ලොව වඩාත් ආන්දෝලනාත්මක ලේඛකයා වන සල්මන් රුෂ්ඩිගේ නවතම සාහිත්‍ය ව්‍යායාමය The Eleventh Hour නමින්  ප්‍රකාශයට පත්ව තිබේ. මරණින් මතු ලෝකයක ගෙවන ෆැන්ටසියක සිට මුම්බායි හි සිදුවන අහිමිවීමක කතාවක් දක්වා වන මෙම කෙටිකතා එකතුවේ තේමාව බවට පත්ව ඇත්තේ, ‘මරණය’ යන්න යි. එය නවකතාකරුවා ඔහුගේ උච්චතම අවස්ථාවේ සිටින බවට හඟවන දෝංකාරයකි.

නිව්‌යෝර්ක් හි පැවැති උත්සවයක දී ඇති වූ ප්‍රහාරයකින් දකුණු ඇස අන්ධවීම පිළිබඳව 2024 වසරේ එළිදැක්වූ රුෂ්ඩි විසින් රචිත Knife නම් ග්‍රන්ථයේ අවසානය වෙත, ඔහු සිතුවිලි දාමයක්  මුදා හරින්නේ මෙසේ ය.

‘ඔබ මා ගැන කිසිවක් නොදන්නා බවත් සමහරවිට වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ මගේ පොත් ඔබට කියවීමට දී ඇති බවත්, මගේ නම කිසිදා අසා නැති බවත්, මගේ ජීවිතය ගැන හෝ 1989 දී The Satanic Verses පොතට එල්ල වූ ප්‍රහාරය ගැන හෝ කිසිවක් ඔබට පවසා නැති බවත් සිතන්න. එවිට, ඔබ මගේ පොත් කාලානුක්‍රමිකව කියවුවහොත්, ‘1989 දී මේ ලේඛකයාගේ ජීවිතයට යම් භයානක විපතක් සිදු වූවා’ යැයි ඔබට නොසිතෙනු ඇතැයි මම විශ්වාස කරමි. පොත් යනු ඒවායේ ම ගමනකි.

ඇත්ත නම්, එය අසාමාන්‍ය ය. එහෙත්, රුෂ්ඩිගේ ගද්‍යයේ ප්‍රීතිමත් මතුපිට, අයතුල්ලා කොමේනිගේ ඉලක්කගත පුද්ගලයා ලෙස ඔහුගේ තත්ත්වය පිළිබඳ පැහැදිලි සාක්ෂි ස්වල්පයක් පෙන්වුව ද, ඔහුගේ නවකතා ඔහුගේ කම්පනය සහ එහි පසු විපාක විශ්වාසවන්තව නිරීක්ෂණය කරයි. ෆට්වා (fatwa) ආඥාව නිකුත් කිරීමෙන් පසු 1995 වසරේ ඔහු පළකළ පළමු කෘතිය වන The Moor’s Last Sigh  ආරම්භ වෙන්නේ මෝරාස් සොගොයිබි (Moraes Zogoiby) නම් නමින් නොදන්නා ‘පසුපස හඹා එන්නන්ගෙන්’ දිවි ගලවා ගැනීමට දුවන ආකාරයෙනි. ඉරාන ජනාධිපති මොහොමඩ් ඛාටාමි විසින් 1998 දී ෆට්වා ‘නිම කළ බව’ ප්‍රකාශ කිරීමෙන් පසු 2001 දී ප්‍රකාශයට පත් කරන ලද Fury , නිදහස් වූ මිනිසකු ඔල්වරසන් දෙන, උද්යෝගිමත් නවකතාවක් බව පැහැදිලි ය.

රුෂ්ඩි මියගිය මිනිසෙක් නොවේ. ඔහු තවමත් ලියමින් සිටියි. කතා පහක එකතුවක් වන The Eleventh Hour  නම් කෘතිය ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ අවසන් අදියරට අයත් හංස ගීතය ලෙස ඔහු අදහස් කරන්නට ඇත. මන්ද මේ කතා සමන්විතව ඇත්තේ මරණයේ සෙවනැල්ලෙන් වන හෙයිනි.

