දිනය පසුගිය මාසයේ 25දාය.තායිලන්තයේ දොන් මුවෑන් වෙතින්‍  පිටත් වුණු එයාර් ඒෂියා ගුවන් යානයක පිරිසක් ශ්‍රී ලංකාවට ළඟාවුණේ රාත්‍රී 10.10ට පමණය.එම ගුවන් යානයේ ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා 22දෙනමක්ද වූහ.සාමාන්‍යයෙන් බෞද්ධ රටක් නිසාත් භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් සැකයක් හෝ ගැටලු‍වක් නැති නිසාත් කහ සිවුරු පොරවාගත් මේ අය දෙස බොහෝ දෙනා වැඩි අවධානය යොමු නොකළහ.ධර්ම ප්‍රචාරයට බොහෝ ස්වාමීන් වහන්සේලා පිටරට වඩින නිසා ඒ ගැන ලොකූ අවධානයක්ද  ඇති නොවීය.

කෙසේ වෙතත් තායිලන්තය වසර කිහිපයකට පෙර එරට කංසා භාවිතය නීතිගත කිරීමත් සමඟ කංසා හා නිෂ්පාදිත කුෂ් සහ හෂීස් පසුගිය කාලය පුරාම මෙරටට එන්නට විය.ඇතැම් අය දැනුවත්වද තවත් අය නොදැනුවත්වද ගෙනා මේ මත්ද්‍රව්‍ය නිතර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඇතැම් ඒවා හොර පාරෙන් රට තුළටද ආවේය.මෙකී තත්ත්වය හේතුවෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකළේ නිරන්තරයෙන් තායිලන්ත ගුවන් යානයක් ආ පසුව එහි එන මගීන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමය.ඒ අනුව ඉහත කී ගුවන් යානය ආ සැණින් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීහු මගීන්ගේ විශාල ගමන් මලු‍ ස්වයංක්‍රීයව එළියට එන බෙල්ට් එක සමීපයට පැමිණ අවධානයෙන් සිටියහ.

මඳ වෙලාවක් යන විට මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියකුට කංසා සුවඳක් ඒ ගමන් මලු‍ අතරින් දැනෙන්නට විය.ඔහු මඳක් සමීපව නිරීක්ෂණය කරන විට අදාළ ගමන් මලු‍ අතරින් එම කංසා සුවඳ වහනය වන බව වැටහිණ.ඒ සමඟ එකම වර්ගයේ පාට පාටින් වූ ගමන් මලු‍ තොගයක් එකී බෙල්ට් එක දිගේ එන බවත් ඒ මලු‍ ස්වාමීන්වහන්සේලා පිරිසක් විසින් ගන්නා බවත් දැක්කේය.ඒ අනුව ඇතිවූ සැකය මත ඔහු අදාළ මලු‍ එකින් එක පරීක්ෂා කරන්නට විය.පළමු මල්ලක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ පාසල් උපකරණ දක්නට විය.එහෙත් මල්ලේ පතුල වෙනස් ය.

වහාම අදාළ නිලධාරීහු එම බෑගයේ පතුල කඩා බැලූහ.එහිදී දැකගැනීමට හැකි වුණේ එහි කුෂ් සහ හෂීස් ඇති බවය.තත්වය තේරුම් ගත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු වහාම එක හා සමාන ගමන් මලු‍ සියල්ල පරීක්ෂා කළහ.එවිට සෑම මල්ලකම පතුලේ හෂීස් සහ කුෂ් තිබුණේය.එක් බෑගයක කිලෝ 5ට වඩා මත්ද්‍රව්‍ය විය.ඒ අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් එම භික්ෂූන් වහන්සේලා නාකොටික් අත් අඩංගුවට පත් වූහ.

