අවුරුදු නැගත් සීට්ටුව 

නව සඳ බැලීම:
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වැනිදා සිකුරාදා ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස
19 වැනිදා ඉරිදා ද නව සඳ බැලීම මැනවි.

තෙල්වළං ළිප තැබීම:
අප්‍රේල් මස 05 වැනිදා ඉරිදා පූර්වභාග 11.08ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා තෙල්වළං ළිප තබා අවුරුදු කැවිලි වර්ග පිස ගැනීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය:
අප්‍රේල් මස 13 වැනිදා සඳුදා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව:
අප්‍රේල් මස 14 වැනිදා අඟහරුවාදා  පූර්වභාග 09.32ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය: අප්‍රේල් මස 14 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍යකාල චාරිත්‍රයන්හි නිරතවීමත්, ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහත පරිදි ඉටු කිරීමත් මැනවි.

ආහාර පිසීම (ළිප ගිනි දැල්වීම)
අප්‍රේල් මස 14 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද, කැවිලි වර්ගයක් ද, දී කිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි. 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය:
අප්‍රේල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 12.06ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට, ආහාර අනුභව කිරීම මැනවි. 

හිස තෙල් ගෑම:
අප්‍රේල් මස 15 වැනිදා බදාදා  පූර්වභාග 06.55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම:
අප්‍රේල් මස 20 වැනිදා සඳුදා පූර්වභාග 06.27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ, අප්‍රේල් මස 20 වැනිදා සඳුදා පූර්වභාග 06.50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද දීකිරි හා අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.