කොළඹ, 2026 මාර්තු 04: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණ සමාගමක් වන ප්‍රීමා (Prima), මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් දක්වන දායකත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යමින්, මෙරට වඩාත්ම කීර්තිමත් ගොල්ෆ් තරගාවලිය වන 'ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය' සඳහා 17 වන වරටත් අනුග්‍රහය දක්වයි. තරුණ දක්ෂතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඔවුන් දක්වන මෙම කැපවීම, දෙස් විදෙස් නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන '2025 ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියේදී' යළිත් ප්‍රදර්ශනය වනු ඇත. 2025 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් 2026 මාර්තු මාසය දක්වා කල් තබන ලදී.

මෙම ශූරතාවලිය 2026 මාර්තු 6 සිට 8 දක්වා නුවරඑළිය ගොල්ෆ් සමාජ (NEGC) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පුහුණු වටය මාර්තු 5 වන දිනට නියමිතය. සෑම දිනකම පෙරවරු 7:30 ට තරග ආරම්භ වීමට අපේක්ෂිතය. මෙම තරගාවලිය වට 3 කින් සමන්විත 'Gross' (මුළු ලකුණු මත පදනම් වූ) තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර, එක් එක් කාණ්ඩය යටතේ අවම සමස්ත දළ ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයා එම කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත්වනු ඇත.

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා සඳහන් කර සිටියේ, "ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය යනු මෙරට ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම් තීරණය කරන ප්‍රධානම මිම්මයි. දශකයකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකා ගොල්ෆ් ආයතනය සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ප්‍රීමා සමූහයට ලැබුණු විශාල ගෞරවයක්. අපගේ මෙම අනුග්‍රහය තුළින් සෑම වසරකම දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමටත්, ඔවුන් සතු හැකියාවන් වර්ධනය කරමින් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය කරා යන ගමනට ඔවුන්ව සවිබල ගැන්වීමටත් අපට සුවිශේෂී අවස්ථාවක් ලැබෙන බව අපි දැඩිව විශ්වාස කරනවා.

ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් (WAGR) සඳහා කනිෂ්ඨ මට්ටමේ ප්‍රධාන මිම්ම ලෙස පිළිගැනෙන මෙම 'ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත තරගාවලිය', බාලක, බාලිකා යන අංශ දෙකෙන්ම ජාතික කනිෂ්ඨ ශූරයන් තේරීමට මග පාදයි. එමගින් ක්‍රීඩාව තුළ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම සමාන පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරයි.

ප්‍රීමා සමාගම ලබාදෙන නොමඳ සහයෝගය ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාවේ දියුණුවට විශාල බලපෑමක් කර ඇත. පසුගිය වසරේදී අනුරාධපුර ඇකඩමියේ ආදිත්‍ය වීරසිංහ සහ ලවිඳු ප්‍රේමරත්න යන කනිෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් (WAGR) අතරට එක් වීමට සමත් විය. ඔවුන් දැනටමත් එම ශ්‍රේණිගත කිරීම්වල පසුවන ජෙවාන් සතාසිවම්, රෙෂාන් අල්ගම සහ කායා දලුවත්ත සමඟ මෙවර තරගාවලියට එක්වේ. මීට අමතරව ලවිඳු ප්‍රේමරත්න, තේජස් රතිස්කාන්ත්, උදීර බණ්ඩාර සහ ජේකොබ් නෝර්ටන් යන ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ. මෙවර ශූරතාවලියේ ජයග්‍රාහකයා රන් (Gold) හෝ රිදී (Silver) යන ඕනෑම කාණ්ඩයකින් තේරී පත්විය හැකි බැවින් තරගකාරිත්වය ඉතා ඉහළය. මීට අමතරව ලෝකඩ (Bronze) සහ තඹ (Copper) යන කාණ්ඩ යටතේ ද තරග පැවැත්වේ. තම වයස් කාණ්ඩ යටතේ ප්‍රමුඛස්ථානය දිනා ගැනීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉතා දැඩි තරගකාරිත්වයක් දැකගත හැකිවනු ඇත.