අත් අඩංගුවට ගත් භික්ෂූන්ගේ දුරකථන පරීක්ෂා කරන්නට වූ අතර තායිලන්ත සංචාරයේ හොඳ හොඳ වැඩ දකින්නට ලැබුණේ ඒ දුරකතන පරීක්ෂාවෙන් අනතුරුවය.සිවුරු ඉවත් කර ගිහියන් සේ සැරසී හොඳ හැටි විනෝද වෙමින්,කමින් බොමින් සුඛ විහරණ ලබන ඡායාරූප බොහොමයක් විය.ඇතැම් ඡායාරූපවල කන්තාවෝද සිටියහ.තායිලන්ත සංචාරයේ අරමුණ කුමක් ද යන්න ඒ සියල්ල දුටු විට නිලධාරීන්ට වැටහිණ.ඒ අනුව ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරිණ.

එම භික්ෂූන් වහන්සේලාගේ වයස් මට්ටම 19 සිට 35 තෙක් විය. තිදනෙක් මීට පෙර තායිලන්තයේ ගිය අය වූහ.එසේම මේ ගමන සුදානම් කර තිබුණේ එම තිදෙනා සහ ශ්‍රී ලංකාවේ සිටින තවත් භික්ෂූන් වහන්සේ නමක් විසිනි.ඔහු කඩවත රන්මුතුගල විහාරයේ විහාරවාසී අමිතානන්ද නම් විය.

ඔහුගේ මග පෙන්වීම මත වට්ස්ඇප් හරහා දිවයින පුරා විහිදී සිටින විවිධ නිකායන්ට අයත් හිමිවරු මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති අතර සංචාරය සම්පූර්ණ නොමිලේ ය.ඒ අනුව අදාළ ගමන ගොස් ඇත්තේ 22 දාය.එසේ ගිය එම පිරිසට කෑම බීම ඉඳුම් හිටුම් ලබාදී ඇත්තේ තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් දෙනමක් වන ධම්මරක්ඛිත සහ පුඤ්ඤරතන නැමති දෙනම විසිනි. සියලු‍ ගිහි සැප ලබාදී ඇත්තේ එම දෙනම විසිනි. පන්සලක වැඩවාසයක් නැති එම දෙනම ජීවත් වන්නේ තායිලන්තයේ හෝටල්වල බව අනාවරණය විය.

කෙසේ වෙතත් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ මෙම භික්ෂූන් පිරිස ලංකාවට එන්න සූදානම් වන විට ධම්මරක්ඛිත නමැති භික්ෂුව පැමිණ එක හා සමාන බෑග් මලු‍ 22ක් ලබාදුන් බවය.එසේ ලබාදෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දුප්පත් ළමුන් සඳහා බෙදාදීමට භාණ්ඩ වගයක් හෙයින් ඒ මලු‍ රැගෙන ගොස් ගුවන් තොටුපළේදී වෑන් එකකින් පැමිණ ඇති අමිතානන්ද භික්ෂුව වෙත ලබාදෙන ලෙසය.ඒ අනුව ඔවුන් ඒ සඳහා සූදානමින් පැමිණි බව මෙහිදී අනාවරණය විය.ඒ අවස්ථාවේ පරීක්ෂණ නිලධාරීන්ට තවත් ඔත්තුවක් ආවේය.එනම් තවත් භික්ෂුවක් එළියේ සිටින බවය. එහෙත් එම භික්ෂුව සොයා ගියත් ඔහු හිටියේ නැත.වහාම එම භික්ෂුව සොයා පරීක්ෂණ ආරම්භ කෙරිණ.

මේ අතර අදාළ භික්ෂූන් සියලු‍ දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරිණ.එහිදී අනාවරණය වුණේ භික්ෂූන්ගෙන් 19 දෙනෙකු කංසා පානය කර ඇති බවය.එසේම ඔවුන් පැවසුවේ මේ මලු‍වල ඇති කිසිවක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවය. කෙසේ වෙතත් ඊට පසුදින රාත්‍රියේ රන්මුතුගල විහාරවාසී හිමිනම අත්අඩංගුවට පත්විය.ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව සියල්ල වැමෑරීය.එනම් මෙම ජාවාරම පසුපස මුස්ලිම් ව්‍යාපාරිකයකු මෙන්ම අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අයකුද සිටිනා බවය. 

