
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් අතර සංචාරක කර්මාන්තයට ප්‍රමුඛ තැනක් හිමි වේ. බලයට පත්වන සෑම ආණ්ඩුවක් ම මෙම කර්මාන්තයෙන් ඉපැයීමට අපේක්ෂා කරන ආදායම් සංඛ්‍යාත්මක ව ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි. ඒ අනුව, වත්මන් ආණ්ඩුව ද සංචාරක කර්මාන්තයට අදාළව සංචාරක පැමිණීම් හා ඉපැයීම් සම්බන්ධ ඉලක්ක මීට ඉහත දී ප්‍රසිද්ධ කළේ ය. ප්‍රසිද්ධියට පත් කරන ඉලක්ක සපුරා ගැනීම බාහිර සිදුවීම් හා කම්පන මත වෙනස් විය හැකි බව අපි අත්දැකීමෙන් ම දනිමු. ඊට දැක්විය හැකි හොඳම උදාහරණ ද්විත්වය වන්නේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය හා කොරෝනා වසංගතය යි. එම අවස්ථා දෙකේදී ම මේ කර්මාන්තය බරපතළ ලෙස කඩාවැටිණි. ඇමෙරිකා-ඉරාන යුද්ධය තවමත් පූර්ණ වශයෙන් අවසන් ව නැතත් එයින් ද මේ කර්මාන්තයට එල්ල වූයේ තියුණු බලපෑමකි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ අභියෝග රට අභ්‍යන්තරයෙන් මෙන් ම ගෝලීය පරිසරයෙන් ද මතුවන බව ය. මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ එම අභියෝග හඳුනාගැනීමත් ඒවාට යෙදිය හැකි පිළියම් සාකච්ඡා කිරීමත් ය. මෙවර සාකච්ඡාව සඳහා එක්වූයේ මහාචාර්ය සේමසිංහ වන්නිනායක ය.
සංචාරක කර්මාන්තය ගෝලීය ආර්ථිකයෙහි සුවිශේෂ අංශයකි. ගෝලීය ආර්ථිකයට මෙම කර්මාන්තයෙන් වසරකට ලැබෙන දායකත්වය ඩොලර් ට්‍රිලියන 12 කට ආසන්න ය. එසේම ලෝක දළ දේශීය නිෂ්පාදිතයට සියයට 10 ක පමණ දායකත්වයක් ද මෙයින් ලැබේ. තව ද ගෝලීය රැකියා නියුක්තියට සෘජුව හා වක්‍රව විශාල දායකත්වයක් සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ දත්ත කෙරෙහි අවධානය යොමු කළහොත් සංචාරක කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට වාර්ෂිකව සියයට2.5-5 අතර දායකත්වයක් සපයයි. එමෙන් ම මිලියනයකට ආසන්න පිරිසක් මෙම අංශය ආශ්‍රිත රැකියා නියුක්තිකයෝ වෙති.
යුද්ධයෙන් සියයට 45 ක් හැකිළෙයි
මෙරට සංචාරක කර්මාන්තයේ කැපීපෙනෙන වසර ලෙස සැලකිය හැක්කේ 2018 වන අතර එම අවුරුද්දේ දී ඩොලර් බිලියන 5 කට ආසන්න ආදායමක් ඉපැයීමට හැකි විය. එහෙත් 2019 දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ 2022 දී උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ කර්මාන්තයට දැඩි අහිතකර බලපෑම් එල්ල විය. 2023 සිට ආර්ථික අර්බුදයෙන් ක්‍රමිකව යථා තත්ත්වයට පත්වීමට සමගාමීව සංචාරක කර්මාන්තයේ ද ප්‍රබෝධයක් ඇති විය. රුසියා-යුක්රේන යුද්ධය සහ ඇමෙරිකා-ඉරාන යුද්ධයත් මෙම කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කළේ ය. විශේෂයෙන් ම මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්තය සියයට 6 කින් පමණ හැකිළුණු අතර රුසියා - යුක්රේන යුද්ධයෙන් හැකිළීම වාර්තා වූයේ සියයට 11 ක් ලෙස ය. ඇමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් රක්ෂණ ගාස්තු ඉහළ යෑම, ඉන්ධන මිල වැඩිවීම, ගුවන් ගමන් ගාස්තු ඉහළ යෑම මේ ආදී අංශවල සිදුවූ මිල වැඩිවීම් නිසා සංචාරක කර්මාන්තයේ පිරිවැය වැඩි විය. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් සංචාරක කර්මාන්තය සියයට 45 කින් පමණ හැකිළුණු බවට ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ.
