පෙන්ටාරා සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු රිට් අයදුම්පතේ පෙත්සම්කාරිය වන සිරිමලී ලියනගම මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසම පසුගිය මස 30 වැනි දා අභියාචනාධිකරණයේ දී ප්‍රතික්ෂේප කරන ලදි.
එලෙස කරුණු සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවේ, අදාළ නඩුවේ තීන්දුව සඳහා නියම කර තිබූ අවස්ථාවකදී පෙත්සම්කාරිය ඉදිරිපත් කළ මෝසමක් සම්බන්ධයෙනි. මෝසම මාර්ගයෙන් පෙත්සම්කාරිය විසින් නාගරික සංවර්ධන අධිකාරියේ  (UDA)  පෙන්ටාරා ව්‍යාපෘතිය සම්බන්ධ යයි කියනු ලබන කිසියම් අභ්‍යන්තර වාර්තාවක් බවට සඳහන් කරමින් පුවත් ලිපියක් ද ඉදිරිපත් කරනු ලැබ තිබුණි. 
කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ එලෙස ඉදිරිපත් කරන ලද පුවත් ලිපියේ සඳහන් වන නාගරික සංවර්ධන අධිකාරියේ යැයි කියන අභ්‍යන්තර වාර්තාව සත්‍ය හෝ නිල වාර්තාවක් නොවන බවයි. ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉදිරිපත් කෙරුණු අදාළ වාර්තාවේ කිසිදු නිල අත්සනක් ද අඩංගු නොවන බැවින් එය සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බවයි.
වැඩිදුර කරුණු විමසීමේ දී, ඉදිරිපත් කරන ලද පුවත් ලිපිය ඇත්ත වශයෙන්ම ඇය විසින්ම ලියන ලද්දක් වුවද ඒ බව හෙළි කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව ද නඩුවේ පාර්ශව විසින් අධිකරණයේ අවධානයට යොමු කෙරුණු අතර එම ලේඛනය ස්වාධීන මාධ්‍ය වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව ද අධිකරණය වෙත පෙන්වා දෙන ලදි.
මෙම කරුණු සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසම සලකා බැලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
පෙත්සම්කාර සිරිමලී ලියනගම මහත්මිය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.
නඩුවේ 9 වැනි වගඋත්තරකරු වන වන හෝම් ලැන්ඩ්ස් ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමග නාමික් නෆාත්, අකලංක උක්වත්ත සහ ශමිත් ප්‍රනාන්දු යන නීතිඥවරුන් ද, 7 වැනි වගඋත්තරකරු වන හෝම් ලැන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා සමග ශානක කූරේ සහ රජීව් විජේසිංහ යන නීතිඥවරු මෙන්ම 8 වැනි වගඋත්තරකරු ලෙස නම් කෙරුණු හෝම් ලැන්ඩ්ස් හෝල්ඩිංග් (පුද්ගලික) සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා සමග දමින්ද විජයරත්න සහ සන්ජන මාපටුන යන නීතිඥවරු සුදත් පෙරේරා ඇසෝසියේට්ස් උපදෙස් මත අධිකරණයේ පෙනී සිටියහ.
නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුනි මහත්මිය පෙනී සිටියාය.