
අමෙරිකාවත් ඊශ්‍රායලයත් එක්ව ඉරානයට එරෙහිව ඇරඹූ යුද්ධය අවසන් වන දිනක් ගැන හෝඩුවාවක් නොමැතිව තුන්වැනි සතියටත් එළඹෙයි. ඒ සමස්ත ලෝකයේම ආර්ථිකයට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. ලෝක තෙල් මිල හයිපර්සොනික් මිසයිලයක වේගයෙන් ඉහළ යයි. ඒ හා බැඳුණු සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ අවදානම දරුණු ලෙස දැනෙයි. යුද්ධය මාසයක කාලයක් ඇදුණ හොත් ලෝක වෙළෙඳපොළෙන් ඉවත්වන බොරතෙල් ප්‍රමාණය බැරල මිලියන 600 ඉක්මවන බව ගණන් බලා තිබේ. අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන ආකාරයට මෙය ලෝක ඉතිහාසයේ විශාලතම බොරතෙල් අවහිර කිරීමේ අවස්ථාවයි.
දෛනිකව ගල්ෆ් කලාපීය අරාබි රටවල සිට ලෝක වෙළෙඳපොළට ආ බොරතෙල් බැරල් මිලියන 20 ක ප්‍රමාණය දැන් සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. එනම් දෛනික ලෝක තෙල් පරිභෝජනයෙන් පහෙන් ඒකක් වෙළෙඳපොළෙන් ඉවත්ව ඇත. බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 200කට වඩා වැඩි මිලකට ගැනීමට සූදානම් වන්නැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සුල්ෆකාරි බදාදා ටෙහෙරානයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ලෝකයට දැනුම් දුන්නේය. එය හුදෙක්ම වාගාලාපයක් නොවන්නේ ඉරාන ප්‍රහාර හමුවේ මේ වනවිට කටාර්, ඉරාකය, කුවේටය, සවුදි අරාබිය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන රටවල් තෙල් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම හෝ අඩ වශයෙන් නවතා දමා ඇති නිසාය. ජපානයේ සිට යුරෝපය ඔස්සේ අමෙරිකාව දක්වා වූ සෑම රටකම කොටස් වෙළෙඳපොළ ඉකුත් සතියේ දැඩි පසුබෑමකට ලක්විය. බරපතළම ප්‍රශ්නය වන්නේ යුද්ධයේ අරමුණ හා එහි ස්වභාවය ගැන මතුවී ඇති මහා වියවුල් සහගත බව නිසාය.
ට්‍රම්ප් හා නෙතන්යාහු එක්ව ගල් ගැසුවේ දෙබරයකට ද? මේ යුද්ධය සදහා එළැඹෙද්දී ඉරානයේ ශක්‍යතාව ගැන ලොව ප්‍රධානතම බුද්ධි අංශ දෙක වන සී අයි ඒ සහ මොසාඩ් නිසි තක්සේරුවක පසුවුණා ද යන්න ගැන සැක මතුවන්නේ අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඇරඹූ යුද්ධය ඉරානය මේ වනවිට සියතට ගෙන මනා සැලසුමක් යටතේ මෙහෙයවීමට සමත්ව ඇති නිසාය. ඉරානයේ විදේශ ඇමති අබ්බාස් අග්‍රාචි ප්‍රකාශ කළේ මෙය අමෙරිකාව හා ඊශ්‍රායලය කවදා සැලසුම් කළ යුද්ධයක් වුවද ඉරානය දශක දෙකකටත් පෙර සිට මෙවැනි යුද්ධයක් අපේක්ෂා කර එවැන්නකට මුහුණ දීමට සූදානම් වූ බවය. එය සනාථ කෙරෙන උදාහරණයක් වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශයකි. “දැන් ඉරානයේ පහර දෙන්න ඉලක්කයක් නැති තරමටම අපි පහරදීලා” යැයි ට්‍රම්ප් පැවසීය. ට්‍රම්ප් එසේ කියන විටත් ඉරානය ලවක් දෙවක් නැතිව හතර අතර පහරදෙමින් සිටියේ අමෙරිකාවට ඉලක්ක නැති වුණාට අපට තියනවා යන ආකල්පයෙනි. ට්‍රම්ප් ජනාධිපතිවරයා අවසානයේ පවසා ඇත්තේ යුද්ධය අවසන් කිරීමේ තීරණය තමා සතු බවය. එහෙත් ඉරාන ජනාධිපති මෂුද් පෙසෙෂ්කින් පවසන්නේ දැන් එම තීරණයට හිමිකම් කියන්නේ ඉරානය බවය. අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයේ භෞතික සම්පත් විනාශ කරද්දී ලෝකයටම දැනෙන ලෙසට ගෝලීය ආර්ථිකයට රිදවීමට ඉරානය සමත්ව ඇත්තේ ලොව සංවර්ධිත රටවලට පවා තෙල් සීමා පැනවීමට සිදුවීම අනුවය.
