එක් අමාත්‍යාංශයක ලේකම් තනතුරක් දැරීම අරුමයක් නොවන්නේය. එහෙත් අමාත්‍යාංශ අටක (8)ක ලේකම් තනතුර දරා ඇත්නම් එය ඉතාම දුර්ලභ අවස්ථාවකි. විටෙක එය වාර්තාවක් විය හැකිය. කාන්තාවක ලෙස මේ දක්වා අමාත්‍යාංශ අටක ලේකම් තනතුර දැරූ ලාංකීය කාන්තාව ඇයම වන්නීය. ලාංකීය භූමියට පමණක් සීමා නොවූ ඇය කලක් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර්වරියක ලෙස කටයුතු කළාය. ඊටත් අමතරව UNDP (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ) ව්‍යාපෘති සම්බන්ධීකාරකවරියක ලෙස ද කටයුතු කර තිබේ. ගුරුවරියක ලෙස වෘත්තීය ජීවිතයට පැමිණ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දක්වා ගිය ගමන දෙස බලද්දී ඇයගේ ජීවිතයෙන් සමාජයට ගත හැකි  දේ උකහා ගත හැකිදේ බොහෝය. රාජ්‍ය සේවයේ යෙදී සිටියදී තමා කළ සේවය ගැන තෘප්තිමත් වන ඇය අද විශ්‍රාම ගොස් සිටිය ද හානි පූරන කාර්යාලයේ සභාපතිනිය ලෙස තවදුරටත් සේවය ලබා දෙන්නීය. මෙවර විශ්‍රාමික සුපිරිතරු විශේෂාංගයට අප ඇරයුම් කළේ. රාජ්‍ය සේවයේ ලේකම්වරියක ලෙස තනතුරු දරමින් ඊට ලොකු අරුතක් ලබා දුන් වසන්තා පෙරේරා වන ඇයටය.

• සම්පූර්ණ නම – විවාහයට පෙර වසන්තා ධර්මරත්න. විවාහයෙන් පසුව වසන්තා පෙරේරා

• ගම් පළාත?  මහනුවර

• ඉගෙන ගත්තෙ?
පාසල් තුනකට ගියා. අන්තිමට ගියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට 

• කොහොමද පවුලේ විස්තර එහෙම?
අප්පච්චි කටයුතු කළේ විදුහල්පතිවරයෙක් විදිහට. අම්මත් ගුරුවරියක්. මල්ලිලා තුන්දෙනයි. මම පවුලේ වැඩිමලා.

• පාසල් ජීවිතයේ මතක එහෙම මොනවගේද?
අටේ පංතිය දක්වා ඉගෙන ගත්තෙ මාතලේ බැප්ටිස්ට් මිෂන් විද්‍යාලයෙන්. ඒ කාලයේදී හොස්ටල් එකේ නතර වෙන්න සිදුවුණා. ඒ දවස්වල ඉරිදට ඊ.එච්. කුරේ ගීත දහරා, වැඩසටහනේ මියුසික් වාදනය රේඩියෝවෙන් ඇහෙද්දී ‘‘දුව දැන් ලෑහැස්ති වෙන්න, හොස්ටල් යන්න’’ කියලා අප්පච්චි කිව්වාම මම අකමැතිම වුණා. ඒ වෙලාවට මාත් අඬනවා. අම්මත් අඬනවා. හොස්ටල් එකට ගිහින් ආපහු සිකුරාදා මාව එක්ක යන්න අප්පච්චි එනකල් මම මග බලාගෙන හිටියෙ. මුලදි හොස්ටල් ජීවිතය දරා ගන්න අපහසු වුණත් යාලුවෝ එහෙම හම්බවෙද්දි පසුව ඒ ජීවිතයට හුරුවුණා. හැම සති අන්තයකම ගෙදර යන්න අවසර තිබුණෙ නැහැ.  ඒත් අප්පච්චි  කොහොම හරි කියලා මාව එක්කගෙන ආවා. ඉතින් ඇත්තටම ළමා කාලය ගත කළේ බොහොම සැහැල්ලුවෙන්.

