ශ්‍රී ලංකා ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති, වරලත් යාන්ත්‍රික ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ

මැදපෙරදිග යුද්ධයත් සමග ඉන්ධන ලබාගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් බලශක්ති අර්බුදයක ලකුණු මේ වෙන විටත් පහළව ඇති අතර, ඊට ආසන්නතම ඉඟියක් ලබා දෙමින් පසුගිය 17වැනිදා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පවතින තත්ත්වය මත විදුලි කප්පාදුවක් කිරීමට සිදුවිය හැකි බවය. ඒ ගැනත් - මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින අර්බුද කීපයක් ගැනත්, මේ සාකච්ඡාව ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ සමග ය.

මැදපෙරදිග යුද්ධයත් සමග විදුලි බල නිෂ්පාදනය ද ඇතුළුව බලශක්ති අර්බුදයක් ගැන නැවත සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

ආනයනික ඉන්ධන මත යැපෙන එක තමයි අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය. ඒක අපි දැනගෙන හිටියෙ, ඒත් කවුරුත් ගණන් ගත්තෙ නෑ. 2022දිත් මේ වගේ අර්බුදයක් ඇති වුණා. විදුලිබලය සඳහා තෙල් පාවිච්චි කරපු නිසා තමයි ප්‍රශ්නය උග්‍ර වුණේ. එදා විදුලිය නිපදවන්න ඉන්ධන වැඩියෙන් වෙන් කළා මිසක් ඒකෙන් ප්‍රවාහනයට වෙන අගතිය ගැන අවධානය යොමු කළේ නෑ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බලශක්තිය කියන්නෙ විදුලිබලය විතරක් නෙවෙයි කියන එක තේරුම් ගන්නෙ නැති එක. මේ මොහොතෙ වුණත් සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවෙන් විදුලිබලය කියන්නෙ සියයට14 ක් විතරයි. පසුගියදා ජනාධිපතිවරයා කිව්වා රටට ඩීසල් ටොන් 14000 ක් අරගෙන නැවක් එන බවත්, එයින් ලීටර් 8000ක් විදුලිබලයට දෙනවා කියලාත්. ඒක රෑ වැටිච්ච වළේ මහ දවාලෙත් වැටෙනවා වගේ වැඩක්. ඊයේ (18) මහජන උපයෝගීතා කොමිසම මගින් පවත්වපු විදුලි ගාස්තු සමාලෝචන සාකච්ඡාවෙ දිත් මම කිව්වෙ, කරන්න තියෙන එකම දේ තමයි විදුලි බලයෙන් තෙල් පාවිච්චි කරන එක අඩු කරන එක කියලා.

සාමාන්‍යයෙන් දෙසැම්බර් - මාර්තු වැසි රහිත කාලයක් නිසා, තාපයෙන් වැඩි විදුලිය ප්‍රමාණයක් නිපදවනවා. ඒත් මේ අවස්ථාවෙ ෆොසිල ඉන්ධන ලබාගැනීමට තියෙන අපහසුතාව නිසා විදුලිය කප්පාදු කිරීමකට යන්න වෙයි කියලා විෂය භාර අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේ දී කිව්වා. ඔබේ ගණනය කිරීම අනුව කොපමණ කාලයක විදුලි කප්පාදුවකට යන්න වෙයි ද?