ඉරාන ප්‍රතිප්‍රහාරය
යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව හා ඊශ්‍රායලය තීරණාත්මක ජයක් අත්කරගත්තේ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙයිනි හා ජ්‍යෙෂ්ඨතම හමුදා ප්‍රධානීන් ඇතුළු වත්මන් පාලනයේ ප්‍රබලයන් 40කට ආසන්න පිරිසක් එකම ස්ථානයේ ඝාතනය කරනු ලැබීමෙනි. එය යුද්ධයේ ආරම්භක සතියෙහි ඉරානය බිද වැටෙනු ඇතැයි යන්න උපකල්පනය කිරීමට මුල්වූ ප්‍රධාන සාධකයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ අමෙරිකාව හා ඊශ්‍රායලය එම අවස්ථාවේදීම යුද්ධයේ ජය හිමිකරගත් බවයි. එහෙත් හිස නොමැති වූ ඉරානය බිම වැටෙනු වෙනුවට කළේ පෙර සැලසුම් කර තිබුණා වූ සූක්ෂ්ම ප්‍රහාර මාලාවක් ඇරඹීමය. ඉන් පෙනී ගියේ ඉහළතම නායකත්වය නොමැති වූ විට පවා ඉරානය කඩා නොවැටීමට විකල්ප බල හුවමාරු ක්‍රමවේදයක් හා ඉහළතම අණ දෙන නිලධාරිත්වය නොමැති වුවද ස්වායත්තව ක්‍රියාත්මක වන හමුදා ක්‍රමවේදයක් ඉරානයෙහි පැවති බවය.
අයතොල්ලා අලි කමෙයිනිගෙන් හිස්වූ නායකත්වය තාවකාලිකව ඉරාන ජනාධිපති මෂුද් පෙෂෙස්කින්, අගවිනිසුරු ගොලාම් හුසේන් මොසේනි හා භාරකාර මණ්ඩල ජූරි සභික අයතොල්ලා අලි රේසා විසින් භාරගනු ලැබීය. ඉරාන හමුදාවේ කොඳු නාරටිය වන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලමුළුව යුද්ධය මෙහෙයවීය. ඒ එහි ප්‍රධානියා වූ මේජර් ජෙනරල් මොහොමඩ් පක්පූර් යුද්ධයේ මුල් දිනයේදීම මියයාමේ පසුබිමකය. ඉරාන ප්‍රතිප්‍රහාරයේ ප්‍රබලතම ඉලක්කය වූයේ ඊශ්‍රායලයයි. ඉරානය හා ඊශ්‍රායලය අතර ඇති කිලෝමීටර් 1200ක දුර ඉක්මවා යා හැකි දිගුදුර හා මැද දුර මිසයිල පද්ධති ඒ සදහා යොදාගනු ලැබීය. ඒ අතරින් ෆතා 2 හයිපර්සොනික් මිසයිල ඊශ්‍රායල් ආරක්ෂක පද්ධති මගහැර ඊශ්‍රායල භූමියට පතිත වී ඇත.

“හෝමුස් සමුද්‍ර සන්ධිය දිගටම වසා තබනවා” - නව නායක මුජ්තබා කමෙයිනි
ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායල් වැසියන් 13 දෙනෙකුට දිවි අහිමි වී 2000කට පමණ තුවාල සිදුව තිබිණ. ඒ හා සමගාමීව මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු ඉරාන ඉලක්ක බවට පත්විය. අමෙරිකානු හමුදා භටයන් 7 දෙනෙකු මියගොස් 140ක් තුවාල ලැබුවේ මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරවලින් මිස එක ඉරාන සෙබළෙකු හෝ තැබූ වෙඩිල්ලකින් නොවේ. වෙනත් වචනවලින් කියනවා නම් මුහුණට මුහුණ ලා සටනකින් තොරවම අමෙරිකානු හමුදා මධ්‍යස්ථානවලට හානි සිදුකිරීමට ඉරානයට හැකිවිය. ප්‍රශ්නය වන්නේ එතරම් නිවැරදි ලෙස ඉලක්ක ලබාගැනීමට ඉරානය සමත් වූයේ කෙසේද යන්නයි. උත්තරය වශයෙන් දැන් කතා බහට ලක්වන්නේ රුසියාව හා චීනය නිහඬවම ඉරානයට සහාය දැක්වූ බවය.
රුසියාව තම මැදපෙරදිග සගයා වන ඉරානයට ඉලක්ක තොරතුරු හා යුද තාක්ෂණික දත්ත රහසිගතව ලබා දුන් බව දැන් සාකච්ඡාවට බඳුන් වෙයි. යුක්රේන යුද්ධයේදී රුසියාවට විශාල වාසියක් වූයේ ඉරානය ලබාදුන් ෂාහිද් ඩ්‍රෝන තාක්ෂණයයි. රුසියාවේ නිෂ්පාදනය කරන එම වර්ගයේ ඩෝන දැන් වෙනත් නමකින් පැමිණියද ප්‍රතිළුලය එකය. එනම් අදටත් ෂාහිද් ඩ්‍රෝන යුක්රේනයේ ඉලක්ක වෙත රුසියානුවන් විසින් යොමු කරනු ලැබේ.
අසල්වැසියන්ට පහරදිමේ උපාය
ඉරානයට දැන් නැතිවන්නට දෙයක් නැත. කැරකෙන්නට ඇත්තේ දැනෙන ප්‍රතිප්‍රහාර මාලාවකින් තම බලය සතුරාට පෙන්වීම පමණි. ඒ අනුව අමෙරිකානු හිතවාදී ජාතීන් වන ජෝර්දානය සවුදි අරාබිය, කුවේට් ,බහරේන් ඒක්සත් අරාබි එමිර්, කටාර් හා ඕමාන් ආදී රටවල අමෙරිකානු කඳවුරු පමණක් නොව එම රටවල කොඳු නාරටිය බඳු තෙල් වෙළෙඳාම පමණක් දියුණු නාගරික පද්ධති බැංකු, මුල් පෙළේ ව්‍යාපාරික ස්ථාන හා නිවාඩු නිකේතන ආදී ස්ථාන ඉරාන ප්‍රහාරයට ලක්වූයේ විශේෂයෙන් අමෙරිකානු හා අනෙකුත් බටහිර ව්‍යාපාරික කේන්දු බවට ඒවා පත්ව තිබූ නිසාය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැදපෙරදිග රටවල් ලෝකයෙහි ගමනාන්ත කේන්ද්‍ර ලෙස ලබාගෙන තිබු ප්‍රසිද්ධියද විනාශ කිරීමට ඉරානයට හැකි විය.
ලොව ගුවන් ගමන් පද්ධති යා කෙරෙන මධ්‍යස්ථානයක් වූ ඩුබායි ඇතුළු කලාපීය ගුවන්තොටුපළවල් වසා දැමිණ. අසල් වැසි රටවලට පහරදීමෙන් ඉරානය එම රටවල මූල පද්ධතියට හා අදාළ රටවල් අමෙරිකාව සමග පැවති සමීප සබඳතාවන්ට අභියෝගයක් එල්ල කළේය. ඊට හේතුව මේ යුද්ධය නවත්වාගැනීමට ගල්ෆ් රටවල් දැරූ උත්සාහය තුට්ටුවකට මායිම් නොකර නෙතන්යාහු සමග එක්ව යුද්ධය ඇරඹීමට ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගයයි.

ඉරානයේ උපාය මේ අවස්ථාවේ සාර්ථක බව පෙන්නුම් කරන්නේ කොතරම් තදින් ඉරානය බැට දුන්නත් එරටට එරෙහිව යුද්ධයට යාමට කුඩා අරාබි රටවල් පමණක් නොව කලාපීය දැවැන්තයා වන සවුදි අරාබියද මැළි කමක් දක්වන නිසාය. අමෙරිකාවට පහසුකම් සලසන ගල්ෆ් රටවලට තමන්ගෙන් ගැලවීමක් නැති බව ඉරානය යළි අවධාරණය කර තිබේ. අනෙක් අතට ලොව විවිධ වෘත්තිකයන්ට රැකියා සෙවණ දුන් ගල්ෆ් කලාපයෙන් ඉවත්ව යාමට දැන් විදෙස් සේවකයන්ගෙන් ඇතැම්හු උත්සාහ දරති. ඒ ගෝලීය රැකියා වෙළෙඳපොළක් ලෙස කලාපය අත්කරගෙන තිබූ කීර්තියටද අභියෝග එල්ල කරමිනි. ඉරාන ප්‍රහාරයෙන් විනාශ වන ගොඩනැගිලි හා සුන්බුන් ගල්ෆ් සුරපුරය අපායක් බවට පත් කරනු ඇත. මේ හානියට ලක්වන්නේ දශක ගණනාවක් පුරා ගල්ෆ් රටවල් විසින් ක්‍රමානුකූලව ගොඩනගා තිබූ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රතිරූපයයි.
යුද්ධයේ ඉදිරිය හා ලෝක බලපෑම
අමෙරිකාව හා ඊශ්‍රායලය මේ යුද්ධය අරඹද්දී පෙන්නුම් කළ පහසුදායක තත්ත්වය දැන් වනවිට වෙනස්ව ඇති බවක් දක්නට ලැබේ. ඊට හේතුව යුද්ධය කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් බව පැවසුවද එය දිග් ගැසීමයි. මූලික වශයෙන්ම අමෙරිකාවට එය ආර්ථික වශයෙන් විශාල පිරිවැයකි. දිනකට අමෙරිකානු ඩොලර් කෝටි 100ක් එනම් බිලියනයක් අමෙරිකාව යුද්ධයට වැය කරයි. මෙය ලෝකයේ ප්‍රබලතම රාජ්‍යයට හා අංක එකේ ආර්ථිකයට වුවද බරකි. යුද්ධයේ මුල් දින 6 තුළ පමණක් දළ වශයෙන් අමෙරිකාව ඩොලර් බිලියන 11.3ක් වැය කොට තිබේ.
ඊශ්‍රායලයටද එය එසේමය. ඉරාන මිසයිල ප්‍රහාර නිසා ඊශ්‍රායලය ආරක්ෂක පියවර අනුගමනය කිරීමෙන් එරට ආර්ථික ක්‍රියාවලියටද බාධා එල්ල වී තිබේ. එමෙන්ම අමෙරිකානු ජනතාව වෙනත් අවස්ථාවල මෙන් නොව මෙවර යුද්ධයට සහයෝගයක් නොදක්වන බව ජනමත විමසුම් ප්‍රතිඵල පෙන්නුම් කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වන්නේ අමෙරිකානු හමුදා අනවශ්‍ය විදෙස් යුද්ධවලට යොමු නොකිරීමය. එවැනි තත්ත්වයක් යටතේ ඉදිරි මධ්‍යකාලීන මැතිවරණයන්ට මුහුණ දීම ට්‍රම්ප්ට අභියෝගයක් වනු ඇත. විශේෂයෙන්ම අමෙරිකානු හමුදා මරණ ඉහළ යාමෙන් මේ අභියෝගය වඩාත් බරපතළ වනු ඇත.
ඉරානයේ නව පාලනයටද රට ඉදිරියට ගෙන යාම බරපතළ අභියෝගයක් වන්නේ යුද්ධයෙන් ඇතිවූ යටිතල පහසුකම් විනාශය හා විවිධ පද්ධතිවලට සිදුව ඇති හානිය නිසාය. දිගු කාලයක් ආර්ථික සම්බාධක පීඩනය දරාගත්තද පසුගියදා ජනතා උද්ඝෝෂණ හා ඒවා මැඩලීම වැනි සිද්ධිවලට බලපෑ ප්‍රධාන හේතුව යුද්ධයට පෙරද ඉරානයෙහි ආර්ථික පීඩනය ඉහළ යාමය. දැන් එම තත්ත්වය වඩාත් උග්‍ර වන ලකුණු පෙන්නුම් කිරීම නිසා ඉරාන නව පාලනය වත්මන් යුද්ධයෙන් බිඳ නොවැටුණ හොත් ඉදිරි පාලන කටයුතුවලදී දැඩි අභියෝග වලට මුහුණ දෙනු ඇත.
වඩාත්ම නරක බලපෑම ගෝලීය ආර්ථිකයටය. දැනට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 ඉක්මවා යාම අනුව ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් සමයේ මෙන් ආර්ථික අවදානමට මුහුණ දීමේ ප්‍රවණතා පෙන්නුම් කරයි. බලශක්ති අර්බුදය නිසා සියලු ආර්ථික හා ජන ජීවිතයට බැඳුණු සෙසු ක්‍රියාකාරකම් අවදානමට ලක්වේ. එහි මූලික ලක්ෂණ මේ වනවිට අප හමුවේ ඇත.
සංචාරක කර්මාන්තය හා ගුවන් ගමන් අඩාළ වීම පොදුවේ සියලු රටවලට, විශේෂයෙන් ආසියානු රටවලට බලපෑම් එල්ල කරයි.අනෙක් අවදානම වන්නේ කොවිඩ් සමයේ මෙන් ගෝලීය පොහොර අර්බුදයක අවදානම පෙන්නුම් කිරීමය. ඛනිජතෙල් නිෂ්පාදනය අඩාළ වීම නිසා යුරියා නිෂ්පාදනය කඩා වැටීම මීට බලපෑ හැකි ප්‍රධාන සාධකයකි. යුද්ධය ඉක්මනින් නැවතුණ හොත් මෙම අහිතකර ප්‍රතිළුල සීමා කරගත හැකිවනු ඇත. එහෙත් දිග්ගැසුණ හොත් එය යුද්ධයේ නිරත රටවලට වඩා සෙසු රටවලට පීඩා ගෙන දෙයි.
ප්‍රසාද් කෞශල්‍ය
දොඩන්ගොඩගේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd