මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ පොහොර ආනයනය කිරීමට ඇති විය හැකි ගැටලුව තේ ක්ෂේත්‍රයට ද ඇති වීමට ඉඩ තිබෙන බව නිරීක්ෂණය කරන අතර, ඒ සඳහා පිළියම් වශයෙන් තේ පොහොර සහනාධාරය අඛණ්ඩව සිදු කරගෙන යාමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට මූල්‍ය දායකත්වය ලබා දීමට අවශ්‍ය අනුමැතීන් ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ තේ අපනයනයට අදාළව වර්තමාන තත්වය සම්බන්ධයෙන් නිරවුල් සහ වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා කොළඹ තේ වෙන්දේසියේ සතිපතා තේ තොග වෙළෙඳාම ඇසුරින් ලැබෙන දර්ශක දෙකක් මූලිකව පාදක කරගත හැකි ය. මෑත සති කිහිපය තුළ කොළඹ තේ වෙන්දේසියේ පැවති තත්වය මේ සමග අමුණා ඉදිරිපත් කර ඇත. 
කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් වූ තේ තොගවලින් නොවිකුණුනු ප්‍රතිශතය ඉන් පළමුවැනි දර්ශකය වේ. මැදපෙරදිග යුද වාතාවරණය ආරම්භ වීමට ප්‍රථම පැවති තේ වෙන්දේසි අංක 6, 7 සහ 8 අනුව, කොළඹ තේ නොවිකිණුනු ප්‍රමාණය පිළිවෙළින් සියයට 16.19ක්, සියයට 13.07ක් හා සියයට 12.13ක් වූ අතර එම අගය සාමාන්‍ය තත්වයකදී සියයට 10-14ත් අතර ප්‍රමාණයක් වේ.  යුද්ධය ආරම්භ වූ පසු පැවති ප්‍රථම වෙන්දේසියේ දී තේ තොග නොවිකුණුනු ප්‍රමාණය සියයට 19.92ක් දක්වා ඉහළ ගියේය. එය අසාමාන්‍ය තත්වයක් වූව ද, නැවත 2026 මාර්තු මාසයේ පැවති වෙන්දේසි අංක 10, 11, 12 සහ 13 යන තේ වෙන්දේසිවල දී නැවත සියයට 14.25, සියයට 14.26, සියයට 14.46 සහ සියයට 13.85 වශයෙන් සාමාන්‍ය තත්වයට පත් වී තිබුණි. 
මෙම තේ වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ තේ අපනයනය පිළිබඳ අනෙක් වැදගත් දර්ශකය වන්නේ ශ්‍රී ලංකා තේ සඳහා වෙන්දේසියේ දී ඉල්ලුම් කරන මිල සාමාන්‍යයයි. තේ වෙන්දේසිවල දී තේ මිල යම් යම් විචල්‍යයන්ට ලක් වීම වෙළෙඳපොළ සාමාන්‍ය තත්වයක් වන අතර, එය අසාමාන්‍ය ලෙස පහළ යාමක් ආසන්න කාලය තුළ වාර්තා නොවූ අතර, අවසන් වරට පැවති තේ වෙන්දේසියේ දී රුපියල් 1,174.11ක් වශයෙන් සාමාන්‍යය තේ මිල ඉහළ යාමක් පෙන්නුම් කරන බව නිරීක්ෂණය වේ.


ඉහත ප්‍රස්තාර සටහන් අංක 1 සහ 2 දැක්වෙන පරිදි මෙම තීරණාත්මක දර්ශක දෙකෙහි හැසිරීම අනුව නිරීක්ෂණය වන්නේ ශ්‍රී ලංකාවේ තේ සඳහා ඇති ඉල්ලුම මේ මොහොත වන විට දැඩි තර්ජනයකට ලක් වී නොමැති බැවින්, ශ්‍රී ලංකාවේ තේ සැපයුම සාමාන්‍ය පරිදි සිදු වන බවයි. 
ශ්‍රී ලංකාවේ තේ අපනයනය සිදු කෙරෙන ප්‍රධාන ගමනාන්ත සැලකූ විට, ඒ අතරින් ඉරානය වෙත අපනයනය කරන තේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව පෙනී යයි (කෙසේ වුව ද, මෙතෙක් ඉරානයට තේ අපනයනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ඇ.එ.ඩො. මිලියන 250ක් වූ ‘තෙල් සඳහා තේ’ ණය ක්‍රමය යටතේ ශ්‍රී ලංකා තේ අපනයනය කිරීම මේ වන විට ඇ.එ.ඩො. මිලියන 240 ඉක්මවා සිදු කර අවසන් වී ඇති අතර මේ වන විට එම ණය ක්‍රමය යටතේ ඉරානයට තේ අපනයනය එකී ණය ක්‍රමයේ අවසන් සැසඳීම් (Reconciliation) සිදු කර අවසන් වන තෙක් තාවකාලික ව නතර කර ඇත). 
ඉහත තේ වෙන්දේසියේ දත්ත ඇසුරින් පැහැදිලි වන අන්දමට වෙනත් ගමනාන්ත සඳහා තේ අලෙවි වන බැවින් සහ ප්‍රශ්නගත කලාපය මගහැර වෙනත් මාර්ග ඔස්සේ අදාළ අපනයන ක්‍රියාවලි සිදු වන බැවින් සාමාන්‍ය ශ්‍රී ලංකා තේ අපනයනයෙන් සියයට 75-80ක ප්‍රමාණයක්  අදාළ ගමනාන්ත කරා යමින් පවතින බව මේ මොහොතේ ඇති තත්වය අනුව නිරීක්ෂණය කළ හැකි ය. කෙසේ වුව ද, විකල්ප මාර්ග ඔස්සේ තේ අපනයන කිරීමේ දී දැරීමට සිදු වන අමතර ගාස්තු පිරිවැය අපනයනකරුවන් විසින් ඉදිරි අපනයනවල දී නිෂ්පාදන අගයදාමයට එකතු කිරීම නිසා ඉදිරියේ දී තේ මිලට එහි බලපෑමක් ඇති විය හැකි බව පුරෝකථනය කළ හැකි ය. තව ද, නැව්ගත කළ තේ තොග නැවත ශ්‍රී ලංකා රේගුව වෙත පැමිණීමේ ප්‍රවණතාවක් පැවතිය ද, මේ මොහොත වන විටත් එය ශ්‍රී ලංකාවේ තේ අපනයනය කෙරෙහි කර ඇති බලපෑම නිර්ණය කිරීමට ප්‍රමාණවත් තරම් දත්ත ලැබී නොමැත. 
ශ්‍රී ලංකා තේ මණ්ඩලය විශ්වාස කරන පරිදි මෙම ඇති වී තිබෙන තත්වය ශ්‍රී ලංකා තේ අපනයනය සම්බන්ධයෙන් ගත් කල සියයට  100ක් ම සුදුසු සහ විශිෂ්ට තත්වය නොවේ. තේ අපනයනයට ඍජු බලපෑම් ඇති කළ හැකි මට්ටමේ  යම් යම් පසුබෑම් මෙවැනි පරිසරයක් තුළ අනිවාර්යයෙන් ම තිබිය හැකි ය. කෙසේ වුව ද, කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති, තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා‌වේ ප්‍රධානතම තේ අපනයන සමාගමක් අදහස් දැක්වූ පරිදි සහ පෙර සඳහන් කළ දත්ත විශ්ලේෂණ අනුව අද දිනය වන විට තේ අපනයන ක්ෂේත්‍රයේ ඇති තත්වය හා දත්ත විශ්ලේෂණය කිරීමේ දී මෙම පවතින අර්බුදකාරී වාතාවරණය තුළ වුව ද, ශ්‍රී ලංකා තේ අපනයනය අනෙකුත් කාලවලට සාපේක්ෂව සියයට 75-80ක සාමාන්‍යයක් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකි ය. 
මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ පොහොර ආනයනය කිරීමට ඇති විය හැකි ගැටලුව තේ ක්ෂේත්‍රයට ද ඇති වීමට ඉඩ තිබෙන බව නිරීක්ෂණය කරන අතර, ඒ සඳහා පිළියම් වශයෙන් තේ පොහොර සහනාධාරය අඛණ්ඩව සිදු කරගෙන යාමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට මූල්‍ය දායකත්වය ලබා දීමට අවශ්‍ය අනුමැතීන් ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ආරම්භ කර ඇත. 
එසේ ම, ඉන්ධන සැපයුමට ඇති විය හැකි ගැටලුකාරී තත්වය වළක්වා ගැනීම සඳහා තේ ක්ෂේත්‍රයේ නිෂ්පාදන අගයදාමයෙහි තීරණාත්මක අවස්ථා සඳහා බාධාවකින් තොරව ඉන්ධන සපයාගැනීමට අවශ්‍ය රාජ්‍ය ආයතනවල මැදිහත්වීම ලබාගැනීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් වැවිලි සහ යටිතල පහසුකම් අමාත්‍යංශය, බලශක්ත අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට  සම්බන්ධීකරණය කර ඇත. 
මෙම අවස්ථාවේ පවතින තත්ව සහ දත්ත ඇසුරින් මෙම නිරීක්ෂණ ඉදිරිපත් කළ ද, ඉදිරි භූදේශපාලනික පරිසරයේ ඇති විය හැකි තත්ව හමුවේ, විශේෂයෙන්ම, විවිධ පාර්ශ්වවලින් දන්වා ඇති පරිදි, දැනට වඩාත් ජනප්‍රිය විකල්ප අපනයන මුහුදු මාර්ගය වන රතු මුහුද ආශ්‍රිතව ඇති විය හැකි යැයි හැඟවෙන බාධා ඇති වුවහොත් ශ්‍රී ලංකාව ඇතුළු තේ අපනයනය කරන අනෙකුත් රටවල්වලට ද දැඩි බලපෑම් ඇති විය හැකි බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විශ්වාස කරයි.