එක් එක් කාණ්ඩ යටතේ ජයග්‍රාහකයන් තේරීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉතා දැඩි තරගකාරිත්වයක් දැකගත හැකිවනු ඇත. තේජස් රතිස්කාන්ත්, ජනීෂ් වීරසිංහ, කේට්ලින් නෝර්ටන්, සිතාරා ලෝරන්ස්, වෙනුදි කීර්තනා, විහාරා හේරත්, දුල්කිණි කංගාරා, ෆාතිමා සීනියා, මුෂ්ෆිරා මුසම්මිල්, යුවන් රතිස්කාන්ත්, තිසුර ප්‍රේමරත්න, උසාර නුගේගොඩ, අභිමාන් වීරසිංහ, ජේඩන් සතාසිවම්, අනන්‍යා ක්‍රිෂාන්තන් සහ හක්ෂරා ප්‍රදීප් යන දරු දැරියන් තම තමන්ගේ වයස් කාණ්ඩ යටතේ ප්‍රමුඛස්ථානය දිනා ගැනීම සඳහා මෙවර දැඩි තරගයක නිරත වනු ඇත.

ශ්‍රී ලංකා ගොල්ෆ් ආයතනයේ  හිටපු සභාපති රනිල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ, "ප්‍රීමා සමාගම අප සමඟ පවත්වාගෙන යන මෙම දීර්ඝකාලීන හවුල්කාරිත්වය ශ්‍රී ලංකා ගොල්ෆ් ආයතනය ඉතා ඉහළින් අගය කරනවා. අපගේ ජාතික ගොල්ෆ් දින දර්ශනයේ වැඩිම පිරිසක් බලාපොරොත්තු වන වැදගත් තරගාවලියක් බවට මෙය පත් කිරීමට ප්‍රීමා සමාගම විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ තරුණ ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන අවස්ථාවක් වගේම, ප්‍රීමා සමාගම මෙම ක්‍රීඩාව වෙනුවෙන් දක්වන කැපවීමට හොඳම සාක්ෂියක්."

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ප්‍රීමා සන්රයිස් නිෂ්පාදන හරහා තරගාවලිය පුරාම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය පෝෂණීය දායකත්වය ලබා දෙනු ඇත. තරගාවලිය මාර්තු 08 වන දින පස්වරු 3:00 ට පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව නිමාවට පත්වීමට නියමිතයි.

කනිෂ්ඨ සංවර්ධන කමිටුවේ සභාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ මහතා, ප්‍රීමා අනුග්‍රහය හරහා සිදුවන පුළුල් දායකත්වය පිළිබඳ සඳහන් කර සිටියේ "දශකයකට වැඩි කාලයක් පුරා ප්‍රීමා සන්රයිස් දක්වන නොසැලෙන කැපවීම, ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමට හේතු වී තිබෙනවා. ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය නිසා තරුණ ක්‍රීඩකයන්ට ජාතික මට්ටමින් දක්ෂතා පෙන්වීමටත්, පියවරෙන් පියවර ජාතික කණ්ඩායම නියෝජනය කරන මට්ටමට වර්ධනය වීමටත් විධිමත් මෙන්ම තරගකාරී වේදිකාවක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත තරගාවලිය මෙන්ම ප්‍රාදේශීය කනිෂ්ඨ තරගාවලි සඳහා ද අනුග්‍රහය දැක්වීම තුළින්, ක්‍රීඩකයන්ට නිරන්තර අත්දැකීම් ලබා දීමටත්, දක්ෂයන් හඳුනා ගැනීමටත්, ක්‍රීඩාවේ ඉදිරියටම යාමට අවශ්‍ය මාවත ශක්තිමත් කිරීමටත් ප්‍රීමා සන්රයිස් ආයතනය මූලික වී තිබෙනවා.

2025 ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය යනු නැගී එන දක්ෂතා ඇගයීමට ලක් කරන, ජාත්‍යන්තර සුහදතාවය වර්ධනය කරන මෙන්ම, ගොල්ෆ් ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රීමා ආයතනය පවත්වාගෙන යන අඛණ්ඩ කැපවීම මනාව විදහා දක්වන සුවිශේෂී අවස්ථාවක් වනු නොඅනුමානය.

තරගාවලිය පැවැත්වෙන වයස් කාණ්ඩ:

  • විවෘත / රන් කාණ්ඩය (Gold Division): වයස අවුරුදු 15 සිට 18 දක්වා බාලක/ බාලිකා
  • රිදී කාණ්ඩය (Silver Division): වයස අවුරුදු 13 සිට 14 දක්වා බාලක/ බාලිකා
  • ලෝකඩ කාණ්ඩය (Bronze Division): වයස අවුරුදු 11 සිට 12 දක්වා බාලක/ බාලිකා
  • තඹ කාණ්ඩය (Copper Division): වයස අවුරුදු 10 සහ ඊට අඩු බාලක/ බාලිකා