 

2005 ඔහු ප්‍රකාශයට පත් කළ Shalimar the Clown ආරම්භ වන්නේ, රුෂ්ඩි අපට පවසන පරිදි මෙසේ ය. "මට මගේ මනසින් ඉවත් කළ නොහැකි තනි රූපයක් තිබේ. ඒ, ‘බිම වැතිර සිටින මියගිය මිනිසකුගේ රූපයක් සහ ඔහුගේ ඝාතකයා වන තවත් මිනිසෙක් ලේ තැවරුණු පිහියක් අතැතිව ඔහු මත සිටගෙන සිටින’ රූපය යි. Knife   හි රුෂ්ඩි පවසන්නේ, මෙම රූපය ‘පෙර නිමිත්තක්’ වූ බව යි. එහෙත්, එය වසර ගණනාවක් තිස්සේ රුෂ්ඩිට සිතන්නට බල කෙරුණු සිදුවිය හැකි ඉරණම දෙස ආපසු හැරී බැලීමක් ද වී ය. ‘මම මැරුණු මිනිසෙක්’ යනුවෙන් සඳහන් 2012 දී ප්‍රකාශිත ඔහුගේ Joseph Anton නම් මතක සටහන් කෘතියේ ඔහු අපට පවසන්නේ ‘ෆට්වා’ පිළිබඳ පුවත ඇසූ විට ඔහුට මුලින් ම සිතුණු දෙය මෙය බව යි.

කෙසේ වෙතත්, රුෂ්ඩි මියගිය මිනිසෙක් නොවේ. ඔහු තවමත් ලියමින් සිටියි. කතා පහක එකතුවක් වන The Eleventh Hour  නම් කෘතිය ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ අවසන් අදියරට අයත් හංස ගීතය ලෙස ඔහු අදහස් කරන්නට ඇත. මන්ද මේ කතා සමන්විතව ඇත්තේ මරණයේ සෙවනැල්ලෙන් වන හෙයිනි.

ඒවායින් එකක් නම් Late ය; එය මරණින් මතු ජීවිතය පිළිබඳ වූ මනඃකල්පිතයකි. 

The Musician of Kahani  කෙටිකතාව නැවතත් අපට රුෂ්ඩිගේ විශිෂ්ටතම නිර්මාණ සිහිපත් කරයි: එය ‘අපේ ලෝකයේ ප්‍රාතිහාර්ය දරු උපත් සඳහා අනුමත වේලාව’ වන මධ්‍යම රාත්‍රියේ උපන් දරුවකු ගැන ය. ඔහු වයස අවුරුදු හතරේ දී හදිසියේ ම දක්ෂ පියානෝ වාදකයකු බවට පත්වේ. 

රුෂ්ඩි යනු සමකාලීන ප්‍රබන්ධ සාහිත්‍යයේ ගැඹුරු මූලාශ්‍රවලින් එකකි. ඔහු 21 වැනි සියවසේ ‘මහා නව නිපැයුම් නවකතාව’ (Big Inventive Novel) හැඩගස්වා ඇත.

මෙම කථා රසවත් වුවත්, එතරම් ප්‍රබල නිර්මාණ නොවේ. The Musician of Kahani  නම් කතාව බොහෝ දුරට වැදගැම්මකට නැති ප්‍රචලිත කතාවලින් පිරී පවතී.

In the South  කතාව ඊට වඩා හොඳ ය. එය මුම්බායි හි සිටින තම තමන්ගේ නිවෙස්වල වැරන්ඩාවල සිට එකිනෙකාට දොස් පවරා ගන්නා, විහිළු තහළු කරන මහළු මිනිසුන් දෙදෙනකු පිළිබඳ අපූරු, සංවේදී කතාන්දරයකි. ඔවුන්ගෙන් එක් අයකු වන ජූනියර් අනතුරකින් මිය යයි. අනෙකා වන සීනියර් බලාපොරොත්තු සුන් කර ගනී. අවසානයේ දී ඔහු ‘මරණයත් ජීවිතයත් යනු යාබද වැරැන්ඩා දෙකක් පමණි’ කියා විශ්වාස කරයි.

Oklahoma  කෙටිකතාව ෆ්‍රාන්ස් කාෆ්කා ගේ ස්වරූපය සිහිපත් කරයි. එය අති තාත්වික (metafiction) ප්‍රබන්ධයකි. තමා අගය කරන, නැතිනම් අගය කරනවාටත් වඩා සමීපව ඇසුරු කරන ඉන්දීය තරුණ ලේඛකයකු සහ වැඩිහිටි ඇමෙරිකානු නවකතාකරුවකු ගැන මෙමගින් කියැවේ. සාහිත්‍යමය ආභාසයන් ඇති අවස්ථාවල දී, කවුරුන් විසින් කාට ලියනු ලබන්නේ ද යන ප්‍රශ්නය මෙම කතාවෙන් අසන බව පෙනේ.

රුෂ්ඩි යනු සමකාලීන ප්‍රබන්ධ සාහිත්‍යයේ ගැඹුරු මූලාශ්‍රයන්ගෙන් එකක් බවට පත්ව තිබේ. 21 වැනි සියවසේ විශාල නව නිර්මාණාත්මක නවකතා රැසක් පුරා ඔහුගේ ඇඟිලි සලකුණු දක්නට ලැබේ. ඔහුගේ බලපෑම කිසිසේත් ම අවාසිදායක නොවීය. රුෂ්ඩි අඩු හැකියාවක් ඇති ලේඛකයන්ට පවා ඔවුන්ගේ ම නිර්මාණාත්මක බලයන් ගැන සංවේදීවීමට අවසර දී ඇත. The Golden House (2017) සහ Quichotte (2019) වැනි ඔහුගේ මෑත කාලීන නවකතාවල සිදුවීම් නාටකාකාර ලෙස රචනා කරනවාට වඩා නොනවත්වා විස්තර කර ඇත. ඔහුගේ එම ‘දැනවීමේ වෛරසය’ දැනට පවතින නවකතාවලට සැලකිය යුතු ලෙස ආසාදනය වී ඇත.

එසේ ම, රුෂ්ඩි මාර්ගෝපදේශකයෙක් වී ය. Midnight’s Children  හි ඇති අධි උද්‌යෝගය සහ භාෂාමය බලය වසර 44 කට පසුව ද ඔහු ලියූ නවකතා පිටු මත හමුවීම සතුටකි. රුෂ්ඩිට අත්විඳින්නට සිදු වූ දේවල් වෙනත් ලේඛකයකුට සිදුවී නම්, ඔහුගේ ජීවිතය ම කලකිරෙන්නට ඉඩ තිබිණි. එහෙත්, රුෂ්ඩිට එසේ නොවී ය. ඔහු පොත්පත් ලිවී ය. එමෙන් ම, ඔහු ලියූ ඒ බොහෝ පොත්පත් අතිශයින් වැදගත් ඒවා වී ය.

‘අපේ වදන් අප අතහැර යයි’ යන්න The Eleventh Hour  කෘතියේ අවසන් වාක්‍යය යි. එය, භාෂාව මිනිස් කාන්තාවක් ලෙස නිරූපණය වන පොදු අවකාශයක් පිළිබඳ කතාවක නිගමනය යි. සල්මන් රුෂ්ඩිගේ වදන් තවමත් අසාර්ථක වී නැත. එහෙත්, ඔහුගේ මෙම The Eleventh Hour: A Quintet of Stories කෘතිය තුළ, ඔහුගේ නවකතාවල  උච්චතම අවස්ථාවේ තිබූ විස්මිත සුවිශේෂත්වය හදිසියේ ඇති වන හඬකට වඩා ප්‍රතිරාවයක් ලෙස ඇසෙයි.

(‘ද ගාඩියන්’ සඟරාවට කෙවින් පවර් රචනා කළ The Eleventh Hour by Salman Rushdie – a haunting coda to a groundbreaking career නම් විචාර ලිපිය ඇසුරෙනි)

අනුර බී. සෙනෙවිරත්න