• අධ්‍යාපනයට බොහොම දක්ෂ වෙන්න ඇති?
පාසල් අධ්‍යාපනයේ දී මම මහා ලොකු දක්ෂතා පෙන්වූ කෙනෙක් නෙවෙයි. ‘අප්පච්චි - අම්මා’ ගුරු පවුලක් වුණත්, පාඩම් කරන්න එහෙම කියලා බල කළේ නැහැ. පාසලේදී දුන් හෝම්වර්ක් ටික කිරීම නම් අනිවාර්ය වුණා. ඒ හැර ලොකු පීඩනයක් දුන්නෙ නැහැ. දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරු වෙන්න කියලා කිව්වෙත් නැහැ. ‘හොඳ කෙනෙක් වෙන්න’ කියන එක තමයි නිතරම කිව්වෙ. මම හොඳ කෙනෙක් වෙන්න ඕනෑ කියන අදහස නිතරම සිහියට ආවා. පාසල් අධ්‍යාපනයේදී මම ලොකුවට දක්ෂතා පෙන්නුව කෙනෙක් නෙවෙයි. දුර පැනීම – උස පැනීම, දිවීම, හෙල්ල විසිකිරීම වගේ ක්‍රීඩා කළා. ඒත් ඒවායිනුත් එච්චරම දක්ෂ වුණේ නැහැ. හැබැයි ඒ විදිහට කටයුතු කිරීමට ආසා කළා. දින්නත් පැරදුණත් ලැබුවෙ සතුටක්. පාසලේ හොඳම ශිෂ්‍යාව විදිහට මම  ප්‍රයිස්   (Prize)  ලැබුවෙ  නැහැ . තිබුණෙ ඉදිරිපත්වීමේ උනන්දුවයි.   උසස් පෙළ විෂයන් තෝරාගත්තෙ කවදා හරි වෛද්‍ය වෘත්තිය තෝරාගන්න හිතාගෙන. හැබැයි ලකුණු දෙකක් විතර අඩුවෙලා 

• ඉන්පසුව?
බාහිර උපාධිය කළා. යුනිවර්සිටි නොගියට  කමක් නැහැ ඔයා බාහිර උපාධිය කරන්න කියලා මාව උනන්දු කළේ අප්පච්චි. ඒ අතරේ ගුරු පත්වීමකට සූදානම් වුණා.

● වෛද්‍ය  සිහිනය මග හැරුණාම දුකක් ඇති වුණේ නැද්ද?
අප්පච්චි ඊළඟට මගෙ මනසට දාලා තිබුණෙ ගුරුවරියක වෙන්න කියන අදහස නිසා දුකක් ඇති වුණේ නැහැ. ගුරුවරියක වීමට ආසා කළා.

● ගුරුපත්වීම අරගෙන මුලින්ම සේවය කළේ?
ඔකඳගල කණිෂ්ට විද්‍යාලය කියලා පාසලකට ලැබුණෙ. මහනුවර දිස්ත්‍රික්කයේ කෙළවරක තිබුණු  පාසලක්. එදා අප්පච්චි - මමයි මාමයි   අපි ඔක්කෝම ඒ පාසල හොයාගෙන වෑන්  එකකින් ගියේ. වාහනෙන් යන්නත් බැරි පාරක්. වාහනේ මග නතර කරලා පයින් පාසල හොයා ගෙන යද්දි, කන්දක් නගින්න තිබුණා. මනුස්සයෙක් අපි ඉදිරියට ආවා. එයාගෙන් ඇහුවාම තව හැතැප්ම තුනක් විතර යන්න තියෙනව කිව්වා. අප්පච්චි මොනවත් නොකියා, හා පුතේ අපි ගෙදර යං කියලා මට කිව්වා. අපි හැරිලා ආපහු ගෙදර එන්න පටන් ගත්තා. එන අතරවාරයේදී අධ්‍යාපන කාර්යාලයට ගිහින්, මේ ගැහැණු ළමයා කොහොමද එතැනට යවන්නෙ කියලා ඇහුවා. අඩු තරමින් නතර වෙන්නවත් තැනක් තිබුණෙ නැහැ. මගේ නම වසන්තා වුණාට ඒ අය හිතලා හියෙන්නෙ වසන්ත කියලයි. පිරිමි කෙනෙක් කියලා හිතලා තමයි එතැනට දාලා තිබුණෙ. ඉන්පස්සේ ඊට මෙහායින් ඇති පදියපැලැල්ල මහා විද්‍යාලයට පත්වීම ලැබුණා. එතැන අවුරුදු 3ක් සේවය කළා. විද්‍යා, ගණිත ගුරුවරියක ලෙස ඒ විදිහට පත්වීම් අරගෙන ඒ පාසලේ දරුවන්ට ඉගැන්වූවේ හරිම ආසාවෙන්. අතිශය දුෂ්කරව ජීවිත ගෙවූ දරුවන්ට උගන්වා මම ලැබුවේ මානසික සතුටක්. එතැනින් පස්සෙ පුෂ්පදාන බාලිකාවට ආවා. ඒ කාලයේදී තමයි මගේ විවාහය කෙරුණෙ.

