“කුම්බලා මාළු කෑවා නම් දිරවාපන් බළලෝ” යනුවෙන් කියමනක් අප ජනප්‍රවාදයෙන් පැවත එන්නේ වසාගත නොහැකි වැරදි කළවුන් ගැන කියැවෙන පිරුළක් ලෙසිනි. “ඇටි කෙහෙල් කෑ උගුඩුවා වගේ” “ ගලේ පැහැරූ බළලා වගේ “ යන කියමින් ද මීට ආසන්න තත්ත්වයක් පැහැදිලි කිරීමට යොදා ගැනේ. මේ දිනවල ලෝක දේශපාලනය ගැන කතා කිරීමේදී ද අපට අහන්නට දකින්නට ලැබෙන්නේ කුම්බලා මාළු කෑ හෝ ගලේ පැහැරූ බළලු‍න් හා ඇටිකෙහෙල් කෑ උගුඩුවන්” ලෙස හැසිරෙන ලෝක බලවතුන් පිරිසකි. ඔවුහු තමන්ගේ ශරීරවල තැවරී ඇති ගඳ ගසන කුණු ඉවත් කරගැනීම සඳහා විවිධ ක්‍රමවලින් උත්සුක වන බවක් පෙන්නුම් කරති. සමාව ඉල්ලති. කනගාටු වෙති. තමන් නිවැරදි යැයි පුන පුනා කියති. මේ සතියේ ලෝක මාධ්‍ය වැඩිපුර පෙන්නුම් කළේ බලවතුන්ගේ මේ විසූක දස්සන සහිත චර්යා රටාවයි. 

පසුගිය සතිවල ඉරානය වෙනිසුවේලාව, ගාසාව, ට්‍රම්ප් හා බදු, වෙළෙඳ ගිවිසුම් ආදිය ගැන ලෝකය කතා කළත් ඉකුත් සතියේ ලෝක මාධ්‍යවල වැඩිපුරම අහන්නට දකින්නට ලැබුණේ එකම නමකි. “එප්ස්ටයින්”- මේ දැනට ජීවත් වන්නෙකු නොවේ. 2019 වසරේ මියගියා යැයි සලකනු ලබන අපකීර්තිමත් මිනිසකුගේ නමකි. එහෙත් එප්ස්ටයින්ගේ අවතාරය දැන් රජ මැතිවරුන් බියපත් කරමින් ජගත් කරළියෙහි සැරි සැරීමට පටන් ගෙන තිබේ. මෙය අලුත් ප්‍රශ්නයක් නොවේ. 1996 තරම් ඈත වකවානුවක ඇරඹී වසර 2008-2019 කාලයෙහි උත්සන්න වී වර්තමානය වන විට යළි මහා කුණාටුවක් බවට පත් වූ අර්බුදයකි. එය අර්බුදයක් වෙන්නේ ලෝකයේ කිසිවෙකු අපේක්ෂා නොකරන අන්දමේ බලවත් මහා චරිතවල අඳුරු පැතිකඩ ලෝකය හමුවේ දිග හැරීමත් නිසාය. අලුතෙන්ම මේ ප්‍රශ්නයේ ගොදුර බවට පත් වූයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාය. ඒ අපකීර්තිමත් ඒපිස්ටින් අපවාදයට ගොදුරු වූ කම්කරු පක්ෂ දේශපාලනඥ පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ආරක්ෂා කිරීමට හා නීතිය මෙන්ම සදාචාරයට පිටුපා ඔහු අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා බවට පත් කිරීමට අගමැති කියර් ස්ටාමර් පියවර ගැනීම නිසාය. ස්ටාමර් ජාතියෙන් සමාව ඉල්ලයි. පීටර් මැන්ඩෙල්සන් තමාට බොරු කී බව කියයි. තමාගේ නිර්දෝෂී භාවය පෙන්වා අගමැතිකම රැකගැනීමට මාරාන්තික සටනක යෙදෙයි. ඒ හා සමගාමීව ඔහුගේ දේශපාලන හා මහජන ප්‍රතිරූපය බරපතළ ලෙස අපවාදයට ලක්ව තිබේ. මේ එප්ස්ටයින් අපවාදයේ අලු‍ත්ම ගොදුරයි. 

මෙතෙක් මේ සටහන කියැ වූ, එපිස්ටීන් ගැන නොදත් පාඨකයන්ට අගමුල තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් ඇතිවිය හැක. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ද මේ දිනවල මෙය උණුසුම් මාතෘකාවක් බව පෙනී යන්නේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවල පළවන වාර්තා මෙන්ම සමාජ මාධ්‍ය සටහන් ද නිසාය. මුහුණු පොතේ එප්ස්ටයින් හා ඔහුගේ බලවත් මිතුරු කැල ගැන පිටු ගණන් ලියැවෙන අතර විවිධ මතවාද ද ඒ ඔස්සේ ගොඩ නැගෙමින් සංවාදයන්ට ඉඩ හසර විවර කර ඇති බවක් පෙනේ. කුමක් ද මේ එප්ස්ටයින් අර්බුදය ? එය මෙතරම් ආන්දෝලනයක් නිර්මාණය කර ඇත්තේ ඇයි? සරලවම කිවහොත් මේ අර්බුදය බටහිර ලෝකයේ කඩතුරා බිම හෙළා එහි වැජඹෙන ඇතැම් මහා චරිතවල සුදු පිරුවටවලින් වැසී ඇති ජරාජීර්ණ නිරුවත හෙළිකිරීම නිසාය. ලෝකයට ළමා හා කාන්තා අයිතිවාසිකම් ගැන උපදෙස් දෙන දේශනා පවත්වන, නිර්ණායක හදන චරිත විසින් සාමුහික ලෙස ඉතා සංවිධානාත්මක ලෙස තමන්ගේ බල පරාක්‍රමය අයථා ලෙස පතුරුවා එම බලය මත පදනම්ව ළාබාල තරුණියන් දහසකට වැඩි සංඛ්‍යාවක් අපයෝජනය කර ඒවා යටපත් කිරීමට නීතිය නවා ගෙන ගිය මහා මෙහෙයුම් ජාවාරම සෙසු ලෝකය හමුවේ එළිදරව් වී බලවතුන් රැසකගේ ඇඳි වත ගිලිහී ගොස් තිබීම  නිසාය. 

මෙය අප්‍රිකාවේ ගෝත්‍රික ගම්මානවලට කඩා වදින ප්‍රතිවාදී ගෝත්‍රිකයන් අතින් දැරියන් හා කාන්තාවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධිවලට වඩා බෙහෙවින් බරපතළ දෙයක් වන්නේ සුචරිතවත් සදාචාර සම්පන්න යැයි ලෝකය හමුවේ ප්‍රතිරූප ගොඩනංවාගෙන සිටි චරිත, බටහිර ලෝකයේ මුදුන් මල්කඩ වන් ලොව සුපිරි බලවත් රාජ්‍යය වන අමෙරිකා එක්සත් ජනපදයේ දී මේ මහා අපයෝජන ක්‍රියාවලියට සම්බන්ධවීම නිසාය. එය හුදෙක් ළමා හා කාන්තා අපයෝජනයක් පමණක් නොව බටහිර ලෝකයෙහි පාතාලගතව ක්‍රියාත්මක වන අඳුරු සන්ධානගත සංවිධානාත්මක ව්‍යාපාර පිළිබඳ කදිම උදාහරණයක්ද වන්නේය. ජෙෆ්රි ඒපිස්ටින් නමැති අමෙරිකානු ධනවත් ජාවාරම්කරුවා බටහිර බලවතුන් සම්බන්ධ කරගනිමින් ගොඩනගා තිබූ රහස් සම්බන්ධතා ජාලය හෙළිදරව් වීම හා එය හුදෙක් බලවතුන් ළාබාල දැරියන්ගේ පහස ලබා සැනසුණු ක්‍රියාවලියකට වඩා එහාගිය රහසිගත වැඩපිළිවෙළක් ද යන්න ගැන මේ වනවිට ගෝලීය සංවාදයක් නිර්මාණය වී ඇති නිසාය.

අර්බුදයේ සුලමුල

ඒ ගැන කතා කිරීමේ දී මුලින් ජෙෆ්රි ඒපිස්ටින් යනු කවුදැයි හඳුනාගත යුතුව ඇත. හරිහැටි ඔහු කවුදැයි හඳුනා ගැනීම හෝ ඔහුට නිශ්චිත වශයෙන් හැඳින්වීමක් ලබාදීම අපහසු වන්නේ ඔහු කවුදැයි හරිහැටි හඳුනා ගැනීමට ආරක්ෂක හෝ නීති හෝ අනෙකුත් බලධාරි අංශ වලට පවා නොහැකිවීම නිසාය.  සරළව මෙසේ කිව හැක. ඔහු ව්‍යාපාරිකයෙක්,  කූට ජාවාරම්කරුවෙක්, ළමා අපචාර මෙහෙය වූවෙක්, මුදල් විශුද්ධිකරණය මෙහෙය වූවෙක්, සරළව ගතහොත් අපරාධකරුවෙක් ආදී හැඳින්වීම් ලබාදිය හැක. එසේම ඔහු රහස් ඔත්තුකරුවෙක්, පාතාලගත ඒජන්තයෙක්, රහස් සංවිධානයක නියෝජිතයෙක් ආදී හැඳින්වීම් ද සමාජයෙන් මතුවී ඇති ආකාරය දැකගත හැකි මුත් ඒවා ඔප්පු කිරීමට තරම් සාධක මෙතෙක් ඉදිරිපත් කර නැත. ඔහුගේ උපතේ සිට විපත දක්වා කෙටියෙන් විමසා බැලීමේ දී මේ අද්භූත චරිතය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි උපකල්පනය කළ හැක. ඔහු 1953 ජනවාරි 20 වැනිදා අමෙරිකාවේ නිව්යෝක්හි බෲක්ලින් ප්‍රදේශයේ යුදෙව්-නැගෙනහිර යුරෝපා  සම්භවයක් සහිත පවුලක උපත ලද අයෙකි. දක්ෂ සිසුවෙකු වුවත් පාසල් අධ්‍යාපනය පවා හරිහැටි නිම නොකළ ඔහු ජීවිතය ආරම්භ කළේම වංචාවෙනි. ඒ ව්‍යාජ උපාධිධාරී විද්වතෙකු ලෙස පෙනී සිටිමින් නිව්ෙ‌යා්ර්ක්හි කීර්තිමත් ඩෝල්ටන් විද්‍යාලයේ ගණිත හා භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කිරීම නිසාය. එය කිරීමට ඔහුට හැකි වූයේ කුඩා කල සිටම ගණිත හා භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයන්හි හසළ නිපුණතාවක් පැවතීම හා ඉතා හොඳින් පාසලේ විදුහල්පතිවරයා රැවටීටම හැකිවීම නිසා බව අතීත වාර්තා පෙන්වා දෙයි. 