උඩරට දුම්රිය නොමැතිවීත් අහිතකර බලපෑමක්
සංචාරක කර්මාන්තය ගැන කතා කිරීමේ දී දිට්වා සුළිකුණාටුව අමතක කළ නොහැකි ය. එම ස්වාභාවික ව්‍යසනයෙන් මෙරට ආර්ථිකයට ඩොලර් බිලියන 4.1 ක පමණ හානියක් වූ බවට ලෝක බැංකුව ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ ය. එයින් සංචාරක කර්මාන්තයට ද දැඩි අහිතකර බලපෑම් ඇති කළ අතර සංචාරක ගමනාන්තවලට හා යටිතල පහසුකම්වලට වූ හානිය විශේෂ ය. සුළිකුණාටුව හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට තවම හැකි වී නැත. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වැඩි ප්‍රියතාවක් දක්වන සංචාරක ගමනාන්තයක් හැටියට උඩරට ප්‍රදේශය හැඳින්විය හැකි ය. මහනුවර, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල මේ ආදී ප්‍රදේශ ඊට අයත් වේ. එම ස්ථාන වෙත යෑමට ඇති ආකර්ෂණීය ම ප්‍රවාහන මාධ්‍ය වන්නේ උඩරට දුම්රිය යි. සංචාරකයන් බලාපොරොත්තු වන්නේ උඩරට දුම්රියේ ගමන් ගනිමින් අවට අසිරිය විඳගැනීම ය. එම දුම්රිය මාර්ගය මෙතෙක් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වීම නිසා සංචාරක කර්මාන්තයට සෘණාත්මක බලපෑම් ඇති වේ.
2026 ඉලක්කයට ළඟාවීමට නම් සංචාරක පැමිණීම් සියයට 27 කින් වැඩි කරගත යුතුයි
මේ තත්ත්වය යටතේ සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීමට හා ඊට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. 2026 දී සංචාරකයන් මිලියන 3 ක් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව යි. 2025 දී මෙරටට පැමිණි සංචාරකයන් ගණන මිලියන 2.36 කි. 2026 ඉලක්කය කරා ළඟාවීමට නම්, 2025 ට සාපේක්ෂව සංචාරක පැමිණීම්වල සියයට 27 ක වර්ධනයක් අත්කර ගැනීමට සිදු වේ. එසේම 2026 දී මෙම කර්මාන්තයෙන් ඩොලර් බිලියන 4.5 -5 අතර ආදායමක් ඉපැයීමට ද රජය බලාපොරොත්තු වෙයි. 2025 දී උපයන ලද්දේ ඩොලර් බිලියන 3.2 ක ආදායමකි.
උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට තවම හැකි වී නැත. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වැඩි ප්‍රියතාවක් දක්වන සංචාරක ගමනාන්තයක් හැටියට උඩරට ප්‍රදේශය හැඳින්විය හැකි ය. මහනුවර, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල මේ ආදී ප්‍රදේශ ඊට අයත් වේ. එම ස්ථාන වෙත යෑමට ඇති ආකර්ෂණීයම ප්‍රවාහන මාධ්‍ය වන්නේ උඩරට දුම්රිය යි.
සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය අරබයා ඇති අභියෝග හඳුනාගැනීමත් වැදගත් වේ. ඒවා අතර අපේ පාලනයෙන් තොර අභියෝග කිහිපයක් ද තිබේ. 2026 සහ 2027 වසරවලදී ගෝලීය ආර්ථික වර්ධන වේගය අඩු වනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් වේ. ඉහළ ආදායම් ලබන රටවල ආර්ථික වර්ධන වේගය 2026 දී සියයට 1.8 ක් දක්වාත් 2027 දී සියයට 1.7 දක්වාත් පහළ යනු ඇති බව ද ප්‍රකාශ වේ. ගෝලීය ආර්ථිකයේ පහළ යෑම සංචාරක කර්මාන්තයට සෘජුව ම බලපානු ඇත. ඊට බලපාන ප්‍රධාන හේතුව, සංචාරකයන්ගේ වියදම් කිරීමේ හැකියාව අඩුවන නිසා ය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ලබන නැගී එන වෙළෙඳපොළවල් සහිත රටවල ආර්ථික වර්ධන වේගය ද යට කී වසර ද්විත්වයේ දී අඩු වනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් වී ඇති අතර එමගින් මෙරට සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරනු ඇත. චීනය, ඉන්දියාව, රුසියාව, මැලේසියාව යන රටවල් ඒවා අතර ප්‍රධාන වේ. මෙම රටවල ආර්ථික වර්ධන වේගය 2026 දී සියයට 4.2 ක් දක්වාත් 2027 දී සියයට 4.1 දක්වාත් පහළ යනු ඇති බව ප්‍රකාශ වේ. මෙපරිදි ඒ ඒ රටවල ආර්ථික වර්ධන වේගය අඩු වූ විට එම රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ වියදම් කිරීමේ හැකියාව ද අඩු වේ. එයින් සංචාරක කර්මාන්තයට අදාළ අපගේ අභියෝග සපුරා ගැනීමේ දී අහිතකර බලපෑම් එල්ල වේ.
2024-25 කාලයේ සංචාරක පැමිණීම් වැඩිවී ආදායම් අඩුවීම
එපරිදි අපගේ පාලනයෙන් බැහැරව පවතින දෙවැනි සාධකය නම්, ඇමෙරිකා-ඉරාන යුද උණුසුම යි. එය මෙරට ආර්ථිකයටත් සංචාරක කර්මාන්තයටත් බලපායි. තුන් වැනි සාධකය රුසියා-යුක්රේන යුද්ධය යි. ලංකාවේ සංචාරක කර්මාන්තයට එම දෙරටින් සැලකිය යුතු දායකත්වයක් ලැබේ. යුද්ධ හා අනෙක් හේතු නිසා ගෝලීය සංචාරක කර්මාන්තයේ පිරිවැය ඉහළ යෑමෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද අහිතකර ප්‍රතිවිපාක ඇති කරයි. ඉලක්ක සපුරා ගැනීමේ දී මේවා බාධාකාරී විය හැකි ය. සංචාරක පැමිණීම් ඉහළ අගයක පැවතිය ද උපයන ආදායම් අඩු අගයක පැවතීම අප මුහුණ දෙන තවත් ප්‍රශ්නයකි. ඊට හේතුව, සංචාරකයන්ගේ ඒක පුද්ගල වියදම පහළ අගයක් ගැනීම ය. උදහරණයක් ලෙස 2024 දී ශ්‍රී ලංකාවට පැමිණි එක් සංචාරකයකු ඩොලර් 1544 ක වියදම් කළ ද 2025 දී එක් සංචාරකයකු වියදම් කර ඇත්තේ ඩොලර් 1355 කි. 2024 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.17 ක් උපයා ඇතත් 2025 දී එය වැඩිවී තිබෙන්නේ සියයට 3.2 න් පමණි.
කුඹුරු වැඩටත් බහින සංචාරකයෝ
වසර 2024-2025 කාලය ගත්විට සංචාරක පැමිණීම්වල වර්ධනය සියයට 15 කට වැඩි ය. එහෙත් සංචාරක ඉපැයීම් වැඩි වී තිබෙන්නේ සියයට එකකටත් වඩා අඩුවෙනි. එයින් පැහැදිලි වෙන්නේ ගත වූ කාලයේ දී රටට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ අඩුවෙන් වියදම් කරන සංචාරකයන් බවය. නැති නම් බජට් සංචාරකයන් බව ය. වෙසෙසින් ම යුරෝපා රටවලට පරිබාහිර රටවලින් පැමිණෙන සංචාරකයන් ඉතා අඩුවෙන් වියදම් කරන අතර ඔවුහු නවාතැන් ගැනීමට සුඛෝපභෝගී හෝටල් වෙනුවට මිල අඩු නිවාස තෝරා ගනිති. එමෙන් ම ආහාර පාන සඳහා අඩු මුදලක් වැය කරති. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය වැනි රටවලින් සංචාරක වීසා මත මෙරටට පැමිණෙන ඇතැම් අය කුලී රැකියාවල නිරත වෙති. ඔවුන්ගෙන් සමහරු නැගෙනහිර පළාතේ වී ගොවිතැන් සිදුවන කාලවලදී එම කටයුතුවල ද නිරත වෙති.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ගුවන් තොටුපොළේ දී ම රියැදුරු බලපත්‍ර ලබාදෙන ක්‍රමවේදයක් පසුගිය දිනෙක ආරම්භ විය. මේ නිසා බොහෝ සංචාරකයෝ ත්‍රිරෝද හෝ යතුරුපැදි කුලියට ගෙන ඒවායෙන් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගනිති. සංචාරක කර්මාන්තය ආශ්‍රිත රියැදුරු රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට එයින් අහිතකර බලපෑම් එල්ල වේ. සංචාරක කර්මාන්තයට අදාළව හඳුනාගත හැකි මෙම අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනත් අවධානය යොමු කළ යුතු ය. එහිදී මෙම කර්මාන්තය පවතින තැනින් ඔබ්බට ගොස් විවිධාංගීකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් සිතිය යුතු ය. ඒ වගකීම සංචාරක කර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය ආයතනවලට මෙන්ම පෞද්ගලික ආයතනවලටත් පැවරේ.
මිල අධික අත්දැකීම් ඇතිකිරීම හා ධනවත් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම
මෙරටදී එක් සංචාරකයකු වියදම් කරන මුදල අඩුවීම සැලකිල්ලට ගනිමින් සංචාරකයන් සුවිශේෂ ක්ෂේත්‍රවලට යොමු කරගැනීමේ වැඩපිළිවෙළක් තිබිය යුතු ය. එහිදී සුඛෝපභොගී සංචරණය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. ඒ යටතේ අධික මිල ගණන් වැයවෙන අත්දැකීම් ලබාගැනීමට කැමති සහ ඒවා සොයන ධනවත් ව්‍යාපාරිකයන් ගෙන්වාගැනීම අවශ්‍ය වේ. එය ධෛර්යවත් කරන ආකාරයේ වැඩසටහනක් ඉදිරියට ගෙනා යුතු ය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික යුරෝපා වෙළෙඳපොළ හැරුණු විට මැදපෙරදිග රටවල ඉතා ධනවත් ව්‍යාපාරිකයන් සිටින අතර ඔවුහු පෙර කී ආකාරයේ මිල අධික අත්දැකීම් විඳීමට රුචිකත්වයක් දක්වති. එම සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මගේ අදහසයි.
සුවතා සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමත් වැදගත් ය. කායික හා මානසික සුවය වෙනුවෙන් අධික ලෙස වියදම් කිරීමට කැමති සංචාරකයෝ ද සිටිති. එවැනි සංචාරකයන් ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ද අවැසි ය. දේශීය වෙදකමේ එන ආයුර්වේද ප්‍රතිකාර සම්බාහනය වැනි ඒවා දැන් පවතින අවිධිමත් ආකාරයෙන් බැහැරව ආයතනගතව විධිමත් ආකාරයෙන් ප්‍රතිස්ථාපනය කිරීම මගින් ද සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට පිළිවන. සංචාරක කර්මාන්තය සමග සමුළු සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමට සුදුසු මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කර ගත හැකි නම් එයින් ද මෙම කර්මාන්තයට ජීවයක් එක්කළ හැකි ය. එය MICE සංචාරක ක්ෂේත්‍රය වශයෙන් හඳුන්වනු ලබයි. ඉහත සඳහන් කළ ක්ෂේත්‍ර වැඩි වශයෙන් වියදම් කළ හැකි ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පැමිණෙන ඒ්වා ය. අප ආකර්ෂණය කරගත යුත්තේ බජට් සංචාරකයන් වෙනුවට මෙවැනි වියදම් කළ හැකි සංචාරකයන් ය.
මෙරට සාම්ප්‍රදායික සංචාරක වෙළෙඳපොළ වෙනත් රටවල් තෝරාගැනීමේ ප්‍රවණතාවක් ද දැකිය හැකි ය. එනම්, යුරෝපා රටවලින් ලංකාවට පැමිණෙන සංචාරකයන් ලංකාව වෙනුවට මාලදිවයින, තායිලන්තය, වියට්නාමය ආදී රටවල සංචාරය කිරීමට ඉහළ නැඹුරුවක් දැක්වීම ය. සාම්ප්‍රදායික සංචාරක ගමනාන්තවලට අමතරව අලුත් වෙළෙඳපොළවල් සොයාගැනීමේ වැදගත්කම මතුවන්නේ මෙහිදී ය. ඒ සම්බන්ධව රජයට මෙන් ම පෞද්ගලික අංශයටත් විසල් වගකීමක් පැවරේ. සංචාරකයන්ගේ ආරක්ෂාව හා නිදහස වෙනුවෙන් ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමත් වැදගත් ය. මේ කර්මාන්තයට අදාළ ප්‍රතිපත්ති ස්ථාවරව පැවතීමත් අවශ්‍ය වේ. මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මගින් සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට පිළිවන.
උපුල් වික්‍රමසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd