ලක්මාල් සූරියගොඩ
ඇපකරුවකු විසින් ඇපකර ගිවිසුම මඟින් පැවරුණු අයිතිය පැහැදිලිවම අත්හැර දමා ඇති අවස්ථාවක, ප්‍රධාන ණයකරුට එරෙහිව ප්‍රථමයෙන් නීතිමය පියවර ගැනීමකින් තොරව, කෙළින්ම ඇපකරුට එරෙහිව නඩු පැවරීමට බැංකුවකට නීතිමය හිමිකමක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඇපකරුවකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන් අතර, එහිදී DFCC බැංකුවෙන් (DFCC Bank PLC) ලබාගත් ණය පහසුකම් සඳහා ඇපකරුවකු ලෙස කටයුතු කළ විතානගේ හප්පාවන නමැත්තා වගකිව යුතු බවට වාණිජ මහාධිකරණය ලබා දී තිබූ තීරණය ස්ථිර කෙරිණි.
මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණේ, අදාළ සමාගමේ ණය පහසුකම් සඳහා ඇපකර ලෙස කටයුතු කළ විත්තිකරුගෙන් රුපියල් මිලියන 5.5 කට අධික මුදලක් සහ ඊට අදාළ පොලිය අය කර ගැනීමට බැංකුව විසින් පවරා තිබූ නඩුවකට එරෙහිවය.
මෙහිදී විත්තිකරු තර්ක කළේ, අදාළ සමාගම ප්‍රධාන ණයකරු සහ ණය පහසුකම්වල එකම ප්‍රතිලාභියා වන බැවින්, ඇපකරු වන තමාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, එම සමාගම ද මෙම නඩුවේ පාර්ශ්වකරුවකු කර ප්‍රථමයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවය.
රෝම-ලන්දේසි නීතිය යටතේ, ප්‍රධාන ණයකරුට එරෙහිව ප්‍රථමයෙන් නඩු පවරන ලෙස ඉල්ලා සිටීමට ඇපකරුවකුට සාමාන්‍යයෙන් අයිතියක් තිබුණ ද, එවැනි අයිතියක් ගිවිසුමක් මඟින් පැහැදිලිවම අත්හැර දැමිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සම්පත් විජයරත්න නිරීක්ෂණය කළේ, ප්‍රධාන ණයකරුට එරෙහිව ප්‍රථමයෙන් පියවර ගැනීමකින් තොරව කෙළින්ම ඇපකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇපකර ගිවිසුමේ 15 වැනි වගන්තිය මඟින් බැංකුවට පැහැදිලිවම අවසර දී ඇති බවය.
තමා ඇපකර ලේඛනවල අන්තර්ගතය පිළිබඳව නොදැන සිටි බවට සහ හිස් කොළවලට අත්සන් තැබූ බවට විත්තිකරු කළ ප්‍රකාශය ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ලේඛනයකට අත්සන් තබන පුද්ගලයා නූගත්, අන්ධ හෝ අදාළ ගනුදෙනුවේ ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි වෙනත් යම් ආබාධිත තත්ත්වයකින් පෙළෙන්නේ නම් මිස, එවැනි ආරක්ෂාවක් සාර්ථක විය නොහැකි බව අධිකරණය තීන්දු කළේය.
ඒ අනුව, වාණිජ මහාධිකරණයේ තීන්දුව ස්ථිර කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණ ද්විත්වයේම නඩු ගාස්තු ලබා ගැනීමට පැමිණිලිකාර බැංකුවට හිමිකම ඇති බවට නියෝග කළේය.
නීතිඥ චමිත්‍රි කළුහැන්නදිගේ මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ හසිනි රූපසිංහ මෙනවිය සමඟ නීතිඥ හරිත් ද මෙල් මහතා ඇපකරු වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ තේජක පෙරේරාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ සෂේන්ද්‍ර මුදන්නායක සමඟ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා බැංකුව වෙනුවෙන් පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd