ත්‍රිකුණාමලය වරාය සහ හම්බන්තොට වරාය ආශ්‍රිත පහසුකම් භාවිතයට ගැනීම වැදගත්
රට තුළ මාස දෙකක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම අවශ්‍යයි
ටොන් 40,000 ක ඉන්ධන නැවක මිල ඩො.මිලියන 27 ක සිට ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළට
වර්තමාන ඩීසල් ලීටරයක සැබෑ මිල තවත් රුපියල් 280 කින් වැඩි විය යුතු බව පවසයි
මැදපෙරදිග යුද ගැටුම් නිසා රට තුළ පවතින ඉන්ධන අර්බුදය වැනි අවස්ථාවක් නැවත මතු නොවීමට නම් කඩිනමින්ම රටෙහි ඉන්ධන සුරක්ෂිතතාවක් ඇති කිරීම සඳහා සූදානම්වීම අත්‍යවශ්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පවසයි.
ඒ සඳහා දැනට භාවිතයට නොගෙන ඇති ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඇති තෙල් ටැංකි ඉක්මනින්ම භාවිතයට ගැනීම සිදු කළ යුතුව ඇති බවත්, හම්බන්තොට වරාය තුළ එවැනි පහසුකම් ස්ථාපිත කළ යුතුව ඇති බවත් ඒ මහතා පවසයි. එහෙත් පසුගිය කාලසීමාව පුරාම එම කටයුතු සිදු නොවීම මෙම තත්වයට හේතුව වී ඇති බවත්, මෙම කර්මාන්තය වෙත එම පියවර අත්‍යවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කරයි.
“තවමත් මේ කටයුතු පමාවීම සුදුසු දෙයක් නෙමෙයි. මෙය අදට නෙමෙයි අනාගතයටයි වටින්නේ. මොකද ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අද රටේ ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව පවතින්නේ එක් මාසයකට පමණයි. ඒ නිසා රට තුළ ඉන්ධන සුරක්ෂිතතාවට දැන් සිට හෝ සූදානම් විය යුතුයි.”
ඩේලිඑෆ්ටී පුවත්පත, ACCC සහ ICCSL එක්ව සංවිධානය කළ ‘මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි අවස්ථා’ පිළිබඳ අන්තර්ජාල වෙබිනාර් වැඩසටහනකදී අදහස් දක්වමින් හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙම කරුණු සඳහන් කළේය. ඒ මහතා වර්තමානයේදී මෙරට තුළ ෂෙල් සන්නාමය යටතේ ඉන්ධන අලෙවියේ නිරත RM Parks සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයාද වෙයි.
“ත්‍රිකුණාමලයේ තියෙන ඉන්ධන ටැංකි 100 ඉදි කළේ බ්‍රිතාන්‍යයන්. ඒ පළමු ලෝක යුද්ධයෙන් පස්සේ. දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේදී ජපානය බෝම්බ දාලා ඉන් එක ටැංකියකට හානි සිදු වුණා. එහෙත් ඉතිරි 99ට හානි වුණේ නෑ. මේ ටැංකිවලට මොකද වුණේ. කවුරුවත් ඒවා අලුත්වැඩියා කරන්න බැලුවේ නැහැ. 2022 දී ඉන්දියන් ඔයිල් සමාගම පැමිණිලා ඔවුන් ටැංකි 14ක් ගත්තා. ඊට පස්සේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම අත්සන් කරපු ඒකාබද්ධ ගිවිසුමක් යටතේ ටැංකි 61ක් භාර ගත්තා. ඒ අතරින් ටැංකි 24ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි වුණා. ඒකෙන් ටැංකි 4ක් වගේ තමයි දැන් භාවිත කරන්නේ.”
ඒ අනුව මෙම මැදපෙරදිග යුද ගැටුම් තත්වය අවස්ථාවක් කරගනිමින් මෙම යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට යොමුවීම වැදගත් බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
“අපේ ඉන්ධන සංචිතය එක මාසයකට නෙමෙයි මාස දෙකකට පවත්වාගෙන යන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ දෙයක්. එහෙම වුණොත් අපිට පුළුවන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න. ඒ සඳහා ඉක්මනින්ම ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු වෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය සතුව ගෑස් ගබඩා කිරීමේ පහසුකම් තිබෙනවා.
තවමත් ඒවා නිසි ලෙස භාවිත කරලා නෑ.”
මේ අතර, මෙම ඉන්ධන කර්මාන්තය තුළ වඩාත් හොඳ නියාමන ක්‍රමවේදයක් පැවතීමද වැදගත් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. එහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන්ද නිසි නියාමනයක් නොමැති බවත්, එය ඕනෑම සමාගමකට ඉන්ධන ආනයනයේ අසාර්ථක වීමට හේතුවක් වනු ඇති බවත් ඒ මහතාගේ අදහස වී තිබේ.
“අද වෙනකොට රටේ තියෙන්නේ නිවැරදි ඉන්ධන මිලක් නෙමෙයි. අප්‍රේල් 02 වැනිදා වෙනකොට ඩීසල් බැරලයක් තිබුණේ ඩොලර් 292 ක මිලකට. මම කවදාවත් මේ වගේ මිල ඉහළ යෑමක් දැකලා නැහැ. ඒ අතරම මේ කාලයේදී ඉන්ධන බැරලයක් සඳහා වන ප්‍රීමියම් අගයත් වෙනදාට තියෙන ඩොලර් 5 සිට ඩොලර් 60ක් දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ ඩීසල් බැරලයක් ඩොලර් 350ක් අගයක් ගන්නවා. අද වෙනකොට ඩීසල් ලීටරයකින් සිද්ධවෙන පාඩුව රුපියල් 280කට වැඩියි. ඒ කියන්නේ ඩීසල් ලීටරයක නිවැරදි මිල දැන් තියෙන මිලට තවත් 280ක් එකතු වෙන්න ඕනේ.”
ඒ අනුව මෙම ගැටලුවේ ඇත්ත පැහැදිලිව ජනතාවට පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය වන බවත්, එසේ නොවුණොත් දැනට රටෙහි ඉන්ධන අලෙවියේ නිරත සමාගම් හතරට, සිංගප්පූරු වෙළෙඳපොළේ ඉන්ධන පැවතියත් ඒවා ආනයනය කරගැනීමේ හැකියාව නැතිවෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
“ටොන් 40,000 ක ඉන්ධන නැවක් කලින් තිබුණේ ඩොලර් මිලියන 27ත් 30ත් අතර මුදලකට. ඒත් දැන් එය ඩොලර් මිලියන 70කට ගිහින්. ඒ නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අනෙකුත් සමාගම් මේ වනවිට ඉතාමත් අසීරු තත්වයක පසුවෙන්නේ.”
ඒ අනුව රට තුළ ඉන්ධන සඳහා සහනාධාරයක් ලබාදීම ගැටලුවට පිළිතුර නොවන බවත් සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය. “ඉන්ධන සඳහා ඇත්ත මිල ජනතාවට ප්‍රකාශ කළ යුතුයි. ඒ මිලට තමන්ගේ වාහනයට, කර්මාන්තවලට ඉන්ධන ගන්න පුළුවන් කෙනා ඉන්ධන ගනීවි. එහෙම බැරි කෙනා එය නවත්වාවි.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd