සනත්ගේ පණිවිඩය ලාල්ගෙන් ගත් ප්‍රේමරත්න අතින් එය ගිලිහුණු හැටි
මෙතෙක් කතාව; ලාංකීය දේශපාලන ඉතිහාසයේ සාම්ප්‍රදායික ගමන් මග වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ ජවිපෙ 1වැනි කැරුල්ල හෙවත් 1971 අප්‍රේල් 05 වැනිදා ආරම්භ වූ කැරුල්ලයි. එයට දැන් වසර 55කි. ඉකුත් දශක පහ තුළ අප්‍රේල් කැරුල්ල පිළිබඳව පළවූ පොත්පත්ද දුසිම් 4කට ආසන්නය. පුවත්පත් ලිපිද දහස් ගණනකි.
මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න ඉකුත් දශක 2 තුළ කැරුල්ලේ මහ නඩුවේ ජනප්‍රිය නායකයන් පමණක් නොව එම 71 ප්‍රහාරයන්ට එක්වූ ඉදිරිපෙළ නායකයන් සහ සටන්කාමීන් සිය ගණනක් හමුවූ අතර ඒ පිළිබඳව මෙතෙක් පාඨකයන් කිසිදා නොඇසූ අසම්පූර්ණ සිදුවීම් මාලාව පිළිබඳව පැහැදිලි චිත්‍රයක් සේ මෙම ලිපි මාලාවෙන් ගෙනහැර දක්වා තිබේ. අද පළවන්නේ සිව්වන කොටසය. මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කියවූ උපකල්පන, විකෘති කිරීම්, වැරුදි වැටහීම් මත වෙනුවට සත්‍ය ඉතිහාසය මෙම ලිපි මඟින් විවර කරනු ඇත.
රෝහණ විජේවීර ඇතුළු හයදෙනා 1971 මාර්තු 13වැනිදා රාත්‍රී අම්පාරේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් 1971 මාර්තු 14වැනිදා සවස පොලිස් ජිප් රථවල නංවාගෙන කල්මුණේ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර මඩකලපුව බන්ධනාගාරයට එදිනම රාත්‍රී ගෙන ගොස් දමන ලදි. එහි රෑ නිදාගෙන සිටින විට අවදිකර හයදෙනාම ට්‍රක් රථයක පටවා කොළඹට ගෙන ඒම සිදු විය.
විජේවීර සමඟ එසේ අත්අඩංගුවට ගෙන සිටියේ අම්පාරේ නිශ්ශංක හෙවත් ලාල් විමලසේන, බටපොළ වඩුතන්ත්‍රිගේ සිරිල් හෙවත් දෙයනෙත්ති ලාල් සෝමසිරි, කරන්දෙණියේ පී. එච්. ප්‍රේමසේන හෙවත් සිරිල් විජේසිංහ, අම්පාරේ කේ. වී. ප්‍රේමරත්න, අම්බලන්ගොඩ කෙලී සේනානායකය. එම 6 දෙනාම 1971 මාර්තු 14වැනිදා රාත්‍රී මඩකලපු බන්ධනාගාරයෙන් කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ගෙන එනු ලැබුවේ පසුදින උදෑසනය. ඒ පොලිස් අධිකාරි රංජිත් සේනානායකගේ මෙහෙයවීමෙනි.
පසුව විජේවීර, ප්‍රේමරත්න සහ ලාල් සෝමසිරි යාපනය බන්ධානාගාරයට යළිත් ගෙන යන ලදි. ප්‍රේමරත්න සහ ලාල් සෝමසිරි 1971 මාර්තු 31වැනිදා කල්මුණේ උසාවියට ඉදිරිපත් කළ විට ඇප පිට නිදහස් විය.