• ඔහු ගුරුවරයෙක් ද? යෝජිත විවාහයක්ද? ප්‍රේම සම්බන්ධයක්ද?
යාලුවෙක් තමයි යෝජනාව ගෙනාවෙ. ඒ පාර අපේ අම්මලාගෙන් අහන්න කියලා මම කිව්වා. ඊට කලින් එයා එක්ක කතා කරන්න ලැබුණා. එයා හොඳයි කියලා මට ඒ වෙලාවෙ තේරුණා. යෝජනාවක් හැටියට ඇවිල්ලා තමයි විවාහය සිදුවුණේ.  මගේ මහත්තයා ඒ කාලයේ වැඩ කළේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ.  වතු අධිකාරිවරයකු විදිහටයි. බිබිලේ වතුයායේ හිටියෙ. විවාහයෙන් පස්සෙ වෙල්ලස්ස සෙන්ට්‍රල් (බිබිලේ) පාසලට මට පත්වීම ලැබුණා.

• ඒ විදිහට හිටපු ඔබ කොහොමද පරිපාලන අංශයට සම්බන්ධ වුණේ?
වෙල්ලස්ස සෙන්ට්‍රල් එකේ ගුරුවරියක ලෙස කටයුතු කරද්දි තමයි රාජ්‍ය පරිපාලන සේවා විභාගයට ලිව්වෙ. ඇත්තටම කිව්වොත් මගේ අධ්‍යාපනය හරියටම පටන්ගෙන තිබුණෙ බාහිර උපාධිය කරද්දියි. ඒ අවුරුද්දෙ විද්‍යා අංශයෙන් සමත් වුණේ මුළු ලංකාවෙන්ම තුන් දෙනයි. ඒ තුන් දෙනාට මාව ඇතුළත් වුණා. එදා මටම පුදුම හිතුණා.

• බාහිර උපාධිය විද්‍යා අංශයෙන් කරලා පසුව පරිපාලන සේවා විභාගය කළේ පරිපාලන සේවයට එන්න හිතාගෙනමද?
අපේ අප්පච්චිගෙ ආසාව වුණේ මම දිසාපති කෙනෙක් වෙනව දකින්න. අප්පච්චිම තමයි අයැදුම්පත දාලා තිබුණෙ. ඒ අවුරුද්දෙ පරිපාලන සේවා විභාගයෙන් දිවයිනෙන්ම 6 වැනියා වුණේ මම. පරිපාලන සේවයට ආ පසුව, මැදගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වීම බාරගත්තා. බිබිලේ සිට මොණරාගලට උදේ හවා මාව ඇරලවමින් සැමියා මට දැක්වූවේ ලොකු සහයෝගයක්. අවුරුදු තුනකින් බිබිලට මාරුවක් ලැබුණා.

• ගුරු වෘත්තියෙන් ඉවත්වීම කැමැත්තෙන්ද කළේ?
හරිම දුකෙන් ඉවත් වුණේ. මුලදි පරිපාලන සේවයේ වැඩ මට තේරුණේ නැහැ. ඒ හැරත් හැමදාම මීටින්. ගුරු වෘත්තිය කොච්චර හොඳ ද කියලා හිතුවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දේශපාලනඥයන් එහෙම එක්ක වැඩ කරන්න මම කැමති වුණේම නැහැ. රැස්වීම්වලදී කෑ කෝ ගැසීම් මට අල්ලලා ගියේ නැහැ. දවසක් අඬලා අඬලා මාව මේකෙන් අයින් කරන්න කියලා මම මහත්තයට කිව්වා. එතකොට බදුල්ලේ මහ ඇමතිව සිටියෙ පර්සි සමරවීර මහතා.  මගේ මහත්තයා එයාටත් ගිහින් මේ ගැන කිව්වාම අයියෝ  මොන පිස්සු වැඩක්ද, ඕක ටික දවසක් යද්දි හරියාවි කියලා එතුමා කීවා. මිනිස්සු  එක්ක ගැටිලා ඉන්න පුරුදු කරන්න කියලා එතුමා උපදෙස් දුන්නා. මගේ ජුනියර් සේවකයකුත් මාව උනන්දු කළා.

• එපා වෙන්න තරම් හේතු වුණේ
ආණ්ඩු මාරුවකින් පස්සෙ, මන්ත්‍රී කෙනෙක් ඇවිත් බිබිලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එල්ලා තිබූ හිටපු නායකයන්ගෙ පිංතූර ගලවල  පොළවෙ ගැහුවා. ඒ සිදුවීම මට ගෙන දුන්නෙ ලොකු කම්පනයක්. අපට හානියක් නොකළත් මට ඒ සිදුවීම දරාගන්න බැරි තරම් දෙයක් වුණා. කොහොම වුණත් පසුව හිත හදාගෙන 1994 වෙනකල් සේවය කළා. සාමාන්‍ය මිනිස්සු එක්ක වැඩ කරමින් හේන් - කුඹුරුවලට ගිහින් එයාලා එක්ක කාලා බීලා හරි සතුටින් ගත කළේ. අස් වුණේ නැති එක හොඳයි කියලා මට හිතුණා. හැබැයි මාස්ටර්ස් එක කරන්න හිතුව නිසා එයින් අධ්‍යාපන නිවාඩු අරගෙන අයින් වුණා. ඒ වෙනකොට අපේ දුව පුතා ලැබිලා හිටියෙ. මාස්ටර්ස් එක කරන්න කොළඹ නතර වුණේ මහත්තයගෙ අම්මගෙ ගෙදර. ඒ විදිහට ඇවිත් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව නිම කළා. ඉන්පස්සෙ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් අංශයේ ඇබෑර්තුවක් තිබිලා ඒකට ගියා. සහකාර අධ්‍යක්ෂ ලෙස. එතැන අවුරුදු ගාණක් හිටියා. එකම තැන සෑහෙන කාලයක් සිටියදී මෙතැන හිටියා හොඳටෝම වැඩිද මන්දා කියලා මට හිතුණ වාර එමටයි.

• ඒ විදිහට ආ ගමනේදී රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ චරිතයක් ලෙස, ඔබ ගැන වැඩි දෙනා කතා වෙන්න පටන් ගන්නෙ?
මම හිතන්නෙ මම ගත්ත ඍජු තීරණ නිසා වෙන්නැති. එදාට ගත යුතු තීරණය මම කවදාවත් කල් දැම්මෙ නැහැ.

• තීරණ ගනිද්දි බය වුණේ නැද්ද? ඉහළින් එන බලපෑම්වලට?
ගන්නෙ හොඳ තීන්දු නම්? ඒ ගැන සටහන් තියෙනව නම්, මොකටද බය වෙන්නෙ? ඒ නිසා සෘජු තීරණ ගත්තෙ. දේශපාලන බලපෑම් එද්දි, ඉතාම නිවැරදිව කරුණු පැහැදිලි කිරීම කර දුන්නා. කළ හැකි දේ කිරීමට නොහැකි දේ කළ යුතු විදිහ මම වටහා දුන්නා. කළ හැකි දේ කිරීමට නොහැකි දේ කළ යුතු විදිහ මම වටහා දුන්නා නිකම්ම තර්කානුකූල නොවී ප්‍රායෝගික විදිහටයි මම කටයුතු කළේ. ඒ විදිහට කටයුතු කරමින් සිටියදී, තවත් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ ඉන් පස්සෙ ඔස්ට්‍රේලියාවට ගිහින් මාස්ටර් ඩිග්‍රි එකකුත් කළා. ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන්න Ausaid එකෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගැන මාස්ටර් එක කළේ. ඇත්තම කිව්වොත් රජයේ සේවයට ඒම මගේ වාසනාවක්. ලැබුණු අවස්ථා මම මගහැර ගත්තෙ නැහැ. ඒ අවස්ථා කාටවත් කරදර කරලා ඉල්ලා ගත්ත ඒවා නෙවෙයි.  ස්වාධීනව මාර්ගය සොයාගත්තෙ. මම  වැඩ කළ තැන්වල උසස් නිලධාරින්ගෙන් මට නිබඳවම ලැබුණෙ ලොකු සහයෝගයක්. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ඉවර කරලා ආයෙත් පෙර රැකියාවටම ආවා. උසස්වීම්  ලබමින් විවිධ අංශවල වැඩ කළා. ඒ අතරේදි පරිපාලන සේවයේ නිලධාරීන් තානාපති සේවාවට තේරීම සිදුවෙද්දි මාව එම සේවයට  තේරුණා. ​ෙවනත් දෙපාර්තමේන්තුවක හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වූ බියට්‍රිස් ඒකනායක මැඩම් උනන්දු කළේ. පසුව වොෂින්ටන් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර්වරියක ලෙස මට පත්වීම ලැබුණා.

