උපුල් වික්‍රමසිංහ

ආර්ථික ස්ථායීතාව ගොඩනැගීම වෙනුවෙන් ජනතාව විශාල කැපකිරීමක් කළ බැවින් බදු ලිහිල්කරණයක් කරමින් එම ජනතාවට දැන් සහනයක් ලබාදිය යුතු බව ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය හා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ සිරිමල් අබේරත්න “ඉරිදා ලංකාදීප”යට පැවසීය. 

ජනතාව මත පතිත වූ අධික පීඩාව බදුබරෙන් හා දුප්පත්කමෙන් සමන්විත බව කී මහාචාර්යවරයා ශ්‍රී ලංකාවේ දුප්පත්කම වැඩිවීමට පවතින බදු ක්‍රමය ප්‍රධාන හේතුවක් වන බැවින්, දරිද්‍රතාව පහත හෙළීම සඳහා බදු අඩුකිරීම, බදු ලිහිල්කරණය හා බදු දැල පුළුල් කිරීම සිදු කළ යුතු බව ද ප්‍රකාශ කළේ ය. 

ආයාත බදු නිසා දේශීය හා විදේශීය ආහාර මිල ගණන් වැඩිවීමෙන් දුප්පත් ජනතාවට පෝෂණීය ආහාර මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවත් ජනතාවට පහසුවෙන් ගෙයක් දොරක් හදා ගැනීමට නොහැකි වී තිබෙන්නේ ද බදු නිසා බවත් ඔහු කීවේ ය.