විජේවීර බේරා ගැනීමට 500ක්
රෝහණ විජේවීර එයට පෙරදින එම දෙදෙනාට කියා සිටියේ පහර දෙනවා නම් 500ක පමණ පිරිසක් තමා නිදහස්කර ගැනීමට එවන ලෙසට සනත්ට සහ පියතිලකට දන්වන ලෙසය. වඩුතන්ත්‍රිගේ සිරිල් නොහොත් ලාල් සෝමසිරි බටපොල සිය නිවෙසේදී ලියුම්කරුට අවධාරණයෙන් ප්‍රකාශ කළේ විජේවීර එදා කැරුල්ල ආරම්භ කිරීමට දිනයක් සහ වේලාවක් තීරණය කර පහරදෙන ලෙසට පණිවිඩයක් නොකී බවය. විජේවීර කියා ඇත්තේ පහර දෙනවා නම් පමණක් 500ක් තමා බේරා ගැනීමට එවන ලෙසය. 1971 අප්‍රේල් 5වැනිදා වන විටත් විජේවීර සිටියේ යාපනය බන්ධනාගාරයේය. එමෙන්ම අම්පාරේ ප්‍රේමරත්නද විජේවීර එසේ කී බව සනාථ කළේය.
ඔස්මන්ද සිල්වාගේ මව වන සීලවතී ද සිල්වා කියා සිටියේ යාපනය හිරගෙදරදී තමා විජේවීර බැලීමට ගිය අවස්ථාවේදී පහර නොදී භේද අතහැර කටයුතු කරන මෙන් රෝහණ විජේවීර දුන් පණිවිඩය තමා සනත් සහ ලොකු අතුල ඇතුළු පක්ෂයේ නායකයන්ට දැනුම් දුන් බවය. වනාතමුල්ලේදී ඔස්මන් සිල්වා හමුවූ ලියුම්කරු එම කරුණු සනාථ කරගත්තේය.
එවකට රජයේ සොලිසිටාර් ජනරාල්වරයා සහ කැරැල්ල මැඬලීමෙහිලා සුවිශේෂ කාර්යභාරයක් කළ ඉයන් වික්‍රමනායක, සීලවතීගෙන් ඉල්ලා සිටියේ යාපනයේ හමුවූ අවස්ථාවේදී කැරැල්ල ආරම්භ කරන ලෙසට විජේවීර කියූ බවට කටඋත්තරයක් ලබා දෙන ලෙසය. ගිනි තැබූ නිවස සදා දෙන බවද පුතුන් නිදහස් කර රැකියා ලබාදෙන බවට ඉයන් වික්‍රමනායක පොරොන්දු වූව ද තමා බොරු කීවේ නැති බවද සීලවතී පසුව කියා සිටියාය. තමා විසින් 1971 මැයි 31වැනිදා දෙන ලද කට උත්තරයේදී විජේවීර පිළිබඳව තමා කියන ලද කරුණු ඉයන් වික්‍රමනායක විකෘති කර තිබූ බව ලාල් සෝමසිරි, මෙම ලියුම්කරුට අවධාරණය කළේය.
වසර 1971 මාර්තු 15වැනිදා මඩකලපුවේ සිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙන ආ බවද එදින උදෑසන 11.00 පැමිණි ඔස්මන්ගේ අම්මා සහ කුමානායකට විජේවීර තමා ඉදිරිපිටදී කියා සිටියේ ලොකු අතුල සහ සනත්ට ප්‍රශ්න අමතක කරගෙන පසුබසින ලෙස සහ ආයුධ හංගා දිස්ත්‍රික්ක මාරුකරන ලෙස බවද කෙලී සේනානායකද ප්‍රකාශ කර ඇත.
අප්‍රේල් කැරැල්ලේ පහරදීමේ අවසාන තීරණය ගත්තේ 1971 අප්‍රේල් 2වැනිදා ගංගොඩවිල විදුදය සරසවියේ සංඝාරාමයේදීය. එය එදින පස්වරු 2 සිට 6 දක්වා පැවැත්විණ. නව දෙනකුගෙන් යුත් එම නායකත්ව මණ්ඩලයේ මුලසුන දැරුවේ පියතිලකය. එයට දේශපාලන මණ්ඩලයේ 6 දෙනෙක් ඇතුළත්ව සිටියහ.

