ඉකුත් සති කිහිපය තුළ ආණ්ඩුවට කුමක් හෝ අර්බුදකාරී මාතෘකාවක් මතුවන ආකාරයක් පෙනෙන්නට තිබිණ. ගල් අඟුරු පිළිබඳව එල්ල වූ චෝදනා සහ විශ්වාස භංගයෙන් පසු ඇමැති කුමාර ජයකොඩි ඉවත් වීම, කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තගේ රුපියල් කෝටි හයකට අධික වත්කම් අතරට ආණ්ඩුවට මතු වූ අලුත්ම අර්බුදය වූයේ මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඩොලර් විසි පන්ලක්ෂයක මුදලක් අතුරුදන් වීමය. මෙම මාතෘකා තුනම ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර විපක්ෂයේදී නිරතුරුව ප්‍රකාශ කළ දූෂණ හා වංචාව නැති කිරීම මෙන්ම ආණ්ඩුවේ මූල්‍ය පාලනය මනා විනයක් ඇතිව පවත්වාගෙන යන බවට ලබාදුන් ප්‍රතිඥාවට පටහැණිය. 

මහා භාණ්ඩාගාරයෙන් මුදල් අතුරුදහන්වීමේ සිදුවීම පිළිබඳව තවමත් විගණන අංශවලින් නිසි පරීක්ෂණයක් සිදුව නැතත් බැලූ බැල්මටම පෙනෙන්නේ වගකීමකින් තොරව ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කිරීම නිසා මෙම විශාල පාඩුව සිදුව ඇති බවය. විදේශ ණය ගෙවීමේ කටයුතු මෙයට පෙර සිදුකළේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වුවත් වසරකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශය යටතේ වූ ආයතනයකට එම කටයුතු භාර වී ඇති අතර මෙම මුදල් අතුරුදන්වීම සිදුව ඇත්තේ ඉන් පසුවය. කෙසේ වෙතත් මෙම මුදල් අතුරුදන්වීම මූල්‍ය වංචාවක් සහ සොරමක් ලෙස ගෙන ඉදිරි කටයුතු සිදුවිය යුතු වුවත් නිලධාරීන්ගේ වාග් කෞශල්‍යය පෙන්වන අවස්ථා හැර නැති වූ මුදල් සොයාගැනීමට ඉක්මන් ක්‍රියා මාර්ග ගන්නා බවක් පෙනෙන්නට නැත. 

ආණ්ඩු බලය ලබා ගත්තත් එය පවත්වාගෙන යාම ලෙහෙසි කටයුත්තක් නොවේ. 2015 යහපාලන ආණ්ඩු සමයේ සිටම රාජ්‍ය සේවයේ බරපතළ බිඳවැටීම් වාර්තා විය. රාජ්‍ය සේවයේ ඉහළම පුටු සඳහා උගත්කම පමණක් ඇති එහෙත් රාජ්‍ය සේවයේ නොවන පුද්ගලයන් යොදාගැනීම නිසා මෙවැනි මූල්‍ය හානි සිදුවන බව දැකගත හැකිය. මේ නිසා ජවිපේ සහ මාලිමාව යන ජාතික ජන බලවේගයන් පාලනය වන මෙම ආණ්ඩුවට රාජ්‍ය බලය බර වැඩි ද යන ප්‍රශ්නයක් ජනතාව තුළ මතුවීම නොවැළැක්විය හැකිය. 

තමන් බලයට පැමිණි විට රාජ්‍ය සේවයේ ඉහළම පුටු සඳහා තමන්ට කීකරුම රාජකාරි කරන හිතවතුන් පත්කර ගැනීම ලොව බොහෝ රටවල සිදුවෙයි. ලංකාවේදීද බොහෝ කාලයක් එලෙස සිදුවී ඇත. එහෙත් එවැනි ප්‍රධානීන් පත් කර ගැනීම මෙයට පෙර පැවැති ආණ්ඩු සිදුකළේ රාජ්‍ය සේවයේ සිටි තම හිතවත් නිලධාරීන් පත් කර ගැනීමෙනි. 2006 බලයට ආ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කරගත්තේ ඒ වනවිටත් රාජ්‍ය සේවයේ කටයුතු කරමින් සිටි පී.බී. ජයසුන්දරය. ඔහුට රාජ්‍ය සේවය තුළ යම් ස්ථීර වගකීමක් තිබිණ. එහෙත් 2015 දී බලයට ආ යහපාලන රජය මහ බැංකු අධිපති ලෙස පත් කරගත්තේ රාජ්‍ය සේවයට සම්පූර්ණයෙන්ම ආගන්තුකයකු වූ සිංගප්පූරු ජාතිකයෙකි. ඔහු යටතේ මහ බැංකුවේ සිදුවූ සුප්‍රකට බැඳුම් කර සිද්ධිය තවමත් හරිහැටි අගමුල සොයාගැනීමට අපහසු මූල්‍ය වංචාවකි. ඒ අයුරින්ම මේ රජය බලයට පත්වූ පසු මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස පත්කර ගත්තේද රාජ්‍ය සේවයට ආගන්තුකයකු වූ වත්මන් රජයේ හිතවතෙකි. මේ වනවිට වත්මන් රජය පඹගාලක පැටලෙමින් සිටින ඩොලර් ලක්ෂ 25ක මුදල් ප්‍රමාණය අතුරුදන් වූ සිද්ධියට වගකිව යුතු ඉහළම නිලධාරියා මෙම රාජ්‍ය සේවයට පිටස්තරයකු වූ මුදල් අමාත්‍යාංශ ප්‍රධානියාය. ආගන්තුක නිලධාරින් යටතේ රටේ මූල්‍ය විනය බිඳ වැටෙන බවට ඇති දෙවැනි උදාහරණය මෙම සිද්ධියයි. 

