• යුද්ධය නිසා නෞකා ගාස්තු සියයට 60කින්, උපයෝගිතා ගාස්තු සියයට 40 කින්, ඉන්ධන සියයට 40 කින් ඉහළ ගිහින්
  • SME සඳහා පවතින වැට් බදු සීමාවත් වසරකට රුපියල් මිලියන 3.6ක් දක්වා පහත හෙළීමත් බලපෑමක්
  • අයිතම 2000 කට වැඩි සංඛ්‍යාවක SESS බදු ඉවත් කිරීමත් නිෂ්පාදකයන්ට බලපා ඇතැයි පවසයි
  • මේ හේතු සමගින් බහුජාතික සමාගම් සමගින් තරග කිරීමත් SME අංශයට අසීරු වෙලා

භානුක අමරසිංහ


එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනි ටානියා එස්. අබේසුන්දර

දිට්වා සුළි කුණාටුව මෙන්ම මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය දරුණු කඩා වැටීමකට ලක්ව තිබෙන බවත්, ආර්ථික අර්බුදය ඇති වූ 2022 වසරෙන් පසුව 2026 වසරත් එම අංශය වෙත අභියෝගාත්මක වසරක් බවට පත්ව තිබෙන බවත් ලාංකේය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනි ටානියා එස්. අබේසුන්දර මහත්මිය පවසයි.

පසුගියදා පැවැත්වුණු අන්තර්ජාල වෙබිනාර් සාකච්ඡාවකට එක්වෙමින් අබේසුන්දර මහත්මිය මෙම කරුණු සඳහන් කර සිටියාය. DailyFT පුවත්පත සහ ICCSL එක්ව මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි. 

“යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යෑම කර්මාන්තය වෙත බලපෑ දරුණුතම බලපෑමයි. ඕනෑම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තයක සියයට 60ක් රඳා පවතින්නේ ඉන්ධන මත. එතැනදී සියලුම අමුද්‍රව්‍ය, ප්‍රවාහන ගාස්තු, උපයෝගිතා වියදම් ඇතුළු සියලු දේ මේ ඉන්ධන යටතට ඇතුළත් වෙනවා. මේ නිසා අපගේ නිෂ්පාදනවල සියයට 50 ක 60ක මිල වැඩිවීමක් සිදු විය යුතුව තිබුණත් වෙළෙඳ පොළ ස්ථාවරත්වය නොමැති නිසා අපේ අංශයට මේ දක්වා වෙනසක් සිදු වෙලා නැහැ.“ 

විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදයේ බලපෑමෙන් නෞකා ප්‍රවාහන ගාස්තු සියයට 60කින්, උපයෝගිතා ගාස්තු සියයට 40කින්, ඉන්ධන තවත් සියයට 40 කින් ඉහළ යෑමත් සමගින්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය මෙලෙස අර්බුදයට ලක්ව තිබෙන බවත් ඇය සඳහන් කළාය.

“මැදපෙරදිග යුද ගැටුම් වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ වැට් බදු අය කරන සීමා රුපියල් මිලියන 6 ක සිට රුපියල් මිලියන 3.6 ක් දක්වා පහත හෙළීමත් කර්මාන්තකරුවන්ට බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ වගේම අපනයන වර්ධනය කිරීම සඳහා ආනයනික අයිතම 2,000කට වැඩි සංඛ්‍යාවක SESS බදු ඉවත් කිරීමත් මේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට බලපාලා.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇය, “විශේෂයෙන්ම මේ සියලුම කාරණා සමගින් අද වනවිට සිය කර්මාන්තයේ දළ ලාබයේ ඉහළ යැමක් සිදුව නෑ. කිසිම ව්‍යාපාරයක් ශුද්ධ ලාබය මත පවත්වාගෙන යන්නේ නෑ. අපිට කිසිම ආරක්ෂාවක් නැහැ. අපි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කිව්වත්, ඒ කර්මාන්ත කියන්නේ රුපියල් මිලියන 50ත් - රුපියල් මිලියන 500ත් අතර විශාල සමාගම්. මේ තත්වයත් සමගින්ම රට තුළ ක්‍රියාත්මක බහු ජාතික සමාගම් සමගින් තරග කිරීමත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉතාමත් අසීරු වෙලා. මොකද ඔවුන්ට මූල්‍ය පහසුකම් තිබෙනවා. ඔවුන්ට කාරක ප්‍රාග්ධන පවතිනවා.”

ඒ අනුව අද වනවිට මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 2022 වසරේ මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව නැවතත් 2026 වසරත් එවැනිම අභියෝගයකට මුහුණ දී සිටින අවස්ථාවක් බවත් ඇය මෙහිදී සඳහන් කළාය. 

අර්බුදයෙන් මිදීම සඳහා මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණය පහසුකම් පතා ගෙන බැංකු වෙත ගියද ඉදිරියේදී එයද සාර්ථක නොවනු ඇති බවත් ඇය මෙහිදී පවසා සිටියාය. 

“දිට්වා සුළි කුණාටුවෙන් අපේ කර්මාන්ත විශාල ප්‍රමාණයකට හානි වුණා. රජය වුණත් කියනවා අපිට ණය ගන්න බොහෝ මාර්ග විවෘත කර තිබෙනවා කියලා. 

ඒත් මේ බලපෑමත් එක්ක අපි ව්‍යාපාරයට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ලබා ගන්න බැංකුවකට ගියොත්, හැම බැංකුවක්ම කියන්නේ “ක්‍රිබ්” එකේ ඉන්න නිසා, එහෙම නැත්නම් අක්‍රිය ණය ගොඩේ ඉන්න නිසා ණය දෙන්න බෑ කියලයි. මේ නිසා අපිට හුස්ම ගන්න තියෙන ඉඩත් අහුරලා. අපි කොහෙටද යන්නේ.”