මෙහි උඩ පෙළ වමේ සිට දැක්වෙන්නේ පිළිවෙලින් 1971 අප්‍රේල් 05 කැරැල්ලේ ප්‍රහාරයේ තීන්දුව 71 අප්‍රේල් 02වැනිදා ගත් 09 දෙනාගේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් වූ අක්මීමන ඩබ්ලිව්. ටී. කරුණාරත්න, නුවර අනුර රංජිත් කුරුකුලසූරිය සහ සන්නිවේදනයේ දුර්වලතාවයක් නිසා අප්‍රේල් 05 රාත්‍රී ප්‍රහාරයේ පණිවිඩය නොලැබුණ මොනරාගල දිස්ත්‍රික් ලේකම්ව සිටි ප්‍රේමසිරි ගමගේ ලියුම්කරු සමඟ සාකච්ඡාවලට එක්වූ අවස්ථාවන්ය. පහළ වමේ සිට පිළිවෙළින් දැක්වෙන්නේ ඔවුන්ම තරුණ කාලයේදීය.
බෙදුණු තීන්දුවක්
අප්‍රේල් 5වැනිදා රාත්‍රී 11.30ට පොලිස් ස්ථානවලට පහර දිය යුතු යැයි වැඩි ඡන්දයෙන් තීරණය වූ බව එයට සහභාගි වූ රංජිත් අනුර කුලකුලසූරිය, ලොකු අතුල සහ කරුණාරත්න ඇතුළු පස්දෙනෙක් ලියුම්කරු සමඟ කියා සිටියහ. එය 6ට 3ක් වශයෙන් බෙදුණු තීන්දුවකි. එම තීරණයට විරුද්ධව ඡන්දය දුන් අය වූයේ විජේසිරි විතානගේ හෙවත් සනත්, ඩබ්ලිව්. ටී. කරුණාරත්න සහ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලය. එයට පක්ෂ වූයේ අනුර රංජිත් කුරුකුලසූරිය, එස්. වී.ඒ. පියතිලක, සුසිල් වික්‍රම, ලයනල් බෝපගේ, සුනන්ද දේශප්‍රිය සහ ජේමිස් උයන්ගොඩය.
එහෙත් අවසන් තීරණය ගත් එම 9 දෙනාගෙන් අප්‍රේල් 5 රාත්‍රී සහ ඉන් පසුව කැරැල්ලට ක්‍රියාකාරීව ක්ෂේත්‍රයේ දායක වූයේ තිදෙනකු පමණි.
මේ තීරණයට පෙර 1971 මාර්තු 27වැනිදා ජවිපෙ නායකයන් කිහිපදෙනෙකු මහරගමදී වෙනම රැස්වී තීරණයක් ගෙන තිබිණ. එම සාකච්ඡාවට සනත්, බෝපගේ, පියතිලක, සුනන්ද, උයන්ගොඩ, ලොකු අතුල, නයනානන්ද විජේකුලතිලක ඇතුළු කිහිප දෙනෙක්ම එක්ව සිටියහ.
ඒ අනුව තීරණය වූයේ රජයේ මර්දනයට මුහුණනොදී පහරදීම තවදුරටත් ප්‍රමාදවන්නේ නම් අවසානයේ කැරලිකරුවන් විනාශවන බවය. ඒ බව බදුල්ල, අම්පාර, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල මුල්පෙළේ ප්‍රාදේශීය නායකයන් අවධාරණය කර තිබිණ. පහරදීමට ජවිපෙ තීරණයක් නොගන්නේ නම් තමන් පහරදීමට පියවර ගන්නා බව ඉන් කිහිප දෙනකු විසින් ඉහළ නායකත්වයට දන්වන ලදි. මෙම තත්වය තුළ ජවිපෙ ඉහළ පෙළ නායකයෝ නොසන්සුන් වූහ. එය නායකත්වය පමණක් නොව දිස්ත්‍රික්ක වශයෙන් අදිසිව දෙපිලකට බෙදී තිබිණ.
එබැවින් 1971 අප්‍රේල් 5 වැනිදා අලුයම 4.30ට පොලිස් ස්ථානවලට එකවර පහරදීමට එහිදී තීරණයක් ගෙන තිබිණ.ඒ අනුව එම තීරණය දින කිහිපයකට පසු රට පුරා ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන ලදි.