2015 යහපාලන රජය මූල්‍යමය අතින් ජනතාව තුළ අපකීර්තියට පත්වූ අතර වත්මන් රජයද එවැනිම සිදුවීමකට මුහුණ පා සිටියි. මෙයින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය පාලනය වත්මන් රජයටද බර වැඩි බව ද? දේශපාලකයන් කළ යුත්තේ රාජ්‍ය පාලනයට මඟ පෙන්වමින් රාජ්‍ය සේවකයන්ට රාජ්‍යයේ කටයුතු පවත්වාගෙන යාමට නිදහස දීමය. 

එහෙත් රාජ්‍ය සේවයේ කටයුතු ද තමා සහ තමාට හිතවත් පිරිසක් මඟින් කරගැනීමට ගන්නා මෙවැනි උත්සාහ වලදී රාජ්‍ය සේවය අවුල් සහගත බවට පත්වෙයි. අපක්ෂපාතී රාජ්‍ය නිලධාරීහු කලකිරෙති. යම් අයකු කරන රාජකාරියකට පිටස්තරින් පැමිණි පිරිසක් අත පෙවීමට යාම එම අපක්ෂපාතී නිලධාරීන් කලකිරවීමට සමත් වෙයි. ආගන්තුක නිලධාරීන් අතින් වැරදි සිදුවන විට පළපුරුදු නිලධාරීහු මුනිවත රකිති. අවසානයේ රාජ්‍ය සේවයම අවුල් වෙයි. මෙවැනි මූල්‍ය වංචා සිදුවෙයි. මුදල් ඇමැති ප්‍රමුඛ පාලක පංතියම ජනතාවගේ විවේචනයට ලක්වෙයි. වත්මන් රජයට රාජ්‍ය පාලනයේ අත්දැකීම් මද බවට පැවැති විපක්ෂයේ මතයට මේ නිසා යම් සුජාත භාවයක්ද ලැබී ඇත. 

ජනතාව ඡන්දය දෙන හේතුව නිසි ලෙස වටහා නොගන්නේ නම් ජනතා ආකර්ෂණය රැල්ලක් ලෙස හමාගොස් ලබන ජයග්‍රහණය වසර පහකට පසු අවසන් වන්නේ බලවත් ජන අප්‍රසාදයකින් බව මෙරට දේශපාලන ඉතිහාසය අපට උගන්වයි. 1956 පංච මහා බලවේගයෙන් සෑදී බණ්ඩාරනායකවරුන්ගේ අතිශය ජනප්‍රිය රැල්ල 1959 දී අවසන් වූයේ බලවත් ලෙස පිරිහුණු ආණ්ඩුවක් වශයෙනි. යළිත් 1970 දී මහා ජන රැල්ලකින් නැගුණු බණ්ඩාරනායක ආණ්ඩුව 1977 දී අවසන් වූයේ බලවත් ජනතා අප්‍රසාදයක් මැදය. සෑම ආණ්ඩුවකටම මේ තත්ත්වය පොදු විය. ඉතිහාසයේ දුසිමක් වැනි උදාහරණ අපට පෙන්වා දෙන්නේ ජනප්‍රිය රැල්ලෙන් නැගී ආ කිසිදු ආණ්ඩුවක් ධුර කාලයේ අවසානය තෙක් ජනප්‍රියත්වය රඳවා නොගත් බවය. 

ජාතික ජන බලවේගය බිහිවූයේ දක්ෂිණාංශික අන්තයක් සහ වාමාංශික අන්තයක් එකට එකතු වීමෙනි. වාමාංශික අන්තය නියෝජනය කළේ භීෂණ සමයේ ටයර් සෑ මතින් පක්ෂය රැකගත් එමෙන්ම ආණ්ඩුවේ මර්දනයෙන් දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් සහ එම පවුල් වල සාමාජිකයන්ගෙනි. දක්ෂිණාංශික අන්තය නියෝජනය වූයේ ඉකුත් යහපාලන ආණ්ඩු හා රාජපක්ෂ ආණ්ඩු නිසා කලකිරී පාවෙමින් සිටි ඡන්දදායකයන් සහ අලුත බිහිවන පාවෙන ඡන්දදායකයන්ගෙනි. සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම මාලිමාවට පක්ෂපාත වූයේ කිසිදා ජවිපෙ නොවූ එහෙත් රාජපක්ෂ හා යහපාලන ආණ්ඩුවලම ඡන්දය පාවිච්චි කර කලකිරී සිටි ඡන්ද දායකයන්ය. 

පක්ෂයක් ලෙස ජවිපෙ ආරම්භක ගමන් මග වෙනස් කර ඉකුත් කාලයේ මැතිවරණවලට ඉදිරිපත් වුවද ජනතා විමුක්ති පෙරමුණේ නම නිසා සියයට පහක උපරිමයකින් එහාට ඡන්ද ලබා ගැනීමට එයට නොහැකි විය. ජවිපෙ තනි ප්‍රතිපත්ති තවදුරටත් රට පිළි නොගන්නා බවත්  ජවිපෙ ප්‍රතිපත්ති අලෙවි කළ නොහැකි බවත් ගෙවී ගිය සියලු මැතිවරණවලින් ඡන්ද දායකයන් ලබා දුන් පණිවිඩය විය. මාලිමාව බිහිවුණේ එම වෙනස කළ යුතු නිසාය. මාලිමාව ලාංඡනය කරගත් ජාතික ජන බලවේගය සාමාන්‍ය පොදු ජනතාවට වැටහුණේ තවත් එක් පක්ෂයක් ලෙසටය. ජවිපෙ විරෝධී ජනතාවටත් එයට එකතු වීමට බාධාවක් නොවිණි. 

ඉකුත් ජනාධිපතිවරණය කාල සීමාව වනවිට රටේ ජනප්‍රියම දේශපාලකයා වූයේ අනුර කුමාර දිසානායකය. අනුර ගමන් ගන්නා මහජන රැස්වීම්වලදී ඔහු පිළිගැනීමට එහි සිටි ජනතාව පොර කෑ විලාසයත් පෙරළා ඔහු එම ජනතාවට පළ කළ ළැබැඳි ප්‍රතිචාරයත් ධනපති පන්ති වල ජනාධිපතිවරුන්ගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැර අන් කිසිම ජනාධිපතිවරයකුගෙන් දැක ගත නොහැකි විය. පැවැති ආණ්ඩුවල අසාර්ථකත්වයට මූල්‍ය විනයක් නොමැති කම ප්‍රධාන හේතුවක් වූ බව අනුර දිසානායක නමැති ජනප්‍රිය කථිකයාගේ කතාවලදී නිතර කියැවුණේය. මාලිමාව නමැති පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔහුගේ එම සුවිශේෂී ප්‍රකාශ හේතුවක් විය. 

නොබිඳිය හැකි යැයි සැලකුණු ධනපති කඳවුර ඔහු සාර්ථකව බිඳ හෙළා තිබේ. ඔහු අද මෙරට ජනාධිපතිව සිටින්නේ ඔහුගේම හැකියාව මතය. එසේ නොමැතිව ඔහුගේ පක්ෂයේ හැකියාවකින් නොවේ. 

අනුර ජනාධිපති ධුරයට පත්වූ පසු රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු ගණනාවකට තම හිතවතුන් පත් කර ගන්නට ඔහු සහ ඔහුගේ පක්ෂය පියවර ගත්තේය. එහිදී මූල්‍ය පාලනය ගැන බොහෝ පළපුරුදු රාජ්‍ය සේවකයන් ඉවතට විසිවී අලුත් නිලධාරීන් පැමිණි අතර සමස්ත රාජ්‍ය සේවයම දෙවුර මතට ගත් එම නිලධාරීන් නිසා රාජ්‍ය පාලන ක්‍රමයේ යම් නුහුරු නුපුරුදු බවක් පොදු ජනතාවටද පෙනී ගියේය. පැවැති ආණ්ඩු යටතේ ඉහළ තනතුරුවලට පත්කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ගණනාවක්ම විවිධ චෝදනාවලට ලක් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන ආකාරයද ඉකුත් කාලයේ දැකගත හැකි විය. මූල්‍ය පාලනය වත්මන් රජය යටතේ යම් බිඳවැටීමකට ලක් වෙමින් පවතින්නේ ඉහළ රාජ්‍ය නිලධාරීන් කලකිරී සිටින නිසාය. අලුත් හා ආගන්තුක නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවයේ සම්මතයන් පසෙකලා හිතුමතේ රාජකාරි කරනවාද? ඩොලර් ලක්ෂ විසිපහක් වැනි විශාල මුදලක් අස්ථාන ගතවන්නේ ඒ හේතුවෙන්ද එකී කරුණු නිරවුල් කරගැනීම ආණ්ඩුවේ පැවැත්මට හිතකර බව සැලකුව මනාය. 

ප්‍රේමකීර්ති රණතුංග