේ විපක්ෂයේ භූමිකාව. අනුර කුමාර ජනාධිපතිතුමාට තියෙන ලොකුම අභියෝගය තමයි විපක්ෂයේ ඉන්නකොට එයා කරපු කියපු දේවල්, ඒ විවේචනයට ලක් කරපු හැම දෙයක්ම අනුර කුමාර ජනාධිපතිතුමා අතින් මාලිමා ආණ්ඩුවෙත් ඒ විදියට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ පේන්න තියෙන්නේ.
හිටපු මැති ඇමැතිවරුන් බුරුතු පිටින් හිරේ යනවා. සමහරු ඇප මත ඉන්නේ. සමහරු නම් කියන්නේ මේක දේශපාලන පළිගැනීම් කියලයි. ඔබ දකින්නේ කොහොම ද?
පිළිතුර:- මම හිතන්නේ හුඟාක් වෙලාවට මේ රටේ හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ඒක කනගාටුවට කාරණාවක්. ඉතින් මම හිතන්නේ ඔබ කියපු දේ අනුව රටේ මතයක් ඇතිවෙලා තියෙනවා හැම දෙයක්ම දේශපාලන අරමුණුවලට අනුවයි සිද්ධ වෙන්නේ කියලා.
අහවල් දවසට අරයව දානවා. මෙයාව ඊට පස්සෙ දානවා. එදාට අත්පුඩි ගහන්න. අරයා වැඩිපුර කතා කරනවා. එයා ගැන වැඩිපුර බලාගන්න වෙයි.’ වගේ ප්‍රකාශ නිවුස්වල, මුහුණු පොතේ යනවා. එහෙම රටක් දුවන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.
මම විශ්වාස කරන්නේ නෑ පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ ආකාරයේ ප්‍රහාරයක් කියලා. ඒක මගේ විශ්වාසය. මොකද මම මුලිනුත් කිව්වා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ රටේ පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයක් නොවෙයි. එම ප්‍රහාරය එල්ල කළේ මුළු ලෝකයටම දැනෙන්න. මුළු ලෝකයටම රිදෙන්න කළ ප්‍රහාරයක්.
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ නමින් වැඩි වැඩියෙන් ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. ඔබ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයෙක්. ඔබට මේ ගැන යමක් කියන්න පුළුවන් වෙයි ?
පිළිතුර:- මම, සුරේෂ් සලේ නිලධාරියා සමග බොහොම කිට්ටුවෙන් වැඩ කළා. මගේ ධුර කාලයේ දී මට වැඩ කරන්න අවස්ථාව ලැබුණු බොහොම දක්ෂ, කාර්යශූර නිලධාරියෙක් තමයි සුරේෂ් සලේ. ඔහු සමග වැඩ කරපු බොහෝ දෙනෙක් දරන අදහසක් ඒක. මම කනගාටුවෙනවා මේ ඇතිවෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන්. එතුමාට එල්ල වෙලා තියෙන්නේ බරපතළ චෝදනාවක්. මේක හමුදා බුද්ධි අංශයටම කරන බරපතළ චෝදනාවක්. හමුදාවට කරන බරපතළ චෝදනාවක්. ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට කරන බරපතළ චෝදනාවක්. මේක සෙල්ලමක් නොවෙයි. මම හිතනවා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධාකාරයේ පරීක්ෂණ පැවැත්වූවා. ජනාධිපති කොමිසම් කිහිපයක් පත් කළා. එෆ්.බී.අයි. එක පරීක්ෂණයක් කළා. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරය කියන්නේ මේ රටේ කතෝලික ජනතාවට එල්ල කළ ප්‍රහාරයක් පමණක් නොවෙයි. පාස්කු ඉරිදා දිනයේ දී හෝටල් කිහිපයකට ප්‍රහාර එල්ල කළා. ඒ වගේම ක්‍රිස්තියානි පල්ලියකටත් ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරයෙන් කතෝලිකයෝ වගේම ඉස්ලාම් බැතිමතුන්, බෞද්ධයන්, විදේශිකයන් රාශියක් මියගියා. මේක මේ මුළු ලෝකයටම එල්ල කළ ප්‍රහාරයක්. මේක මේ ලංකාවේ කිහිප දෙනකුට එල්ල කළ ප්‍රහාරයක් නොවෙයි. මුළු ලෝකයටම රිදෙන්න එල්ල කළ ප්‍රහාරයක්. එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් එල්ල කිරීම කෙතරම් ප්‍රායෝගික ද කියලා අපි කල්පනා කරනවා.
හැබැයි මම හිතනවා බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා, ‘ඉරයි හඳයි සත්‍යයි. කවදාවත් නොපෙන්වා තියන්න බෑ’ කියලා ඉතින් ඒ නිසා මේ සත්‍ය කවදාහරි ඉදිරියට එනවා. ඒ වෙනුවෙන් මේ කරන පරීක්ෂණත් හොඳයි.
ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:- පාස්කු ප්‍රහාරය අන්තයටම දේශපාලනිකරණය වෙලා තියෙන්නේ. මේක කුණු ගොඩක් කළා මේ රටේ දේශපාලනඥයෝ. වගකීම් විරහිත ප්‍රකාශ නිසා පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද අවභාවිත කිරීම නිසා මේක අපරාධ පරීක්ෂණයක් නොවෙයි. දේශපාලන පරීක්ෂණයක් බවට පත් වෙලා. ඒක කනගාටුවට කාරණයක්. මොකද ත්‍රිවිධ හමුදාව ගැන තියෙන හැඟීම, භක්තිය මේ රටේ ජනතාව තුළ එලෙසින්ම තියෙයි. කොහොම වුණත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඉතාම ඛේදනීයයි.
