
පසුගිය දශක තුනක කාලය පුරා ලෝකය ජීවත් වූයේ “Just-in-Time” (නිසි වේලාවට එසැණින්) නමැති ආර්ථික දහම මතය. එය නවීන ගණිතයේ ආශ්චර්යයක් බඳු විය. උදාහරණයක් ලෙස, තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක බෆර් එකක්, යුරෝපයේ කර්මාන්තශාලාවකට ළඟා වූයේ එය රථයට සවි කිරීමට හරියටම මිනිත්තු හතළිස් දෙකකට පෙරය. එහි දූවිල්ලක්වත් නැත.
මෙලෙසින්ම ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක මහන කමීස සඳහා බොත්තම් ඇල්ලීමට බොත්තම් එන්නේ බොත්තම් ඇල්ලීමට කමීසය නිමකළ සැණිනි. අමතර ගබඩා කිරීමක් නැත; ඉඩකඩ අපතේ යාමක් ද නැත. මුළු පෘථිවියම එකම බාධාවකින් තොර, සුමටව ක්‍රියාත්මක වන යන්ත්‍රයක් බඳු විය. මේ නිසා සැපයුම් දාම නඩත්තු කිරීම සුවිශේෂ හැකියාවක් අවශ්‍ය දැනුමක් අවශ්‍ය කාර්යයක් බවට පත්විය. එහි ප්‍රවීණයෝ ඉහළ ගෙවීම් ලබන්නෝ වූහ.
නමුත් අද වන විට රතු මුහුද මත යුද දුමාරය පැතිරෙද්දී සහ හෝමුස් සමුද්‍ර සන්ධිය දැඩි නිහඬ අර්බුදයක සිරවී තිබියදී, එම කාර්යක්ෂම යාන්ත්‍රයෙහි “අවතාරයක්” සැරිසරන්නට පටන් ගෙන ඇත. යන්ත්‍රයේ දැති රෝද ක්‍රමයෙන් නතර වෙමින් පවතී. එදා අප දුටු “කාර්යක්ෂමතාවෙහි ආශ්චර්යය” අද වන විට හිස් වූ වෙළෙඳසල් රාක්ක සහිත බියකරු සිහිනයක් බවට පත්ව තිබේ. නිසි වේලාවට භාණ්ඩ ලැබීම වෙනුවට භාණ්ඩ එන තුරු බලා සිටින්නට සිදුව තිබේ. ඇතැම් ජනාධිපතිවරුන් නැව් එනතුරු බලා සිටිනවා යැයි ජනතාවට කියයි.
2026 වසරේ පවතින මෙම අවුල් සහගත තත්ත්වයට නවීන ලෝකයේ ප්‍රධාන විධායක නිලධාරීන්ට හමුවී ඇති ඉහළම තාක්ෂණික විසඳුම වන්නේ පුදුම සහගත ලෙස ඉතා පැරණි ක්‍රමයකි: එනම් ‘ගබඩාව‘ (The Warehouse) ය.
සැපයුම් දාමයේ බිඳ වැටීම
කොළඹ පුවත්පත් කර්තෘ මණ්ඩලවල සිට විදෙස් රටවල අධ්‍යක්ෂ මණ්ඩල ශාලා දක්වා, අප අද නිරීක්ෂණය කරමින් සිටින්නේ ඉතා සෙමින් සිදුවන දරුණු රිය අනතුරක් වැනි ”පද්ධතිමය කඩා වැටීමකි” (Systemic Crash). ලෝකයේ බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන ධමනිය බඳු වූ මැදපෙරදිග කලාපය මෙලෙස අර්බුදයට පත් වූ විට, ලෝකය පුරා දිවෙන “සැපයුම් දාමය” හෙවත් එම නොනිවෙන බෙදාහැරීමේ දම්වැල මන්දගාමී වීම පමණක් නොව, මුළුමනින්ම බිඳී විසිරී යෑම සිදුව ඇති බව පෙනේ.
නැව් ගමනාගමන මාර්ග දැන් “සුබපැතීමේ තුඩුව” වටා යන දීර්ඝ හා දුෂ්කර වටරවුම් මගකට යොමු වීමට බල කෙරී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෑම ගමනකටම තවත් අමතර දින විස්සක අවිනිශ්චිත කාලයක් සහ මුහුදු රළ අතර ගත කිරීමට සිදුවන අමතර වෙහෙසක් එක් වේ. 2010 දශකයේ පුහුණුව ලැබූ කළමනාකරුවකුට මෙම අමතර දින විස්සක් යනු කල්පයක් වැනිය. මන්දයත් එම දින විස්ස යනු අලුත් නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දීම සහ ව්‍යාපාරයක් දියවී බංකොලොත් වීම අතර පවතින තීරණාත්මක දින කිහිපයක් විය හැකි වීමය.
ටොයෝටා සමාගමේ ‘සකසුරුවම්‘ චින්තනයෙන් ‘සුරක්ෂිත‘ චින්තනයට කළ වෙනස
ටොයෝටා සමාගම යනු වසර පනහක් පුරා “Lean ” (අපතේ යාම් අවම කළ සකසුරුවම්) නිෂ්පාදන ක්‍රමවේදයේ ලෝක පුරෝගාමියා විය. තොග රැස්කර තබා ගැනීම යනු “අපතේ යාමක්” බව ඔවුහු ලොවටම ඉගැන් වූහ. නමුත් 2026 වසරේ ටොයෝටා කර්මාන්තශාලාවක ඇවිද යන විට ඔබට දැනුණේ වෙනස්ම අත්දැකීමකි. එහි දැන් අලුත් හඬක් ඇසේ. එනම් දැවැන්ත, උෂ්ණත්වය පාලනය කළ ගබඩා පද්ධතිවලින් නැගෙන හඬය.
ටොයෝටා සමාගම දැන් “ගලවා ගැනීමේ තොග” (Rescue Stock) ක්‍රමය හඳුන්වා දී ඇත. ඔවුන් දැන් හුදෙක් මෝටර් රථ පමණක් නිපදවන්නේ නැත. ඔවුහු අමතර කොටස්වලින් සැදි “බළකොටු” ද තනමින් සිටිති. මයික්‍රෝ චිප්ස් සහ අමුද්‍රව්‍ය මාස හයකට ප්‍රමාණවත් වන පරිදි ගබඩා කර තබා ගැනීමෙන්, ඔවුන් එක් සත්‍යයක් පිළිගෙන ඇත. එනම්, යුදමය වාතාවරණයක් පවතින ලෝකයක, සකසුරුවම් ශේෂ පත්‍රයකට වඩා පිරුණු ගබඩාවක් වටිනා බවය. ඔවුන් අද දවසේ “කාර්යක්ෂමතාව” වෙනුවට හෙට දවසේ ”ස්ථිරභාවය” තෝරාගෙන ඇත.

ඇපල් සහ ”ඩිජිටල් ගබඩාකරණයේ” කලාව
කුපර්ටිනෝ (Cupertino) හි පිහිටි ඇපල් මූලස්ථානයේ කතාව ද මීට සමානය, නමුත් එහි පරිමාණය අති දැවැන්තය. කලක් චීනය මත පමණක් කේන්ද්‍රගත වූ නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන ගිය ඇපල් සමාගම, දැන් ඉතා වේගයෙන් තම නිෂ්පාදන ජාලය විවිධ රටවලට ව්‍යාප්ත කරමින් සිටී. ඉන්දියාව සහ වියට්නාමය වෙත සිදුවන මෙම “මහා සංක්‍රමණය” කලෙක හුදු යෝජනාවක් පමණක් වුව ද, අද එය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව ඇත.
එහෙත් වඩාත්ම සිත්ගන්නා කරුණ නම්, ඇපල් සමාගම තම මූල්‍ය ශක්තිය භාවිත කරමින් ඉතා පැරණි ක්‍රමවේදයකට අවතීර්ණ වීමය. ඔවුහු දැන් වසර කිහිපයකට පෙර සිටම අමුද්‍රව්‍ය සඳහා මුදල් ගෙවා ඒවා වෙන් කරවා ගනිති. මෙය හරියට 19 වැනි සියවසේ පැවති “ගබඩා ක්‍රමය” වැනිය. එනම් අස්වැන්න නෙළීමටත් පෙර ධාන්‍ය අස්වැන්න මිලදීගෙන තම මිනිසුන් කුසගින්නේ නොසිටින බව සහතික කිරීමය. 2026 දී එම “ධාන්‍ය” බවට පත්ව ඇත්තේ කොබෝල්ට්, ලිතියම් සහ උසස් තත්ත්වයේ වීදුරු ය.
“ආරක්ෂිත තොග” ක්‍රමයේ පුනරාගමනය
අප මේ දකිමින් සිටින්නේ ”ගබඩාකරණයේ පුනරුදයයි.” නමුත් මෙය අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ තිබූ අඳුරු, අවිධිමත් ගබඩා කාමරයක් වැනි දෙයක් නොවේ. 2026 වසරේ අප දකින්නේ ”බුද්ධිමත් ගබඩාකරණයයි” (Active Storage). ලොව ඕනෑම තැනක සිදුවන ඩ්‍රෝන ප්‍රහාර හෝ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු තත්කාලීනව (Real-time) නිරීක්ෂණය කරන කෘතිම බුද්ධි පද්ධති (AI) මගින් මෙම ගබඩා පාලනය වේ. බොහෝ ව්‍යාපාර දැන් තම නිෂ්පාදන පාරිභෝගිකයාට සමීපව ගබඩා කර තබා ගැනීමට කටයුතු කරයි. මෙක්සිකෝවේ හෝ නැගෙනහිර යුරෝපයේ ගබඩාවක් නඩත්තු කිරීම මිල අධික වුවද, වරායකට ඇතුළු විය නොහැකි නැවක් හෝ නිෂ්පාදන නතර වූ කර්මාන්තශාලාවක් නිසා සිදුවන පාඩුවට වඩා එය ලාභදායී බව ව්‍යාපාරික ලෝකය දැන් වටහාගෙන ඇත.
ගබඩාවට ජය
“Just-in-Time” නමැති යුගය සාමකාමී ලෝකයක ප්‍රතිඵලයකි. නමුත් ගැටුම් පවතින යුගයක, අපි නැවතත් පැරණි මුතුන් මිත්තන්ගේ ප්‍රඥාව වෙත ගමන් කරමින් සිටිමු. එනම් “ඔබට අවශ්‍ය දේ, ඔබට ළඟා විය හැකි තැනක ගබඩා කර තබා ගන්න” යන්නයි.
ලෝකය හුදෙක් ආපස්සට ගමන් කරනවා නොව, වඩාත් ශක්තිමත් පදනමක් මත පිහිටන්නට උත්සාහ කරයි. මින් ඉදිරියට ගබඩාවක් යනු සම්පත් අපතේ යැවීමක් නොව, ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සංකේතයකි. ගෝලීය සැපයුම් දාමයේ යුද්ධයෙන් ජය ගන්නේ වේගයෙන්ම දුවන තැනැත්තා නොව අවශ්‍ය තරම් ආහාර සහ කළමනා ඇතිව තම ගබඩාව පුරවාගත් තැනැත්තාය.
කේ. ආර්. විතානගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd