• ගෑස් භාවිතය සියයට 42.4 යි

මෙරට පදිංචි නිවාස ඒකකවල ගෘහ කාණ්ඩ අතරින් සියයට 55ක්ම සිය ආහාර පිසීමට ගන්නා ප්‍රධානම බලශක්තිය/ ඉන්ධන වර්ගය දර ලෙස සටහන්ව තිබේ. ඒ සඳහා ගෑස් භාවිත කිරීම සමස්තයෙන් සියයට 42.4 කි. එහිදී ගෘහ කාණ්ඩ අතරින් සියයට 0.5 ක් සිය ආහාර පිසීමේ බලශක්තිය/ ඉන්ධන ලෙස භූමිතෙල් යොදා ගන්නා අතර, සියයට 0.3 ක් විදුලිය යොදා ගන්නා බව සඳහන්ව තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2024 වසරේදී සිදු කළ සංගණනයේ අවසන් වාර්තාවේ මෙම කරුණු ඇතුළත්ව තිබේ.

කෙසේ වෙතත් 2012 වසරේ සිදුකළ සංගණනයේ දත්ත හා සැසඳීමේදී 2024 වන විට රටෙහි ආහාර පිසීම සඳහා දර භාවිතය සියයට 78.4 ක සිට 55.4 ක් දක්වා අඩු වී තිබේ. එසේම ගෑස් භාවිතය සියයට 18.5 ක සිට 42.4 ක් දක්වා ඉහළ ගැන තිබේ.

ඒ අතරින් නාගරික ජනතාවගේ දර භාවිතයට සියයට 35.8 ක සිට සියයට 13.5ක් දක්වා අඩු වී ඇති අතර, ගෑස් භාවිතය සියයට 53.7 ක සිට 81.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ග්‍රාමීය ජනතාවගේ දර භාවිතය සියයට 86.8 ක සිට 63.1 ක් දක්වා අඩුවී ඇති අතර, ගෑස් භාවිතය සියයට 11.6 ක සිට සියයට 35.1ක් දක්වා ඉහළ නැග තිබේ. මීට අමතරව වතු ග්‍රාමීය ජනතාවගේ දර භාවිතය සියයට 95 ක සිට 83.4ක් දක්වා සුළු අඩුවීමක් පවතින අතර, ගෑස් භාවිතය සියයට 3.7 ක සිට 15.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

“2012 හා 2024 සංගණන දත්ත සැසඳීමේදී දිස්ත්‍රික්ක සියල්ලේම දර භාවිතය ක්‍රමයෙන් අඩු වී ඇති බවත්, ගෑස් භාවිතය වැඩි වී ඇති බවත් දැකගත හැකිය. අනෙකුත් දිස්ත්‍රික්ක හා සසඳන විට, කොළඹ දිස්ත්‍රික්කය ආහාර පිසීම සඳහා ගෑස් භාවිතයේ ඉහළම ප්‍රතිශතය වන සියයට 85.5ක් පෙන්නුම් කරයි. අඩුම ප්‍රතිශතය වන සියයට 15.3ක් සටහන් වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයයි. ඒ වගේම 2012 පැවැති සියයට 5.2 සිට 2024 සියයට 42.3ක් දක්වා ඉහළම ප්‍රතිශත වැඩිවීම යාපනයෙන් දක්නට ලැබේ.” දෙපාර්තමේන්තුව පවසයි.