• එහේ කොච්චර කල් හිටිය ද? මොකක්ද ලංකාව වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් වුණේ?
ලංකාවෙදි මම හිටියෙ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙනෙ. ඉතින් ලෝක බැංකුව හා කටයුතු කරන අත්දැකීම් මට තිබුණා. එහේ ගියාට පස්සෙ ඒ ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කළේ මම. රාජ්‍ය දූත මණ්ඩල පැමිණියාම ඒ පිරිසට එහි  සිට මාත් සහභාගි  වුණා. මව, පියා අහිමි වූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබාදෙන වැඩ පිළිවෙළක් හඳුන්වා දෙන්නත් හැකි වුණා. රාජ්‍ය නොවන සංවිධානයකින් ඒ අවස්ථාව ලබාදෙන්නෙ ලෝකයේ සිවිල් යුද්ධයකින් මව පියා අහිමි වූ දරුවන් වෙනුවෙන් . ඒ චාන්ස් එක මම ලංකාවට අරන් දුන්නා.

• වොෂිංටන්වලින් පස්සෙ?
අයෙත් ලංකාවට ඇවිත් හිටපු තනතුරේ වැඩ කරමින් සිටියා. පසුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වී ඒ තනතුරේ කටයුතු කරන්න පටන් ගත්තා. ටික කාලයක් යද්දි මගෙන් නොවිමසා ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් කළා. හමුදාවේ විනයට අනුව වැඩ කරන කඩිසර නිලධාරි පිරිසක් හිටියෙ. එතැනින් පසුව Slida (ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය) එකේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් වුණා. මම හිතන විදිහට ඒ තනතුරට පත් පළමු කාන්තාව වෙන්නැති.

• එතකොට අමාත්‍යාංශ ලේකම් තනතුරට පත් වුණේ?
එම තනතුරින් පසුවයි. එතැන් සිට අමාත්‍යාංශ අටක ලේකම්වරිය ලෙස කටයුතු කරන්න ලැබුණා. විශ්‍රාම ගියෙත්  ඒ තනතුරේ සිටියදී

• ලේකම් තනතුර කරද්දි බලපෑමකින් තොරව සේවය කරන්න ලැබුණෙ මොන අමාත්‍යාංශයේ දී ද?
බලපෑම් ආවා. හැබැයි ඒ  බලපෑම වැරදි නම්, මම යටත් වුණේ නැහැ. බැරි නම් දාල ගියා. ඉතාම හොඳ ගෞරවනීය දේශපාලනඥයින් එක්ක වැඩ කරන්න ලැබුණා.

• රාජ්‍ය සේවයට සම්බන්ධ ආයතන, දෙපාර්තමේන්තු කරන කියන දේ අසාර්ථකයි කියලනෙ මිනිස්සු අතර මතයක් තියෙන්නෙ?
ඒක මම කොහෙත්ම පිළිගන්නෙ නැහැ. අදටත් ලංකාව ගත්තොත් රාජ්‍ය සේවයේ පුදුමාකාර දක්ෂ මිනිස්සු ටිකක් ඉන්නවා.

• එහෙම නම් ඇයි රාජ්‍ය සේවය සක්‍රීය නැත්තෙ? ඇයි මලානික වෙලා අකර්මණ්‍ය වෙලා වගේ පවතින්නෙ?
හැමෝම  නොවෙයිනෙ . සෑම ආයතනයකම නෙවෙයිනෙ. එක් බිත්තරයක් කුණු වී තියෙන කූඩයක ඔක්කෝම එහෙම වෙන්නෙ නැහැනෙ. ඉතාම හොඳ උපාසකයෝ වෙලා වැඩ කරන්න බැහැ. හැබැයි ඉතාම හොඳ වෙන්න ඕනෑ. ඒ වගේම කඩිසර වෙලා ඍජු තීන්දු තීරණ ගන්න අය වෙන්න ඕනෑ.

• ඔබ ගැන බාහිර සමාජය යහපත්විදිහට කතා කළේ ඒ වගේ දේ නිසාද?
මම හිතන්නෙ ඔව්. තීරණ ගනිද්දි මට වඩා දක්ෂ අයගෙන් අහලා විමර්ශනය කරලා සසඳලා බලලා තමයි මම තීරණ ගත්තෙ. ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න අදාළ පුද්ගලයා ඉඩ නොදෙන විට එයාට ඒ ගැන වටහලා දීලා කැමති කරවා ගන්න උත්සාහ කළා. බැරිම නම් අත් හැරියා. කළුගල්වල ඔලුව ගහගන්න බැහැනෙ.

• අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුර දරද්දී කොහොමද?
මගේ සේවා කාලයේදී මම වැඩියෙන්ම තෘප්තිමත් අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු කළ කාලයයි.

• හේතුව? මොකක්ද ඔබට එහි පැවරී තිබූ වගකීම?
ඉතිහාසය දිහා බැලුවොත් වැඩිම අණ පනත් ගණනක් සංශෝධන වූ ඉතාම වැදගත් අණ පනත් වැඩිම ප්‍රමාණයක් අලුතින් හඳුන්වා දුන් කාල සමයක්. දූෂණ විරෝධී පනත ඇතුළු ගොඩාක් ඒවාට ඇතුළත්. යල්පැනගිය නීති සංශෝධනය කරන්න, අලුත් ක්‍රමවේදයන් ගේන්න, අපට පුළුවන් වුණා. ඒක මම තනියම කළ දෙයක් නෙවෙයි. අනෙක මම ලෝයර් කෙනෙකුත් නෙවෙයි. හැබැයි ඒ සියල්ල කරන්නට නම් හොඳ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. මම කළේ ඒ නිවැරදි සම්බන්ධීකරණයයි. කැබිනට්  පේපර් ලිවීම ප්‍රමාද නම් ඒ අයට මම කිව්වෙ අත ගගා ඉන්න එපාය කියලයි. ඒ වගේ අවස්ථාවල මම ම කැබිනට් පේපර් ලිව්වා  

• වැඩියෙන්ම ප්‍රශ්න තිබුණෙ මොන අමාත්‍යාංශයේද?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වැඩ කරද්දි දිග ලොකු මේසයක් තිබුණෙ. මට මතකයි ඒ මේසය පිරෙන්න ෆයිල්. ඒ එකක් නෑර ඔක්කෝම කියෙව්වා. ඒ මදිවට එන මිනිස්සුත් වැඩියි. ඒ පුදුමාකාර වැඩ තොගයක් තිබුණෙ. හැබැයි ඒ එකක්වත් නොකර හිටියෙ නැහැ. ෆයිල්වල තියෙන දේ දැන ගන්නෙ නැතුව ඒවා පැත්තකට දාලා වැඩක් නැහැනෙ.

• සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටියදී ඖෂධ ගෙන්වීම වෙනුවෙන් තීන්දු තීරණ ගත්තෙ මොන විදිහටද?
එතැනදි තමයි අමාරුවෙ වැටෙන්නෙ. හැබැයි හරිම දේ කරනව නම් හරි. ‘මම හොඳ මනුස්සයෙක්’ වීම කියන දේ මගේ මනසේ නිතරම තිබූ නිසා හරිම දේ තමයි කළේ.

• රජය ඖෂධ ගෙන්වන්න  සිටියදි ඇයි පුද්ගලික අංශයට අවසර දෙන්නෙ.
රාජ්‍ය අංශ ගත්තාම සමහර දේ තියෙනව රජයට විතරක් කරන්න බැරි. ඊට වඩා සාර්ථක විදිහට පුද්ගලික අංශ කරනව නම් ඒ අවස්ථාවලදී ඒ සහයෝගය ගන්න වෙනවා. හැබැයි  ඒක හරියට කළ යුතු  දෙයක්. එක් අයකුට සහයෝගය නොදක්වා පොදුවේ ක්‍රමවේදයකට අනුව ඒ අවස්ථා ලබාදීමේ ක්‍රමවේද හරියට සැකසීම කළොත් හරි දේ වෙනවා. මම හරිම දේ කළ නිසා ලේකම් තනතුරින් ඉවත් වූ පසුවත් ඖෂධ ගෙන්වීමේ කමිටුවේ සභාපති ලෙස මාව කියා ගත්තේ හරි විදිහට හරි දේ කළ නිසයි. 