පණිවුඩ නොලැබීම
1971 අප්‍රේල් 5 වැනිදා උදේ වැල්ලවාය පොලිසියට පහර දුන්නේ වැරදි විදුලි පණිවිඩයකින් නොව අප්‍රේල් 2වැනිදා නිල වශයෙන් අලුතින් ගත් තීරණය ජවිපෙ නායකයන් විසින් ඔවුන්ට මොනරාගල දිස්ත්‍රික් ලේකම් වෙත සන්නිවේදනය කර නොතිබීමෙනි. එහෙත් 1971 අප්‍රේල් 5 වැනිදා රාත්‍රී 11.30ට පහරදීමට ගත් තීරණය අනිකුත් ජවිපෙ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා පොලිස් කොට්ඨාස ලේකම්වරුන් වෙත ගොස් තිබිණ.
අප්‍රේල් 3 වැනිදා සවස බටපොල අතුලගේ නිවසේදී ලාල් සෝමසිරිට 1971 කැරැල්ලේ දෙවැනි නායක සනත් නියම කළේ, මොනරාගලට ගොස් මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවී පහරදෙන්නේ අප්‍රේල් 5 වැනිදා අලුයම 4.30ට නොව අප්‍රේල් 5වැනිදා රාත්‍රී 11.30ට ලෙස වෙලාව වෙනස් වී ඇති බවය. පණිවුඩය ලබාදීමට අප්‍රේල් 4 වැනිදා හිමිදිරි පාන්දරම නුවර හරහා අම්පාරට යෑමට ගිය ලාල් සෝමසිරිට නුවර බස් නැවතුම්පොළේදී අම්පාරේ ප්‍රේමරත්න හමුවිය. එවිට වේලාව දහවල් 12.30 විය.
අම්පාරේ ප්‍රේමරත්න සෝමසිරිට එහිදී කියා සිටියේ තමාට වහාම ගංගොඩවිල විදුදය සරසවියට ගොස් පියතිලක හමුවන ලෙසට පියතිලක පණිවිඩයක් එවා ඇති බවය. මෙහිදී ලාල් සෝමසිරි විසින් ප්‍රේමරත්නට ප්‍රකාශ කර ඇත්තේ තමාට වහාම මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවීමට ගොස් පහර දෙන්නේ අප්‍රේල් 5 අලුයම 4.30ට නොව 5 වැනිදා රාත්‍රී 11.30ට බවට දැනුම් දෙන ලෙසට සනත් විසින් දැන්වූ බවය. ඉන් පසුව දෙදෙනාම සාකච්ඡා කර ලාල් සෝමසිරි විදුදය සරසවියට ගොස් පියතිලක හමුවීමටත් අම්පාරේ ප්‍රේමරත්න මොනරාගලට ගොස් දිස්ත්‍රික් නායක ප්‍රේමසිරිට අදාළ පණිවිඩය දැනුම්දීමටත් එකඟත්වයට පැමිණියහ.
දෙදෙනාගේම අම්පාරේ සහ බටපොල නිවෙස්වලට ගිය ලියුම්කරුට දෙදෙනාම එම කරුණු තහවුරු කළහ. එම දෙදෙනාටම ලියුම්කරුගේ ජංගම දුරකථනය මඟින් සංවාදයකට එක්වෙමින් අතීත කරුණු ආවර්ජනය කිරීමටද අවස්ථාවක් ලැබිණ.
නුවරින් බස් රථයකට නැඟුණු තමා පසුපස සැකකටයුතු පුද්ගලයකු පැමිණීම නිසා මොනරාගලට නොගොස් අම්පාරට පැමිණි බව අම්පාරේදී ප්‍රේමරත්න ඔහුගේ නිවසේදී ලියුම්කරු හමුවූ මෙහොතේ පිළිගත්තේය. එදිනම සැඟවුණු අම්පාරේ ප්‍රේමරත්න එම පණිවිඩය මොනරාගල නායකයාට දැනුම්දීමට ගියේ හෝ පණිවිඩයක් යැවීමට කටයුතු කළේ හෝ නැත. වැල්ලවාය පොලිස් ස්ථානයට 1971 අප්‍රේල් 5 අලුයම එල්ලකළ ප්‍රහාරය එම සන්නිවේදන සම්බන්ධිකරණයේ දුර්වලතාවක ප්‍රතිඵලයකි.

71 අප්‍රේල් 05 වැල්ලවාය පොලීසියේ ප්‍රහාරය සම්බන්ධයෙන් මහභේදයට ලක්වූ පණිවිඩය හුවමාරු කළ අම්පාරේ කේ. වී. ප්‍රේමරත්න(වමේ) සහ බටපොල ලාල් සෝමසිරි විසින් 71 අප්‍රේල් 05 අලුයම වැල්ලවාය ප්‍රහාරයේ සිදුවීමට අදාළ එම පණිවිඩය පිළිබඳව ඔවුන්ගේ නිවෙස්වලදී ලියුම්කරුට අදහස් දක්වමින්.
ප්‍රේමරත්නගේ දැනුම්දීම අනුව 1971 අප්‍රේල් 4 දහවල් 12.30ට නුවරින් කොළඹ බලා ආ ලාල් සෝමසිරි මහරගමට ගොස් විදුදය සරසවියේදී පියතිලක හමුවිය. එදින රාත්‍රී කෑම පාර්සලයක් ආහාරයට ගෙන විදුදය සරසවියේම නවාතැන් ගත් සෝමසිරි 1971 අප්‍රේල් 5 අලුයම ඊබට් සිල්වා බසයට නැඟී 50ක පමණ පිරිසක් සමග යාපනය සිංහල මහා විද්‍යාලයට පැමිණෙන විට රාත්‍රී 9.00 පමණ වී තිබිණි. සෝමසිරිට භාරදුන් වගකීම වූයේ ඒ කැරැල්ලේ ප්‍රහාරක කණ්ඩායමට විජේවීර රඳවාගෙන සිටි යාපන බන්ධනාගාර කුටිය පිහිටි ස්ථානය පෙන්වීමය.
විජේවීර බේරාගැනීමට යාපනයට ගිය අප්‍රේල් කැරලිකරුවන්ගේ කණ්ඩායමේ නායකයන් වූයේ භද්දිය හිමි සහ කරාටේ සැම්සන්ය. ඔවුන් සමඟ සරසවි සිසුන් මෙන්ම පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සිසුන් 14ක් ඇතුළු සිසුන් කණ්ඩායමක්ද වූහ. සරසවි සිසුන් 26 අතර භික්ෂූන් 8ක්ද වූහ. ලාල් සෝමසිරිද ඔවුන් අතර විය. දුම්රියෙන්ද පැමිණ යාපනයේ නාග විහාරයේ සිටි පිරිස සමඟ එක්ව කඩ වසා තිබූ බැවින් ඔවුහු රාත්‍රී ආහාරයට බිස්කට් පමණක් කා ටින් බෝම්බ දෙක බැගින් ගෙන යාපනය බන්ධනාගාරයට සහ පොලිසියට පහරදීමට ගියහ. ප්‍රහාරයක් ද එල්ල කළහ. එය මුළුමනින්ම වාගේ අසාර්ථක විය.
යාපනය බන්ධනාගාරය ඇතුළු ස්ථාන 5කට කැරලිකරුවන් එල්ල කිරීමට කටයුතු කළ ප්‍රහාරයට සමස්තයක් වශයෙන් ජවිපෙ ශිෂ්‍ය අංශයේ 71 දෙනෙක් එක්වූහ. එමෙන්ම වෙනත් අංශවලින් කැරලිකරුවෝ 21ක්ද එයට එක්වූහ. වයස 25 ඉක්මවූවන් එහි සිටියේ දුසිම් භාගයකටත් අඩු පිරිසකි. එහිදී මියගිය සංඛ්‍යාව තිදෙනෙකි.
1971 අප්‍රේල් 5 අලුයම වැල්ලවාය සහ මොනරාගල පොලිසියට කැරලිකරුවන් පහර දුන්නේ වැරදි විදුලි පණිවිඩයකින් නොව මෙම අලුතින් ගත් තීරණය මොනරාගල දිස්ත්‍රික් ලේකම් වෙත සන්නිවේදනය කර නොතිබීමෙනි.