1976 වසරේ දී බෙයා ස්ටර්න්ස් මූල්‍ය සමාගමට එක්වූ ඔහු ඉතා ඉක්මනින් එහි විධායක තනතුරක් ලැබුව ද වැඩිකල් නොගොස් සේවයෙන් ඉවත් වූයේ අයථා ගනුදෙනු නිසාය. පසුව ඔහු බිලියනයර්ස් ඔන්ලි සමාගම ස්ථාපනය කොට මූල්‍ය හා බදු සේවා පවත්වාගෙන ගිය අතර එප්ස්ටයින් කෝටිපතියකු බවට පත් වූයේ ප්‍රකට ව්‍යාපාරික “වික්ටෝරියාස් සීක්‍රට් සමාගමේ “ නිර්මාතෘ ලෙස්ලි වැක්ස්නර්ගේ දේපළ හා බදු මෙහෙයුම්කරු බවට පත්වීමෙන් අනතුරුවය. ප්‍රකෝටිපති ලියොන් බ්ලැක්ගේ බදු හා දේපළ මෙහෙයුම්වලින් ඩොලර් මිලියන 158ක ධනයක් ඉපැයූ ඔහු පසුව අමෙරිකානු වර්ජින් දුපත්හි බදු උපාය මෙහෙයුම් සමාගමක් ස්ථාපනයෙන් ඩොලර් මිලියන 300කට අධික ධනයක් වසර 20කදී ඉපැයීමට සමත් විය. අධික ධනවත් බවත් සමග ඔහු බටහිර ඉහළ සමාජයට අවතීර්ණ වූ අතර එහි ධනවත් හා බලවත් සාමාජිකයන් තමා වටා එක්රොක් කර ගැනීමට එප්ස්ටයින් විවිධ මෙහෙයුම් සිදු කළේය. ධනකුවේරයන් හා දේශපාලන බලවතුන් කුල්මත් කළ පාරාදීසයක් නිර්මාණය සඳහා ඔහු නිව්යෝක්හි ලිට්ල් සෙන්ට් ජේම්ස් හා ග්‍රේට් සෙන්ට් ජේම්ස් දූපත් මිල දී ගත්තේය. ශාන්ත ජේම්ස් මුනිවරයාගේ නමින් හැඳින්වුව ද ලිට්ල් දූපතේ එප්ස්ටයින් ස්ථාපනය කළේ දැවැන්ත ළමා ගණිකා මඩමකි. ඊට අමතරව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ද ඔහු ලිංගික මෙහෙයුම් සිදු කළේය.  එප්ස්ටින් 2019 වසරේ මියයන විට ඔහු සතු වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 560 ඉක්මවා තිබූ බව අධිකරණ වාර්තා පෙන්වා දෙයි. 