මීට පෙර 12 නමක් තායිලන්තයේ සංචාරය කර ඇති අතර ඔවුන් පැමිණෙන අවස්ථාවේද මෙවැනි ගමන්මලු‍ ගෙන්වා ගෙන අදාළ ගමන් මලු‍ සියල්ල අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයාට ලබාදුන් බව හෙළි කරන ලදි.ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයා සොයාගෙන ගියේය.ඔහු චන්ද්‍රකුමාර නමැත්තෙකි.චන්ද්‍රකුමාර අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ පදිංචිව සිටි අයකු වන අතර ඒ සඳහා ලක්ෂ 2ක මුදලක් කුලිය වශයෙන් ගෙවා තිබුණේය.ඔහු ලබාගත් මලු‍ වෙනත් අයකු සඳහා ලබාදුන් බවත් ඒ මුස්ලිම් ව්‍යාපාරිකයා බවත් හෙළි විය.මේ ගමන සඳහා සියලු‍ මුදල් වියදම් කර ඇත්තේ ගාල්ල ප්‍රදේශය උපන් ගම කරගත් මේ මුස්ලිම් ජාතිකයාය.ඒ අනුව එම මුස්ලිම් ජාතිකයා සෙවීම පරීක්ෂණ කණ්ඩායම් ව්සින් ආරම්භ කෙරිණ.

මේ අතර මේ සිදුවීම පිටුපස බ්‍රිතාන්‍ය ජාතික නිකී නමැති අයකු සිටින බවත් ඔහු මෙරටට කුෂ් කිලෝ 5ක් ගෙනවිත් බන්ධනාගාර ගතවූ අයකු බවත් දැන් ශ්‍රී ලාංකාවේ සිට මේ කුෂ් ජාවාරම මෙහෙයවන බවත් දැනගන්නට හැකි විය.මේ නිකී සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සම්බන්ධවී වැඩ කරන බවත් තායිලන්තයේ ධම්මරක්ඛිත සහ පුඤ්ඤරතන එම පිරිස සමඟ ගනුදෙනු කරන බවත් හෙළිවිය.ඒ අනුව තායිලන්තයේ සිටින එම භික්ෂූන් වහන්සේලා දෙනම රැගෙන ඒම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ගැනීමට පොලිසිය මේ වනවිට තීන්දු කර ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා ත්‍රෛනිකායික නායක හිමිවරුන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡාවක් කළ අතර එහිදී එම හිමිවරු පැවසූවේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසය. එසේම එම හිමිවරුන්ගේ අදහස වූයේ මෙම භික්ෂූන් වහන්සේලා උපැවිදි කර නඩුව අසන ලෙසය.

ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායම් එකඟ විය.කෙසේ වෙතත් මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින අමිතානන්ද භික්ෂුව කංසා පානය කර සිටි බව වෛද්‍ය පරීෂණයේ තහවුරු වූ අතර එයද වාර්තාවල සඳහන් කරන ලදි.කෙසේ වෙතත් එම භික්ෂුව සඳහන් කර සිටියේ අධිකරණයේදී තමන් නොදැනුවත්ව සිදුකළ වරදක් බවය.පුදුමය නම් දැන දැන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් ඒ සඳහා උතුම් බුද්ධ චීවරය යොදාගත් මෙම භික්ෂූන් තවමත් කිසිවක් නොදන්නා තොත්ත බබ්බු සේ හැසිරීමය.ඒ නිසා මොවුන්ට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් දියයුතුය.

එතෙර ස්වාමීන්වහන්සේලා ලෝක සාමය පතා රට වටේ පාගමනින් වඩින මොහොතක තායි සංචාරයේ ගිය අපේ භික්ෂූන් වහන්සේලා අපට ගෙනාවේ මත්ද්‍රව්‍ය සහ විළිලැජ්ජාව පමණක් බව කිව යුතුමය.

ගයාන් ගාල්ලගේ