ජලාශවල වතුර හොඳට තියෙන කාලවල ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීම බිංදුව වුණු අවස්ථා තියෙනවා. ඒවා ඉතා හොඳ අවස්ථා. නමුත් අවුරුද්ද පුරාවටම තාපයෙන් විදුලිය නිපදවන්නේ නැතුව පද්ධතිය කොහොමද අරන් යන්නෙ කියන එක ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ඒ සඳහා අපට තියෙන වාසනාව පාවිච්චි කරන්නෙ නෑනෙ. ජලවිදුලිය හැමදාම නැති බව කවුරුත් දන්නවා. මේ අවුරුද්දෙ එල්නිනෝ තත්ත්වයක් ආවොත් ජලවිදුලි උත්පාදනය තවත් අඩු වෙනවා. සියයට 40 ක් විතර තිබුණු ජලවිදුලි උත්පාදනය මේ වෙද්දි සියයට 20ටත් වඩා අඩු අගයක තියෙන්නෙ. පුනර්ජනනීය විදුලි උත්පාදනය දැන් තියෙන්නෙ සියයට 47.2 ක මට්ටමක.  ජලවිදුලි උත්පාදනය තවත් අඩුවෙනවා නම්, ඒ හිඩැස සම්පූර්ණ කරන්නෙ කොහොම ද? මම කියන්නෙ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ඒ හිඩැස පුරවන්න පුළුවන්. සූර්ය විදුලිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය කියන්නෙ දවල් කාලයේ ලැබෙන ධාරිතාව වැඩියි කියලා. ඒ නිසා කලින් සති අන්ත දවස්වල සූර්ය විදුලිය ගන්න එක නතර කළා. දැන් සමහරවිට සතියෙ දිනවලත් සෝලා විදුලිය කපන්න ඉඩ තියෙනවා. තාක්ෂණික කාරණා මත තාප බලාගාර ක්‍රියාත්මක කළ යුතුමයි කියන මතයත් ඒ අය ඉදිරිපත් කරනවා. ඒ කතාව මීට අවුරුදු දහයකට උඩදි ඇත්ත. නමුත් අපි දැනගෙන හිටියා පුනර්ජනනීය බලශක්තියෙ විශාල වෙනසක් වෙනවා කියලා. පියසි මත සවිකරන ලද සූර්ය පැනල මගින් මේ වෙද්දි මෙගා වොට් 2300 ක් විතර තියෙනවා. ඒ විදුලිය එකපාරටම ආපු එකක් නෙවෙයි.

සම්මත කරගත්ත විදුලිබල ප්‍රතිපත්තියෙන් පුනර්ජනනීය විදුලිය කඩාකප්පල් කරලා - තෙල් සහ ගල්අඟරු වලින් දිගටම යැපෙන ක්‍රමයක් නිර්මාණය කරලා තියෙනවා.

 

පසුගිය 6වැනිදා ඉංග්‍රීසි පුවත්පතක මහජන උපයෝගීතා කොමිසම උපුටා දක්වමින් සඳහන් කරලා තිබුණා එදිනට තිබුණු විදුලි ඉල්ලුම මෙගාවොට් 2960 ගාණක් බවත් අප්‍රේල් වෙනවිට ඒ අගය මොගාවොට් 3030 පමණ වනු ඇති බවත් කියලා. විදුලි ඉල්ලුම ඒ අගය දක්වා වැඩි වුණොත් විදුලිය කපන්න වෙන බවත් ඒකෙ සඳහන් වෙලා තියෙනවා. මේ දත්ත අනුව විදුලිය කප්පාදු කරන්න වෙනවා කියන එක පැහැදිලියි. නොරොච්චෝල බලාගාරයෙන් උපරිම විදුලි උත්පාදනය ලැබෙන්නෙත් නැත්නම් උත්පාදනය කළ හැකි විදුලිය තවත් අඩු වෙනවා. මගේ උපකල්පනය නම් විදුලි කප්පාදුවක් වෙනවාමයි කියන එක. ඒකට එක හේතුවක් තමයි විදුලි උත්පාදනය සඳහා මේ අයගෙ එකම විසඳුම තෙල් වීම. දැන් තියෙන තෙල් ප්‍රමාණවත් වෙන්නෙ අප්‍රේල් මාසය දක්වා විතරක් නම් එතැනින් පස්සෙ මොකද වෙන්නෙ?

දැනට පද්ධතියට අරගෙන නැති සූර්යබල විදුලිය ගත්තොත් මේ විදුලි කප්පාදුව නතර කරන්න පුළුවන් ද?