වර්තමානය වන විට යළි මහා කුණාටුවක් බවට පත් වූ අර්බුදයකි. එය අර්බුදයක් වෙන්නේ ලෝකයේ කිසිවෙකු අපේක්ෂා නොකරන අන්දමේ බලවත් මහා චරිතවල අඳුරු පැතිකඩ ලෝකය හමුවේ දිග හැරීමත් නිසාය. අලුතෙන්ම මේ ප්‍රශ්නයේ ගොදුර බවට පත් වූයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාය. ඒ අපකීර්තිමත් ඒපිස්ටින් අපවාදයට ගොදුරු වූ කම්කරු පක්ෂ දේශපාලනඥ පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ආරක්ෂා කිරීමට හා නීතිය මෙන්ම සදාචාරයට පිටුපා ඔහු අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා බවට පත් කිරීමට අගමැති කියර් ස්ටාමර් පියවර ගැනීම නිසාය.

තමා වටා සිටි බලවතුන්ගේ කාම පහස සංසිඳවීම සඳහා එප්ස්ටයින් තමාගේ සමීප සහකාරියක වූ ඇලෙක්සැන්ඩර්ගේ සහාය ඇතිව වසර 20 ක පමණ කාලසීමාවක් තුළ අමෙරිකානු හා නැගෙනහිර යුරෝපීය ළාබාල තරුණියන් දහසකට අධික සංඛ්‍යාවක් රවටා පැහැරගනු ලැබ බලහත්කාරයෙන් යොදාගත් බව පරීක්ෂණවල දී හෙළිවී තිබේ. කුමන අපරාධකරුවකුට වුවද කොතරම් බලවත් වුවත් ස්වභාවයෙන් දඬුවම් ලැබෙන කාලසීමාවක් උදාවේ. එප්ස්ටයින්ට ද එම ඒරාෂ්ටකය උදාවූයේ 1996 දීය. ඔහුට එරෙහි පළමු පැමිණිල්ල නිව්ෙ‌යා්ර්ක් පොලිසියේ හා එෆ් බී අයි ආයතනයේ ගොනු විය. ඔහුගේ ජාලය ගැන සැබෑ පරීක්ෂණ ඇරඹුණේ 2005 වසරේ අපයෝජනයට ලක්වූ 14 හැවිරිදි දැරියකගේ දෙමාපියන් විසින් ගොනු කරන ලද නඩුවෙන් අනතුරුවය. එහෙත් එප්ස්ටයින් තම බලවත් මිතුරන් හා ධනය යොදාගනිමින් නීතිය නැව්වේ බැරී ක්‍රිෂර් හා ඇලෙක්සැන්ඩර් අකොස්තා යන නීතිපති නිලධාරීන්ගේ සහායෙන් නඩුව දියාරුකොට නීතියෙන් රැකවරණ ලැබීමේ ගිවිසුමක්ද ඇති කර ගනිමිනි. 2008 වසරේදී 13 මසක සිර දඬුවමක් නියම වුවද එය, ඔහුට දිනකට පැය 12ක් බැගින් සතියකට දින 6ක් තම කාර්යාලයට ගොස් සේවය කර ආපසු සිරගෙට පැමිණීමට ඉඩ ලැබුණු පුදුමාකාර සිරදඬුවමක් විය. අනතුරුව 2009 දී නිදහස ලැබුවත් 2011 නැවතත් එප්ස්ටයින්ට කණ කොකා හැඬුවේ ඔහුගෙන් හා බලවතුන්ගෙන් ළාබාල වියේදී දීර්ඝ අපයෝජනයන්ට ලක් වූ වර්ජිනියා ගියු‌ෆ්රේ නමැති කාන්තාව නීතිය හමුවට පැමිණීම හා ඇය බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු වැළඳගෙන සිටින සේයාරුවක් මාධ්‍යයට නිකුත් වීමත් සමගය. 2018දී ඇරඹී නීති කෘත්‍යයේ දී තවදුරටත් නීතිය නැවීමට නොහැකි වූ එප්ස්ටයින් 2019 වසරේදී ඇප රහිතව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. 2019 අගෝස්තු 10 වෙනිදා සිර මැදිරියේ දී අබිරහස් ලෙස මියගිය එප්ස්ටයින්ගේ සිරුර හමුවිය.  එය සිය දිවිනසාගැනීමක් ලෙස තීන්දු කරනු ලැබ තිබේ.

තහනම් ගහේ ගෙඩි කෑ බලවතුන්

එප්ස්ටයින් මියගියත් සිද්ධිය එතැනින් අවසන් නොවූයේ ඔහුගේ අපචාර ලෝකයෙහි සැරිසැරූ බවට සැක කෙරෙන හා ඔහු සමග සම්බන්ධතා පැවැත් වූ බවට සාධක ඇති බලවතුන්ගේ නම්ගම් හෙළිවීමත් සමගය. ඒ ඉකුත් ජනවාරියේ එප්ස්ටයින් පරීක්ෂණ ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමත් සමගය. දේශපාලනඥයන් අතරින් මේ සම්බන්ධතා ජාලයේ ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ය. ඔහු ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට නියමිතය. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ද එප්ස්ටයින් හා සම්බන්ධ වී ඇති නමුත් ට්‍රම්ප් ඔහුගේ දුපතට නොගිය බව ප්‍රකාශ කරයි. එසේම එප්ස්ටයින් පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කරන බවට තමා ජන්ද පොරොන්දුවක්ද ලබා දී තිබූ බව ට්‍රම්ප් අවධාරණය කරයි. 

කෙසේ වෙතත් පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කිරීමට හේතු වූයේ ඒ සම්බන්ධයෙන් මතු වූ සිවිල් ජනසමාජ පීඩනය බව මධ්‍යස්ථ විචාරකයෝ පවසති. හිටපු නිව් මෙක්සිකෝ ආණ්ඩුකාර අභාවප්‍රාප්ත බිල් රිචඩ්සන් තවත් නමකි. ඔහු තමා අපයෝජනය කළ බව වර්ජිනියා ගියුෆ්‍රි චෝදනා කළ මුත් මියයන තෙක්ම රිචඩ්සන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. හිටපු ඊශ්‍රායල් අගමැති එහුද් බරාක් නිතර එප්ස්ටයින් හමුවූ බවට සාක්ෂි ඇතත් පරීක්ෂණ මගින් සනාථ වී ඇත්තේ එප්ස්ටයින් හරහා අමෙරිකානු දේශපාලන නායකයන් හමුවීමට ඔහු උදව් ලබාගත් බවය. වඩාත් දරුණු ලෙස අමාරුවේ වැටී ඇත්තේ එප්ස්ටයින්ගේ තරුණියන්ගේ පහස විඳි බවට සාධක ඇති බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුය. වර්ජිනියා ගියුෆ්‍රිගේ පළමු චූදිතයා ඔහු වන අතර අධිකරණයෙන් පිටත දී ඇයට විශාල වන්දියක් ගෙවා සමථයට පත්වීමට ඇන්ඩෲට සිදුවිය. එහෙත් ඉකුත් ජනවාරි ලේඛන නිකුතුවත් සමග ඇන්ඩෲ ගැන තවත් තොරතුරු හෙළිවීම නිසා ඔහු සියලු රාජකීය වගකීම්වලින් ඉවත්විය. ඇන්ඩෲට යනඑන මංනැති වූයේ ඉකුත්දා නිකුත් වූ ලේඛන අතර ඔහු බිම වැතිරී සිටින තරුණියක් ළඟ හතර ගාතෙන් වැටී දණගසා සිටින සේයා රූ එළි දැක්වීම හා ඒවා බීබීසී ලෝක සේවය ඇතුළු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසාය. ඇන්ඩෲ කුමරුගේ බිරිඳ සාරා ෆර්ගියුසන්ද එප්ස්ටයින් සමග වෙනම සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව පරීක්ෂණ ලේඛන පෙන්වා දෙයි. ඔහුගෙන් මුදල් ත්‍යාග ලැබූ බවට සාධක ඇති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා මේ වනවිට කම්කරු පක්ෂයෙන් ද ඉවත්ව ඇති නමුත් ලිපිය මුලදී සඳහන් කළ පරිදි ඔහු අමෙරිකාවේ තානාපති පදවියට පත් කිරීම නිසා වත්මන් අගමැති කියර් ස්ටාමර් අමාරුවේ වැටී ඇත. නෝර්වේහි මැටේ මාරිට් කුමරිය ද එප්ස්ටයින් ඇසුරු කළ ලැයිස්තුවේ පසුවන්නියකි. වත්මන් අමෙරිකානු වෙළෙඳ ලේකම් හොවාඩ් ලු‍ටෙනික් එප්ස්ටයින් දූපතට ගිය අයෙකු බව ලේඛන අනුව පෙනී යයි. ලොව මුල්පෙළේ ධනවතකු හා මහා දානපතියකු වූ බිල් ගේට්ස්, එප්ස්ටයින් නිසා අපකීර්තියට පත් වූ තවත් චරිතයකි. එප්ස්ටයින් යොමුකළ ඊ මේල් පණිවිඩ පරීක්ෂණ ලේඛනවල අන්තර්ගතව ඇති අතර ඉන් ඔහු පෙන්වා දෙන්නේ බිල් ගේට්ස් මත්ද්‍රව්‍ය භාවිත කරන හා රුසියානු තරුණියන්ගේ පහස ලැබීමට ලොල් අයෙකු ලෙසය.  ගේට්ස් ඒම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එප්ස්ටයින් හමුවීම ගැන තමා මොහොතක් පාසා ශෝක වන බව කියයි. කෝටිපති ව්‍යාපාරික ඊලොන් මස්ක් එප්ස්ටයින්ට යැවූ ඊ මේල් පණිවුඩ ද ප්‍රසිද්ධ කර ඇති අතර එක් පණිවිඩයකින් ඔහු එප්ස්ටයින්ගෙන් විමසා ඇත්තේ ඔහුගේ දූපතේ වඩාත්ම “වනචාරි” සාදය පැවැත්වෙන්නේ කවදාද යනුවෙනි. එසේ විමසුවද තමා දුපතට නොගිය බව මස්ක් පවසයි.  මයිකල් ජැක්සන් හා විද්‍යාඥ ස්ටීවන් හෝකින් ද එප්ස්ටයින් සම්බන්ධතා ගැන ලේඛනවල සටහන් නම් වුවද ඔවුන් වරදක් කළ බවක් ඉන් සනාථ නොවේ.

අවසානය කුමක් වේද?

එප්ස්ටයින්‌‌ගේ අපරාධ පිටුපස ඇති සැඟවුණු ජාලය කුමක්ද යන්න ගැන විවිධ මතිමතාන්තර තිබේ. ඔහු එක්තරා රහසිගත දේශපාලන සංවිධානයක් මෙහෙය වූ බවට මත පළවී ඇත. එහෙත් කිසිදු සනාථ කිරීම් සහතිකයක් නැත. අනෙක් චෝදනාව වන්නේ ඔහු බලවත් පුද්ගලයන්ගේ රහස් එක්රැස් කරමින් එක්තරා බුද්ධි අංශ ජාලයකට සම්බන්ධ මෙහෙයුමක් සිදුකළ බවකි. එහෙත් ඊට ද සාක්ෂි නැත. අනෙක් කරුණ නම් එප්ස්ටයින්ගෙන් තම රහස් හෙළි වෙතැයි බියෙන් බලවතුන් සිරගෙදර දී ඔහු ඝාතනය කළ බවට ඇති රාවයයි. ඊට සාධක වශයෙන් සඳහන් වන්නේ ඔහුගේ සිරකුටිය අසල වීඩියෝ කැමරා දර්ශන අපැහැදිලි වීම හා කොටසක් මැකී තිබීම යන කරුණයි. එහෙත් අමෙරිකානු නීති අංශ පවසන්නේ එය පදනම් විරහිත කතාවක් බවය. තවත් මතභේදාත්මක අදහසක් වන්නේ එප්ස්ටයින් මියගිය බව අඟවා ඔහු රහසිගතව සැඟවුණු ජීවිතයකට යොමුකර ඇති බවය. එහෙත් අමෙරිකානු අධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් එප්ස්ටයින්ගේ මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කර ඇති බවකි. සැබෑ තත්ත්වය කුමක් වුවත් මෙයින් පෙනි යන්නේ ලෝකයේ සාමාන්‍ය ජන සමාජයට අදෘශ්‍යමාන විවිධ බලවත් ජාල විවිධ මුහුණුවරින් හා විවිධ අරමුණුවලින් ක්‍රියාත්මක බවය. එප්ස්ටයින් සිද්ධියේදී ද ඔහුගේ ජාලයේ ලිංගික අපරාධ ගැන මිස එම ජාලයේ සැබෑ ක්‍රියාකාරිත්වය ගැන නිසි තොරතුරු හෙළිවූවාද යන්න ගැන පැහැදිලි ගැටලුවක් පවතී. ප්‍රශ්නය වන්නේ මෙවැනි ගෝලීය බලවත් සෙවණැලි සංවිධාන අප ජීවිතයට කොතරම් බලපෑමක් ඇතිකරන්නේ ද යන්නය.

ප්‍රසාද් කෞශල්‍ය 
දොඩන්ගොඩගේ