• ඖෂධ ගෙන්වීමේ ප්‍රශ්න ආවම කොහොමද ඒවට මුහුණ දුන්නේ?
ප්‍රශ්න ආවා. වැරදි දේ මම බාර ගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කළා. 

• එතකොට කොහොමද බාල බෙහෙත් ආවේ? ඔබ සිටියදීද ඒක වුණේ ?
අපි ඉන්නකොට නොවෙයි. ඒ නිසා මට ඒ ගැන කියන්න අදහස් දක්වන්න බැහැ. ඒවා සිදුවෙන්නේ තාක්ෂණික කමිටු නිර්දේශ මත. අනෙක එය මගේ රාජකාරියට වඩා මට තිබුණෙ හරි මොළ ටික එක මිටට එකතු කරගෙන නිවැරදි කළමනාකරණය කරන්නයි. 

• පෑව්වත් විදුලි කප්පාදු කරනවා. වැස්සත් නැතත් සමහර අවස්ථාවල එහෙම වෙනවා. ඔබ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියනේ? ඇයි එකම ක්‍රමවේදයක් හදන්න බැරි? ඇයි හැම අවුරුද්දකම මෙහෙම වෙන්නේ?
ජනගහනයට අනුව – පරිභෝජනයට අනුව ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවනේ. ඒ හා සමානව විදුලිය උත්පාදනය කළ යුතු වෙනවා. අන්න එකට අනුව ව්‍යාපෘති පෙළ ගැස්වුවොත් අදාළ දවසට ජනතාකරණය කෙරූ ඒ ව්‍යාපෘති වැඩ කරන්න පටන් ගත්තොත් ඔය හානිය වෙන්නේ නැහැ. විදුලිය උත්පාදනය ජනනය වගේම බෙදාහැරීම දක්වා නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒවා නිරන්තරයෙන් දියුණුවෙන වැඩසටහන් කර ගන්නට ඕනෑ. බලශක්ති අර්බුදයක් නොවන විදිහට පාවිච්චි කළොත් හොඳයි. හැබැයි එහෙමයි කියලා සෑම තැනකම Solar (සෝලා) ගහලා හරියන්නෙත් නැහැ.  ඒ එන පුනර්ජනනීය බලශක්ති උරාගැනීමට ශක්තිමත් පද්ධතියක් හැදෙන්නට ඕනෑ. ඒක දියුණු කරන්න වෙනවා. 

• ඔබ කිව්වනේ දක්ෂ නිලධාරීන් ඉන්නවය කියලා ඉතින් ඇයි ඒ අයට ප්‍රායෝගික දේ කරන්න බැරි.
පද්ධති තියෙනවා, ව්‍යාපෘති තියෙනවා. සැලසුම් තියෙනවා, ඒක ඇත්ත. ඒවා ඉදිරියට ගෙන යන්න ඕනෑ. ඒ නිසා මට හිතෙන විදිහට ඉදිරි කාලයේදී ඒවා විසඳේවි. විසඳුවේ නැත්නම් අපට මේ ගමන දිගටම යන්න බැරි වේවි. 

• බලශක්ති අර්බුදය දිගටම ගියොත්?
සෑම අංශයකටම බලපාන්නෙ බලශක්තියනේ. එනිසා බලශක්ති පද්ධතිය ස්ථාවර වුණොත් තමයි අපේ රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්නෙත්. දැනට තියෙන සැලසුම් ක්‍රියාත්මක කරවන්න කීයක් ගියත් අපට එය කරන්නම වෙනවා. ඒක හැදුවේ නැති වුණොත් අනෙක් මොන අංශය හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ ඔක්කෝම කඩා වැටේවි. 

• ඒ කියන්නේ අපේ රට ශක්තිමත් රටක් බවට පත්වෙන්න නම් ඒ බලශක්ති අර්බුදය විසඳීම මුලින් කළ යුතුද?
එය එක් අංශයක් විතරයි. අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප වගේම අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් කළ යුතු වෙනවා. සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට ලෝකය අනුගතවෙලා යන අධ්‍යාපන ක්‍රමයට ගැලපෙන විදිහත් අවශ්‍යයි. තාක්ෂණය දියුණුවෙන වේගය එක්ක අපි දිව්වේ නැත්නම් අපි මඟ හැලෙනවා. ළමයින් යුනිවර්සිටි ගියත් ලෝකයේ අනෙක් ළමුන් එක්ක ඉන්න පුළුවන් විදිහට පෙළගස්වන්න වෙනවා. පසුගාමී අධ්‍යාපන ක්‍රමවේදයකින් එය කරන්න බැහැ. හැබැයි ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. මම සිටි කාලයටත් පෙර සිට හොඳ යෝජනා තිබුණා. අපේ අනාගතය සහ දරුවෝ ගැන හිතලා ඒවා වෙනස්කම් විය යුතුමයි. අනෙක අපට පොතටම වඩා ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ආකල්ප අතින් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කරන්න කියන දේ විතරක් ඉලක්ක කර නොගෙන විවෘත දැක්මක් අවශ්‍යයි. සා/පෙළ ට පසුව ඒ නිදහස් ක්‍රමවේදය සකස් කළොත් ළමයින්ටත් එය පහසුවක්. ළමයින්ට තියෙන පීඩනය අඩුවෙනවා. සා/පෙළින් පසුව ළමයින්ට යා යුතු යා හැකි මාර්ග බොහෝමයි. තාක්ෂණයෙන් අපි මීට වඩා දුර ගිහින් තිබිය යුතුමයි. දැන් බලන්නකෝ AI (කෘත්‍රිම බුද්ධිය) එද්දි අපි කොතරම් පසුගාමිද? ඒ නිසා අධ්‍යාපනයෙන් අපි වඩා දියුණු විය යුතුයි. 

ඊළඟට අපේ ආකල්ප වෙනස් කර ගත යුතු වෙනවා. සංස්කෘතිය සහ අපේ දේශයට එරෙහි නොවූ ආකල්ප විය යුතුයි. ඒ වගකීම තියෙන්නේ ගුරුවරුන්ට සහ මව්පියන්ට. හොඳ අධ්‍යාපනයක් එක්ක හොඳ ආකල්ප එනවා. ලෝකය ගැන දැන ගත්තාම මිනිස්සු පටු තීරණ ගන්නේ නැහැ. පටු විදිහට හිතන්නෙත් නැහැ. හොඳින් ගැඹුරින් හිතලා බලලා තීරණ ගනීවි. දරුවන්ට ලොකු තරගයක් පසුපස දුවන්න මව්පියන් ඉඩ නොදිය යුතුයි. පුංචි කාලයේ ඉඳලා හොඳ ගති පුරුදු කරලා, පීඩනයකින් තොරව අධ්‍යාපනය කිරීමට වටපිටාව සකස් කළොත් හොඳ යහපත් ප්‍රතිඵල ලැබේවි. 

ඒ වගේම අපේ නීති පද්ධතියත් හරියටම සකස් විය යුතුයි. 

• අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක ලෙස අපේ නීති පද්ධතිය ගැන ඔබ සෑහීමකට පත් වෙන්නේ නැද්ද?
සෑහීමකට පත් වෙනවා. හැබැයි සමහර තැන් කාලීනව අප්ඩේට් (යාවත්කාලීන) වෙලා නැහැ. පරණ යල් පැන ගිය නීති තියෙන තැන් තියෙනවා. ඒවා වෙනස් කොට යාවත්කාලීන කළ යුතුයි. ඒ හැර අපේ නීති පද්ධතියේ අඩුවක් මම දකින්නේ නැහැ. ළඟදී ගෙනාව දූෂණ විරෝධී පනත ඒ වගේ කාලීන අවශ්‍යතා අනුව, නීති සකස් වෙන්න ඕනෑ. ඉදිරියට AI තාක්ෂණයට අවශ්‍ය නීති ගේන්න වෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රශ්න ඒ කාලයේ තිබුණේ නැහැ. එහෙම නම් ඒවාට යාවත්කාලීන වූ නීති ගේන්න වෙනවා. එංගලන්තෙන් ආපු නීතිය අයින් කර වෙන එකක් ගේන එක නොවෙයි වැදගත්. ඒක හොඳයි. ඒ පද්ධතියේ යම්-යම් තැන් යාවත්කාලීන කිරීම තමයි අපට කරන්න තියෙන්නේ. 

• ඔබගෙ දරුවන් ගැනත් විස්තර දැනගන්න කැමතියි?
අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දියණියගෙ නම සොහානි. ඇය බහු ජාතික සමාගමක විධායක කළමණාකාරවරියක්. පුතාගෙ නම දුලීන්ද්‍ර. එයා ගුවන් නියමුවෙක් ලෙස සේවය කරනවා.
සඳුන් ගමගේ