ගන්න ඕන. ඒ සඳහා එක වෙනසක් කළ යුතුයි. සූර්යබලයෙන් විදුලිය නිපදවන්න පුළුවන් දවල් කාලයට විතරක් නිසා ඒ විදුලිය රාත්‍රියට ලබාගැනීමට බැටරි පද්ධතියක් ඕනැ. ඒ ගැන අවුරුදු ගාණක් තිස්සෙ කතා කළත් කිසි දෙයක් කරලා නෑ. අඩුම ගානෙ එක ටෙන්ඩරයක්වත් විවෘත කරලා නෑ. ගිය වසරෙ ටෙන්ඩරයක් විවෘත කළත් ඒකත් නොකෙරෙන පාටක් තමයි තියෙන්නෙ.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා නොරොච්චෝල බලාගාරයෙන් ජනනය කරන විදුලිය මේ වෙද්දි මෙගා වොට් 200ටත් වඩා අඩු මට්ටමකට ඇවිත් බව තොරතුරු වාර්තා වෙනවා. ඔබ මේ ප්‍රශ්නය කොහොම ද දකින්නෙ?

ඒක ඇත්ත. ඒක තමයි භෞතික විද්‍යාව. දාන ගල්අඟුරුවල තාප ධාරිතාව අඩු නම් නිපදවන විදුලිය ප්‍රමාණයත් අඩුයි.

බාල ගල්අඟුරු නිසා බලාගාරයේ ජනන යන්ත්‍රවලට හානි විය හැකි බවටත් මත පළ වෙනවා. එහි සත්‍යතාවක් තියෙනවා ද?

ගල්අඟුරු බාල වෙන්නෙ ඒවයෙ තියෙන අළු ප්‍රමාණය හා තෙතමනය වැඩිවීම වැනි හේතු මත . ආනයනය කරන ගල්අඟුරුවල නිසි ප්‍රමිතියක් බලන්නෙ බලාගාරයේ ජනන යන්ත්‍රවලට සුදුසු වෙන්න ඕන නිසා.

මේ  ආනයනික ගල්අඟුරු නිසි පරීක්ෂාවකට ලක්වෙලා නැද්ද?

ඒකෙ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සාම්පල පරීක්ෂාවල වෙනස්කමුත් තියෙනවානෙ. නොරොච්චෝල බලාගාරයෙන් පරීක්ෂා කරලා මේවා බාල බව ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් ඒක වහන්න හදනවා. ගල්අඟුරු පරීක්ෂාව මහ ලොකු දෙයක් නෙවෙයි. ඉස්කෝලෙක ලැබ් එකක වුණත් කරන්න පුළුවන්. තෙතමනය, අළු ප්‍රමාණය, තාප ධාරිතාව මේවා තමයි පරීක්ෂා කරන්නෙ.

අවුරුද්ද පුරාවටම තාපයෙන් විදුලිය නිපදවන්නේ නැතුව - පද්ධතිය කොහොම ද අරන් යන්නෙ කියන එක ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ.

ටෙන්ඩරයෙ කොන්දේසි අනුව මේ ගල්අඟුරු සැපයුම අවලංගු කළ යුතුව තිබුණා. ගල්අඟුරු කිලොග්‍රෑම් එකක කිලෝ කැලරි 6150 ක් තිබිය යුතුයි. ඒක තමයි උපරිම අගය. ඒ අගය 5900 දක්වා අඩු වුණත් ගල්අඟුරු භාර ගන්න පුළුවන්. ඒත් ඒ සඳහා දඩයක් අය කරනවා. නමුත් 5900ටත් වඩා අඩු වුණොත් ඒ ගල්අඟුරු භාර ගන්න අවශ්‍ය නෑ. 5900 ට අඩු ගල්අඟුරු නැව් දෙකක් ආවොත් ඒ සැපයුම අවලංගු කරන්නම ඕනැ. ඒ වගේම සැපයුම දවස් ගාණක් ප්‍රමාද වුණොත් ඒත් අවලංගු කළ යුතුයි. නමුත් මේ කිසි දෙයක් කළේ නෑ.

මේ බලාගාරයේ මෙගා වොට් 900 ම පද්ධතියට ලැබුණොත් මේ අවස්ථාවේ විදුලි කප්පාදුවක් මගහරවා ගන්න පුළුවන් කියලා ඔබ හිතනවා ද?

බේරගන්න පුළුවන්.

මේ බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් හැටියට ඔබ යෝජනා කරන්නේ කුමක් ද?

ඇල්බට් අයින්ස්ටයින් ගේ ප්‍රකාශයක් මට මතක් වෙනවා. ඒ තමයි හැමදාම එකම දේ කරලා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නෑ කියලා. අපි කරන්නෙත් හැමදාම එකම වැඩේ. ජනන සැලසුම්වල කාලයක් ගල්අඟුරු බලාගාර හදන එක ගැනත් තාප බලාගාර හදන එක ගැනත් තමයි කතා කළේ. ඇත්ත වහගෙන ඉන්නෙ. ලෝකය වෙනස් වෙනවා. ලංකාවේ ජනන සැලස්මක් හදන්නෙ අවුරුදු 20 කට. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. දැන් පුනර්ජනනීය විදුලිය ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. දැනට රටේ තියෙන මෙගා වොට් 2200 සූර්ය පද්ධති විදුලියෙන් මෙගා වොට් 1500 ක් ආවෙ අවුරුදු දෙකක් වැනි කාලයකදි. මේ වගේ වෙනස්කම් තියෙන කොට එයින් ප්‍රයෝජන ගන්නෙ කොහොම ද කියන එක ගැන බලන්න ඕනැනෙ. ඒ වෙනුවට කරන්නෙ තියෙන සූර්ය බලයත් කපන එක. අපි බැලිය යුත්තෙ නිකන් ලැබෙන සූර්යබල විදුලිය කපලා තෙල් ගල්අඟුරු සල්ලි වලට ගන්නව ද කියලා. සූර්ය පැනල සවි කරන එක මේ වෙද්දි සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ අපේ සූර්ය බල සංග්‍රාම විප්ලවයත් කඩාකප්පල් කරලා තියෙන්නෙ.

ඒ වුණාට සුනිත්‍ය බලශක්ති අධිකාරියකුත් තියෙනවා....

ඒ අධිකාරිය දත් නැති කොටියෙක්. ස්වාධීන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වීමට බලශක්ති අමාත්‍යාංශයෙන් කිසි දවසක ඉඩ දුන්නෙ නෑ. එතන හොඳ අදහස් තියෙන ඉංජිනේරුවන් හිටියා. ඒත් කිසිම දෙයක් කරන්න පුළුවන් වුණේ නෑ.

මේ වෙද්දි විදුලිබල මණ්ඩලය සමාගම් හයකට බෙදලා ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරලා තියෙනවා. ඒ ගැන ඔබ තෘප්තිමත් ද?

අවසන් වරට ඉදිරිපත් වුණු ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව (2024දි) සියයට සියයට නොවුණත් සාධාරණ හා ප්‍රායෝගික ක්‍රමයක්. විදුලිබල මණ්ඩලයේ ඒකාධිකාරය වෙනුවට තරගකාරීත්වය ඇති කිරීම සඳහා සමාගම් කීපයකට බෙදලා පෞද්ගලික අංශයේ ආයෝජන ලැබෙන විදියට තමයි ඒ යෝජනාව සකස් කරලා තිබුණෙ. ඒ වුණාට 2025 දි ඒ සාධනීය ප්‍රතිපාදන අනිත් පැත්තට හැරෙව්වා. දැන් තියෙන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංවිම ආයතන හයකට වෙන් කළත් ඒවා රාජ්‍ය ආයතන. තරගකාරීත්වයක් ඇති කරන්න බෑ.

මෙම ටෙන්ඩරයෙ කොන්දේසි අනුව මේ ගල්අඟුරු සැපයුම අවලංගු කළ යුතුව තිබුණා.

2030 ට තව අවුරුදු හතරයි තියෙන්නෙ. විදුලි නිෂ්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නා ඉලක්කයට යන්න පුළුවන් ද?

ඕනකම තියෙනවා නම් පුළුවන්. දවස් කීපයකට ඉහතදි විදුලිබල ප්‍රතිපත්තියක් සම්මත කර ගත්තා. ඒකෙ තියෙන්නෙ තාප බලාගාර දිගටම ගෙනියන එක ගැන. ඒක ඉතාම පසුගාමී එකක්. ඒ නිසා ඒකෙ තියෙන සමහර දේවල් ගැන මම කතා කරන්නවත් කැමති නෑ. පුනර්ජනනීය විදුලිය කඩාකප්පල් කරලා දිගටම තෙල් සහ ගල්අඟුරු මත යැපෙන ක්‍රමයක් ඒකෙන් නිර්මාණය කරලා තියෙනවා.

විදුලිබල මණ්ඩලය පසුගිය වසරවල දී ලාභ ලැබූ තත්ත්වයක නැවත වතාවක් සියයට 13 කින් විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර ඉල්ලීම අනුමත කරන්න පුළුවන් ද?

විදුලිබල මණ්ඩලය මේ සියයට 13.56 ක විදුලි ගාස්තු වැඩිවීම ඉල්ලලා තියෙන්නෙ හැම අංශයකටම අදාළව. නමුත් කලින් වතාවන්වල විදුලි ගාස්තු වැඩි කළේ විදුලිය ඒකක වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන පාරිභෝගිකයන් ගෙන් වැඩි මුදලකුත් අඩු ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන පාරිභෝගිකයන් ගෙන් අඩු මුදලකුත් අය වෙන විදියට. ඕන කෙනෙක්ට තේරෙනවා මේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉතාම අසාධාරණයි කියලා. ඊට අමතරව කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරපු බලශක්ති ප්‍රතිපත්තිය අනුව කිලෝ වොට් පැය 30 ත් 60 ත් අතර විදුලිය ඒකක පාවිච්චි කරන කෙනෙක් ගෙ මාසික විදුලිබිල සියයට 1200 කින් විතර වැඩි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒකක 180 ට වඩා වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයගෙ බිල තිබුණු ගාණට වඩා සියයට 40 න් විතර අඩු වෙන්නත් ඉඩ තියෙනවා. 

සියයට 40 ක් විතර තිබුණු ජලවිදුලි උත්පාදනය මේ වෙද්දි සියයට 20ටත් වඩා අඩු අගයක තියෙන්නෙ.

 

විදුලි උත්පාදනයට යන වියදම ගත්තොත් හැමදාම වගේ පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ඒකකයක් හදන්න යන වියදම ෆොසිල ඉන්ධන දහනයෙන් විදුලිය ඒකකයක් හදන්න යන වියදමෙන් තුනෙන් එකක ප්‍රමාණයක්. මේ ගැන හැමෝම දන්නවා. විදුලිය වියදම අඩුකරන්න නම් කළ යුත්තෙ පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන එකනේ. ඒකට බැරිකම කියනවා මිසක් ඒක ප්‍රවර්ධනය කරන්නෙ නෑ.

මේ අවස්ථාවේ ෆොසිල ඉන්ධන දහනයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න වුණොත් විදුලි ඒකකයක් හදන්න කොපමණ මුදලක් වියදම් වෙයි කියල ද ඔබ හිතන්නෙ?

යුද්ධය පටන් ගන්න කලින් තිබුණු තෙල් මිල ගණන් වලට අනුව දැවි තෙල් වලින් විදුලි ඒකකයක් හදන්න රුපියල් 56 ක් යනවා. ඩීසල් වලින් නම් රුපියල් 70 ක් වත් යනවා. දැන් ඉන්ධන මිල ගණන් වැඩිවෙලා තියෙන නිසා මේ වියදම් දෙගුණයකින් විතර වැඩිවේවි.

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