දොඩම්ගහවෙල ප්‍රේමසිරි හෙවත් ප්‍රේමසිරි ගමගේ හෙවත් ඉලන්දාරි දේවගේ ප්‍රේමසිරි හෙවත් ඉද්දමල්දෙණිය ප්‍රේමසිරි දේවප්‍රිය උපත ලැබුවේ 1948 පෙබරවාරි 27 වැනිදා කරන්දෙණියේ මුල්තැටියාතොටදීය. ඔහුගේ පියා අයි.ඩී. අල්විස්ය. මව ඉංගිරියේ උපන් කේ. මේලින්ය. කුරුඳු තැලීමේ සහ ගොවිතැනේ යෙදුණු මෙම දෙපළට දරුවන් 8කි. ඉන් තෙවැන්නා වූ ප්‍රේමසිරි අධ්‍යාපනය ලැබුවේ ඇල්පිටිය ශාන්ත මේරි සහ අම්බලන්ගොඩ ධර්මපාල යන විදුහල්වලිනි. ඔහු ජවිපෙට 1968 දෙසැම්බර් බඳවා ගනු ලැබුවේ කරන්දෙණියේ උපන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් වශයෙන් කලක් කටයුතු කළ සුසිල් ලියනගේය. ප්‍රේමසිරිගේ මුළු පවුලම වාගේ ජවිපෙට හිතවත්ය.
සිසු ගුරුවරයකු වශයෙන් මහරගම ගුරු විදුහලින් සමත්වූ ප්‍රේමසිරි 1969දී වතුගෙදර දංගනවිල කනිෂ්ඨ විද්‍යාලයේ සේවයට පැමිණියේය. වතුගෙදර පාසලේ සේවය කරමින් සිටියදීම ජවිපෙ පූර්ණකාලීනයකු විය. ජවිපෙ ප්‍රචාරක පත්‍රිකා අලවමින් සිටියදී 1970 ජුනි මස ඇල්පිටියේදී ප්‍රේමසේන සහ ජනක සමඟ පොලිස් අත්අඩංගුවට පත්විය. දෙසතියක රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නිදහස් වීමෙන් පසු අම්පාර දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක ඉල්ලීම අනුව අම්පාරේ පූර්ණකාලීනයෙක් විය. ජවිපෙ 2වැනි නායක සනත්ගේ ඉල්ලීම මත 1970 අවසන් භාගයේ සිට මොනරාගල දිසා ලේකම් විය. මොනරාගල ඔහු වගකීම් භාරගන්නා විට වැල්ලවාය පොලිස් කොට්ඨාස ලේකම්ව සිටියේ කරන්දෙණියේ උණගස්වල උපන් ඉලන්දාරි දේවගේ නිල්සන් හෙවත් අනුරය. මොනරාගල පොලිස් කොට්ඨාස ලේකම් දොඹගහවෙල බණ්ඩාරය.

1971 අප්‍රේල් 05 කැරැල්ලේ ප‍්‍රථම ප‍්‍රහාරය වැල්ලවාය පොලිසියට එල්ල කිරීමෙන් පසු මියගිය කරන්දෙණියේ ඉලන්දාරි දේව නිල්සන් හෙවත් වැල්ලවායේ අනුර, ඔහුගේ පියාවන ඒමෙල් සහ මව රොසලින්ද අනුරගේ අතීතය ආවර්ජනය කළ සමකාලීනයෙකු වූ 1968දී ජවිපෙට එක්ව තණමල්විල ඇතුළු ස්ථාන කිහිපයක පූර්ණකාලීනව දේශපාලනයේ යෙදුණු උණගස්වල ගුණසේන ප්‍රේමලාල් නොහොත් පොඩි නිමල්ද, වැල්ලවාය අනුරගේ වැඩිමහල් සොයුරු නිල්සන්ද මෙහි වමේ සිටය.