පාස්කු ප්‍රහාරය රාජපක්ෂවරුන්ට බලයට එන්න එම කඳවුරෙන්ම එල්ල කළ ප්‍රහාරයක් කියලත් කියනවා. ඔබ මොකද ඒ ගැන කියන්නේ ?
පිළිතුර:- මම විශ්වාස කරන්නේ නෑ පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ ආකාරයේ ප්‍රහාරයක් කියලා. ඒක මගේ විශ්වාසය. මොකද මම මුලිනුත් කිව්වා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ රටේ පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයක් නොවෙයි. එම ප්‍රහාරය එල්ල කළේ මුළු ලෝකයටම දැනෙන්න. මුළු ලෝකයටම රිදෙන්න කළ ප්‍රහාරයක්. ඒක අපි තේරුම් ගන්න ඕනෑ. මේ ප්‍රහාරය සම්බන්ධව අයි.එස්.අයි.එස්. සංවිධානය සම්පූර්ණ වගකීම බාර ගත්තා. ඒ වගේම ස්වයං ඝාතකයන් 20 වැනිදා සෑන්ඩ් ටවර්ස්වල හෝටලයක පැය 12 කට අධික කාලයක් පාපොච්චාරණය කරන වීඩියෝවක් තියෙනවා. ඔවුන් එම ප්‍රහාරය එල්ල කරන්න හේතු සාධක වුණු කරුණු 10 ක් එළි දක්වලා තියෙනවා. එහෙම තත්ත්වයක් යටතේ මම දන්නේ නෑ අයි.එස්.අයි.එස්. සංවිධානය බාරගත්ත ප්‍රහාරය වෙනත් පැත්තකට යොමු කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ලෝකයේ සිටින ප්‍රබලතම පරීක්ෂණ කණ්ඩායම් මෙම ප්‍රහාරය ගැන පරීක්ෂණ ගණනාවක් පවත්වලා තියෙනවා. ජනාධිපති කොමිසම් කිහිපයක් පරීක්ෂණ පවත්වලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නෙ කොහොම ද කියන එක අපිට ගැටලුවක්.
රටේ ආර්ථිකය නම් එච්චර හොඳ නෑ. මිනිස්සු ජීවත් වෙන්නේ පීඩනයෙන්. මොකක් ද වෙයි ද?
පිළිතුර:- ඒ පීඩනය ඉහළ ඉඳලා පහළ හැමෝටම දැනෙන පීඩනයක්. මං එකක් කියන්න ඕනෑ. අපි ගිය ආණ්ඩුවේ තනතුරු බාරගන්න කොට රට ගිනි ගනිමින් තිබුණේ. රටේ නීතිමය ආධිපත්‍යය කඩාගෙන වැටිලා. ජාතික ආරක්ෂාවත්, ආර්ථිකයත් කඩාගෙන වැටිල. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදු කිරීම් වගේම රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙලා තිබුණේ. ඒ පරිසරය තුළ රට සෙමින් සෙමින් ස්ථාවර කරන්න අපට විශාල පරිශ්‍රමයක් ගන්න වුණා.
එතැනදී අපි අපේ දේශපාලන අනාගතය ගැන කල්පනා කළේ නෑ. ඊළඟ මැතිවරණයේ දී අපි දිනන්නේ කොහොම ද කියලා අපි ප්‍රශ්නයක් කරගත්තේ නෑ. එහෙම නොසිතා රට වෙනුවෙන් ඉතාම බරපතළ තීන්දු තීරණ අපි ගත්තා. ඒ නිසාම රට ස්ථාවර කරන්න පුළුවන්කම ලැබුණා.
ගෝලීය තත්ත්වය අපේ රටට බලපානවා තමයි. අපේ ආණ්ඩු කාලයේදීත් ඊට පෙර ආණ්ඩු කාලවලදීත් ඒ තත්ත්වය එහෙම්මම තමයි. ඒක නිසා මේ ගෝලීය තත්ත්වයන් කියන එක සමාවට කාරණයක් නොවෙයි. අපිට හැකියාව තියෙන්න ඕනෑ මොන ගෝලීය තත්ත්වයක තිබුණත් රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යන්න. ජනතාව ඉන්නේ විශාල පීඩනයකින්. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල කඩා වැටීමක ඉන්නේ. මම හිතනවා, ආණ්ඩුවේ අවධානය ඔවුන් කෙරෙහි විශේෂයෙන්ම යොමු වෙයි කියලා. ඒ වගේම ගොවි ජනතාව රැකබලාගැනීම ආණ්ඩුවේ වගකීමක්. හැබැයි, අවුරුදු දෙකෙන් දෙකට ආණ්ඩු මාරු කිරීම ප්‍රශ්නයට උත්තරයක් නොවෙයි.
ඔබ රාජපක්ෂවරුන් සමග විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ සමග ළඟින් හිටියේ. දැන් ඒ සම්බන්ධය කොහොම ද?
පිළිතුර:- දේශපාලනිකව අපි මේ වෙලාවේ ඉන්නේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී අපට අනන්‍ය වූ දේශපාලනයක නිහඬව අපි නිරත වෙනවා. දේශපාලනය තුළ ඇතිවන වෙනස්කම්, තත්ත්වයන් ගැන අවබෝධයෙන් අපි මේ මොහොතේ කටයුතු කරනවා.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd