නෙදර්ලන්තයේ කැතරිනා, බෙල්ජියමේ එලිසබෙත්, ස්පාඤ්ඤයේ ලියොනෝර්, නෝර්වේ ඇලෙක්සැන්ඩ්‍රා, ස්විඩනයේ එස්ටෙලා

යුරෝපීය රාජකීය උරුමයෙහි සුවිශේෂ පරිවර්තනයක් සිදුවෙමින් පවතී. මෙතෙක් කලක් පිරිමින්ට පමණක් සීමා වී තිබූ රජ කිරුළ, දැන් ජෙන් සී  (Gen-Z) පරපුරේ තරුණ කුමරියන් අතට පත්වීමට නියමිතය. පසුගිය දශක කිහිපයෙහි හඳුන්වා දුන් ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොර අනුප්‍රාප්තික නීති හේතුවෙන් - උපතින් වැඩිමලා වීම පදනම් කරගනිමින් මෙම කුමරියෝ ඔවුන්ගේ රටවල කිරුළේ හිමිකාරියන් බවට පත්ව සිටිති. බෙල්ජියමේ එලිසබෙත්, නෙදර්ලන්තයේ කැතරිනා-අමාලියා, ස්පාඤ්ඤයේ ලියොනෝර් සහ නෝර්වේ රාජ්‍යයේ ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා මෙම නව රැල්ලේ පෙරගමන්කාරියෝ ය.

මෙම ජෙන් සී කුමරියෝ සාම්ප්‍රදායික රාජකීය සීමා බිඳ දමමින්, නූතන ලෝකයට ගැළපෙන කාන්තා නායකත්වයක් කරා පියනගමින් සිටිති. ඔවුහු සමාජ මාධ්‍ය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත, දේශගුණික විපර්යාස සහ සමාජ සමානාත්මතාව වැනි මානුෂීය ගැටලු‍ කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන පරපුරක කොටස්කරුවෝය.

මෙම විප්ලවීය වෙනසට මූලික වී ඇත්තේ සම්පූර්ණ ප්‍රාථමික උරුම නම් ක්‍රමයයි. මෙහිදී ලිංගභේදය නොසලකා පවුලේ වැඩිමහල් දරුවාට කිරුළ හිමිවේ. 1980 දී ලොව ප්‍රථම වරට ස්වීඩනය මෙම ක්‍රමය අනුමත කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වික්ටෝරියා කුමරිය සිය බාල සොහොයුරා අබිබවා ඔටුන්න හිමි කුමරිය බවට පත්වූවාය. බෙල්ජියම, නෙදර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යයන් ද පසුව මෙම මාවතට අවතීර්ණ විය. ස්පාඤ්ඤය තවමත් පිරිමි දරුවන්ට මුල්තැන දෙන නීති අනුගමනය කළද, වර්තමානයේ එරට කිරුළට හිමිකම් කියන්නේ ද දියණියකි.

ස්වීඩනයේ වික්ටෝරියා ඔටුන්න හිමි කුමරියගේ සහ ඩැනියෙල් කුමරුගේ වැඩිමහල් දියණිය වන එස්ටෙල් කුමරිය, ස්වීඩන රාජාණ්ඩුවේ අනාගත බලාපොරොත්තුවය. 2012 පෙබරවාරි 23 වන දින උපත ලැබූ ඇය, සිය මවට පසුව ස්වීඩන සිහසුන හිමිකර ගැනීමට සිටින දෙවැනි උරුමකාරියයි. 1979 වසරේ දී ස්වීඩනය සිය උරුම නීති වෙනස් කිරීමෙන් පසු, පිරිමි දරුවකුට වඩා වැඩිමහල් දියණියකට රජකම හිමිවීමේ අයිතිය යටතේ උපතින්ම මෙම ස්ථානය හිමි කරගත් පළමු කුමරිය ඇයයි.

ඔස්ටර්ගොට්ලන්ඩ් හි ආර්යාව යන නාමය දරන එස්ටෙල් කුමරිය, ඉතා සුහදශීලී සහ ක්‍රියාශීලී දැරියක ලෙස ස්වීඩන ජනතාව අතර අතිශය ජනප්‍රියය. ඇය සාමාන්‍ය පාසලකට ඇතුළත්ව අධ්‍යාපනය ලබන අතර, කුඩා කල සිටම විවිධ රාජකීය උත්සව සහ පොදු උත්සව සඳහා සිය දෙමාපියන් සමඟ සහභාගී වෙමින් ජනතාව සමග සමීප වීමට පුහුණු වෙයි. ස්වාභාවික පරිසරයට සහ ක්‍රීඩාවට ළැදි ඇය, අනාගතයේදී ස්වීඩනය ලෝකය හමුවේ නියෝජනය කරන නිහතමානී පාලිකාවක වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

ස්පාඤ්ඤයේ හයවැනි ෆෙලිප් රජුගේ සහ ලෙටිසියා රැජිනගේ වැඩිමහල් දියණිය වන ලියොනෝර් කුමරිය, වර්තමාන යුරෝපීය රාජකීය පරපුරේ වඩාත්ම අවධානයට ලක්වන චරිතයකි. 2005 ඔක්තෝබර් 31 දින උපත ලැබූ ඇය, ඇස්ටූරියාස්හි කුමරිය ලෙස නිල වශයෙන් නම් කර ඇත. ඇය ස්පාඤ්ඤ සිහසුනට උරුමකම් කියන පළමු තැනැත්තිය වන අතර, වසර 150කට වැඩි කාලයකට පසු ස්පාඤ්ඤයේ රජකමට පත්වන පළමු මහරැජින වීමටද නියමිතය. ලියොනෝර් කුමරිය මේ වන විට දැඩි හමුදා පුහුණුවක් ලබමින් සිටින්නේ අනාගතයේදී ස්පාඤ්ඤ සන්නද්ධ හමුදාවල උත්තරීතර අණදෙන නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට සූදානම් වෙමිනි. ඒ යටතේ ඇය යුද, නාවික සහ ගුවන් යන අංශ තුනේම විශේෂ පුහුණුව ලබමින් සිටියි. ඉතා සන්සුන් සහ බුද්ධිමත් තරුණියක ලෙස ප්‍රකට ඇය, ස්පාඤ්ඤ භාෂාවට අමතරව කැටලන්, ගැලීසියානු, බාස්ක් සහ ඉංග්‍රීසි යන භාෂා රැසක් හැසිරවීමට සමත්ය.

බෙල්ජියමේ පිලිප් රජුගේ සහ මැතිල්ඩා රැජිනගේ වැඩිමහල් දියණිය වන එලිසබෙත් කුමරිය, බෙල්ජියම් ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය නායිකාව හෝ මහරැජින වීමට නියමිත රාජකීය උරුමක්කාරියයි. 2001 වසරේ ඔක්තෝබර් 25 වන දින උපත ලැබූ ඇය, මේ වන විට බ්‍රබන්ට් ආර්යාව යන ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටියි. නූතන බෙල්ජියම් රාජාණ්ඩුවේ බුද්ධිමත් මෙන්ම සක්‍රීය නියෝජිතවරියක ලෙස කැපී පෙනෙයි. එලිසබෙත් කුමරියගේ අධ්‍යාපන සුදුසුකම් ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්ව ඇත. ඇය වේල්සයේ ඇට්ලන්ටික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලින්කන් විද්‍යාලයෙන් ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තාය. මේ වන විට ඇය ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් කෙනඩි පාසලේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියි.

ලන්දේසි, ප්‍රංශ, ජර්මන් සහ ඉංග්‍රීසි යන භාෂා හතරම ඉතා චතුර ලෙස හැසිරවීමට ඇති හැකියාව නිසා ඇය බෙල්ජියමේ විවිධ ජන කොටස් අතර ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. කුමරිය හමුදා පුහුණුවටද සක්‍රීයව දායක වෙයි.

නෝර්වේ රාජ්‍යයේ හකොන් ඔටුන්න හිමි කුමරුගේ සහ මෙට්-මාරිට් කුමරියගේ වැඩිමහල් දියණිය වන ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය, එරට රාජකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සූදානම් වන සුවිශේෂ තරුණියකි. 2004 වසරේ ජනවාරි 21 දින උපත ලැබූ ඇය, නෝර්වේ රාජකීය පරම්පරාවේ සිහසුනට උරුමකම් කියන දෙවැනි තැනැත්තියයි. වසර සිය ගණනකට පසු නෝර්වේ රාජ්‍යයේ පාලනය භාර ගැනීමට නියමිත පළමු මහරැජින වන්නේද ඇය වීම විශේෂත්වයකි.

ඉන්ග්‍රිඩ් කුමරිය සිය අධ්‍යාපන කටයුතු මෙන්ම හමුදා පුහුණුව කෙරෙහිද දැඩි උනන්දුවක් දක්වන තරුණියකි. විශේෂයෙන්ම මෑතකදී ඇය නෝර්වේ රාජකීය හමුදාවේ ඉංජිනේරු බලකාය සමග එක්ව වසරක දැඩි හමුදා පුහුණුවක් ආරම්භ කළාය. සරල ජීවිතයකට ප්‍රිය කරන ඇය, බොහෝ විට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අතර පරිසර සංරක්ෂණය වෙනුවෙන්ද හඬ නඟන ක්‍රියාකාරිනියකි. ක්‍රීඩාශීලී තරුණියක වන ඇය රළ මත ලිස්සා යාම හෙවත් සර්ෆින් ක්‍රීඩාවට ඉහළ දක්ෂතාවක් දක්වයි. 2020 දී ඇය නෝර්වේ තරුණ සර්ෆින් ශූරතාවලිය පවා ජයග්‍රහණය කළාය.

නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජුගේ සහ මැක්සිමා රැජිනගේ වැඩිමහල් දියණිය වන කැතරිනා අමාලියා කුමරිය- නෙදර්ලන්ත රාජවංශයේ අනාගත උරුමක්කාරිය ලෙස වර්තමානයේ ලෝක අවධානයට ලක්ව සිටියි.. 2003 වසරේ දෙසැම්බර් 07 දින උපත ලැබූ ඇය, මේ වන විට ඔරේන්ජ්හි කුමරිය යන ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටින අතර, නෙදර්ලන්තයේ රජකමට පත්වන ඊළඟ රාජකීය උරුමකරු වන්නේ ද ඇයයි. කුඩා කල සිටම ඉතා සරල මෙන්ම බුද්ධිමත් තරුණියක ලෙස හැදී වැඩුණු අමාලියා කුමරිය, සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. ඇය මේ වන විට ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ දේශපාලනය, මනෝවිද්‍යාව, නීතිය සහ ආර්ථික විද්‍යාව යන විෂයන් හදාරමින් සිටියි. සාමාන්‍ය ජනතාව සමග සමීපව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන ඇය, රාජකීය සැප සම්පත් වලට වඩා වගකීම් සහගත සේවයට මුල්තැන දෙන තරුණියක ලෙස නෙදර්ලන්ත ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටී.

ලු‍සිත ජයමාන්න
එන්.ඩී.ටීවී ඇසුරිනි