අප්‍රේල් කැරැල්ලේ ප්‍රහාරය අප්‍රේල් 5 වැනිදා අලුයම සිදුවන බව ඔහු ඇතුළු කණ්ඩායමට දැනුම්දුන්නේ අම්පාර දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක විසිනි. ඒ 1971 අප්‍රේල් 02 වැනිදා පස්වරු 02කට පමණ මොනරාගල හුලංදාවේ පැවති සාකච්ඡාවේදීය. මොනරාගල පොලිසියට අප්‍රේල් 05 අලුයම කළ ප්‍රහාරය වැල්ලවාය පොලිසියට කළ ප්‍රහාරය මෙන් සුළුවෙන් හෝ සාර්ථක වූයේ නැත. ප්‍රේමසිරි ලියුම්කරු වෙත පවසා සිටි පරිදි දොඹගහවෙල පොළේ තිබුණු ලොරියක් පැහැරගෙන යාමෙන් පසු එය අවුලක්ම විය. ප්‍රහාරයෙන් පසු බැස ගිය ඔහුගේ කණ්ඩායම ඔක්කම්පිටිය අසළදී ගම්මුන් විසින් වටකර මොනරාගල පොලිසියට භාරදෙන ලදි. කණ්ඩායමේ සියලු දෙනා තිරශ්චීන පහරදීම්වලට ගොදුරු වූහ.
ප්‍රේමසිරි යළි ගමට ආවේ සිරදඬුවම් විදීමෙන් පසු 1977 නොවැම්බර් 02වැනිදාය. කැරැල්ලට අසුව පසුව නිදහස් වූ ගුරුවරුන් 47දෙනකු සමඟ ප්‍රේමසිරිටද යළි 1979 ජනවාරි මස රැකියාව හිමිවිය. ඔහුගේ පත්වීම ලැබුණේ හලාවතටය. වසර 1980 මහා වැඩවර්ජනයට ප්‍රේමසිරිද එක්වූයේ ඔහු එවකට ලංකා ගුරු සංගමයේ සාමාජිකයකු ලෙස සිටි බැවිනි. අහිමි වූ රැකියාව යළි 1984 රත්නපුර ගඟේයාය පාසලට උසස් පෙළ විද්‍යා ගුරුවරයකු ලෙස පත්වීම ලැබිණ. විවාහ වූයේ නන්දනී ලියනගේ සමඟය. ඒ 1985 වසරේදීය. ලියුම්කරු ඉදිරියේ ප්‍රේමසිරි කළ අතීත ආවර්ජනය නන්දනීද අසාගෙන සිටියේ කුතුහලයෙනි. අවසානයේදී ප්‍රේමසිරි 2008 පෙබරවාරි ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගියේ කනිෂ්ඨ විදුහලක විදුහල්පතිවරයකු වශයෙනි.
පළමු වෙඩිල්ල
වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී පළමු වෙඩිල්ල තැබුවේ ඉලන්දාරි දේව නිල්සන් හෙවත් වැල්ලවායේ අනුරය. වැල්ලවාය පොලිස් කොට්ඨාස ලේකම්ව සිටියේ ඔහුය. අනුර 1947 මැයි 28 වැනිදා උපන්නේ කරන්දෙණියේ උණගස්වෙලය. ලියුම්කරු කරන්දෙණියේ උණගස්වෙල හන්දියේ ජීවත්වන අනුරගේ වැඩිමහල් සොහොයුරා වන නැල්සන් සහ ඥාතීන්ද හමුවිය. වැල්ලවාය පොලිස් ප්‍රහාරයේ ප්‍රථමයෙන් මියගියේ වැල්ලවායේ ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්නය. එහිදී ඇතිවූ පොලිස් වෙඩි තැබීමෙන් අනුර පසුව ඝාතනය විය.
අනුරට සොයුරු සොහොයුරියන් 4දෙනෙකි. ඔවුහු නම් ඩේලින්, නැල්සන්, ඥනදාස සහ ආරියවතීය. පියා වූ ඒමේල් කුරුඳු කම්කරුවෙකි. දකුණු පළාතේ ඇල්පිටිය කරන්දෙණිය උණගස්වෙල කනිෂ්ඨ විද්‍යාලයෙන් 8වන ශ්‍රේණිය දක්වා ඔහු උගත්තේය. පසුව කුරුඳු තැලීමට යොමුවිය. කරන්දෙණියට ජවිපෙ ගෙන ආ උණගස්වල ඉහළ පාරේ පදිංචිව සිටි ගාමිණී බාස්ගේ නායකත්වය යටතේ පසුව පුත්තලම දිසා ලේකම් වූ විල්සන් ආරියරත්න හෙවත් හේරත් හරහා අනුර ජවිපෙට එක්විය.
අම්පාර දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක සමඟ 1968 පූර්ණකාලීනයකු ලෙස අම්පාරට ගිය අනුර පසුව ජවිපෙ විසින් පවත්වාගෙන ගිය කිරින්ද, තණමල්විල සහ කැලැත්තෑවේ ගොවිපොළවල සේවය කළේය. පසුව මොනරාගල දිස්ත්‍රික්කයේ තාවකාලික දිස්ත්‍රික් ලේකම් වූ අනුර පසුව එම වගකීම කරන්දෙණිය ඉද්දමල්දෙණියේ ප්‍රේමසිරි දේවප්‍රිය හෙවත් ප්‍රේමසිරි ගමගේට පැවරුණු පසු වැල්ලවාය පොලිස් කොට්ඨාසයේ ලේකම් විය.
සන්නිවේදනයේ අඩුලුහුඬුකමක් නිසා 1971 අප්‍රේල් 4 රාත්‍රී වැල්ලවාය සහ මොණරාගල පොලිසිවලට පහරදීම සිදුවිය. අනුරගේ නායකත්වයෙන් 20 දෙනකු පමණ පොලිසිය වටකර පහරදුන්නද එය අසාර්ථක විය. එහිදී කැරලිකරුවන් අතින් අප්‍රේල් 05 අලුයම පොලිස් කොස්තාපල්වරුන් වූ කේ. ඒ. ගුණසේකර(2127) සහ ජී. යේනස්(2737) දෙදෙනාද මරුමුවට පත්වූහ. අනතුරුව අප්‍රේල් 5වැනිදා වැල්ලවාය පොලිසියේ අත්අඩංගුවට පත් අනුර එහිදී ඝාතනයට ලක්විය. මොණරාගල සන්නද්ධ අංශය ජවිපෙ 2වැනි කැරැල්ලේදී නම් කෙරුණේ අනුර බලකාය නමිනි.
අම්පාර ප්‍රේමරත්න ලබාගත් පණිවිඩය මොනරාගල දිස්ත්‍රික් ලේකම් ප්‍රේමසිරිට නිසි පරිදි නොලැබීමෙන් ජවිපෙ මොනරාගල දිස්ත්‍රික් කැරලිකරුවන් වැල්ලවාය සහ මොනරාගල පොලිසිවලට පැය 19කට පෙර එල්ල කළ ප්‍රහාරයෙන් පසු කැරුල්ලට මුහුණදීමට ආරක්ෂක අංශවලට වඩාත් හොදින් අවස්ථාව සැලසිණ.
එහෙත් කලින් තීරණය වූ පරිදි රට පුරා පොලිස් ස්ථාන 74කට ජවිපෙ කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කරන ලදි. එමෙන්ම පොලිස් ස්ථාන 5ක්(ඌරගහ, දෙණියාය, කතරගම, වරකාපොල සහ රාජාංගණ) දින කිහිපයකට යටත් කර ගැනීමට සමත් විය. ගැටුමේදී පහරදී අලභහානියට ලක්වූ පොලිස් ස්ථාන සංඛ්‍යාව 57කි. කැරලිකාර පාලනයට යටතට පත්වූ පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 35කි. කැරලිකාර පාලනයට දින 15ක් යටත්ව පැවති දෙනියායේ සිදුවූ සිදුවීම් ජාලය ඉදිරියේදී ඔබ හමුවට එනු ඇත.
(71 අප්‍රේල් කැරැල්ලට අදාළ මෙම ලිපි මාලාව පිළිබඳ වැඩි විස්තර ධර්මන් වික්‍රමරත්නගෙන් ලබාගත හැකිය. දුරකථනය/ වට්ස්ඇප් 071-2733986)

වැල්ලවායේ අනුර අධ්‍යාපනය ලත් උණගස්වෙල කණිෂ්ඨ විද්‍යාලය වර්තමානයේ දිස්වන්නේ මෙසේය

වැල්ලවායේ අනුරගේ උණගස්වෙල උපත ලත් ස්ථානය පසු කලෙක දිස්වූ අයුරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd